Sunday, 8 February 2026

බුද්ධිමතුන්ට රට භාරයි

ලංකාවේ නිදහස් අධ්‍යාපනය යනු රැකියාවක් අරමුණු කරගත්ත - නොමිලේ පිරිනැමෙන හුදු වෘත්තිමය පුහුණුවක් පමණක් බවත් - එහි කිසිම ආකාරයක නිදහස් චින්තනයක් හෝ නිවහල් දැක්මක් අඩංගු වී නොමැති බවත් - දැනට ආණ්ඩු පාලනයට පැමිණ සිටින සියලුම රාජ්‍ය විශ්ව විද්‍යාලීය උගතුන් සහ බුද්ධිමතුන් අපට ඔප්පු කරමින් සිටිනු ඇත.

ගමෙන් කැම්පස් එන ග්‍රාමීය තරුණ තරුණියන් කැම්පස් සීමාව ඇතුලත ශිෂ්‍යයන් ලෙස මහා වික්‍රම පාමින්, දුප්පත් පොහොසත් භේදය ගැන ඇඟ කිලිපොලා යන රැඩිකල් දේශනා පවත්වමින්, ධනේශ්වර රාජ්‍යය පාලනය පෙරලීමට සිසුන් සංවිධානය කරමින්, පාර පුරා උද්ඝෝශණ රැලි පවත්වමින්, ගැහැණුන්ට චීත්ත ගවුම් අන්දවමින් සාමුහික යැයි කියා ගත් ඊනියා ග්‍රාමීය සමාජවාදයක කිමිදුනද - අවසාන වසරට ලං වීමත් සමගම සහ උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව - ඔවුන්ගේ මේ සිංහ හම හොර රහසේම ගලවා දමා - සල්ලිකාර පවුලකින් කසාදයක් බැඳගෙන - කොළඹ පදිංචියට පැමිණ - දන්න දන්න ගජමිතුරු සමාගම් හරහා රජයේ ඉහළ පෙලේ රැකියාවක් හොයාගෙන - වාහන ලීස් කරගෙන - දරුවන්ව කොළඹ ජනප්‍රිය පාසල් වලට දක්කගෙන - අවසානයේ බුද්දහගම කර උඩ තියාගෙන ජනප්‍රිය පන්සල් වල ප්‍රධාන දායක මහත්තුරු බවට පරිවර්තනය වෙන හැටි අප දැක ඇත්තෙමු. 

 

අද මේ රාජ්‍ය මට්ටමින් වෙමින් පවතින්නේ එහි දිගුවක්ද?

 

පවතින ආණ්ඩුව ආවඩන්නට කැපවූ පාරිභෝජනවාදී / ජනප්‍රියවාදී අති බහුතර මහජනයා අද මේ ප්‍රශ්ණය අසන්නේ නැත. කන්න දෙනවනං අපට බොන්න දෙනවනං මොන කෙන් ගෙඩියද තව ඕනෑ කියන්නේ ගයමින් මහා ආත්මාර්ථකාමයකට බිලි වී ඇති එකී මහ ජනයා තමුන් සහ තමුන්ගේ යැයි කියාගත් ඉතා පටු කූඩාරමකට හිර වෙමින් සිටිනු පෙනේ.

 

අති බහුතර ආගමිකවාදී - ජාතිකවාදී මහජනයාව කුලප්පු නොකරවාගෙන ඔවුන්ට චූන් දෙමින්, සංදර්ශණ පවත්වමින්, කන්න බොන්න දෙමින්, චිත්‍රපටි හරහා විනෝදය සපයමින්, දළදාව හෝ මොකක්හරි ආගමික කෑල්ලකට වන්දනා පෝලිම් ගස්සවමින් මහ ජනයාගේ අවධානය එහෙට මෙහෙට යැවීමට ආණ්ඩුව දක්ශ වී ඇත.

 

නමුත් මෙවැනි ප්‍රෝඩාකාරී සිල්ලර පිළිවෙත් කවදා වෙනකං කරන්නද?

 

මොවුන් ප්‍රායෝගික වෙනවා යැයි කියමින් රටට්ටන්න උත්සහ කරන්නේ කාවද?

 

ඉහත කී රාජ්‍ය විශ්ව විද්‍යාලීය උගතුන්ගේ බුද්ධිය සහ එහි පසු කාලීන සමාජ භාවිතාව පැත්තකින් තිබ්බත් එකී උගත් විද්වතුන්ගේ පිට කොන්ද අපට කිරා මනින්ට කාලය දැන් එළඹ ඇත.

 

ඔවුන් කැම්පස් සීමාවේ හෝ රාජ්‍ය ව්‍යුහයන් තුල සේවයේ නිරතව සිටියදී දේශපාලනික වේදිකා වල උගුර කඩාගෙන කෑමොර දුන් ආකාරය සහ දැන් රාජ්‍ය පරිපාලනයේදී පෙන්වන ඉතා නිවට, ගැති සහ සුපරික්ෂාකාරී හැසිරීම හරහා අපට පෙනී යන්නේ කුමක්ද?

 

තම යටත්විජිතවාදි ස්වාමියාගෙ අණ පිළිපැදීමට පුරුදු පුහුණු වූ මොවුන් මේ ක්‍රමය තුල දැනුවත්ව හෝ නොදැනුවත්ව කොතරම් වහල් වී ඇත්ද?

 

විශේෂයෙන්ම ඉන්දියාවට සහ ඇමෙරිකාවට මේ දක්වන කොන්දේසි විරහිත දෙපිටකාට්ටු ගැතිභාවය දෘශ්ඨිවාදීමය තලයේදී අපට තව දුරටත් දරා ගත හැකි වේද?

 

නිදහස් අධ්‍යාපනය හරහා නිදහස් ජාතියක් බිහි කරනවා කීවාට මේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් බෞතීස්ම වූ සියලුම උගත් බුද්ධිමතුන්ට එවැනි නිදහස් නිවහල් චින්තනයක් හෝ නිවහල් ලෝක දැක්මක් නැත්තේ ඇයි?

 

එවැනි නොමිලේ ලැබෙන සුබසාධන අධ්‍යාපනයකින් මොළ සෝදා ගන්නා මේ මිනිසුන් පසුකාලීනව උග්‍ර ආගමිකවාදයකට, ජාතිවාදයකට, පවුල්වාදයකට එසේත් නැත්නම් උග්‍ර කල්ලිවාදයකට ගොදුරු වන්නේ ඇයි?  

 

දවසින් දවස රටට ගලාගෙන එන විවිධාකාර ව්‍යාපෘති සියල්ල කොහේ හරි රටක කවුරුන් හෝ විසින් සකසන ලද මේ පොළොවට කිසිසේත්ම ගැලපෙන්නේ නැති බොරු අටමගල නොවේද?

 

මේ වෙමින් තිබෙන්නේ ගෘහනිර්මාණ ශිල්පියාගේ තැනට මේසන් බාස් කෙනෙකු පැමිණ කරන විජ්ජුම්බරයක් නොවේද?

 

මේ වෙමින් තිබෙන්නේ අදහස් මංකොල්ලයක් නොවේද?

 

මෙවැනි වහල් ශ්‍රමික මනසකින් අනාගත ලෝකයට ඔබින නව නිර්මාණ බිහි කල හැකි වේද?

 

නිතර දහඩිය මහන්සියෙන් අකුරට වැඩ කරනවා යැයි පෙනෙන අද පාලනයට පැමිණ සිටින සියලුම කීකරු උගත් කම්කරුවන් මේ කරමින් සිටින්නේ නව පද්ධතියක් අලුතින් සැකසීමද නැතහොත් මෙතෙක් පැවති යුරෝපීය යටත් විජිතයෙන් අපට දායාද වූ යල් පැන ගිය අතීතකාමී මකුණු දැල් බැඳිච්ච පරණ යන්ත්‍රයක මලකඩ කැඩීමක්ද? 

 

මොවුන් අද වන තුරු දැනට පවතින එකී යල් පැන ගිය වික්ටෝරියානු - ඕල්කොට් - ධර්මපාලවාදී - යුරෝපවාදී - ඇමෙරිකානු ගැති අදහස් ගොන්නට අමතරව අලුතින් යමක් කර ඇත්ද?

 

ඇමෙරිකානු වට්සැප්, ෆේස්බුක් හෝ යූටියුබ් වල තලු මර මර සිටිනවා හැරෙන්නට මේ උගත් මහත්තුරුන් සතුව අපට හෝ අපගේ දරුවන්ට පෙන්වීමට නව ලෝකයක් තිබේද?

 

පිරිමි පාසල් සහ ගැහැණු පාසල් වල මෙතෙක් පැවති අඳුරු ලිංගික සංකීර්ණයන් අද මතුපිටට පැමිණ ඇත. ජනප්‍රිය පාසල් උන්මාදය මෙතනින් හෝ නිම වෙයි කියා අප සිතුවද - වී ඇත්තේ එහි විලෝමයයි. සියලුම පාසල් දරුවන් සහ ඊනියා ආත්මාර්ථකාමී දෙමව්පියන් අද ඔලුව හැරුන අතේ අයාලේ දුවමින් සිටිනු ඇත. සල්ලිකාර ටියුශන් ගුරුවරුන්, යූටියුබ් බක පණ්ඩිතයන්, ගමේ ගොඩේ මහදැනමුත්තන්, ඩයස්පෝරා විද්වතුන් ඇතුලු එකී මෙකී මහාප්‍රාණ පොරවල් රටේ අධ්‍යාපනික දිශානතිය තීරණය කරමින් ඇත.

 

මෙවැනි වාමාංශික යැයි කියාගත් උගතුන්ගෙන් අප බලාපොරොත්තු වූ බිම් මට්ටමේ ජනයා රැස් කිරීමක්, අධ්‍යාපනික දැනුවත් කිරීමේ වැඩපිළිවෙලවල් හෝ පොදු මහජනයාට සමීප කිසිවක් එදිනෙදා ජීවිතයේ අපට පෙනෙන්නට නැත. දේශපාලනික පලිගැනීම් සහ අගතිගාමී පංති ඊරිසියාවන් ප්‍රදර්ශණය කරනවා විනා යුක්තිය ඉටු කිරීම පෙරදැරි කරගත් කිසිඳු ප්‍රභල ඓතිහාසික නීතිමය පියවරවල් කිසිවක් ගෙන නැත. අප එදිනෙදා ජීවිතය වෙනස් වීමට බලපාන කිසිම රැඩිකල් ප්‍රතිපත්තියක් සම්මත කරවාගෙන නැත. දිට්වා සුලි කුණාටුවෙන් ආදරීණයන් වෙන් වී මහා දේපල හානියක් සිදු වීමත් සමගම තවත් අගාධයකට අපව ආපස්සට තල්ලු වූවා හැරෙන්නට සිදු වූ සමාජ පරිවර්ථනයක් නම් පෙනෙන්නට නැත.   

 

ලොව පුරා යල්පැන ගිය, බටහිර විසින්ම ප්‍රතික්ෂේප වී ඇති, නිව්ටෝනියානු දැක්මක සිර වූ භෞතිකවාදී හෝ ද්‍රව්‍යවාදී හණ මිටි අදහස් හැරෙන්නට - නූතන සහ අනාගතවාදී විද්‍යානුකූල භාවිතාවන් එකී රාජ්‍ය විශ්වවිද්‍යාලීය උගත් වියතුන්ගෙන් අපට පෙනෙන්නට නැත්තේ ඇයි?

