ලංකාවේ නිදහස් අධ්‍යාපනය යනු රැකියාවක් අරමුණු කරගත්ත - නොමිලේ පිරිනැමෙන හුදු වෘත්තිමය පුහුණුවක් පමණක් බවත් - එහි කිසිම ආකාරයක නිදහස් චින්තනයක් හෝ නිවහල් දැක්මක් අඩංගු වී නොමැති බවත් - දැනට ආණ්ඩු පාලනයට පැමිණ සිටින සියලුම රාජ්‍ය විශ්ව විද්‍යාලීය උගතුන් සහ බුද්ධිමතුන් අපට ඔප්පු කරමින් සිටිනු ඇත.
ගමෙන් කැම්පස් එන ග්‍රාමීය තරුණ
තරුණියන් කැම්පස් සීමාව ඇතුලත ශිෂ්‍යයන් ලෙස මහා වික්‍රම පාමින්, දුප්පත් පොහොසත් භේදය
ගැන ඇඟ කිලිපොලා යන රැඩිකල් දේශනා පවත්වමින්, ධනේශ්වර රාජ්‍යය පාලනය පෙරලීමට
සිසුන් සංවිධානය කරමින්, පාර පුරා උද්ඝෝශණ රැලි පවත්වමින්, ගැහැණුන්ට
චීත්ත ගවුම් අන්දවමින් සාමුහික යැයි කියා ගත් ඊනියා ග්‍රාමීය සමාජවාදයක කිමිදුනද
- අවසාන වසරට ලං වීමත් සමගම සහ උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව - ඔවුන්ගේ මේ සිංහ හම
හොර රහසේම ගලවා දමා - සල්ලිකාර පවුලකින් කසාදයක් බැඳගෙන - කොළඹ පදිංචියට පැමිණ - දන්න
දන්න ගජමිතුරු සමාගම් හරහා රජයේ ඉහළ පෙලේ රැකියාවක් හොයාගෙන - වාහන ලීස් කරගෙන - දරුවන්ව
කොළඹ ජනප්‍රිය පාසල් වලට දක්කගෙන - අවසානයේ බුද්දහගම කර උඩ තියාගෙන ජනප්‍රිය පන්සල් වල ප්‍රධාන දායක මහත්තුරු බවට පරිවර්තනය වෙන
හැටි අප දැක ඇත්තෙමු.
අද
මේ රාජ්‍ය මට්ටමින් වෙමින් පවතින්නේ එහි දිගුවක්ද?
පවතින
ආණ්ඩුව ආවඩන්නට කැපවූ පාරිභෝජනවාදී / ජනප්‍රියවාදී අති බහුතර මහජනයා අද මේ ප්‍රශ්ණය අසන්නේ නැත. කන්න දෙනවනං අපට බොන්න දෙනවනං මොන
කෙන් ගෙඩියද තව ඕනෑ කියන්නේ ගයමින් මහා ආත්මාර්ථකාමයකට බිලි වී ඇති එකී මහ ජනයා තමුන්
සහ තමුන්ගේ යැයි කියාගත් ඉතා පටු කූඩාරමකට හිර වෙමින් සිටිනු පෙනේ.
අති බහුතර ආගමිකවාදී - ජාතිකවාදී
මහජනයාව කුලප්පු නොකරවාගෙන ඔවුන්ට චූන් දෙමින්, සංදර්ශණ පවත්වමින්, කන්න බොන්න දෙමින්,
චිත්‍රපටි හරහා විනෝදය සපයමින්, දළදාව හෝ මොකක්හරි ආගමික කෑල්ලකට වන්දනා පෝලිම්
ගස්සවමින් මහ ජනයාගේ අවධානය එහෙට මෙහෙට යැවීමට ආණ්ඩුව දක්ශ වී ඇත.
නමුත් මෙවැනි ප්‍රෝඩාකාරී සිල්ලර පිළිවෙත්
කවදා වෙනකං කරන්නද?
මොවුන් ප්‍රායෝගික වෙනවා යැයි
කියමින් රටට්ටන්න උත්සහ කරන්නේ කාවද?
ඉහත කී රාජ්‍ය විශ්ව විද්‍යාලීය
උගතුන්ගේ බුද්ධිය සහ එහි පසු කාලීන සමාජ භාවිතාව පැත්තකින් තිබ්බත් එකී උගත් විද්වතුන්ගේ
පිට කොන්ද අපට කිරා මනින්ට කාලය දැන් එළඹ ඇත.
ඔවුන් කැම්පස් සීමාවේ හෝ රාජ්‍ය
ව්‍යුහයන් තුල සේවයේ නිරතව සිටියදී දේශපාලනික වේදිකා වල උගුර කඩාගෙන කෑමොර දුන්
ආකාරය සහ දැන් රාජ්‍ය පරිපාලනයේදී පෙන්වන ඉතා නිවට, ගැති සහ සුපරික්ෂාකාරී හැසිරීම
හරහා අපට පෙනී යන්නේ කුමක්ද?
