"අර්ජු...මෑන්.. කව්ද මේ අර්ජුනද... මොකාද මේ - නම හරියට ලියලා නෑ...."
හය වසරේ එක්සෑම් හෝල් එකේ ගණන් සර් කෑගහනවා මගේ පේපර් එක උස්සගෙන. ඒ ස්වරයේ තියෙනවා ගණන් සර්ලටම උරුම වෙච්ච හදපතුලටම කාවද්දගෙන යන මහා අපහසයක්. ගණන් සර්ලා සහ ගණිතය එක්කම ඉන්න උන් නිකංම අපහසය නින්දාව වගේ දේවල් එක්ක හැප්පෙනවා කියලා පස්සෙ මට තේරුනෙ මමත් ගණන් සර් කෙනෙක් වුනාම. කොහොමහරි එහෙම නිශ්ශබ්ද එක්සෑම් හෝල් එකේ මගේ අප්සෙට් නම තව තවත් අප්සෙට් කර කර කෝචෝක් කරද්දි කොල්ලො කෙල්ලො හිනාවෙන්න පටන් ගත්තා. මමත් හිනාවෙන්න ගත්තා. මටම මම හිනාවෙනවා. මගෙ අවයවයකට මමම හිනා වෙනවා වගේ. එතකොට මට අපහස කරපු සර්රුත් හිනාවෙන්න ගත්තා. හැමෝම හිනා වෙලා ගෙදර ගියා - මට තාම ඒ හිනාව දෝංකාරෙ දෙනවා.
ඒ කාලේ ඉඳන්ම මම "සාමාන්‍ය" මනුස්සයෙක් වගේ ලෝකෙට මූණ දුන්නේ මගෙ මුල් නමින් - සිතිජ. ඒ අම්මා දාපු නම. අම්මට තියුණු ඉවක් තියෙනවා මිනිස්සු හිනාවෙන තැන් අල්ලගන්න. මොකද අම්මත් එහෙම හිනාවෙනවා. ඒක කලාවක් වෙලා. එහෙම සමච්චලේට ලක් නොවී පරිස්සමෙන් ජීවත් වෙන්න එයා පාඩං ඉගෙනගෙන. ඒ මිනිස්සු හිනාවෙන ඇද කුද හොයලා මැහුම් දාන එක අම්මගේ දක්ශතාවය සහ වෘත්තිය. අපේ අම්මා හොඳ ඇඳුම් මසන්නියක්. ලස්සන ලස්සන විලාසිතා එයා මවනවා. ඉතිං එයා ඒ ලස්සන සිතිජවත් මැව්වා. සිතිජට ගුරුවරියන් ආදරේ වුනා. ලස්සන ගැහැණු ළමයි ආස වුනා. ඒත් සිතිජ කිව්වම ආකර්ශණය වෙන ගොඩාක් අය අර්ජුමාන්ව දැනගත්ත ගමන් ටිකෙන් ටිකෙන් ඈත් වෙන්න පටන් ගත්තා.
"අර්ජුමාන් අයියේ...." කියාගෙන ඉස්සර අපේ ගෙවල් පිටිපස්සෙ හිටිය බ්‍රිටෝ, බ්‍රයන්, පිංකි එනවා සෙල්ලං කරන්න. උන් සිංහල නෙමේ. උන් දෙමළ - ක්‍රිස්තියානි. ඒත් කථා කරේ සහ ජීවත් වෙන්න වුනේ සිංහල විදියට. එහෙම ඈත ඉඳන් ඒ නම ඇහෙද්දි හද පතුලෙන්ම මට ලොකු සතුටක් ආඩම්බරයක් ඉපදෙනවා. නංගියි මායි උන් එක්ක සෙට් වෙලා කෑළෑ වැවුනු වතු වලට පනිනවා. අපි කරන්නේ සෙල්ලං නෙමේ - ත්‍රාසජනක කඩප්පුලි වැඩ. ලොකු ලොකු වලව් වල වතු වලට පැනලා තුප්පහි වැඩ කරන්න අපි අති දක්ශයි. අපේ මේ පොඩි කණ්ඩායමට අපි නමක් දාගත්තා - පාත්ෆයින්ඩස්.
අරම අර්ජුමාන් කෑල්ලට හිනා වුන එවුන්ම සහ ඒ සමාජ පංතියම බ්‍රිටෝටත්, බ්‍රයන්ටත්, ඇනීටටත් (පිංකි), අපේ නංගිගෙ නමේ අනිත් කෑල්ල සහජාන්ටත් හිනාවෙනවා කියලා මම දැනන් හිටියා. බ්‍රිටෝගේ තාත්තට තිබ්බා ස්නායු සම්බන්ධ රෝගයක්. එයා වැඩ ඇරිලා පාරෙ ඇවිදන් එද්දි පේන්නෙ හොඳටම බීලා වගේ. කෙලින් ඇවිදින්න බෑ. හැමෝම හිතුවේ මාටින් අංකල් බේබද්දෙක් කියලා. හරියට ඒ මනුස්සයාට අපහස කරලා තිබ්බා ගමේ උන්. ඉතිං ඒ සමාජීය පීඩනය ගෙදර ඇවිල්ලා පිපිරෙනවා. උන්ගෙ ගෙදර හැමදාම වගේ රණ්ඩු. ඒකෙන් අංකල් බේබද්දා කියලා ආයෙ ආයෙ තහවුරු වෙනවා. ඒ වගේම අපහසය නින්දාව නිසා වැරදි වැරදි ආයෙ ආයෙ පැටලි පැටලි යන නූල් බෝලයක් මටත් මගේ අර්ජුමාන් නමටත් තිබ්බා. ඒක අදටත් ලෙහා ගන්න බැරි වෙච්ච පැටලිච්ච නූල් බෝලයක්.
