උඹ මොන වගේ කෙල්ලෙක්වද බදින්න හොයන්නේ දැන්?
හ්ම්ම්...
මම නං කැමති මචං අහිංසක, හිමීට කථා කරන, හොදට උයන්න පුලුවන්, ගෙදරටම වෙලා විනීතව හැදුන, කා එක්කවත් කලින් යාලු වෙලා නැති, සුපිරිසිදු, ළමා සාරියක්
අදින මරිය තුමිය වගේ ගෑණු ළමෙක්ට.
එතකොට උඹ දැන් හොරෙන් කරන එක? ඊයෙත් ගියේ
රූම් එකට?
ඒ පිස්සුද මචං... ඒකීව බදින්න පුලුවන් ද?
ඒකීට පුදුම විසයක් නෙ තියෙන්නේ.. තනිකර බඩුවක්. කොටටමයි අදින්න කැමති. අනික
සිගරුත් බොනව. එක පාරක් ජොයින්ට් එකකුත් ගැහුව මාත් එක්ක. ටැටූ එකකුත් ගහල ඉන්නේ
පිටේ. ඒක ඔහොම්මම කරන් ඉන්නව ඉතින්, ආතල් එකට දන්නැද්ද!
ඉහත සංවාදය හුදෙක් මනංකල්පිත මම හදපු එකක්
වුවද මෙය අපිට නිතරම මුණගැහෙන ඉතා සාමාන්‍ය කථන්දරයකි. මට මේක පොඩ්ඩක් ඇතුලට
කිමිදිල ආයෙත් හිතන්න හිතුනේ යමක් ගැන වැඩි දුර හිතීමේ දැවෙන පිස්සුව නිසා වෙන්න
පුල්වන්.
ඇත්තටම මේ සංවාදයේ අපිට හම්බෙන පළවෙනි උත්තරයෙන්
එළියට එන්නේ අපි හංගන් ඉන්න ඒත් ඇත්තටම අපි අතර සැරටම ක්‍රියාත්මක වන කැතම කැත ගද
ගහන පුරුෂාධිපත්වය කිව්වොත් හරි. අපේ පොදු සමාජයේ ගැහැණිය යනු තාමත් කුස්සියේ උයන
පියන වැඩ කළ යුතු, වළං සේදිය යුතු, ගේ අස් පස් කළ යුතු, අනිවාර්යෙන් ළමයි හැදීය
යුතු, ළමයින්ගේ පූර්ණ වගකීම භාර ගත යුතු, සමාජයට එක්ස්පෝස් වෙන් නැති, කොන් විය
යුතු, පුරුෂයාට අවශ්‍ය සියල්ල මැනවින් සම්පාදනය කළ යුතු, දුර්වල වහල් සේවයේ නිරත
වන්නෙකි. මෙය මෙච්චර දරුණුවට එළියට අපිට පේන්න නැතත් රෙද්දෙන් වහගෙන ඇතුලෙන් සිද්ද
වෙන ඇත්තම ඇත්ත මෙයයි. ඇත්තටම මේ තත්වයට පුරුෂාධිපත්වය කියනවාට වඩා අර්ථානුකූල
වචනයක් හොයා ගන්න වෙනව මොකද ගැහැණිය ද මේ තත්වය ඉහ මුදුනෙන්ම භාරගෙන, පිළිඅරගෙන
අවසන්ය. එයා යටත් වීමට හෝ එකී රාජකාරී ටික මැනවින් ඉටු කිරීමට කුඩා කල සිටම අම්මා
යටතේ පුහුණුව ලබයි. එකී ටිපිකල් රාජකාරී ටික ඉටු කරමින් එයා ගෙදරටම වී ළමයි එක්ක
හැප්පීගෙන බැනුං අහගෙන අන්තිමට ලෙඩ වී අසරණ විදියට මැරෙන්නට හිත හදාගෙන අවසන්ය. ඒ රාජකාරීන්
හරියට ඉටු කර ගැනීමට නොහැකි වන තැන ගිල්ටි වීම ද සාමාන්‍ය දෙයකි. ඕක හරිම සුලුතරයක
දක්නට නැතත් අති බහුතරයක පොදු කතන්දරයයි.