තම යටත්විජිතවාදි ස්වාමියාගෙ අණ
පිළිපැදීමට පුරුදු පුහුණු වූ මොවුන් මේ ක්‍රමය තුල දැනුවත්ව හෝ නොදැනුවත්ව කොතරම්
වහල් වී ඇත්ද?
විශේෂයෙන්ම
ඉන්දියාවට සහ ඇමෙරිකාවට මේ දක්වන කොන්දේසි විරහිත දෙපිටකාට්ටු ගැතිභාවය දෘශ්ඨිවාදීමය තලයේදී අපට තව දුරටත් දරා ගත හැකි වේද?
නිදහස් අධ්‍යාපනය හරහා නිදහස් ජාතියක් බිහි කරනවා කීවාට මේ රාජ්‍ය
විශ්වවිද්‍යාල වලින් බෞතීස්ම වූ සියලුම උගත් බුද්ධිමතුන්ට එවැනි නිදහස් නිවහල්
චින්තනයක් හෝ නිවහල් ලෝක දැක්මක් නැත්තේ ඇයි?
එවැනි
නොමිලේ ලැබෙන සුබසාධන අධ්‍යාපනයකින්
මොළ සෝදා ගන්නා මේ මිනිසුන් පසුකාලීනව උග්‍ර ආගමිකවාදයකට, ජාතිවාදයකට, පවුල්වාදයකට
එසේත් නැත්නම් උග්‍ර කල්ලිවාදයකට ගොදුරු වන්නේ ඇයි?
දවසින්
දවස රටට ගලාගෙන එන විවිධාකාර ව්‍යාපෘති
සියල්ල කොහේ හරි රටක කවුරුන් හෝ විසින් සකසන ලද මේ පොළොවට කිසිසේත්ම ගැලපෙන්නේ නැති
බොරු අටමගල නොවේද?
මේ
වෙමින් තිබෙන්නේ ගෘහනිර්මාණ ශිල්පියාගේ
තැනට මේසන් බාස් කෙනෙකු පැමිණ කරන විජ්ජුම්බරයක් නොවේද?
මේ
වෙමින් තිබෙන්නේ අදහස් මංකොල්ලයක් නොවේද?
මෙවැනි
වහල් ශ්‍රමික මනසකින් අනාගත ලෝකයට
ඔබින නව නිර්මාණ බිහි කල හැකි වේද?
නිතර දහඩිය මහන්සියෙන් අකුරට වැඩ
කරනවා යැයි පෙනෙන අද පාලනයට පැමිණ සිටින සියලුම කීකරු උගත් කම්කරුවන් මේ කරමින්
සිටින්නේ නව පද්ධතියක් අලුතින් සැකසීමද නැතහොත් මෙතෙක් පැවති යුරෝපීය යටත්
විජිතයෙන් අපට දායාද වූ යල් පැන ගිය අතීතකාමී මකුණු දැල් බැඳිච්ච පරණ යන්ත්‍රයක
මලකඩ කැඩීමක්ද?
මොවුන් අද වන තුරු දැනට පවතින එකී
යල් පැන ගිය වික්ටෝරියානු - ඕල්කොට් - ධර්මපාලවාදී - යුරෝපවාදී - ඇමෙරිකානු ගැති
අදහස් ගොන්නට අමතරව අලුතින් යමක් කර ඇත්ද?
ඇමෙරිකානු වට්සැප්, ෆේස්බුක් හෝ
යූටියුබ් වල තලු මර මර සිටිනවා හැරෙන්නට මේ උගත් මහත්තුරුන් සතුව අපට හෝ අපගේ
දරුවන්ට පෙන්වීමට නව ලෝකයක් තිබේද?
පිරිමි පාසල් සහ ගැහැණු පාසල් වල
මෙතෙක් පැවති අඳුරු ලිංගික සංකීර්ණයන් අද මතුපිටට පැමිණ ඇත. ජනප්‍රිය පාසල්
උන්මාදය මෙතනින් හෝ නිම වෙයි කියා අප සිතුවද - වී ඇත්තේ එහි විලෝමයයි. සියලුම
පාසල් දරුවන් සහ ඊනියා ආත්මාර්ථකාමී දෙමව්පියන් අද ඔලුව හැරුන අතේ අයාලේ දුවමින් සිටිනු ඇත. සල්ලිකාර
ටියුශන් ගුරුවරුන්, යූටියුබ් බක පණ්ඩිතයන්, ගමේ ගොඩේ මහදැනමුත්තන්, ඩයස්පෝරා
විද්වතුන් ඇතුලු එකී මෙකී මහාප්‍රාණ පොරවල් රටේ අධ්‍යාපනික දිශානතිය තීරණය කරමින්
ඇත.
