කොළඹින් එහා වත්තලෙන් පටන් ගන්න හලාවතෙන් ඉවර වෙන කතෝලික බෝඩර් එකේ ඉරිදට ඌරු මස් කෑල්ලක් හපල අරක්කු ෂොට් එකක් තාත්තා එක්කම වනාගෙන සීටීගේ නැත්තං ක්ලැරන්ස්ගේ බයිලා සිංදුවක් කියාගෙන හවසට පල්ලි ගිහිල්ල බොරුවට ස්වාමී කියන දේ අහන් ඉන්න ලංකාවේ බටහිරයන් හරියටම ලංකාවේ මේන්ස්ට්‍රීම් ප්‍රශ්ණ දන්නේ නැතැයි මට හිතෙන්නට ගත්තේ එදා සිද්ධ වුන කාලකන්නි සිද්ධියත් සමගමයි. ඒ බෝඩර් එකේ බහුතරය බීච් එකේ රා බීල, එතනම වලියකුත් දාගෙන, ඉර බහින්න කලින් වලියත් ඉවර කරගෙනම, එකට සිංදුත් කියාගෙන ගෙදර ඇවිල්ල හොදට නාලා පාන් කන ගමන් ටීවි එකෙන් එවකට උතුරේ වුන මහා දරුණු දෙමල සිංහල යුද්ධය නැරඹුවේ අමුතුම ත්‍රිල් එකකින් වෙන්න පුලුවන්. ඒ ත්‍රිල් එක, දුක හෝ ඕපදූපය ඇක්ෂන් මූවි එකක් ලයිව් බැලීමකට සමාන කරන්නත් බැරි කමක් නෑ. කොහොමහරි ලංකාවේ පැවතුන සහ පැවතුන ප්‍රශ්ණ වල පවතින ප්‍රථිපල ඒ බටහිර බෝඩර් එකට එච්චර ගැඹුරටම හිත් පතුලමට දැනුනේ නෑ කිව්වොත් හරි.
එදා මම සාමාන්‍ය පරිදි වැඩ ඉවර වෙලා මාතර නගරයේ මම නැවතී සිටින ගෙස්ට් හවුස් එකට ගියේ සැනසිල්ලේ තනියම කාමරේට වී ටිකක් විවේකීව සිටීමටයි. මද වේලාවකින් ගෙස්ට් හවුස් එක බලාගන්න මනුස්සයා මගේ කාඹරේ දොරට තට්ටු කර මාරම ඉල්ලීමක් කලේය. හැමදාම එන මහත්තයෙක් අද රෑ හදිසියේම එන වග දැනුම් දී ඇති අතර ඔහු මගෙන් ආයාචනය කරේ මගේ කාමරේ ඇති අනිත් බෙඩ් එක ඔහුට අද රෑට පමණක් ලබාදෙන ලෙසයි. ඒ වන විටත් ඔහු සමග ඉතා සුහද සම්බන්ධයක් හදාගෙන සිටි මට එක පාරම ඒ ඉල්ලීම අහක දැමීම අසීරු විය. අනික ඔහු මට මුලින්ම කාමරය ලබා දීමේදිම මෙහෙම අවස්ථා සිදුවිය හැකි බවක් පවසා තිබූ නිසා මම අසරණ විය. එන මහත්තයා ගොඩාක් දුර සිට පැමිණෙන බවත්, ඔහු දෙමල නිසා මාතර වෙනත් ගෙස්ට් හවුස් වලට යෑම අපහසු බවත් ඔහු පැවසූ සැනින්ම මගේ හිත නිකංම උණු විය.