කොල්ලෙක් යනු අපේ මේ ඉහත කී සමාජයේ ගෙදර
අම්මාගෙන් වැඩි සැළකිලි ලබන්නෙකි. කටු නැති ලොකු මාලු කෑලි බත් පිගානට ලබා
ගන්නෙකි. වැඩට ගොස් ගෙදරටම ආ විගසම උණු උණු කෑම පිගානක් අම්මා විසින්ම අත් දෙකට
ලබා ගන්නෙකි. ඒ දේවල් වලට අම්මල වාචිකව විරුද්ධයි කියා පෙන්නුවත් එය එසේ විය යුතු
යැයි යන මිත්‍යාව ඔවුන්ම ඔවුන්ගේ ඔලුවට දමාගෙන අවසන්ය. කොල්ලා යනු විවාහයේදී
දෑවැද්දක් ලබන්නෙකි. පිරිමියා විසින්ම ඔලුවට දාගෙන ඇත්තේ නැතහොත් ඔලුවට දමා ඇත්තේ
ඔවුන්ව ගැහැණිය විසින් රැක බලා ගත යුතු බවයි නැතහොත් ගැහැණිය ඔවුන්ට සේවය කල යුතු
බවයි. ඇත්තටම මේ තත්වයෙන් එළියට එන අපේ කාලයේ කොල්ලෙක් තමාගේ අනාගත බිරිද විදියට
හොයන්නේ සමාජය විසින් ම පොඩි කාලේ ඉදන්ම එයාගේ ඔලුවට දාපු අර ළමා සාරි අදින, උයන්න
පුලුවන්, අහිංසක, මදර් මේරී රෝල් මොඩ්ල් එකමයි. ඒක ඉතිං කොල්ලගේ පැත්තෙන් බැලුවොත්
සාධාරණයි, මොකද පොඩි කාලේ ඉදන් ම ගෙදරින්, ටීවි එකේ නාට්‍ය වලින් හැමදෙයින්ම ඔලුවට
වැටෙන්නේ ඒකට
සමපාත වන අදහස් නේ. අගලක්වත් රාමුවෙන් එළියට පැනල හිතන්න බැරි උන් ඉතිං ඒ ළමා
සාරියම හොය හොය ඉන්නවා.
අපිට ඇත්තටම මේ ලෝකේ ආදරය කියන දේ මුලින්ම
දැනෙන්න පටන් ගන්නේ අම්මාගෙන්. පස්සේ අපි දැනගන්නව අම්ම කියන්නේ ගැහැණියක් කියල.
මුලින්ම අපි ආදරයෙන් අම්ම එකක් වෙලෙද්දී අපිට කිසිම දෙයක් අදාළ නෑ, දන්නෙත් නෑ.
එතන තියෙන්නේ අමුම අමු ආදරය කියන ශක්තිය කිව්වොත් හරි. ඉතිං අපි නැවතත් මුහුපුරා
ගියාට පසු ස්වභාවයෙන්ම තවත් ගැහැණියකට බැදෙද්දී අපේ හිත අපිවම රවට්ටන්න ගන්නව මේ
අපි බැදෙන ආදරය අම්මගේ ආදරය (නැත්තං සෙනෙහස කියමුකො) විය යුතුයි නේද කියල. ඒක
සාධාරණයි මොකද අපේ හිත හැමවෙලේම අලුත් ෆීලින් එකක් ටච් කරපු ගමන් පරණ දේවල්
නැත්නං, පරණ හැගීම් ආවර්ජනය කරනවා. සුවදක් නහයට වැටුන ගමන්ම මුලින්ම ඒ සුවද අපිට
දැනුන තැනට හිත යනව, මතක් වෙනව. ඒ වගේම තමා මේ කථන්දරෙත්. ඒත් අපි තේරුම් ගන්න ඕන
දේ තමා මේ දැනුන ෆීලින් එක අම්මගෙන් ලැබුණ ෆීලින් එකට සමහර තැන් වලදී සමාන වුනාට
ගොඩාක් තැන් වලදී අසමාන බවයි. සරලව කිව්වොත් අම්මාව කෙල්ලට සමාන කරන්න බෑ.