 

විද්‍යාවට මල් පහන් පුදමින් විවිධාකාර වූ දේව අල්තාර හමුවේ දණින් වැටෙන මෙම බුද්ධිමතුන් බටහිර විද්‍යාව බයිබලයක් සේ කට පාඩං කරමින් මහා දවාලේ ටයි කෝට් දාගනිමින් මේ කරන දන්සැල් වන්දනාව අප තව දුරටත් බලා සිටිය යුතුද?  

 

නොමිලේ ලැබෙනවායි කීවාට ඒ සියලුම පාඨමාලා පැවැත්වීමට ගිය මුලු පිරිවැය දරාගන්නට හැමදාම සිදු වූයේ පොදු මහජනයාටයි. මෙසේ බදු බර කරට ගනිමින් විශ්ව විද්‍යාල වලට යැවූ සිසුන්ගෙන් බහුතරයක් අද වන විට බටහිර රටවල ඉතා සුඛෝපභෝගී ජීවිත ගත කරමින් ඒ ඒ රටවල පුරවැසිභාවය හිමිකරගෙන ඇති අතර ඔවුන්ගෙන් වෙන් වූ දේශප්‍රේමී යැයි කියාගත් උගත් ගජමිතුරු සමාගමක් අද රාජ්‍ය බලය හොබවමින් ඇත. ඉතා අවිධිමත් රැකියා කරමින්, එදිනෙදා පොඩි පොඩි බිස්නස් කරමින්, ඩීල් දමමින් අනාරක්ශිතව ජීවත් වන අති මහත් පොදු මහජනයා හැමදාම වාගේ සූදු අල්ලමින් සහ ලොතරැයි අදිමින් සිටිනු පෙනේ.

 

වික්ටෝරියානු සම්ප්‍රදායන් මත ගොඩ නැගුණු යටත්විජිවාදී ආකෘතියක සිර වූ මේ රාජ්‍ය විශ්වවිද්‍යාලීය යුරෝපීය ව්‍යුහයන් තුල නිශ්පාදනය වුනු ඔලු ගෙඩි වලින් අපට තවත් දෙයක් බලාපොරොත්තු විය හැකිද?

 

ශිෂ්‍ය නායකයින් බලය අත්පත් කරගත්තාට පසු උදාවන යුගය මෙයද? 

 

තත්වය ඉතා විනෝද සමයකි. පාර්ලිමේන්තුව දවසින් දවස විහිලු සපයන රඟ මඩලක් වෙමින් පවතී. විපක්ශයද හරිහරියට බෝල පාස් කර ගනිමින් කිසිම තේරුමක් නැති වාද විවාද ඇති කරගනිමින් තම තමුන්ගෙ බඩ වියත රකිමින් මැච් එකක් ගසනු පෙනේ. දක්ණාංශික විපක්ශයට හෝ ජාතිකවාදී විපක්ශ කඳවුරු වලට ආණ්ඩුවට විරුද්ධ වීමට අති ප්‍රභල කාරණාවක්ද නැත. මොකද ආණ්ඩුව කරමින් සිටිනුයේ ඔවුනට කරගත නොහැකිව සිටි සියල්ලයි. ආණ්ඩුව මෙලෙස තමුන්ගේ ඡන්ද ව්‍යාපාරයට ආයෝජනය කල විවිධාකාර පාර්ශවයන් සතුටු කරමින්, විපක්ශය නලවමින්, තම හිතාදර වෘත්තීය සමිති සහ වාමාංශික කඳවුරු මගහරිමින් අයිස් ක්‍රීම් වෙළෙන්දෙකු මෙන් මේ යන්නේ කොයිබටද?  

 

ඉතිහාසය පුරා සිදු වී ඇත්තේ බලය උදුරාගැනීමේ ක්‍රියාවලියක් පමණි. රාජ්‍ය බලය, යුද හමුදා බලය, මුදල් බලය, ප්‍රසිද්ධ බලය යනාදී විවිධාකාර වූ බල ඔටුනු හිස මත තිබ්බායින් පසු මිනිසුන්ගේ සිදුවන වෙනස් වීම හරිම පුදුමාකාරයි. විශේෂයෙන්ම උගත් යැයි කියාගත් මිනිසුන් බලයට තනතුරට ආසා වෙමින් මහා හීනමානයකට ගොදුරු වීම අප රටක් විදියට ලැජ්ජා සහගත විය යුතු නොවේද?

 

ඉගෙන ගන්න ඉගෙන ගන්න තව තව සරල නිහතමානී කුඩා මිනිසුන් වනවා යැයි අප අසා තිබුනද මේ උගතුන් යන්නේ ඊට ප්‍රතිවිරුද්ධ පාරේ නොවේද?

තමා උගත් හෝ තමා සියල්ල දන්නවා යැයි විවිධාකාර ක්‍රම වලින් ලොවට පෙන්වීමට ඇති උත්සහය විනා අති බහුතර රාජ්‍ය විශ්වවිද්‍යාලීය උගතුන්ට තම විශය පිළිබඳ ඇති අවංක උනන්දුවක් හෝ ආත්මීය ඇල්මක් කිසිවිටෙක අපට පෙනෙන්නට නැත. ඕනෑම විශයකට හිමි විශය මූලික විනය පටිපාටීන් හරහා සිදුවන මානසික විපර්යාසය මේ යටත්විජිතවාදී උගතුන්ගේ වී ඇත්තේ මහා ආත්ම වංචනික පාවාදීමක් හරහා නොවේද?

 

සැබෑ අධ්‍යාපනික භාවිතාවක ජීවත් වන අයෙකුගෙන් පෙනී යන ආත්මීය විනය හෝ හික්මීම යනු තව දුරටත් බලහත්කාරකමකින් හෝ යටත්කරගැනීමකින් භාහිර පාර්ශවයක් විසින් බලෙන් බල පවත්වන ලද ආරූඪයක් නොවන බවත් එවැනි ඓයින්ද්‍රීය ශික්ශණයක් යනු ඉතා රිද්මයානුකූල සහ ස්වභාවධර්මයට සමීප ගැඹුරු ආධ්‍යාත්මික කාරණාවක් බවත් අප මේ අධිකාරීවාදී අධ්‍යාපනික විනය රාමූන් හමුවේ තේරුම් ගත යුතුව ඇත.    

 

යටත්විජිතවාදී අධ්‍යාපනික ගර්භාශයක උපත ලද අද රාජ්‍ය බලය හොබවන මේ සියලුම උගත් වැදගත් නෝනා මහත්තුරුන්ව අප නිතර නිතර ලිට්මස් පරික්ශාවට ලක් කර යුතුව ඇත්තේ - ඔවුන් අපෙන් පරිබාහිර ජීවින් කොටසක් කරගනිමින් ඔවුන් වැටෙනකං බලාගෙන සිටීමට හෝ කකුලෙන් ඇදීමට නොව - ඔවුන්ද අපද ඔබද මම ද සිරවී සිටින මේ මහා අධිකාරීවාදී මානසික යාන්ත්‍රණයේ ඇති දිග පළල සහ ගැඹුර හරි හැටි නිර්ණය ගැනීමට සහ එයට නිවැරදි ඔබින විකල්පයන් යෝජනා කිරීමට පමණි.

 

එළි වෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලං බලාපොරොත්තුවෙන් සිටිමු.

 

මේ ගෙවෙන්නේ එළිදරව්වේ කාල පරිච්ඡේදයයි.


අර්ජුමාන්    

08.02.2026    

 

 

 

 

Thursday, 11 December 2025

“ආදරේ ආදරේ... අද අදිනවා ආදරේ”

 මුදලාලි... ලයිටරේ පොඩ්ඩක්...

බල්ලො මරලා හරි සල්ලි හොයන්න වෙනවා බං මේකත් එක්ක හැප්පෙන්නනං.

ඉතිං උඹට තිබ්බනේ ඒ ලෙවල් ඉවර වුන ගමන් බිස්නස් එකක් පටන් ගන්න. එහෙම පොඩියට පටන් ගත්තනං අද වෙද්දි උඹ සුපිරි තැනක නෙ. එක්කො තිබ්බෙ සුපිරි රටකට පැනගන්න. බලපං රට ඉන්න උන් හම්බ කරන හම්බ කිරිල්ල. උන් අද ඔය ආණ්ඩුත් මට්ටු කරන්නෙ. කොහෙද ඉතිං උඹට කැම්පස් යන්න ඕන වුනානෙ - ලබ්බෙ විද්‍යාවක් ඉගෙන ගන්න.

සිරාවට දැන් හිතෙනවා බං අපරාදේ අවුරුදු ගාණක් නාස්ති කරගත්තෙ කියලා. කැම්පස් ගිය දවසෙ ඉඳන් ඉගෙනගන්නවට වඩා වුනේ කඩේ යන්න වුන එකනෙ. මට කඩේ යන්න තේරෙන් නෑ බං. ෆස්ට් ක්ලාස් ගත්තත් අද ජොබ් එකක් නැතුව මං ගෙදර. අපෙ අයියා බලපං. ඌ පොතක් අතින් ඇල්ලුවෙ නෑ. විභාග ඔක්කොම ෆේල්. ඉගෙන ගන්න උගේ කිසිම උනන්දුවක් නෑ. ඉස්කෝලෙ ඉවර වුන ගමන් අපේ තාත්තාගේ කන්ටෑක් එකකින් පොරට සෙට් වුනා බැංකුවෙ රස්සාව. අපේ මහ ගෙදරත් ඌටනෙ. ඔක්කොම ඌට. ඌට හම්බුන් නැතත් ඌ උදුරුලා ගන්න එකානෙ. ඔය ඉන්නෙ සැපට. දන්න ගණිතයක් විද්‍යාවක් නෑ - ඕනෙත් නෑ අදාලත් නෑ. පල්ලියේ ෆාදර්ගෙ අහවල් එක හෝද හෝද ඉන්නවා. ඒත් බලපං අද වෙද්දි.... අම්මා තාත්තා ඉඳන් උගේ සල්ලි බලේටයි වාහනේටයි සරෙන්ඩර් නෙ.

වැඳපන් සල්ලි දෙයියන්ට. උඹ වඳින දෙයියන්ට ට්‍රැක්. ලෝකෙට ආදරය කරුණාව සහෝදරත්වය බෙදන්න යනවානෙ උඹ පල්ලි ගිහිල්ලා. පිස්සු නේ. ඒවා පල්ලියෙ නෑ බං. ඒවා නැති වෙලා ගොඩක් කල්. මැස්සා වහන්නෙ කුණු ගොඩට. බෝම්බ උස්සගෙන අල්තාරෙ ඉස්සරාට එනකං නල්ල මලේ භක්තිකයන්ටයි අල්තාරේ උඩ ඉන්න ලෝගුකාරයන්ටයි මෙලෝ ඉවක් නෑ - හැඟීමක් දැනීමක් නෑ. කොටින්ම ගහලා යනකං දන්නෑ. කුහකකං, ඊරිසියාව පුරෝගෙන පල්ලිය ඇතුලෙ සෙප්පඩ විජ්ජා දාන උන්ට මොන ඉවද බං. ඔය මල දානේ නවත්තපං. සල්ලි හම්බෙන ආගමකට පලයං. උඹ ගොඩ.