රෑ 9.30ට පමණ පෙනුමෙන් කලු, ටයි එකක් ද දාගෙන හෙම්බත් වුන චරිතයක් කාමරයට ඇතුලු විය. ඉතාම සුහදව මම ඔහුව පිළිගත් අතර මම මගේ පාඩුවේ ලැප් එකත් දිගහැරගෙන මගේ වැඩක් කරගන්නට විය. ඔහුගේ නම විජේ වුන අතර ඔහු කතාවට සෙට් වෙන චරිතයකි. නමුත් ගොඩාක් කතා බහ කරගෙන එක පාරම මිනිස්සුත් එක්ක යාලු වීම මට අපහසු නිසා මම කතාවෙන් බැහැර වී කෙටි පිළිතුරු වලින් ෂේප් විය. ඔහු හොදින් නාගෙන කරගෙන ආහාරද ගෙන නිදා ගැනීමට සූදානම් වූයේ මගේ වැඩ නිම වූ පසු ලයිට් එකද ඕෆ් කරන මෙන් පැවසීමෙන්ය.
ඔය අතර ගෙස්ට් හවුස් එකේ තවත් එක පැත්තක කට්ටියක් හවස ඉදන්ම බොන්නට පටන් ගෙන තිබූ අතර රාත්‍රි 10 පසු වන විට කෑ කෝ ගහන සද්ද, තාලයක් නැති පරණ දුක්බර සිංදු වගේ නොයෙකුත් සද්ද වර්ග කාමරය ඇසෙමින් තිබුනි. එක පාරම මගේ කාමරයේ ජනේලේ ලගින් එකෙක් කෑ ගහන්න පටන් ගත්තේ මේ අලුතින් ආපු ආගන්තුක විජේටයි. ඔහුද නින්දෙන් ගැස්සී ඇහැරී නැගිට්ට අතර ජනේලයෙන් එහා පැත්තේ එකෙක් සරමත් ගැටගසමින්, එහෙට මෙහෙට වැනෙමින්, කුණු හරපෙන් විජේට බැන වදින්නට වූයේ විජේගේ කාර් එක ඔහුගේ කාර් එක ලග ගෑවෙන නොගෑවෙන ලෙස නැවැත්වීමයි. විජේද මමද අන්දුන් කුනුදුන් විය. ඒ චෝදනාව මෙලෝ අර්ථයක් නැති මහා අබූත චෝදනාවක් වූ අතර ගෙස්ට් හවුස් එකේ වත්ත හවස ඉදන්ම වාහන වලින්
පැක් වී පැවතුනි.
කෑ ගැහීම උත්සන්න වූයේ මේ තේරුමක් නැති චෝදනාවට සහ බීපු එකාගේ අනුවණ හැසිරීමට විජේට ගිය උපහාසාත්මක හිනාවකින්ය. ඒ සමගම යක්සයෙක් වූ බීපු චරිතය දොර කඩාගෙන ඇතුල් වන්නට විය. නොසිතූ ලෙස කඩාපාත් වුන මේ කලබගෑනිය මගේ හදවත් වේගය ඒ වන විටද වැඩි කර අවසන්ය. විජේට පහර දීම එකම අභිලාෂය වුන ඔහු දිගට හරහට අත පය දික් කරගෙන විජේ වෙත කඩා පනින්නට විය. ගෙස්ට් හවුස් එකම මහා යුදමය තත්වයකට පෙරලුනේ සියලුම මිනිසුන් එලියට බැසීමෙනි. බීපු මනුස්සයාගෙ මිතුරන්ද අවසිහියෙන් සිටි අතර ගෙස්ට් හවුස් එක බලා ගන්නා පුද්ගලයාද බීමත්ව සිටීම දැකීමෙන් මම දැඩි ලෙස කලකිරුණි.