කෙල්ලවත් අම්මට සමාන කරන්න බෑ. හැබැයි මේ දෙන්නම අතර ගැවසෙන මොකක්දෝ මන්ද පොදු
සාධකයක් තියෙනව. ඒක තමා අපිව හැමවෙලේම අතරමං කරවන්නේ. හැබැයි ඒකම තමා අපි අල්ල
ගන්නත් ඕන. අපිට වෙලා තියෙන අවුල, අපි අම්මගේ ඒ පොදු සාධකය ඇතුලුව තවත් අපිට සෙට්
වෙන්නේ නැති හෝ සෙට් වෙන්න ඕනෙත් නැති සාධක ගොන්නක් අපේ කෙල්ලගෙන් හොයා ගන්න උත්සහ
කිරීමයි.
පොඩ්ඩක් මාතෘකාවෙන් පිට පැන්නදෝ කියල
හිතෙනව. කමක් නෑ ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්.
අර සංවාදයේ දෙවනි උත්තරයෙන් කියවන කෙල්ල
කව්ද? බඩුවක් කියන, විසයක් ඇතැයි කියන, ටැටූ ගහං ඉන්න, හයියෙන් කථා කරන, සිගරට්
බොන සහ හැමෝම ෆක් එකට උත්සහ කරන මෙයා ඇත්තටම මට නං හනමිටි කාරයන්ගෙන් හැදෙන
පුරුෂාධිපත්වය කර පින්නා ගත් ගොබ්බ අයිඩියෝලොජි එකකට පයින් ගහන රැඩිකල්
මනුස්සයෙකි. එහෙම පුද්ගලයෙක් සමාජ විරෝධී වීම අතිශය සුලභ කාරණයකි. හරියට යුදෙව් වරු
ජේසුස් ට විරුද්ධ වුනා වගේ මේ වගේ කෙල්ලෙක් දිහා මහ කැත නැත්තං විරෝධී මානයකින්
බැලීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. ඇත්තටම මේ රෝල් මොඩ්ල්ස් දෙක අපිට හදල තියෙන්නේ
සමාජයෙන්මයි. අපිව හුරු කරල තියෙන්නේ දෙයක් ගැන විචක්ෂණව හිතන්න නොව ටක් ගාලා ජජ්
කිරීමටය (පූර්ණ නිගමන වලට එළබීමටය). ඇත්තටම ඒක හරිම ලේසි වැඩකි. හිතීම අමාරු
වැඩකි. ඒක මේ කාරණයේදීත් එලෙසින්ම ව්‍යුත්පන්න වේ. ඇත්තටම මම එකී සංවාදයේ ඒ උදාහරණ
දෙක අරගෙන උත්සහ කරේ ටැටූ ගහගෙන ෆ්රී එකේ ඉන්න කෙල්ල හොදයි කියන්නවත් ළමා සාරි
ඇදන් අහිංසකව ඉන්න කෙල්ල නරකයි කියන්නවත් නෙමෙයි, ඒ අපේ ඔලුවේ පැලපදියන් වෙලා
තියෙන නිගමන වැරදියි කියන්නටයි. මම කැමතියි ඇත්තටම ළමා සාරියක් ඇදගෙන ටැටූ එකක් ගහල
ඉන්න උයන්න පුලුවන් ඉදල හිටල ජොයින්ට් එකක් ගහන පන්සලට ගිහින් සිල් ගන්න කෙල්ලෙක්ව
හම්බෙන්න. ඒ වගේ කෙල්ලෙක් අර වගේ හනමිටි අයිඩියෝලොජි එකකට කන පැලෙන්න ගහනව දැකීම
මට නං මාරම ආතල්ය. හැමවෙලේම අපි උත්සහ කල
යුත්තේ යම්කිසි දෙයක් ගැන සමාජය අපිට කියන දෙයින් නොව අපේ හිතෙන්ම අපිට කියන
දෙයින් නිගමනයකට එළඹීමයි. ඒක මාර වටිනවා. අපේ නිගමනය හරිම ඉන්ඩිපෙන්ඩන්ට් (නිදහස්)
කියල දැනෙනව. එතකොට ඒ නිගමනය හරි වුනත් වැරදි වුනත් කිසිම අවුලක් නෑ, ඒක අපේම
නිසා.