පුච්චනවා මේ උපාධි. අපරාදේ මේ රිසර්ච් එක පට්ට සීරියස් ගත්තනෙ බං මං. පුදුම කාලයක් නාස්ති කරගත්තෙ තීසීස් එකට. ෆස්ට් ක්ලාස් ගත්තා - ඔව්. ඒත් එක කොම්පැණියක් නෑ කියහං ඉගෙන ගත්ත දේට ගැලපෙන ජොබ් එකක් කරන්න. එක එක කුණු පෙරේතයන්ට පක්කිලි වැඩ කරන්නද බං මෙච්චර මහන්සි වුනේ. සල්ලි හම්බෙනවා කියලා කාර් දෙනවා කියලා යට ඇඳුම් හෝදන්න බෑනෙ බං. මේ ළඟදි සෙට් වුනා ජර්මන් ප්‍රොෆෙසර් කෙනෙක් - ඌ කියන්නෙ එහෙ ඇවිල්ලා ඌත් එක්ක සෙට් වෙලා උන්ගෙ රටට ගැලපෙන විදියට ආයේ කරන්නලු රිසර්ච් එක. තේරුමක් නෑනෙ බං. උන් බලන්නෙ අපිව සූරලා උන්ගෙ රටට වැඩක් කරගන්න. අපේ රටේ කුහක හැත්ත අනුන්ගේ හාල් කිර කිර ඉන්නවා මිසක් මෙහෙ උගත් කියපු උන් කවද්ද බං අලුත් දෙයක් කරේ. හැදුවත් හදන්නේ දර වලින් දුවන ලොරි නෙ. මාර නව නිර්මාණ. දර ෆුල් ලෝඩ් එකක් ගහන්න ඕනා ලොරිය දුවන්න - හදපු එකාට වැඩකුත් නෑ - රටට ලෝකෙට වැඩකුත් නෑ.

අලුතින් හිතන්න පුලුවන්ද බං මෙහෙ උගත්තුන්ට. කරත්ත දක්ක දක්ක ඉන්නවා මිසක්. බලපං අපේ ඉස්කෝලෙ. කීයෙන් කීයද කැම්පස් ගියේ කියහං. කීයෙන් කීයද කියපං ෆාදර්ලා හෝස්ටල් එකේ කරන දේවල් දැක දැක කටක් ඇරියෙ. එකෙක් නෑ. ගුටි කකා උන්ටම වඳින වහල්ලු තමා බහුතරය. එතනින් නිදහස් වෙලා අහසට ඉගිල්ලෙන්න එකෙක්ට හයියක් තිබ්බද කියපං. අදටත් මුන් - වයසට ගිහිල්ලත් - සුපිරියි කියන රටවල් වල පදිංචි වෙලත් - තාම ඉස්කෝලෙ කරේ තියං ඉන්න තරමට කොච්චර වහල් ද බලපං - කොච්චර වහල්ද. ජාතිවාදි හැතිකරේ හැදෙන් නෑ මකලවත් හදන්න බෑ - ඒ තරමට මේක අරටුවෙ ඉඳන් යටත් විජිතයක්.

“ආදරේ ආදරේ... අද අදිනවා ආදරේ..... මහත්තයා ගන්නවද... අද ආදරේ කෝටි පහයි. බඩු ශුවර්. ගන්න මහත්තයා - වරම ඔබ අතේ. ගත්තෙ නැත්තං වෙන කෙනෙක් ගනියි... උදේ නැගිටිද්දි රෑ නිදාගද්දි ළඟ තියාගන්න පුලුවන්... පාර්ටි එකකට මල ගේකට කැත නැතිව අරන් යන්න පුලුවන්... ආදරේ අද අදිනවා.... ෆාදර්ලා හාමුදුරුවො පොලීසිය හමුදාව ඕන එකෙක් පදිරි... ගන්න මහත්තයා කෝටි පහයි... අද අදිනවා”

උඹ තියරි කියෝ කියෝ හිටපං. අද බලපං පාර්ලිමේන්තුව. උන් තියරි කියෝ කියෝ හිටියනං අදටත් භීෂණේ. ඔය ඉන්නෙ සැපට. තියරි වලලලා දාලා හොයපං සැප. අයියා වගේ වෙයං. ප්‍රැක්ටිකල් වෙයං. තියරි වැඩක් නෑ. ගහපං ගේමක් ආයේ ලොවෙත් නැති වෙලා යන්න. ඉතුරු ටික භාර දීපං සර්ව බලධාරී දෙයියන්ට එච්චරයි. පුච්චලා දාපාං ඔය පොත් මල දාන ඔක්කොම ටික. රිසර්ච් අරවා මේවා මොනාටද බං. අනේ මන්දා මටනං තේරෙන්නෑ. ෆේස්බුක් තියෙනවා යූටියුබ් තියෙනවා චැට්ජීපීටි තියෙනවා - ඇති නෙ. ෆෝන් එක තියෙනවා - ඩයලොග් මොබිටෙල් ස්ටාර්ලින්ක් තියෙනවා - ඇති නෙ. හොදටම ඇති. ගහපං ගේමක්. මැච් එකක් ගහලා දිනපං එච්චරයි. උඹ පරද්දපං අයියව. ගනින් සුපිරි අපාර්ට්මන්ට් එකයි කැබ් එකයි. බලපංකො නැට්ට වනන වැනිල්ල ඕකුන්.

ඇත්ත. ජාතික ගීය ලියපු එකත් දිවි නසාගත්ත රටේ මොන රිසර්ච් ද බං. උඹ එක්ක කියෙව්වට මං මේවා එච්චර කියවන්න යන්නෑ. මේ ළඟදි අපිත් එක්ක කැම්පස් එකෙ හිටපු එකෙක් පාර්ලිමේන්තු ගියා නේ - මූ කියනවා මට අසනීපයක්ලු. ඉතිං කියවන්න යන් නෑ බං - ගොනා සහ තණකොළ සේ ඉන්නවා මිසක්. මේ එකට ඉන්න උන් ශුවර් නෑ - විවේචනයක් ගෙනාපු ගමන් පිස්සු කියලා අල්ලලා බෙහෙත් දෙන්න යනවා. තව ඇත්ත කථා කරොත් අල්ලලා හිර කරනවා ඉස්පිරිතාලේ. බෝතල් පත්තරකාරයෙක්ට වික්කත් තීසිස් එකයි ලියපු නෝට්ස් ටිකයි මහ ගාණක් හම්බෙන් නෑ. ඒක නිසා මං හිතුවා බාර් එක ළඟ කඩලකාරයට දීලා දාන්න. මොකෙක් හරි කියවයි නේ.

දීපං. කඩලකාරයා කඩල ඔත ඔත බාර් එකේ උන්ට බෙද බෙද දෙයි උඹේ සොයාගැනීම් ටික. ඔතන්ට එන කපටි වෙළෙන්දෙක් කවදාහරි උඹේ තීසිස් එකේ කෑලි බෑලි කියෝනවා. කියෝලා ඒකෙන් ඌට ගන්න ඕන දේ ඌ අරගෙන ඌ හදනවා තව ෆේස්බුක් එකක් චැට්ජීපිටි එකක්. එදාට උඹේ අයියා වගේ අසික්කිතයෙක් ඒ වගේ නරියෙක්ට කඹුරන්න පටන් ගන්නවා. රාජකාරිය දේවකාරිය කරගෙන ඒ වගේ උද්දච්ඡ අයියෙක් උඹ වගේ කරබාගෙන ඉන්න මල්ලි කෙනෙක්ව තලන්න පටන් ගන්නවා. මේක ඉවර වෙන්නෑ පුතා. ඒක හින්දා එච්චර පැටලෙන්න එපා. භයානකයි. හිටපං මෝඩයා වගේ. මේ ඉන්නෙ මං. ගොනා වගේ හිටපං. විශේෂයෙන්ම ඔය උගත් කියා ගන්න උන්ගෙන් පරිස්සං වෙලා හිටපං. දිගටම ලියපං. එක එක විදියට ලියපං. ලියපං ලියපං මරනකං ලියපං. ලියනවා හැරෙන්න උඹට වෙන විකල්පයක් නෑ. ලියලා කියපං මේක නිකං කථාවක් නෙ - මේක නිකං සිංදුවක්නෙ කියලා - මේක නිකං පොතක් නෙ - කියලා. උඹට හුස්ම වැටෙනකං පිස්සෙක් නොවී ජීවත් වෙන්න පුලුවන් - ලියපං.

අදට ඇති.

යමං!

අර්ජුමාන්
11.12.2025






Tuesday, 2 December 2025

"උගත් මැරයො දැන් දැන්...... අපේ පස්සෙන් පන්නං"

