ඉතිහාසය නැවත නැවතත් වෙමින් පවතිනු ඇත.
කවියාව මරාදමා යුධ සෙබලා ජය කෙහෙලි නංවනු ඇත. බාහුබලයෙන් සන්නද්ධ පාදඩ ගුරු කුලවල් රටවල් පාලනය කරනු ඇත. යෞවනය ගිනි තියනු ඇත. කාමය රජයනු ඇත.
කොන්දේසි විරහිත ප්රේමය, සහෝදරත්වය, දයාව, කරුණාව අප අතරම සැඟවී රහසේ හොල්මන් කලද පියවි ලෝකයේ සියල්ල නරුම ඒකාධිපති රත්තරං දෙවියෙකුට යටත් වී හමාරයි.
ඔවුන් ඉදිරියේ දණින් වැටී වේවැල් පාර කන්නට අපහස විඳින්නට සිරගත වන්නට මා කල එකම වරද මාගේ සහෝදරයාට කිසිඳු කොන්දේසියකින් තොරව ආදරය කිරීම නොවේද?
ඉතිහාසය නැවත නැවතත් වෙමින් පවතිනු ඇත.
ලෞකීක ආසාවන් විසින් ගැහැණියගේ තුවාල පාරවනු ඇත. එම ගැහැණිය ලෝගු වටා සිවුරු වටා රොක් වී පල්ලි පන්සල් ගොඩ නගනු ඇත. පිරිමින්ට තොල් සිපගැනීමට තහනම් නමුත් මිනිමරාගැනීමට අවසර මුඩු බිම් නිර්මාණය කරනු ඇත. එහි පිළිම තුල සිරවූ සර්වබලධාරී දෙවියන් පල්ලියේ මංගල්ල පොලේ වෙන්දේසි වනු ඇත.
සියල්ල කුඩු පට්ටං කරමින් මුහුදට ගලාගෙන යන රැල්ල මාගෙ වේදනා, මාගෙ අහිමිවීම්, මාගෙ ආසාවන් සියල්ල ඇතුලත් 'මම'ව මහා ජලාශයකට තල්ලු කරනු ඇත. 'මම' නැවත ජලාශයෙන් වාශ්ප වී වර්ශාවන් හරහා පොලොවටම පතිත වනු ඇත. මෙම කිසිදා නොනැවතෙන නිතර වෙනස් වන ජීව චක්රය මාව ශික්ශණය කරවයි. යටත් කොට පාලනය කරවයි.
මම දැන් තුවක්කුවක් එල්ලාගත් සොල්දාදුවෙක්.
විටෙක දකුණට විටෙක වමට ගී ගයන සොල්දාදුවෙක්.
මම දන්නේ ආදරය පමණි.
ආදරය ලැබුවේ දෙවියන්ගෙන් පමණි.
දෙවියන් හමුවූයේ මිතුරාගෙන් පමණි.
මාගෙ මිතුරා!
මාගෙ ගුරුවරයා!
- අර්ජුමාන්