එකී සංවාදයේ තරුණයා දෙන උත්තරේ තව පැත්තක්
හිතුවොත් අපිට පේනව මේ ගැහැණියව චාටර් කරවන නැත්නං යටත් කරවන ව්‍යුහය කොච්චර අවුල්
ද කියල. ඇත්තටම ගොඩාක් උන් අර කියන අහිංසක, ළමා සාරි අදින, මදර් මේරි මොඩ්ල් එක සමග
විනීත, සම්මත සම්බන්ධයක් පවත්වා ගත්තද හිත ඇතුලෙන් ඉන්නේ හරිම අසතුටෙන්ය
අසංතෘප්තවය. ඒකේ ප්‍රතිඵලයක් ලෙස තරුණයා අර කිව්ව තහනම් වුන සමාජ විරෝධීයි කියන රැඩිකල්
කෙල්ල සමග සම්බන්දයක් ඇති කර ගනියි. ඒක දැනට සිදුවන අතිශය සාමාන්‍ය දෙයකි, එය
කවරෙකු හෝ ප්‍රතික්ෂේප කලද හිතෙන් හරි රහසින් සිදුවන දෙයකි. ඇත්තටම මේ සම්බන්ධයට
සමාජය විසින් අසම්මත යැයි ලේබල් එකක් ගැසීම නිසාම මේක හුදෙක් කැත හොර මගුලක් බවට
පත්වේ, අවසානයේ අර කෙල්ල නිකංම නිකං ගොන් බඩුවක් වේ, අර කොල්ල පජාතයෙක් වේ, මේ
සම්බන්ධය හුදෙක්ම බඩු ගැසීමක් පමණක් වේ. එකී කොල්ල ඇත්තටම මේ වැරදි යැයි සමාජය
කියන නැත්තං අසම්මත වන කෙල්ලව හොයාගෙන යන්නේ ඇයි? එයා එක්ක සම්බන්දයක් ඇති කරගන්නේ
ඇයි? මෙයින් කොල්ල බලාපොරොත්තු වන්නේ ඇත්තටම මොකක්ද?
මේක එක පැත්තකින් හිතුවොත් නිකං, දෙයක්
සමාජය ඇතුලේ බෑන් වෙන්න වෙන්න (තහනම් වෙන්න වෙන්න) ඒකට අපේ හිත පෙළඹීම වැඩි වෙනව.
ඒක අපිට නිකංම අපේ හෘද සාක්ෂියෙන්ම ඔප්පු වෙන කාරණයකි. බ්ලු ෆිල්ම්ස් වැරදියි
කියන්න කියන්න අපි ඒව හොරෙන් කාමරේට වෙලා
බැලුවෙ නැද්ද? සෙක්ස් ගැන කවුරුත් අපිට කියල දෙන්නෙ නැති විට, ඉස්කෝලෙන් පාඩම මිස්
කරන විට ඒ ගැන අපි වැඩි වැඩියෙන් උනන්දු වුනේ නැද්ද? කසිප්පු තහනම් වෙන්න වෙන්න
කසිප්පු නිශ්පාදනය වැඩි වෙන්නෙ නැද්ද? කුඩු, කේජී, පෙති වගේ දැනට ලාංකාවේ තියෙන ප්‍රසිද්ධ
street drugs වුනත් ඔච්චරමය. ඇත්තටම මේ කාරණය සම්බන්ධයෙන් දකුණු ඇමෙරිකානු පොඩි
රටක් වන උරුගුවේ ලස්සන වැඩක් කලා. ඒගොල්ලෝ කැනබීස් (ගංජා) ඉස්සර තහනං කරල තිබ්බේ. මොකද
උනේ, රටේම ඉන්න හොර මගඩි බිස්නස් කාරයෝ ගංජා බිස්නස් එක අල්ලගත්ත. කොල්ලෝ කුරුට්ටෝ
ඔහේ ලාභ-හොයන්න ජරා කරපු (Spoiled) ගංජා පාවිච්චි කරන්න වුනා. වලි, මිනිමැරුම්,
කප්පං ගැනීම් වැනි අපරාධ වැඩි වුනා. උරුගුවේ වල එවකට ජනාධිපතිව හිටියේ ජෝස් මුලීකා
(Jose Mujika) නම් වූ පුද්ගලිකව මමත් ගොඩක් කැමති පුද්ගලයෙකි. එක දවසක් පොර කිව්ව
හැමෝටම අදින් පස්සේ ගංජා වල තහනම නැති කරනව සහ ඒ බිස්නස් එක රජයට පවරා ගන්නව සහ
කාටහරි ගංජා ඕන නං කිසිම අවුලක් නෑ කඩේකින් සල්ලි දීල සීනී බනිස් ගෙඩියක් ගන්නව
වගේ ගන්න පුලුවන් කියල (යම් කිසි කොන්දේසි සහිතව). මේ ප්‍රකාශයෙන් පසුව ගංජා කියන
දේ අතිශය සාමාන්‍ය දෙයක් වුනා. ටීනේජස්ල අනවශ්‍ය විදියට ගංජා කියන දේ ගැන හොයන්න
ගියේ නෑ. අවශ්‍ය අය ගත්ත ඕනෙ නැති අය නිකං හිටිය. නෙදර්ලන්තය ඇතුලු පෙරදිග යුරෝපා
රටවල් ද ඇමෙරිකාවේ සමහර ප්‍රන්ත ද මේ හා සමාන ප්‍රතිපත්ති අදටත් අනුගමනය කරන අතර
එයින් රටට වෙච්ච වාසියක් මිස අවාසියක් නැත. කොටින්ම නෙදර්ලන්තයේ හිර ගෙවල් කීපයක් ද
මේ ලගදී වසා තබා තිබෙන්නේ අපරාධකරුවන්ගේ හිගයක් පැවතීමෙන නිසාවෙනි.