හිතේ කිසිම අවංක කමක් නැති, දයාවක් කරුණාවක් සහකම්පනයක් ගෑවිලා නැති, අම්ම තාත්තව ආම්බාං කරගෙන ගෙවල් ඇතුලෙ මිලේච්චකං ප්රදර්ශනය කරන, මමත්වයෙන් ඊරිසියාවෙන් පිච්චි පිච්චි ඉන්න නමුත් සෙන්ට් පව්ඩර් ගාගෙන මේකප් නාවගෙන කොණ්ඩෙ වැක්ස් කරපු හතර වටේ ණය වෙච්ච සෝබන මාකටින් පප්පල ටිකක් සංගීත භාණ්ඩ වාදනය කරන්න දැනගෙන, සිංදු ලියන්න කියන්න පටන් අරන්, රඟපාන්න අරගෙන ආටිස්ලා වෙලා - මල වදේ.
මේ ආටිස්ලා කියාගන්න උන්ගේ ජීවිත වලට, ගෙවල් ඇතුලට පවුල් කුඨුම්භ අස්සට එබිකම් කරාම අපට පේනවා මේ ආටිස්ලා ආර්ට් කරන විදිය. ඒකට උන්ගෙ ගෙවල් පිටිපස්සට යන්න ඕනා. කක්කුසිය චෙක් කරන්න ඕනා. ඉතිහාසයත් පොඩ්ඩක් හොයල බලන්න ඕනා. විශේෂයෙන්ම මේ සංගීත භාණ්ඩ වලට කොට කොට, සල්ලිකාර කොම්පැණි ඉස්සරා සංගීතය ගණිකා සේවනයේ යොදවන අයියලාගේ... ඒ වගේම ෆේස්බුක් ඉන්ස්ටග්රම් එකේ මහා කාඩ්බෝඩ් චරිත හදාගෙන ඉන්න සංගීතය හරහා වෙළඳාම් කරන මියුසීශියන් කියාගත්ත එවුන්ගේ... ස්ත්‍රීීීීත්වය (feminism) පොඩ්ඩක් විමසලා බලන්න ඕනා.
ඒගොල්ලො බැලූ බැල්මට සුපිරි පිරිමි - යුද්ධ වලට යවන්න පුලුවන්, සමූල ඝාතන කරවා ගන්න පුලුවන්, බර උස්සන්න පුලුවන්, ගෑණු ආරක්ශා කරන සුපිරි පිරිමි. ඒ පිරිමි සංගීතය වයද්දී ඉස්සරාට ඇවිල්ලා අප්පුඩි ගහන, ඒවට නටන, රෝස මල් දෙන එවැනිම පිරිමින් විසින් සකසපු බඩු භාණ්ඩ මෙන් වෙළඳ වටිනාකමක් තියෙන ආගමිකව හීලෑ වුනු ගැහැණු වර්ගයකුත් අපට දැකගන්න පුලුවන්. ඉතිං මේ දෘඩ පිරිමි ටික සිංදු කියනවා, ඒගොල්ලො ආර්ට් කරනවා. ඇයි ඒ?
එවැනි ඊනීයා පිරිමින්ගේ අභ්‍යන්තරයේ තියෙන ලොකුම අර්බුදය තමුන්ගේ පුරුශ ස්වරූපය ආරක්ශා කරගැනීම පමණක් වෙලා තියෙනවා - තමුන් කිසිම ආකාරයකින් නපුංසකයෙක් නොව සුපිරි චණ්ඩි පිරිමියෙක් යැයි ලොවට පෙන්වීමට උත්සහා දැරීම පමණක් වෙලා තියෙනවා - තමුන්ගේ සැඟවිච්ච සමලිංගික ආසාවන් වහං කරගැනීම පමණක් වෙලා තියෙනවා. ඒ තරමට ඒ පිරිමිකම වැල්ලෙ හදපු මාලිගාවක් වගේ - වෙර දරලා අල්ලගන්න ඕනා නැත්තං ටක්ගාල දියාරු වෙලා යනවා. එච්චර පිරිමියෙක් වෙන්න ඕනනං මොන ලබ්බටද මේ ගෑණු වැඩ කරන්නෙ? සිංදු කියන්නෙ, සංගීතය කරන්නෙ, නටන්නෙ ගයන්නෙ?
මේ කිසිවක් අප දන්නා ඊනියා යටත් විජිතවාදී පිරිමි පාසල් වලින් සකසපු සුපිරි පිරිමි මොඩලයේ අඩංගු වෙන්නෙ නැති කාරණා නේ. ඕවා ගෑණු වැඩ, මෙන්න පිරිමි වැඩ, පිරිමියෙක් වුනාම... ගෑණියෙක් වුනාම... මේ වගේ දේවල් හද්ද පරණ යටත් විජිතවාදී හණමිටි පිරිමි-ගෑණු පාසල් වල ඇහෙන කොච්චර පසුගාමී වදන් ද. එහෙනං ඇයි මේ සුපිරි පිරිමින් යැයි ලොවට පෙන්වන උදවිය සංගීතයක් හෝ කලාවක් තමුන්ගෙ ජීවිත වලට පටල ගන්නෙ? එතන තියෙන ලිංගික අර්බුදයෙන්ම දැනට ජනප්‍රිය තලයේ පවතින හෝ පැවති සියලුම කලා නිර්මාණ යැයි කිවූ "ප්‍රොපගැන්ඩා" වල තියෙන දේශපාලනික ගැඹුර අපට කියවාගන්න පුලුවන්.
ස්ත්‍රියට පුලුවන් තරම් තඩිබාන, යටත් විජිතවාදී නීති රීති අරන් එන, නංගිට අම්මට අක්කට ඇඳුම් අඳින විදිය ගැන මහා දේශණ පවත්වන, නිවැරදි ආදරය මෙයයි - වැරදි ආදරය මෙයයි, සම්මතය මෙයයි - අසම්මතය මෙයයි කියන පොලිස් නිළධාරීන් අද වන විට තුවක්කුව කලිසම අස්සෙ ගහගෙන සංගීත භාණ්ඩ අතට අරගෙන තියෙනවා.
වික්ටෝරියානු සදාචාරය ඔලුව උඩ තියාගත්ත ඉහත කී විකෘති පුරුශ සංකීර්ණයක හිර වෙලා ඉන්න යල්පැන ගිය පිරිමි සෙට් එකක් අද වන විට ඇඩ්වටයිසින්, මාකටින්, මියුසික්, ආර්ට්, ෆිල්ම් ඇතුලු ගොඩාක් ක්ශ්රේත්රයන් අල්ලාගෙන උදුරාගෙන බලෙන් පාලනය කරමින් ඉන්නවා. ඒ ක්ෂෙත්‍ර අද වන විට කිසිම මානුශීය ගුණාංගයක් නැති, සංස්කෘතික හෝ අධ්‍යාත්මික කියවීමක් නැති, අනාගතවාදී නැති හුදෙක් අශ්ලීල විනෝදයක් සපයන මහා අජපල් ජාතිවාදී, කල්ලිවාදී, ග්‍රාමීය තුවාල විකුණන අන්ත හිඟන බාල මට්ටමකට ඇදවැටිලා තියෙනවා. එවැනි හිඟන වෙළඳපොලක කිසිම විශ්වීය හෝ ජාත්‍යන්තර ආමන්ත්‍රණයක් අපට පෙනෙන්නනට ඇහෙන්නට නැත. ඇත්තේ දන්න දන්න වුන්ගේ පිටවල් කසාගැනීමක් සහ පාලු ගෙවල් වල වලං බිඳීමක් පමණි. හැමදාම දකින නලු නිලියො දැකලා අප්පිරිය වෙලා. හැමදාම එහෙට මෙහෙට කඩේ යන ඩිරෙක්ටර් ලා එකම වට්ටෝරුවේ ෆිල්ම් හදනවා - එකම චරිත, එකම ප්‍රශ්ණ, එකම දෙබස් - අප්පිරියයි. ඒවා ඒ ඒ දායක සභා වල ඒ ඒ පංති වල උන් නරඹමින් හුරේ දමමින්, උන් උන් සම්මාන පාස් කරගනිමින් මොකද්දෝ මන්දා එකක් වහගන්න ලොකු උත්සහායක යෙදෙනවා පේනවා.
බාහු බලයෙන් තීරණ ගන්න, පොඩ්ඩ ඇත්නං කේන්ති යන, සරම උස්සගෙන අම්මට බනින, බඩු පොලේ ගහන මෙවැනි වහල් පිරිමින් සංගීතය යොදවා ගන්නේ ස්ත්‍රීත්වය නැතිනම් ස්ත්‍රීයව ආගමික නාස් ලණුවෙන් කරත්තයට හිර කරවීමට පමණි. ඒ කාරණාව හැරෙන්නට එවැනි පිරිමින්ට සංගීතයට පැටලෙන්නට කිසිම වෙන උවමනාවක් නැත. සරලව, යටත් විජිතවාදී ආගමික පූජකවරු දෙවියන්ගේ අල්තාරෙ ඉස්සරා ස්ත්රීයගේ ස්වභාවික කාමාශාව සහ ගැඹුරු ලිංගිකත්වය පාලනය කිරීමට සංගීතය යොදවාගත්තා සේම මේ විවිධාකාර කඳවුරු නියෝජනය කරන කලු පූජකවරු පිරිමි ශරීර ඇතුලට රිංගා ගනිමින් ස්ත්‍රීත්වය හෝ ස්ත්‍රීයව මෙල්ල කරමින් ඇත.
මේ ගඳ ගහන පිරිමින් සංගීතය හරහා තම සමලිංගික සංකීර්ණයන් වහං කර ගනිමින්, එම නිසාම අධික ලෙස ප්‍රචණ්ඩ වෙමින් මුලු මහත් සමාජයක් සීසිකඩ යවමින් විකෘති කරවමින් සමාජය අධ්‍යාත්මිකව කෙලෙසමින් විවිධාකාර පිළිකාවන් බෝ කරනු පෙනේ. සංගීතයේ ඇති දිව්‍යමය ස්වභාවය හඳුනාගැනීමට නොහැකි - සියල්ල භෞතිකව විග්‍රහ කරන්න උත්සහා කරන - සියල්ල විකුණුම් භාණ්ඩයක් කරන්න උත්සහා කරන සංගීතය අතට ගත්ත මේ යල්පැන ගිය කලු පූජකවරුන් අපි නොදැනුවත්ව කරමින් සිටිනුයේ පවතින ඊනියා ජනහිතවාදී, මානවවාදී, සමාජවාදි යැයි කිවූ රෑ දැනියෙල් දවල් මිගෙල් පාලකයාව පෝෂණය කිරීමක් පමණි.
රටක ඇසෙන ශබ්ද, සංගීත රටාවන් හරහා රටේ පාලන ව්‍යුහය දේශපාලනිකව කියවා ගන්නට අපට පුලුවනි. එසේනම් ඉහත විග්‍රහ වූ ඊනියා සංගීතකාරයෝ සෙට් එක මේ පවතින පාලන ව්‍යුහයට කත් අදින්නන් වී ඇත. පාලකයා ගෙන යන බොරුව මේ බොරු සංගීතකාරයො සහ බොරු කලාකාරයෝ විසින් බොරු සංඛ්‍යාත යොදා ගනිමින් සමාජ දේහය පුරා පතුරවමින් සිටිනු ඇත. ඔවුන් එකී වංචනික දේශපාලූවන් සමග හරි හරියට ඩීල් දමාගනිමින්, කැට ගසමින්, සූදු දමමින් තම බඩ පුරවාගැනීමේ ගේම් එකට ඇතුලු වී ඇත.
"මෙච්චර ආදරයක්
වේවැල අතේ තියං
කීකරු වෙන්න කියයි
ප්රශ්ණ අහන්නෙ නැතිව
ඒ කාලේ පෙම්වතුන්
අද වෙද්දි පොලීසියෙන්
ඔක්කොම ගජ මිතුරන්
මස් කෑල්ල වට කරපං
ඒ්ගොල්ලො දන්නවලු
අපි දන්නේ නෑලු
දන්සැල් බුද්ධිමතුන්
අපි අවජාතකයන්
පොත පත අතට අරන්
වෙඩි මුර පත්තු කරන්
උගත් මැරයො දැන් දැන්
අපේ පස්සෙන් පන්නං"
- අර්ජුමාන්
02.12.2025

Monday, 8 September 2025

"ඇයි මේ යුද්ධ කරන්නෙ… සාමය වෙනුවෙන් යුද්ධ කරන්නෙ"

මේ ලව් කරන වයසක්ද? වයසෙ හැටියටද වැඩ? මුලින්ම ඉගෙනගෙන ඉන්න. දැන් ඕවා අමතක කරල විභාගෙට පාඩං කරන්න. විභාගෙ ෆේල් වුනොත් ඔය කවුරුත් නෑ. 

විභාගෙ පාස් වුනොත් ඔය ඕන කෙනෙක් ලං වෙනවා. මේ කාලෙ ආදරය කරන්න තියාගන්න එපා. උඹ තාම පොඩි එකා. පොඩි එකා පොඩි එකා විදියට ඉන්න. 

ඔය වයසට මෝඩකමට ඕවා කරාට පස්සෙ තේරෙයි මොන තරං මෝඩකමක් ද කර ගත්තෙ කියලා. ඔය සම්බන්ධෙ සහමුලින් නවත්තලා දාන්න ඕනා. හිතෙන් අයින් කරලා දාන්න. ඔයාව දැලේ දාගෙන ඉන්නෙ. ඔයා රැවටිලා. 

ඔහොම ලස්සනට අඳින්න එපා. කැත වෙන්න. විනීතව අඳින්න. ගොඩක් හිනාවෙන්නත් එපා. සීරියස් ඉන්න. උගත් පාටට අඳින්න. ඔයා බුද්ධිමත් ළමෙක්. ඇයි ඔහොම මෝඩයෙක් වගේ ඉන්නෙ. 

ඔය බහුභූත ලියන එක නවත්තන්න. මොනාද මේ සිංදු ලියාගෙන චිත්‍ර පාට කරගෙන නිසදැස් මේසේ පුරා. ඕවා කරල කාටද බං හරි ගියේ. දැන් ඉන්ටවිව් එකකට ගිහින් කියන්න මම ආදරයෙන් මුසපත් වෙලා සිංදු ලිව්වා කියලා. හම්බෙයි ජොබ්. 

ජීවිතෙ ජයගන්න පුලුවන් කැප කිරීමෙන් විතරයි. ඔහොම බොළඳ වෙලා විනාසයකට යන්න එපා. බලන්න ජේසු අපේ පව් වෙනුවෙන් කුරුසෙ කර තියං ගියේ. ඒ වගේ ඔයත් ඔය ඔක්කොම අයින් කරලා අද ඉඳන් අධිශ්ඨාන කරගන්න විභාගෙ පාස් වෙලා කැම්පස් ගිහිල්ලා උපාධියක් අරගෙන හොද ජොබ් එකක් කරනවා කියලා. 

