ලංකාව යනු මාරම ආතල් රටකි.
මෙය තවදුරටත් තහවුරු වන්නේ ලංකාවෙන් එළියට ගොස් මෙලෝම රහක් නැති අරාබිය වැනි දේශයක ජීවත් වන විටය. ලංකාව තුළ කොපමණ දූෂණ වංචා තිබුණද දුප්පත් කම කන පැලෙන්නට රට පුරාම පැවතුනද ළමා අපචාර, හොරකම්, බැංකු මංකොල්ල, මිනී මැරුම් පැවතුනද කොටින්ම කිවහොත් රට හොදටම අවුල් වුවද ලංකාව ආතල්ය. ලංකාව හරිම අපිළිවෙලයි, සද්ද ගොඩයි, ප්රශ්ණ ගොඩයි, ඕප දූප එමටයි, වලි විමානයයි, කට කථා කියල වැඩක් නෑ... ඉතින් ආතල් නැද්ද! ලංකාව තුළ හැමදාම හැමවෙලේම කුමක් හෝ කථා කිරීමට ප්රශ්ණයක් ඇත. එයම ආතල්ය.
ලංකාවේ පාරවල් කොහෙත්ම කොලිටි නැත, ෂේප්... පාරවල් වල කාර්, වෑන්, ලොරි, ප්රයිවට් බස්, CTB බස්, කරත්ත, බල්ලෝ, වැඩට යන මිනිසුන්, බයිසිකල්, full face helmet දාගත්ත ස්කූටි පෙප් වල යන කොල්ලො, කාලෙකින් මුණගැසුනු ගැහැණු උදවිය, මදුරු රැකට් විකුණන අව්වට කට්ට කලු වූ වෙළද මහතුන්, ත්රී වීලර්, හිගන්නෝ (කලර් ලයිට් හිගන්නන් සහ සාමාන්‍ය හිගන්නන්) සහ ඒ අස්සෙන් පොලිස් කාරයෝ ද දක්නට ලැබීම මාරම ආතල්ය. ඒ අස්සෙන් සද්ද ගොඩයි... ත්රී වීලර් වල සද්ද, බස් කොන්දොස්තර තමාට හැකි උපරිමයෙන් කෑ ගහන ඒ මිහිරි සද්දය, පාර දෙපැත්තේ ඇති කඩ වලින් ඇහෙන සිංදු, කොත්තු සහ රයිස් සෑදීමේදි නිකුත් වන දුර්ලභ සද්ද, මහා හෝන් සද්ද පූජාව, කෝච්චි සද්ද සහ ඒ ඔක්කොම අස්සෙන් ඇහෙන පිරිත් බණ වැනි සද්ද ලංකාවට ම ආවේනිකය.
මල ගෙයක රැය (නිදි මැරීම, බූරු ගැසීම, කැරම් ගැසීම, බොරු කීම, හොල්මන් කථා සහ අතිශය විනෝදකාමී කථා කීම, අරක්කු බීම, ටොපි දැමීම, ජොයින්ට් ගැසීම etc), චන්දය (චන්දය පැමිණීම, චන්දය ඇති දිනය, චන්දය දැමීමට යෑම, හොර චන්ද දැමීම, චන්ද පෙට්ටි ඉස්සීම, චන්ද වලි දා ගැනීම සහ චන්දය ඇසීම), වෙසක් (වෙසක් කූඩු සාදා විකිණීම, තොරං සෑදීම, වෙසක් බැලීමට යෑම, දන්සැල් වලට සල්ලි එකතු කිරීම, දන්සැල් කෑම සහ අවසානයේ කන පැලෙන්නකන් බීම), පල්ලියේ මංගල්ලය, කොඩි ගහ එසවීම, වීදි යෑම, ඉරිදා පූජාව, ගැහැණු ළමයි වැඩිවියට පත්වීමේ උත්සව, සංගීත සහ කොටින්ම ප්රභාකරන් මැරුණ දිනයද මාරම ආතල් එකක් කර ගැනීමට ලාංකීකයන් සමත් වීම අතිශය සුවිශේෂී කරුණකි.
දවස අවසානයේ සියලුම ලාංකිකයන්ගෙන් බහුතරයක් කෙසේ හෝ අයුරකින් මත් වී සිටීම හෝ මත් වීමට උත්සහ දැරීම සැළකිය යුතු විශේෂ කාරණයකි. අවම වශයෙන් ටොපියක් හෝ දමා මෙලෝ හේතුවක් නොමැතිව මිනිසුන් හිනා වී සිටීම අතිශය සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. මිහින්තලය නැමැති මහා බෙෘද්ධ අග නගරයට ළගින්ම ඇති බාර් එකේ සෑමදාම පට්ට පෝළිමක් දක්නට ලැබීම එම කාරණය තව දුරටත් පැහැදිළි කරයි.
ඉහත මා කිවූ කාරණා සමාජීය, සංස්කෘතික, ආගමික සහ මනෝ විද්‍යාත්මක අර්ථ නිරූපණ වලින් පැහැදිලි කිරීමට හැකි වුවද ඉතා සරලව ලංකාව යනු වෙනස් රටකි. එම වෙනසට බලපෑ බොහෝ හේතුද ඇත. ඉහත කී එ් ආතල් සමුදාය පිටින් බලන විට මහා ආතල් ගොඩක් සේ දැනුනද ඇතුලෙන් සියලුම ලාංකිකයන් ට එය හුදෙක් ක්රියා පටිපාටියක් වී තිබීම අවුලකි. එම අවුල මම ද හොදටම දනිමි. නමුත් අප ලාංකිකයන් කොපමණ අවුල් තිබුනද හිනා වී මොහොතක් හෝ ආතල් එකේ සිටීමට උත්සහ දැරීම අප විසින්ම අගය කර ගත යුතුය. නැතහොත් අප හට ඇති ප්රශ්ණ කන්දරාවත් සමග තනි වුවහොත් දවස අවසානය අපටවත් සිතා ගත නොහැකි මහා අවුලක් වනු ඇත.
එහෙනං.....
අද
සෙට් වෙමුද!
- අර්ජුමාන්
No comments:
Post a Comment