ඉතිං අපේ කතාවට ආයෙත් හැරුනොත්, අර කලින්
කිව්ව විදියට අපේ කොල්ල කියන එකා එලෙස එකී සමාජයෙන් බඩුවක් කියල හංවඩු ගැහෙන සමාජ
විරෝධී කෙල්ලෙක් දිහාවට ඇදිල යන්නේ මම කලින් තහනම ගැන විස්තර කරපු හේතු නිසා
වෙන්නත් පුලුවන්. ඇත්තටම අපි බොක්කෙන්ම
හොයන සමහර දේවල් (සෙක්ස් ද ඇතුලුව) එකී අහිංසක, මරිය තුමිය මොඩ්ල් එකේ , සමාජයම
නිර්මාණය කරපු සම්මත ගෑණු ළමයාගේ නැති විට ඉබේටම අපේ හිත ඒව හොයාගෙන යන්න බලනව. ඒක
තමයි ස්වභාවය, ඇත්ත.
විය යුත්තේ කුමක්ද? එකක් අපේ මේ තවත්
කෙනෙක්ව ජජ් කිරීමේ කැත පුරුද්ද නවත්වා ගත යුතුය. පොතේ පිටකවරයෙන් කොහෙත්ම පොත ගැන
අපට තේරුම් ගත නොහැක. අනික තමා ගැහැණිය සම්බන්දයෙන් අපි දරන මානය සහමුලින්ම කනපිට
හැරිය යුතුව ඇත. ගැහැණිය යනු මනුස්සයෙකි. ඇත්තටම පිරිමියාට වඩා ගොඩක් විශේෂ දක්ශතා
ඇති විශේෂ මනුස්සයෙක් කිව්වොත් හරි. පිරිමියා මෙලොවට පැමිණෙන්නේද ගැහැණියෙක්ගෙනි.
ඇයට අමුතු තැනක් අමුතුවෙන් දීමට අවශ්‍ය නැත. ඇය පිරිමියා මෙන්ම මනුස්සයෙක් යැයි
හිතුවොත් හොදටම ප්‍රමාණවත්ය.
මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික විසදුමක් ගැන ලියන්නටනං
මේ ලිපිය තවදුරටත් දික් ගස්සන්න වෙන හෙයින් මෙතනින් ලිපිය නිම කරන්නට වෙනව. කමක්
නෑ, මට ඕන වුන දේවල් ලියවුනා කියා හිතෙනව.
සරලවම කියන්නට ඇත්තේ,
අපි කල යුත්තේ තවත් අම්මා කෙනෙකුවත්, හොර
බඩුවක්වත්, අහිංසක මරිය තුමියක්වත් යන කිසිම රෝල් මොඩ්ල් එකක් හති දාගෙන සෙවීම නොව
මුලින්ම අපි අපිව හොයාගෙන ඊට පස්සේ හිත සහමුලින්ම පිරිල යන සංතෘප්තතාවයන් හම්බෙන
පුද්ගලයෙකුට කිසිදු කොන්දේසියක් නොමැතිව ආදරය කිරීමයි.
- අර්ජුමාන්
No comments:
Post a Comment