මුහුදෙ ඉන්නෙ එක මාලුවද. ඔයා කැම්පස් ගියාම බලන්නකො මාලුවො හම්බෙයි ඕන තරං. හොඳ පඩියක් හම්බෙද්දි මාලුවො දුසිං ගනන් එන්නෙ. අනික ඔයා එක්ක බැලුවම එයා කවුද. හැටි බලන්නකො. ඔයාගෙ ලඟින්වත් තියන්න පුලුවන්ද. හොද කාර් එකක් ගන්න පුලුවන් සමාජයේ පිළිගන්න ජොබ් එකක් හම්බුන ගමන් ඔයාට නිදහසේ ආදරය කරන්න පුලුවන්. 

මම හිතාගත්තා හරි මම විභාගෙ කරලා උපාධිය අරගෙන හොඳ සුපිරි ජොබ් එකක් කරලා ඊට පස්සෙ ඔය ඔක්කොටම පේන්න ආදරය කරලා පෙන්නනවා කියලා. මම සීරියස් වුනා. 

ඔව් ඇත්ත නේන්නං. ආදරය කියන්නේ මේ මොලේ රසායනික තත්වයක් නෙ. මේ කියලා තියෙන්නෙ පොතේ. ආ ඒකයි මට එහෙම ආදරණීය හැඟීම් ඇවිල්ලා තියෙන්නේ. කවුද දන්නෙ. ඒ කාලෙ මේවා දැනන් හිටියා ඈ. 

ජීව විද්‍යාවට අනුව රසායනික විද්‍යාවට අනුව සහ ගණිතය භෞතික විද්‍යාව ව්‍යාපාර කළමනාකරණය මේ හැමදෙයින්ම කියන්නේ මගෙ භෞතික තත්වයක් නිසා ආදරය වගේ හැඟීමක් පහල වුනා කියලා. ඒක නිකං මායාවක් විතරනෙ. ඒවාට රැවටෙන්නෙ නැතිව භෞතික ලෝකයත් එක්ක හැප්පෙන්නයි ඕනා. 

ඉතිං මම හොඳට ඉගෙන ගත්තා. හැම විශයෙම විභාගෙට එන කරුණු හොඳින් කට පාඩං කරගත්තා. ඇස් වහගෙන උත්තර ලියන්න පුලුවන් විදියට පොත් බලලා බලලා විභාගෙට ලෑස්ති වුනා. දැන් මම ගොඩක් කාර්යබහුලයි. 

ආදරය තියා විභාගෙට එන දේ හැර වෙන මුකුත්ම හිතන්න මට වෙලාවක් නෑ. මම වගේම විභාගෙට ඉගෙන ගන්න තව අය හම්බුනා. ඒගොල්ලො එක්ක කරට කර සටන් වැදුනා. ඒ ඔක්කොම පරද්දලා මම විභාගෙ උඩින්ම පාස් වුනා. 

දැන් හැමෝම කැමතියි. හැමෝම ආදරෙයි. තෑගි බෝග ගෙදර පිරිලා. මල්මාල දාන්න පෝලිමට ඇවිල්ලා. ගෙදර හැමවෙලේම සෙනග. මම තමා හැමෝගෙම මාතෘකාව. 

ඒ කවුරුත් විභාග පාස් වෙලා තිබ්බෙ නෑ. ඒ හැමෝම ඉගෙන ගන්න කාලෙ ලව් කරලා. ඒගොල්ලන්ට බැරි වුන දේ මම කරාට ඒගොල්ලො හරි සතුටුයි. 

එදා රෑ හැමෝම මට සුභ පතලා ඒ ඒ ආදරය කරපු අය එක්ක ඒගොල්ලො ගෙවල් වලට ගියා. මම පොත් මේසේ ආයෙ තනි වුනා. තාම ඉවර නෑ. දැන් උපාධියට ලෑස්ති වෙන්න ඕනා. උපාධිය ගත්තෙ නැත්තං මේ ආපු අමාරු ගමනෙන් වැඩක් නෑ. ඒක නිසා මහා පාලුවක් දැනුනත් ආයෙත් පාඩං කරන්න ගත්තා.

ඒ වෙද්දිත් මම ඉස්සර ලියපු නිසදැස් පුච්චලා. මගෙ ඩයරියේ එයාව කවදාහරි හම්බුනොත් කියලා පරිස්සමෙන් තියාගත්ත මලක් තිබ්බා. ඒක බලලා මටම මං ගැන ලැජ්ජාවක් ආවා. ඇත්තටම මොන බොළඳ වැඩද මේවා. දැන් තමා මට තේරෙන්නෙ. මම ඒ මල චප්ප කරලා කුණු ගොඩට විසි කරා. ඩයරියේ ඒ කාලෙ ලියපු දේවලුත් ඉරල පුච්චලා දැම්මා. ආදරය කරපු මෝඩ නූගත් ගොඩයෙක් වෙන්න ඕනෙද මම. එහෙම හිතලා මම උපාධියට පාඩං කරන්න ගත්තා. 

එහෙම පාඩං කරලා විභාග ගොඩ යද්දි ගොඩක් අය මට ලං වුනා. ඒ හැමෝගෙන්ම මට ඕන වුනේ ඊළග පඩියට පැනගන්න. මොකද ඔය එකෙක්වත් දන්නෑ මගේ පරමාර්ථ. ආදරෙයි කිව්වම ගොඩක් දේවල් කරගන්න ලේසියි. ඉතිං මම කීප දෙනෙක්ට ආදරෙයි කිව්වා. 

ඒත් ඒ එකෙක්වත් මගෙ මට්ටමට නෑ. මොකද මම යන්නේ ඉහලම තැනට. ඉහලම තැනට ගිහින් මට ඕනා නිදහසේ ආදරය කරන්න කියල උන් දන්නෙ නෑ. ඒ කාටවත් එතනට යන්න ඕන කමක් තිබ්බෙ නෑ. මට ඇති වුනාම ඒ හැමෝවම මම හලලා දැම්මා. 

මම යන්නෙ මගෙ ගමන. මේ ගමන නවත්තන්න සක්කරයටවත් බෑ. විභාගෙ හදපු එකාටත් වඩා හොදට මම විභාගෙ අධ්‍යනය කරන්න ගත්තා. එහෙම ගිහින් උපාධිය ඉහලින්ම පාස් වුනා. දැන් මට ගමෙන් විතරක් නෙමේ නගරෙනුත් පිළිගැනීම. 

කලින් වගේම අර පොඩි කාලෙම ආදරය කරලා විභාග ඇනගත්ත මෝඩ නූගතුන් ආවා මට සුභ පතන්න. ඒගොල්ලො මාව වීරයෙක් වගේ උඩ දැම්මා. මම ඒගොල්ලන්ගෙ නායකයලු. මම ඒගොල්ලන්ට උපදෙස් දුන්නා. ජීවිතෙ ජයගන්න විදිය ගැන කියල දුන්නා. උන්ට දැන් ළමයි හම්බෙලා. උපදෙස් දෙද්දි අහන් ඉන්නවත් බෑ ළමයි දඟලනවා. මට නං ළමෙක් හදනවා තියා හිතන්නවත් බෑ. මොන තරං පව් වැඩක්ද මේ ළමයි හදනවා කියන්නෙ.

කොටින්ම ඕවා ඉතිං විභාග ෆේල් වුන ආදරයට මෝඩකමට ලොල් වුන ගොඩේ බයියන්ගේ වැඩනෙ. උන් ඉතිං මම කිව්ව සංකීර්ණ දේවල් අහන් ඉඳලා ඒ ඒ ආදරය කරපු අය එක්ක ළමයි එක්ක ඒ ඒ අයගෙ ගෙවල් වලට ගිහින් තුරුල් වෙලා නිදා ගනිද්දි මම ආයෙත් පොත් මේසේ තනි වුනා. ඒ වෙද්දි මම ලියපු ඔක්කොම කවි පුච්චලා ඉවරයි. ඉස්සර මම මෝඩයා කාලෙ කරපු ගොන්කං මතක් වෙන්න තියං හිටපු ෆොටෝ අරවා මේවා ඔක්කොම පුච්චලා දැම්මා. දැන් මම උගතෙක් කියල දැනෙන්න ගත්තා. 

මට හම්බුනා සුපිරි ජොබ් එකක්. ගමේ උන් පදිරි. දැන් පේනවා ඇති මුන්ට. මුන්ගෙ ඇස් වලට කටු අනිනවා වගේ මම කාර් එකෙන් ටයි දාලා වැඩට යද්දි. මම පේන්නම වගේ ගමේ අර මෝඩයො ඉස්සරා ඉංග්‍රීසියෙන් කතා කරන්න පටන් ගත්තා. ඉංග්‍රීසි කතා කරද්දි උන් කොර. උන් කතා කරන ඉංග්‍රීසි ඇහෙද්දි මට අප්පිරියයි. උන් දන්නෙ ඇත්තටම මෝඩ හරක් වගේ ආදරය කර කර ඉන්න. අතේ සතේ නෑ. අතේ සල්ලි නැතුව මොන ආදරද. මුලින්ම සල්ලි හොයන්න ඕනා. සුපිරි ගෙයක් ඕනා. කාර් එකක් ඕනා. ඊට පස්සෙ බැරියැ ආදරය කරන්න ඕන තරං. 

දැන් මට ඒ කිව්ව ඔක්කොම තියෙනවා. උපාධිය, පිළිගැනීම, හොඳ පඩිය, ඉංග්‍රීසි, සුපිරි සැලුන් වලින් හදාගත්ත ඇස් කඩාගෙන යන ලස්සන, ජිම් ගිහින් හැදුන සුද්දෙක් වගේ ශරීරය… දැන් පුලුවන් මට ආදරය කරන්න. 

ඉස්සර ගමේ රස්තියාදු ගහද්දි හම්බුන ඒ ආදරය මට මතක් වුනා. ඒත් මට දැන් එතනට යන්න තියා ඒ දිහා බලන්නත් ලැජ්ජයි. මම කොහෙද ඉන්නෙ. එයා කොහෙද ඉන්නෙ. ඒත් මම මේ ගමන ආවේ එයා වෙනුවෙන්. අපේ ආදරය වෙනුවෙන්. අද මේ ඔටුන්න දාගෙන ඇයි මේ පාලු මන්දිරයක තනි වෙලා. 

ඔව් මගෙ මෙන්ටර් කිව්වා හරි. මගෙ ඩොක්ටර් කිව්වා හරි. ඕවා හිතන්න නෙමේ ඕනා. මම මං ගැන හිතන්නයි ඕනා. මම යනවා තව ඉහලට. එතකොට මට හම්බෙයි මම හොයන සැබෑම නිදහස. 

මම යනවා ලෝකෙ තියෙන සුපිරිම රටට. ගිහින් එහෙ පුරවැසියෙක් වෙනවා. මේ ගොඩේ මඩ පොකුණ මට හරි යන්නෑ. මට දැන් ආපසු හැරෙන්න බෑ. මේ ඇඟේ එල්ලලා තියෙන දැනුම කිව්ව තුවක්කු බෝම්බ අරගෙන මම යුද්ධෙට යන්නයි ඕනා. මම කවදාහරි යුද්ධ කරලා, නගර විනාස කරලා, ලේ වගුරලා හරි හදනවා ආදරයේ ලෝකයක්. නිදහසේ ආදරය කරන්න පුලුවන් මගෙම ලෝකයක් හදනවා. 