මෙවැනි වාමාංශික යැයි කියාගත් උගතුන්ගෙන්
අප බලාපොරොත්තු වූ බිම් මට්ටමේ ජනයා රැස් කිරීමක්, අධ්‍යාපනික දැනුවත් කිරීමේ
වැඩපිළිවෙලවල් හෝ පොදු මහජනයාට සමීප කිසිවක් එදිනෙදා ජීවිතයේ අපට පෙනෙන්නට නැත. දේශපාලනික
පලිගැනීම් සහ අගතිගාමී පංති ඊරිසියාවන් ප්‍රදර්ශණය කරනවා විනා යුක්තිය ඉටු කිරීම පෙරදැරි
කරගත් කිසිඳු ප්‍රභල ඓතිහාසික නීතිමය පියවරවල් කිසිවක් ගෙන නැත. අප එදිනෙදා ජීවිතය
වෙනස් වීමට බලපාන කිසිම රැඩිකල් ප්‍රතිපත්තියක් සම්මත කරවාගෙන නැත. දිට්වා සුලි කුණාටුවෙන්
ආදරීණයන් වෙන් වී මහා දේපල හානියක් සිදු වීමත් සමගම තවත් අගාධයකට අපව ආපස්සට තල්ලු
වූවා හැරෙන්නට සිදු වූ සමාජ පරිවර්ථනයක් නම් පෙනෙන්නට නැත.
ලොව පුරා යල්පැන ගිය, බටහිර
විසින්ම ප්‍රතික්ෂේප වී ඇති, නිව්ටෝනියානු දැක්මක සිර වූ භෞතිකවාදී හෝ ද්‍රව්‍යවාදී
හණ මිටි අදහස් හැරෙන්නට - නූතන සහ අනාගතවාදී විද්‍යානුකූල භාවිතාවන් එකී රාජ්‍ය විශ්වවිද්‍යාලීය
උගත් වියතුන්ගෙන් අපට පෙනෙන්නට නැත්තේ ඇයි?
විද්‍යාවට මල් පහන් පුදමින් විවිධාකාර
වූ දේව අල්තාර හමුවේ දණින් වැටෙන මෙම බුද්ධිමතුන් බටහිර විද්‍යාව බයිබලයක් සේ කට
පාඩං කරමින් මහා දවාලේ ටයි කෝට් දාගනිමින් මේ කරන දන්සැල් වන්දනාව අප තව දුරටත්
බලා සිටිය යුතුද?
නොමිලේ ලැබෙනවායි කීවාට ඒ සියලුම
පාඨමාලා පැවැත්වීමට ගිය මුලු පිරිවැය දරාගන්නට හැමදාම සිදු වූයේ පොදු මහජනයාටයි.
මෙසේ බදු බර කරට ගනිමින් විශ්ව විද්‍යාල වලට යැවූ සිසුන්ගෙන් බහුතරයක් අද වන විට බටහිර
රටවල ඉතා සුඛෝපභෝගී ජීවිත ගත කරමින් ඒ ඒ රටවල පුරවැසිභාවය හිමිකරගෙන ඇති අතර ඔවුන්ගෙන්
වෙන් වූ දේශප්‍රේමී යැයි කියාගත් උගත් ගජමිතුරු සමාගමක් අද රාජ්‍ය බලය හොබවමින්
ඇත. ඉතා අවිධිමත් රැකියා කරමින්, එදිනෙදා පොඩි පොඩි බිස්නස් කරමින්, ඩීල් දමමින්
අනාරක්ශිතව ජීවත් වන අති මහත් පොදු මහජනයා හැමදාම වාගේ සූදු අල්ලමින් සහ ලොතරැයි
අදිමින් සිටිනු පෙනේ.
වික්ටෝරියානු සම්ප්‍රදායන් මත ගොඩ
නැගුණු යටත්විජිවාදී ආකෘතියක සිර වූ මේ රාජ්‍ය විශ්වවිද්‍යාලීය යුරෝපීය ව්‍යුහයන්
තුල නිශ්පාදනය වුනු ඔලු ගෙඩි වලින් අපට තවත් දෙයක් බලාපොරොත්තු විය හැකිද?
ශිෂ්‍ය නායකයින් බලය අත්පත් කරගත්තාට පසු උදාවන යුගය මෙයද?
තත්වය ඉතා විනෝද සමයකි.