පැයක් පමණ මෙම තත්වය පැවතුන අතර විජේ ඒ වන විටත් කාමරයෙන් එලියට පැන වත්තට වී සිටීම දැකීම මට මහ දුකක් විය. ඔහු සිටියේ දැඩි මහන්සියකින් බව හැමෝටම පැහැදිලි කාරණයක් විය. නමුත් ඔහු වෙනුවෙන් කතා කිරීමට සිටියේ ගෙස්ට් හවුස් එක බලාගන්නා වයසක චරිතයයි. ඔහුද බීමත් හෙයින් ඒ වන විටද ඔහු ගුටි කා අවසන්ය. ඇගින්ද කටින්ද දුර්වල මා හට එතනින් අයින්ට වී බලාගෙන සිටිනවා හැර කරන්නට කිසිවක් නොවීය. නැවතත් පැයකින් පසු හොරෙන්ම විජේ කාමරයට පැමිනුනු අතර කාමරයේ ලයිට් නිවා ඔහු භියෙන් සිටියේ වෙන කිසිම හේතුවක් නිසා නොව, ඔහු දෙමල නිසාවෙනි. හැඩි දැඩි සිරුරක් ද තිබූ ඔහු කෑගහන මනුස්සයා සමග වලියක් දා ගෙන ඔහුව බිම වැට්ටීම ඉතා ලෙසි බව ඕනැම කෙනෙකුට පැහැදිලි කාරණයක් විය. නමුත් මා ඔහුගෙන් දුටු ඒ හැගීම්, ඇත්තටම බීපු චරිතයට ඇති භිය නොව, එය සිංහලයන් ගොඩක් මැද ලංකාවේ දකුණේදි තනි වුන දෙමල මනුස්සයෙකු අත් විදින අසරණ බවයි.
එක පාර නැවතත් කඩාගෙන වැදුන සිංහලයා දොරට පයින් ගහගෙන කුණු හරප කියාගෙන මර ලතෝනි දෙන්නට වූයේ “දෙමල පකයා, ලොකු සීන් නොදා බැහැපන් එලියට” යනුවෙන් සදහන් කරමිනි. එතනින්ම ඔහුගේ කේන්තිය කුමක්දැයි, කේනිතියට ඇති හේතු, ඔහුගේ ජීවිතය, දෙමාපිය-සහෝදර-පෙම් සම්බන්ධතා යන සියල්ලම මට පැහැදිලි වන්නට විය. එසැනින්ම බෑග් එක ලෑස්ති කර ගත් විජේ ඉක්මනින්ම ඇදි වත පිටින්ම එලියට බැස යන්නට විය. බීපු චරිතයට සහ ඔහුගේ වටේ සිටි බොරුවට වලිය මැඩපැවැත්වූ යහලුවන්ටද ඒක මහා ජයග්‍රහණයක් විය. විජේ ගිය පසු සිංහල චරිතය මගේ කාමරය පැමිණ මට කිව්වේ මගේ නින්දට බාධා කරපු එකට සමාවෙන්න සහ දෙමල හුත්තලට ලොකු ලයින් දාන්න බැරි බවයි. ඔහුගේ අදහස වූයේ අහිංසක කාටවත් කරදරයක් නැති මාව දෙමලගෙන් බේර ගත් බවයි.
ඇත්තටම ඔහු විජේව බල්ලෙක් මෙන් පන්නා දැමීමෙන් ලැබූ ජයග්‍රහණය අපි රටක් විදියට සතුටු වෙන, කිරිබත් කන ජයග්‍රහණය වගේමයි. මට ඒක පැහැදිලි වූයේ ඔහු පැවසූ එක වාක්යකින්ය.
“අපි සිංහලේ හුත්තෝ”
මේ කුඩා සිද්ධිය යුද්දෙ ගැන මෙලෝ ප්‍රැක්ටිකල් අදහසක් නොතිබූ මට ගොඩාක් දේවල් පැහැදිලි කරන්නක් විය. ප්‍රභාරකරන්ගේ බිහි වීම, යුද්ධය ඇතිවීම, යුද්ධ කිරීම, දෙමල සිංහල මුස්ලිම් මැලේ සියල්ලගේම ඝාතන, යුද්ධය නිම කිරීම සහ අද සිංහලේ සහ බොදුබල සේනා ඇති වීම යන කාරණා සියල්ල ලින්ක් විය.
යුද්ධය කවදාවත් නොනවතිනු ඇත
අපේ හිත් හැදෙනතාක් කල්!
- අර්ජුමාන්