ජයගන්න නං දුවන්න ඕනා. මේක තරඟයක්. උත්සහා කරොත් දිනන්න පුලුවන්. දිනන්න දිනන්න මට හම්බෙනවා අලුත් අලුත් රසිකයෝ. දිනුම් කණුවෙන් දිනුම් කණුව අර ගමේ හිටපු මගේ මෝඩ බොළඳ ආදරයෙන් ඈත් වුනත් මට තව තව ඔටුනු හම්බෙනවා. 

දිනුම් කණුව ළඟට එන්න අර පොඩි කාලෙම ලව් කරපු බයියන්ට එන්න බැරි වුනත් මට හම්බෙනවා මම වගේම ගමෙන් නගරයට ආපු තරඟකාරයෝ. ඒගොල්ලො එක්ක ඉද්දි මට මං ගැන ආඩම්බරයක් එනවා. ඒකෙන් මම තව අහංකාර වෙනවා. අහංකාර වුනාම ලස්සන වෙනවා. තව තව මට ආකර්ශනය හිමි වෙනවා. මට තව මදි. ආදරය හම්බෙනකං මම මේ රේස් එකේ දුවනවා. 

දැනුම් සම්භාරයක් මැද පාලු මන්දිරයක තනි වුන මම පරණ සේප්පුවෙ තිබිල හම්බවුන අවසාන පෙම් හසුනත් පුච්චලා දැම්මා. දැන් මම කෙලින්ම දෙවියන්ට අහියෝග කරන්න ලෑස්තියි. ස්වභාවික ලෝකය කෙලෙසන්න ලෑස්තියි. 

පොඩි කාලෙ ඇති වුන වල් ආදරය සත්ව ආදරය ස්වභාවික දෙයක් නං ඒක කෙලෙසලා පාලනය කරලා මට ඕන විදියට හදාගන්න මම දැන් පුහුණු වෙලා ඉවරයි. බොරු හිතක් පපුවක් මම දැන් ගාණකට ගන් නෑ. මට පුලුවන් දැන් අවශ්‍ය නං රටවල් පිටින් අමු අමුවේ සුන්නද්දූලි කරලා දාන්න තාක්ෂණයක් හදන්න. ඒ මැශින් හදන්න මම පුහුණු වෙලා. 

මම දැන් ගොඩක් බුද්ධිමත්. ඉස්කෝල දහම් පාසල් වලට ගිහින් මම දැන් ළමයින්ට කියලා දෙනවා ශිෂ්ඨසම්පන්න වෙන හැටි. හික්මීම ගැන මහා දේශණ තියලා පොත් පත් සම්මාන ගොඩාක් පිරුණු මගේ පාලු මන්දිරයට ඇවිල්ලා ඉස්සර මගේ වල් ආදරය ගැන මතක් කරලා රහසින් ස්වයං වින්දනයේ යෙදෙනවා. ආයෙත් දවල්ට එහෙම වල් කෙල්ලන්ව කොල්ලන්ව විනයානුකූල කරන්න කටයුතු කරනවා.  

ලෝකෙ පුරා තියෙන අධිකව ලාභය උපයන කොම්පැනි වලට රටවල් වලට සංවිධාන වලට අවංකව වැඩ කරන්න මම ලෑස්තියි. මගෙ මුලු ආත්මයම එහෙම සංවිධාන වලට දෙන්න මට පුලුවන් වෙලා. මං වගේම පොඩි කාලෙ ආදරය කරන වල් සත්තුන්ව මරලා පුච්චලා දාන්න මට පුලුවන්. මාව මරාගත්ත එකේ මට වෙන උන්ව මරන මහා දෙයක්ද. මොකද මම දැන් උගත් නිසා. 

"ඇයි මේ යුද්ධ කරන්නෙ… සාමය වෙනුවෙන් යුද්ධ කරන්නෙ"

- අර්ජුමාන්

07.09.2025

Wednesday, 21 May 2025

Puruki - Arjumann

Puruki is a requiem for a love that dared to exist before the world was ready to understand it.

 This is a story of two children who discovered love in its rawest, most sacred form before language could limit it, before culture could censor it, before morality could twist it. A brother and a sister, growing up side by side, wrapped in the innocent wonder of each other’s presence, in a bond that had no names, no conditions, and no maps to follow. It was just felt. And in that feeling, there was truth. But the world does not like truth unless it fits its mold. 

And when that love began to bloom beyond childhood—when their hearts began to ask questions that had no sanctioned answers—the so-called adults arrived. With rules. With shame. With walls. They pulled them apart. Called it forbidden. Grounded it. Pathologized it. They couldn’t see the divine nature of a love born in innocence. They only saw the threat it posed to a predefined, rigid framework—of bloodlines, of gender roles, of marriage, of power. 

This isn’t just their story. 

This is the universal story of how the world fails to honour the sanctity of childhood love. 

Across cultures, religions, and communities, there exists a brutal pattern: we teach children to love purely, then punish them for doing so. We demand honesty, then humiliate it. We let them form bonds free of judgment, only to sever those bonds the moment they challenge adult constructs. The transition from childhood to adulthood becomes a trauma, not a growth—because it is laced with forced forgetting, with unlearning what was once natural.

The love between these two children was never meant to be sexualized, moralized, or politicized. It simply was. But as they grew older, they were forced into battles they never chose: identity crises, internalized guilt, sexual vulnerability, the burden of proving that their love was not perverse but pure. They spent years wearing masks—performing normality—while bleeding inside. Society failed to see their silent war. 

And it still does. 

This song is a cry against that failure. 

It is a rebellion against the sanitized, heteronormative, family-centered mythology of love. 

It is a prayer for every soul who’s ever had to grieve a love that had no language. 

It is for the invisible children inside grown bodies, who still remember what love really felt like before it became a product, a possession, a prison.

#arjumann

 


Sunday, 17 November 2024

පාර්ලිමේන්තු මැතිවරණයට පෙර

 අද නොවැම්බර් 13. රෝහණ විජේවීරගේ මරණය. හෙට පාර්ලිමේන්තු මැතිවරණය. අලුත් ඉරක් පායන්න ඉතා ළඟයි. පරණ ඉරක් බැහැලා යන්න නියමිතයි. ඈතින් පේන මේ බොඳ වෙච්ච සිතිජය දිහා බලාගෙන හිතට ගලාගෙන ආපු සිතිවිලි කීපයක් මෙසේ දිගහරින්ට අවසර.  

දැනට වෙමින් පවතින සංක්‍රාන්තිය මගේ පුංචි ළමා ඇසින්. 

චූටි කාලේ අපි තෙමෙන්න ආස වුන ඒ වැස්ස තාමත් එහෙම්මම වහිනවා. අකුණු ගහනවා. ගෙම්බො කෑගහනවා. අපිට ඒත් එළියට යන්න හරි භයයි. ජෙනෙල්ලෙ ඇරලා වැස්ස දිහා බලන්නවත් හිතක් නෑ. දොර ළඟ ඉන්නවා මුරකාරයො. බුද්ධිමත් මුරකාරයො. දැනුමෙන් සන්නද්ධ නපුරු මිනිසුන්. අපිට ඒගොල්ලො රවනවා. හ්ම්ම්. එළියට බහින්න ගියාම ටොකු අනිනවා. රාක්සයො වගේ කෑගානවා. ඒගොල්ලොත් පව් ඉතිං මොනා කරන්නද. වැස්සට හරී භය වෙලා. එක්කො ඒගොල්ලන්ව භය කරලා. පුම්භගෙන සීරියස් වෙලා වැස්සෙන් අපිව ආරක්සා කරනවා. කොච්චර ආදරයක්ද. අනේ ඉතිං වැස්සත් ඔහේ වැහැලා වැහැලා වැහැලා මඩ වෙලා ගං වතුර දානකම්ම මේ සිකුරිටි උන්නැහැලා ටික එතුමන්ලාගෙ රාජකාරිය අකුරටම ඉස්ට කරමින් ඉන්නවා. මේ ගරාවැටිච්ච හිරගෙවල් අස්සෙ අපි තනි තනි වෙලා ෆෝන් ලැප්ටොප් තියාගෙන බර වැඩ. දවල් වරුවෙ වැඩ ඉවර වෙලා හවසට මහන්සිය නිවාගන්නත් එක්ක පාට් ටයිම් විප්ලවයක් දෙකක් කරගන්නවා. ගේමක් ගහගන්නත් එපැයි බං.  

ඉස්සර නොසන්ඩාලකමට වැස්සෙ නාපු හැටි මතක් වෙනවා. මුරකාරයන්ට මැද ඇඟිල්ල පෙන්නලා කෝචෝක් දාගෙන හූ කියාගෙන දුවපු හැටි මතක් වෙනවා. කොච්චර සුන්දරද. කොච්චර අහිංසකද. මඩ කාගෙන, පොලොව හාරගෙන, බෝක්කු වල බැහැගෙන. බලු බෙට්ටක් පෑගුනත් ලොකු අවුලක් නෑ ඉතිං, වැස්සනේ. දැන් මේ මාංචු එක්ක මුකුත් කරගන්න බැරි වෙලා. අපිත් එක්ක එහෙම නටපු මඩකරි දැන් හොඳ ළමයි වෙලා. දැන් ඒගොල්ලො පිළිවෙලයි. පිරිසිදුයි. නිරෝගියි. තවත් මුරකාරයෙක් වෙන්න සුදුස්සෙක් වෙලා. උපාධි හම්බෙලා. මාස්ටර්ස් පීඑච්ඩී මග. ලෝගුව දාන්න ඔන්න මෙන්න. ඒගොල්ලො දැන් හරි වසයි. අපිට වෙඩිතියන්නත් බැරි නෑ. හ්ම්ම්. භයායි.  

ඊයෙ මම හීනෙන් සීයාවයි ආච්චිවයි දැක්කනෙ. උන් දෙන්නාට මර කේන්ති ලු. මොනාද තොපෙ මහ උන්දලා මේ කොරලා තියෙන්නෙ කියලා මගෙන් අහනවා. දැන් අපේ කනත්තත් ෆුල් මාවලස් නෙ. ඒසී හයි කරලා හයිෆයි සිස්ටම් දාලා ෆුල් සිස්ටමැටික් වෙලා. සීයා ආච්චි මට කින්ඩි දානවා අපේ ඇටකටු තියෙන්නේ කොහෙවත් තොපි ඉටිපන්දම් පත්තු කරලා ඔරසම් කියන්නෙ වෙන කොහෙවත් කියලා. මොනා කියන්නද අප්පා. උන් දෙන්නා ඉන්නකං මේ මුරකාරයො ටිකට ඇඳුම් මැහුවා. තොප්පි දැම්මා. ලෝගු ඇන්ඳුවා. දැන් පොළොව අස්සට ගිහිල්ලා අපට කෑ ගහනවා. අපිත් කියලා මොනා කරන්නද. තනි තනියෙන් ඔරසම් කියලා ස්වයං වින්දනයේ යෙදෙනවා මිසක්.  