පාර්ලිමේන්තුව දවසින් දවස විහිලු සපයන රඟ මඩලක් වෙමින් පවතී. විපක්ශයද හරිහරියට
බෝල පාස් කර ගනිමින් කිසිම තේරුමක් නැති වාද විවාද ඇති කරගනිමින් තම තමුන්ගෙ බඩ
වියත රකිමින් මැච් එකක් ගසනු පෙනේ. දක්ණාංශික විපක්ශයට හෝ ජාතිකවාදී විපක්ශ කඳවුරු
වලට ආණ්ඩුවට විරුද්ධ වීමට අති ප්‍රභල කාරණාවක්ද නැත. මොකද ආණ්ඩුව කරමින් සිටිනුයේ ඔවුනට
කරගත නොහැකිව සිටි සියල්ලයි. ආණ්ඩුව මෙලෙස තමුන්ගේ ඡන්ද ව්‍යාපාරයට ආයෝජනය කල විවිධාකාර
පාර්ශවයන් සතුටු කරමින්, විපක්ශය නලවමින්, තම හිතාදර වෘත්තීය සමිති සහ වාමාංශික කඳවුරු
මගහරිමින් අයිස් ක්‍රීම් වෙළෙන්දෙකු මෙන් මේ යන්නේ කොයිබටද?
ඉතිහාසය පුරා සිදු වී ඇත්තේ බලය උදුරාගැනීමේ
ක්‍රියාවලියක් පමණි. රාජ්‍ය බලය, යුද හමුදා බලය, මුදල් බලය, ප්‍රසිද්ධ බලය යනාදී විවිධාකාර
වූ බල ඔටුනු හිස මත තිබ්බායින් පසු මිනිසුන්ගේ සිදුවන වෙනස් වීම හරිම පුදුමාකාරයි.
විශේෂයෙන්ම උගත් යැයි කියාගත් මිනිසුන් බලයට තනතුරට ආසා වෙමින් මහා හීනමානයකට ගොදුරු
වීම අප රටක් විදියට ලැජ්ජා සහගත විය යුතු නොවේද?
ඉගෙන ගන්න ඉගෙන ගන්න තව තව සරල නිහතමානී
කුඩා මිනිසුන් වනවා යැයි අප අසා තිබුනද මේ උගතුන් යන්නේ ඊට ප්‍රතිවිරුද්ධ පාරේ නොවේද?
තමා උගත් හෝ තමා සියල්ල දන්නවා යැයි
විවිධාකාර ක්‍රම වලින් ලොවට පෙන්වීමට ඇති උත්සහය විනා අති බහුතර රාජ්‍ය විශ්වවිද්‍යාලීය
උගතුන්ට තම විශය පිළිබඳ ඇති අවංක උනන්දුවක් හෝ ආත්මීය ඇල්මක් කිසිවිටෙක අපට පෙනෙන්නට
නැත. ඕනෑම විශයකට හිමි විශය මූලික විනය පටිපාටීන් හරහා සිදුවන මානසික විපර්යාසය මේ
යටත්විජිතවාදී උගතුන්ගේ වී ඇත්තේ මහා ආත්ම වංචනික පාවාදීමක් හරහා නොවේද?
සැබෑ අධ්‍යාපනික භාවිතාවක ජීවත් වන
අයෙකුගෙන් පෙනී යන ආත්මීය විනය හෝ හික්මීම යනු තව දුරටත් බලහත්කාරකමකින් හෝ යටත්කරගැනීමකින්
භාහිර පාර්ශවයක් විසින් බලෙන් බල පවත්වන ලද ආරූඪයක් නොවන බවත් එවැනි ඓයින්ද්‍රීය ශික්ශණයක්
යනු ඉතා රිද්මයානුකූල සහ ස්වභාවධර්මයට සමීප ගැඹුරු ආධ්‍යාත්මික කාරණාවක් බවත් අප මේ
අධිකාරීවාදී අධ්‍යාපනික විනය රාමූන් හමුවේ තේරුම් ගත යුතුව ඇත.
යටත්විජිතවාදී අධ්‍යාපනික ගර්භාශයක
උපත ලද අද රාජ්‍ය බලය හොබවන මේ සියලුම උගත් වැදගත් නෝනා මහත්තුරුන්ව අප නිතර නිතර ලිට්මස්
පරික්ශාවට ලක් කර යුතුව ඇත්තේ - ඔවුන් අපෙන් පරිබාහිර ජීවින් කොටසක් කරගනිමින් ඔවුන්
වැටෙනකං බලාගෙන සිටීමට හෝ කකුලෙන් ඇදීමට නොව - ඔවුන්ද අපද ඔබද මම ද සිරවී සිටින මේ
මහා අධිකාරීවාදී මානසික යාන්ත්‍රණයේ ඇති දිග පළල සහ ගැඹුර හරි හැටි නිර්ණය ගැනීමට සහ
එයට නිවැරදි ඔබින විකල්පයන් යෝජනා කිරීමට පමණි.
එළි වෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලං බලාපොරොත්තුවෙන්
සිටිමු.
මේ ගෙවෙන්නේ එළිදරව්වේ කාල පරිච්ඡේදයයි.
අර්ජුමාන්
08.02.2026