2019යෙ දවස් 40ක් කන්නලව් කරලා පාස්කු දා කුඩයක් අරන් පල්ලියට ගියා. හිතුවෙ වහියි කියලා. එකෙක්වත් කුඩ ගෙනල්ලා තිබ්බෙ නං නෑ. වැස්සක් ආවෙත් නෑ. ඒ වෙනුවට ආවෙ බෝම්බයක්. කෑලි කෑලි ගැලවිලා ගියා. තාම කෑලි අහුලනවා. අල්තාරෙ කුඩුපට්ටං වුනා. එදයින් පස්සෙ හැදුනා අලුත්ම පල්ලියක්. සුපිරි පල්ලියක් ආයෙ. පට්ට උස ගේට්ටු හයි කරලා. තාප්ප උඩින් වීදුරු කටු සෙට් කරලා. දැන් පූජාවට කාසි දාන්නෙත් නෑනෙ. ක්‍රෙඩිට් කාඩ් ගෙනියන්න ඕනා. බෝම්බෙන් මැරුණ උන්ව ෆ්‍රී ඔෆ් චාජ් යැව්වා ස්වර්ගෙට. ඇටකටු ටික දැම්මා කනත්තෙ පොලොව යටට. දාලා උඩින් ගැහුවා සුපිරි ස්ලැබ් එකක්. දැන් කනත්ත සෙකන්ඩ් හෑන්ඩ් විකුණනවනං බර ගාණකට සෙට් වෙනවා. පල්ලිය ප්‍රයිස් කරන්න ගියොත් එතන තියෙනවා හෙනම තරඟයක්. දැනට උඩින්ම ඉන්නෙ මිරැකල් ඩෝං. එව්වට ලං කරන්න බෑ මේව්වා. දෙයියො නං අන්න. අපිත් එක්ක හිටිය මඩකරි සෙට් එකක්ම ප්‍රොෆට් හෝදලා බෞතිස්ම කරලා දැම්මා. දැන් උන්ට හරි සරුයි. බෝක්කු ගානෙ වැස්සෙ නාන්න එන්න දැන් කොහෙද වෙලාවක්.  

කොහොමහරි සන්තෝසයි විලි ලැජ්ජයි.   

මෙතෙක් හැංගි හැංගි සටන් කරපු විප්ලවවාදීන්ට පුලුවන් වෙනවා හෙට රෝමෙට යන්න. රෝමෙ සමග අතිනත අරගෙන රෝමානු වෙන්න. මෙතෙක් කිලුටු ඇඳුම් අඳින්න වුන, පාරෙ නිදාගන්න සිද්ධ වුන, මහා දුක් වින්ඳ, ජීවිත අහිමි කරගත්ත කැරලිකාරයන්ට හෙට ඉඳන් පුලුවන් රෝමේ පූජකයො වෙන්න. රාජ්‍ය සුවඳ තියෙන සෙන්ට් තවරාගෙන රට රටවල් අල්ලාගෙන අද මියැදුන නායකයාගෙ දහම ලොව පුරා දෙසමින් රෝමානු කොඩිය උස්සන්න. කමක් නෑ. මැක් ඩොනල්ඩ්ස් වුනත් මේ ලංකා දීපයේ ඉඳන් අපි රස කර කර කන්නේ එහෙම නැව් නැග්ග පූජකයො ටිකක් හින්දනෙ.  

අවසානයේ අපේ සුදු මහත්තයාගෙ නෝනා හාමුට උම්මා එක්ක දෙන්න ඕනා. දෙයියන්ට ඔප්පු කරන්න තිබ්බ පඬුරු අල්තාරයක් නැති මේ සුපිරි පල්ලියෙ කොහෙන් කියලා තියන්නද. නේද. නෝනා හාමු නැත්තං අදටත් අපේ වසවර්තියා පල්ලියෙ තැඹිලි කඩනවා. ඔයා නිසා අද එයා සුද්ධ වූ පූජකයෙක් වෙලා. ඔයා වමට හැරෙන්න කිව්වම එයා වමට හැරෙනවා. එක පාර නෑ නෑ දකුණට කිව්වම දකුණට හැරෙනවා. කරත්තෙ දක්කගෙන ගොනා හපුතල් නගිනවා.  

මේ පොඩි මනසට ගොඩාක් දේවල් තේරෙන්නෙ නෑ. ඉවක් නං තියෙනවා. ඒ සතෙක් නිසා. සතාට පියාඹන්න පුලුවන් පියාපත් නිසා. ඉතිං පොළොවෙ නයි මුගටි එක්ක මේ හිටියට කොයි වෙලේ තුස්තිම්භූත වෙලා යයිද දන් නෑ. එහෙම එකපාර ලයිට් ගියොත් භය වෙන්න එපා. ආයි එනවා. වෙන විදියකින් එනවා. හොල්මන් කරනවා. ළිඳ ළඟ ගොම්මනේ බලාගෙන හිටපු භූතයා වගේ නිතර නිතර හීනෙන් පේන්න ගන්නවා.  

ස්ත්‍රීන් කෙහෙවලු පටලාගත් සීතල යුධ සමය කෙමෙන් කෙමෙන් අවසානයකට ළඟා වෙමින් පවතිනවා. පරම යථාර්ථය හිස හොසවමින් එම ස්ත්‍රීන්ගේ දාසයන් වූ පිරිමින් තම නාස් ළණු ලෙහා ගනිමින් ලේ බිඳක් නොසොල්වන සැබෑ යුද්ධයකට සැරසෙනවා. කාමුක ස්ත්‍රී-මායාව විසින් නිර්මාණය කරන ලද හිස්ටීරියාවෙන් මිදෙන්නට මා ප්‍රියාදර පිරිමි මිතුරන්ට ආරාධනා කරනවා. පුරුශ ශක්තිය යොදවා අසීරුවෙන් ගොඩනගාගත් ලොවක් විනාස කර දැමීමට නොව ඉතා ඉවසීමෙන් අලුත් ලොවක් ගොඩනගන්නට මාගෙ සුභ ප්‍රාර්ථනා මින් එක්කර සිටිනවා.  

යුධ බිමේදී හමුවෙමු! 

අර්ජුමාන්  

13.11.2024

ජයග්‍රාහිකයන්ගේ සහ පරාජිතයන්ගේ අවධානය පිණිස - පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු

 ජයග්‍රාහිකයන්ගේ සහ පරාජිතයන්ගේ අවධානය පිණිස. 

විවිධාකාර ක්‍රේශ්ත්‍රයන්හී විශ්ව විද්‍යාල මට්ටමෙන් අධ්‍යාපනයක් ලබා එම ක්‍රේශ්ත්‍රයන්හී දිගු කාලීනව සේවය කොට ඒ ඒ විශයෙහි පරිචයකට ළඟා වූ බොහෝ වෘත්තිකයන් - ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, රංගන ශිල්පීන්, බැංකුකරුවන්, නීතිඥයින් සහ ආචාර්ය මහාචාර්යවරුන් අපට මෙවර පාර්ලිමේන්තුවේදී දැක ගන්නට පුලුවන් වී ඇත. 

ඒ සියලුම දෙනා 'අරගලය' කාල පරිච්ඡේදය හරහා සිදු වූ රටේ එතෙක් පැවති දේශපාලනික පස ඉවත් කිරීමේ ව්‍යාපෘතියටද සක්‍රීයව හෝ වක්‍රාකාරයෙන් සහභාගී වී ඇති බවද පෙනේ. එම කාල පරිච්ඡේදය තුල පාස්කු ප්‍රහාරය, කෝවිඩ් වසංගතය වැනි සමාජ දේහය කම්පනයකට ලක් කෙරුනු සිදුවීම් වල ප්‍රතිඵලයක් විදියට රට තුල මානසික සමාජීය දේශපාලනික විපර්යාසයන් ඇති වන්නට විය. 

එම විපර්යාස වල දිගුවක් විදියට ඉහත කී යම් යම් විශය ධාරාවන් වල නියැලී සිටි වෘත්තිකයන් සංවිධානගත වී රාජ්‍ය දේශපාලනයට ද අවතීර්ණ විය. අද වන විට විවිධාකාර සමාජ ක්‍රියාකාරිකයින්, එකී වෘත්තිකයන්, ලාභය අරමුණු කරගත් හෝ නොකරගත් ව්‍යවසායකයින් ඇතුලු එකී මෙකී විවිධාකාර විශය ධාරාවන් වල, විවිධාකාර ක්‍රේශ්ත්‍රයන් වල නිරතව සිටි පුරවැසියන් පාර්ලිමේන්තු බලය අතට ගෙන ඇත. 

ඊට සමගාමීව එතෙක් පැවති රාජ්‍ය කේන්ද්‍රීය මාධ්‍ය ව්‍යුහය යම්කිසි පසුබෑමකට ලක් වී ලොව පුරා අන්තර්ජාලය තුල ක්‍රියාකාරිව පවතින සමාජ-මාධ්‍ය ව්‍යුහය ඉදිරියට පැමිණ ඇත. විවිධාකාර තොරතුරු සමූහයක් ඉතා අධික වේගයකින් සහ යම්විටෙක ව්‍යාකූල ආකාරයකින් විමධ්‍යගතව සැරිසරන මේ සමාජ-මාධ්‍ය රාමුව හරහා ලොව පුරා සිටින මිනිසුන්ව ජාති ජම්ම කුල භේද ආගම් වැනි සීමා මායිම් පරයා සම්බන්ධ කරමින් තොරතුරු හුවමාරු කරමින් විවිධාකාර මානසික යථාර්ථයන් නිර්මාණය කරමින් ඇති බවක් අපට පෙනේ. 

අද වන විට දේශපාලන විද්‍යාව, ජනමාධ්‍යකරණය, දර්ශනවාදය, සාමාජ විද්‍යාව, රාජ්‍ය පරිපාලනය, මාධ්‍ය වැනි විශයන්හී කිසිදා නිරත නොවුනු සහ එම විශයන් ගැන කිසිම ආකාරයක විධිමත් හැදැරීමක් නොමැති නමුත් වෙනයම් කුමන හෝ විශයක නිරත වූ අධ්‍යයන පරිචයක් ලැබූ ඉහත සඳහන් 'වෘත්තිකයන්'ට රාජ්‍ය දේශපාලනය, රාජ්‍ය මාධ්‍ය සහ රාජ්‍ය හමුදාව ඇතුලත් රාජ්‍ය තන්ත්‍රය හැසිරවීමට අවකාශයක් නිර්මාණය වී ඇත. 

ඕනෑම විශයකට අනුබද්ධ වූ එක්තරා විනය රාමුවක් පවතින අතර ඒ ඒ විශයෙහි ඕනෑම කෙනෙකු දිගු කාලීනව නිරත වීමේදී ඊට අනන්‍ය වූ විනය පද්ධතියක් විසින්ම එම නිරතවන්නාව යම්කිසි ශික්ශණයක් මත පිහිටුවනු ලබයි. එකී ශික්ශණය හරහා මනුස්සයෙකු තම සත්ව ස්වභාවයෙන් නික්මව ශිශ්ඨ සම්පන්න ශික්ශාවතකට අවතීර්ණ වනු ඇත. රාජ්‍ය පිහිටුවා ගැනීමේ ක්‍රියාවලියේ මූලික අඩිතාලමක් වන පුරවැසියෙකුගේ ස්වයං සහ සභා මූලික ශික්ශණය මෙලෙස විශයක් මත පදනම්ව ගොඩනගාගත හැක. 

උදාහරණයක් විදියට ඉහල මට්ටමේ විශ්ව විද්‍යාල වල අපට මුණ ගැසෙන දිගු කාලීනව එහි අධ්‍යයන සේවයෙහි සහ පර්යේෂණ ක්‍රියාවලීන් වල නිරත වන යම් යම් විශයන් තුල කිමිදී සිටින මහාචාර්යවරුන් ආචාර්යවරුන් ගුරුවරුන් සහ ගැඹුරු භාවනාන්හී නිරත වෙමින් සිටින බෞද්ධ භික්ශූන්, සිද්ධස්ථාන වල වැඩ සිටින පාදිලිවරුන්, මාශල් ආර්ට් සටන්කරුවන් වැනි කුමන හෝ ශික්ශාවතක පිහිටුවාගත් මිනිසුන් අතර යම්කිසි පොදු ලක්ශණ කීපයක් අපට දැකගත හැක. දැඩි ඉවසීම, ගැඹුරු ඇහුම්කන් දීම, අවධානය, කරුණාව, ආදරය වැනි උතුම් මිනිස් ගුණාංග මෙවැනි මිනිසුන් ප්‍රගුණ කරමින් සිටියි. ඒ සියල්ලෝ තම විශය තුල එක්තරා පේවීමකින් ශිශ්ඨ සම්පන්න දියුණු මිනිසුන් බවට පත් වීමේ මානසික ක්‍රියාවලියක නිරත වෙමින් සිටිනු ඇත. 

ගිහි ලෞකික ලෝකය තුල නොහොත් ආසාව සමග නිතර දෙවේලේ ගනුදෙනු කරමින් සිටින සාංඝික නොවන සාමාන්‍ය සමාජයක ජීවත් වන අයෙකුට මෙවැනි ශික්ශණයක් ළඟා කරගත හැක්කේ යම්කිසි විශයක අවංකව පිහිටුවාලීමෙන් බව මාගෙ අදහසයි. එම විශයට ඇති ඇල්ම සහ ස්වභාවිකවම පවතින චරිතාංග සහ ගුණාංග නිසාවෙන්ම ඒ ඒ විශයෙහි නිරත වන්නාට නිරායාසයෙන්ම ආධ්‍යාත්මිකව දියුණු වූ ශිශ්ඨ සම්පන්න මනුස්සයෙක් බවට පත් වීමට ඉඩ ප්‍රස්ථාවක් නිර්මාණය වනු ඇත. යමෙකු විශයෙන් පීලී පැනීමේදී විනය පද්ධතීන් සහ විශ්වාස පද්ධතීන් අතර අර්බුදයක් නිර්මාණය විය හැකි අතර එහිදී ඉහත කී සමාජ සංයමය, ඓයින්ද්‍රීය ශික්ශණය, ආධ්‍යාත්මික ශිශ්ඨත්වය නොහොත් පුරවැසියෙකුගේ හෝ රටක සංවර්ධනය ස්වභාවික ආකාරයකින් පවත්වාගෙන යෑමට අපොහොසත් විය හැක. 

මෙවැනි දෘශ්ඨියකින් නව පාර්ලිමේන්තුව දෙස බලමු. ජනතා විමුක්ති පෙරමුණේ දිගු කාලීනව ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවූවන් මදකට පසෙකින් තබා ඉහත කී ආකාරයෙන් මෑතකදී නිර්මාණය වූ නව සමාජ දේශපාලනයට අවතීර්ණ වූ උගත් වෘත්තිකයන් ගැන විශේෂ අවධානයක් යොමු කරමු. එම වෘත්තිකයන් සහ නිළධාරීන් රට ආර්ථිකව බංකොලොත් වන්නට පෙර සිටියේ කොහෙද?

ඔවුන් සිටියේ ඒ ඒ ක්‍රේශ්ත්‍රයන්හී ඒ ඒ රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන වල විශය සහ විශයට පරිභාහිර දේශපාලනික සංදර්භයක අඩු වැඩි වශයෙන් නියැලී තම සේවය ඉටු කරමින් ය. ඔවුන්ගේ චර්‍යාවන්, මමත්වය මූලික කරගත් පවුල් වාදී වීම්, අහංකාර උද්ධච්චකම්, හිතුවක්කාර තීන්දු තීරණ ගැනීම් වැනි මතුපිට කාරණා වලට ඔබ්බෙන් ඔවුන්ට හද පතුලෙන්ම රටට සේවය කිරීමට උවමනාවක් තිබුනද, ඔවුන් අවුරුදු ගාණක වෙහෙසකින් ලබාගත් අධ්‍යාපනය, දැනුම, පළපුරුද්ද මත පදනම්ව හරි හැටි සේවයක් ‍රටට ලබාදෙන්නට නොහැකි වූ ලෙඩ වූ දේශපාලනික තත්වයක් රට තුළ නිර්මාණය වෙමින් පැවතිනි. ඒ මජර දේශපාලනය, චණ්ඩි දේශපාලනය සහ හොර මගඩි ගැන ආයෙ අයෙත් අප තුවාල පාරගන්නට අවශ්‍ය නැත. ඒ සියල්ල ඉදිරියේදී සැකසෙන නීතී රාමුවට භාරකල යුතුව ඇත. මෙවැනි ගරාවැටිච්ච දේශපාලනික ව්‍යුහයක තම විශයෙහි නිරත වෙමින් රටට සේවය කිරීමට අපහසු වූ හෘදසාක්ශියට එකඟව වංකව ඉදිරියට යා නොහැකි වූ විවිධාකාර වෘත්තිකයන්ට දේශපාලනික තලයට පැමිණෙන්නට සිදු විය. අද ඔවුන් කෙසේ හෝ රටේ බලය හැසිරවීමට උර දී ඇත. නැවේ කපිතාන් ඇතුලු නැව ඊළඟ වරායට රැගෙන යන නැව් පදවන්නන්ගේ කණ්ඩායම කුලල් කා ගනිද්දී බැරිම තැන බලා සිටීමට අපහසුම තැන ඉංජිනේරුවන් සහ තාක්ශණික නිළධාරීන් ඔවුන්ගේ වැඩ නවත්වා නැව නිවැරදි දිශාවට යොමු කිරීමේ අභිලාශයෙන් කපිතාන්ගේ කාමරයට පැමිණ ඇත. 

මෙතනින් එහාට මෙවැනි භාහිර වෘත්තිකයන් දිගු කාලීනවම රාජ්‍ය දේශපාලනයේ නිරත වෙයිද? ඔවුන් දුටු පද්ධති වෙනසක් සකසා එයට උර දී පසු කාලීනව සියලුම ඔටුනු බිම තබා නැවත ඉහත කී විශය අනුබද්ධ ශික්ශාවතට පැමිණෙයිද? නැතහොත් මෙතෙක් කල් රහසින් හෝ ඔවුන් යෙදෙමින් සිටියේ මෙවැනි බලකාමී ප්‍රයත්නයකද? ඔවුන්ට ඔවුන්ගේ විශය පිළිබඳ ඇති කැක්කුමේ තරම කොපමණද? 

ඊයේ අප දුටු පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලය බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලබාගෙන ස්වෛරී රටක් බවට පත් වූවා වාගේම ඓතිහාසික සංසිද්ධියකි. අප සියල්ලෝ රටක් දේහයක් විදියට අලුත් සවිඥානික තලයකට ළඟා වී ඇති බව පෙනේ. අතීතයේ සිටම සාක්ශරතාවයෙන් ඉහළ මට්ටමක සිටි අප අන්තර්ජාලය හරහා විවිධාකාර තාක්ශණික භාණ්ඩ සහ සේවා (ස්මාට් ෆෝන්, පරිඝණක, සමාජ මාධ්‍ය, කෘතිම බුද්ධිය උපයෝගී කරගත් සේවා) පරිභෝජනය කරමින් මෙතෙක් පැවති සාම්ප්‍රදායික අධ්‍යාපනික තලයෙන් (ආධ්‍යාත්මික තලයෙන්) ඔබ්බට සවිඥානය ගමන් කර ඇත. අනෙක් අතින් බැලූ විට එලෙස උග්‍ර තාක්ශණික පරිභෝජනවාදයකට ගොදුරු වී ඇති අපට අපේම යැයි කිව හැකි නව දැනුම, ෆේස්බුක් යූටියුබ් වැනි නව සමාජ මාධ්‍ය වෙබ්අඩවි නිර්මාණය කරගැනීමට අවශ්‍යය නව න්‍යායන්, ලංකාවට ආවේනික වූ ලංකා භූමියෙන්ම නිර්මාණය වූ නව තාක්ශණික විධි ක්‍රම ඇතුලත් නිර්මාණශීලී බුද්ධිමය ප්‍රාග්ධනය ගොඩනගාගැනීමට තවමත් අප අපොහොසත්වද ඇත. 

මෙවැනි සංදර්භයක අප මේ යමින් සිටින්නේ පසුගාමී අවස්ථාවකටද ප්‍රගතශීලී අවස්ථාවකටද යන්න උභතෝකෝටිකයකි. ලොව පුරා පවතින මධ්‍යගත රාජ්‍ය ව්‍යුහය ටිකෙන් ටික අන්තර්ජාලය ඔස්සේ විමධ්‍යගත ක්‍රමයකට පරිවර්තනය වෙමින් පවතින බවත් මීට සමගාමීව අපට පෙනේ. ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පුටුවට පැමිණීම, එලෝන් මස්ක් වැනි නව තාක්ශණික-වැඩවසම් ලෝකයේ අධිපතිවරුන් දේශපාලනයට අවතීර්ණ වීම වැනි කාරණා හරහා අපට පෙනී යන්නේ පෘථිවියේ ආර්ථික-බල ව්‍යුහය එක්තරා සංක්‍රාන්ති අවස්ථාවක පවතින බවයි. ඩිජිටල් මුදල් / ක්‍රිප්ටො මුදල් ඉතා වේගයෙන් ලොව පුරා පැතිරෙමින් ඇති මෙවැනි අවධියක ලංකාව අවතීර්ණ වන්නේ කුමන ආර්ථික ප්‍රවාහයකයටද යන්න තවම හරියටම පැහැදිලි නැත. ඉදිරියේදී ආසියානු කලාපය මූණ දීමට ඇති වෙනස්කම් ගැනද අප උනන්දු විය යුතුව ඇත. දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා අප පිලිපදිමින් සිටින්නාවූ බටහිර ධනේශ්වර ප්‍රතිපත්තීන් තාවකාලි ප්‍රයෝගයක් ලෙස සැළකුවත් මෙතනින් එහාට අප ගමන් කරමින් සිටිනුයේ කුමන ආර්ථික-දාර්ශනික දිශානතියකටද යන්න සරලමිතික කාරණාවක් නොවනු ඇත. මාක්ස්වාදී-ලෙනින්වාදී දේශපාලනික හුරුවක් ඇති ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගය වැනි ඉහත කී දේශපාලනිකව ළදරු ගෝලීය නවතාවයක් සමග දාර්ශනික තලයේ සහ දේශපාලනික න්‍යායික තලයේ අතිනත ගන්නේ කෙසේද යන්න ජනප්‍රියවාදයෙන් එහා න්‍යායාත්මක තලයේ උනන්දුවකින් සිටින රට වැසියාගේ කුතුහලය වී ඇත. 

ඉහත කී නිරීක්ෂණයන් තනි තනි ලෝක මවාගෙන විපරිත වී ඇති අප අන්තර්ජාලයේ ග්‍රහනයෙන් මිදී සැබෑ ලෝකයෙ හමු වී සාකච්ඡාවට බඳුන් කල යුතුව ඇත. ෆෝන් ලැප්ටොප් මොහොතකට පසෙකින් තබා මිනිස් ශරීර ස්පර්ශ කරගනිමින් සතුන් සුරතල් කරමින් සෙල්ලම් කරමින් මහ පොළොවේ පස් කමින් එකිනෙකා ලෙව කමින් කුඩා ළමුන් සේ මෝඩයන් සේ ජීවත් වීම අප ප්‍රතික්ෂේප කලහොත් අප සහ පෘථිවිය ගමන් කරන අනාගතය බොඳ වූ ලෝකයක් වනු නොඅනුමානය. 

- අර්ජුමාන්

16.11.2024