පොඩි කාලේ මම මුලින්ම ඉස්කෝලෙකට කියලා ගියේ වෑවල පල්ලියේ සාන්ත ක්ෂේවියර් පොඩි ඉස්කෝලෙට. ඊට පස්සෙ 7 වසර වෙනකං කතෝලික නොවන ඉස්කෝලෙකට ගියා - සෙවන්ත්ඩේ ඇඩ්වෙන්ටිස්ට්. ඒ කාලය සුන්දර මතකයක්. තාත්තා මාවයි නංගිවයි බයිසිකලේ දාගෙන උදේට ගිහින් ඇරලනවා. මම ඉන්නෙ ලගේජ් එකේ - නංගි ඉස්සරා. කන්දක් සෙට් වුනාම මම බැහැලා තල්ලු කරන්න ඕනා. තාත්තා මට කිව්වේ එක්ස්ට්‍රා එන්ජිම කියලා. ඒ නිසාම කොයි වෙලාවෙත් මං පොළොවට බහින්න බලාගෙන යන්නෙ.
8 වසරෙදි මට යන්න සෙට් වෙනවා අපේ පැත්තෙ තියෙන සුපිරියි කියන කතෝලික පාසලකට - ඩි මැසනඩ්. පොඩි කාලෙ අපි අහලා තිබ්බා ඒ ඉස්කෝලේ වස ෆාදර්ලා ඉන්නවා - ළමයින්ට වේවැලෙන් ගහනවා - ගහලා කලුවර කාඹර අස්සෙ හිර කරනවා කියලා. කොහොමහරි පොඩි කාලේ මාව ඒකට දාන්න උත්සහ කරලා තිබ්බත් ආර්ථික ප්‍රශ්ණ හින්දා ඒක බැරි වුනාලු. ආර්ථිකය හැමවෙලාවෙම දුවන්නෙ ප්‍රතිපත්තිමය රාමුවක් ඇතුලෙ නිසා - තාත්තාගෙ දැඩි අකමැත්ත නිසාම ඩි මැසනඩ් එකට මාව දාන්න හම්බෙලාම නෑ. ඒ “ලොකු” ඉස්කෝලෙට මං ගියෙ අපෙ “ලොකු” මාමාගෙ අතින් අල්ලගෙන.
තාත්තා අපිව හදිස්සියෙම සෙවන්ත්ඩේ ඇඩ්වෙන්ටිස්ට් ඉස්කෝලෙන් අයින් කරලා ඉන්ටනැශනල් ඉස්කෝලෙකට දැම්මා. අපිට ඉංග්‍රීසි ගැන තිබ්බ මාරාන්තික දේව භය ඒකෙන් පොඩ්ඩක් හරි නැති වෙලා ගියා කියලා හිතෙනවා. ඒත් අපි හැදුනු වැඩුනු පරිසරයේ තිබ්බ ලිංගික භාවිතාවන් සහ ඒවට තිබ්බ අනියත සබකෝලය නිසා ඒ ඉස්කෝලෙ වැඩි කල් අපිට ඉන්න හම්බුන්නෑ. කොහොමහරි එතන ප්‍රශ්ණ ඇති වෙලා අවුල් වෙලා නන්නත්තාර වෙලා ඉද්දි දේවදූතයා වගේ බැස්සෙ අපේ දොස්තර ලොකු මාමා. හැමවෙලේම අපි ළඟ නොහිටියත් අපට කෙල වුනාම හැමවෙලාවෙම උදව්වක් විදියට අපේ ළඟට සම්ප්‍රාප්ත වෙන්නෙ ඒ ලොකු මාමා. ඒත් ඒ කිසිම උදව්වක් නොමිලේ ගලාගෙන ආවෙ නෑ. ඒ හැම උදව්වකටම තිබ්බා දේශපාලනික පිරිවැයක්.
ඉතිං ඒ ලොකු ඉස්කෝලෙට යන්න අතේ සල්ලි නැති වුනත් ලොකු මාමාගෙ දේශපාලනික මැදිහත් වීමෙන් ඇඳුනුම්කම් හරහා මාව කොහොමහරි වැටෙනවා මැසනඩ් එකට. ලක්ශ ගණන් වැඩිපුරත් බ්‍රදර්ස්ලට දීලා ඉන්න කොල්ලො අස්සෙ ඉතා කුඩා මුදලකින් රිංගගත්ත මට හැමවෙලේම සිද්ද වුනේ ඒ බැලන්ස් පේමන්ට් එක එක එක ආකාරයෙන් ගෙවන්න. අවුරුද්ද මැද ඉස්කෝලෙට ගියපු මම හැම අතින්ම අඩත්තේට්ටම් වලට ලක් වෙන්න ගත්තා - ඒකට කියන්නෙ බයිට් වෙනවා කියලා. මුලින්ම මට ඒ භාශාව තේරුන් නෑ. අපේ ගෙදර උන්ට තේරුනෙත් නෑ. ඉස්කෝලෙ කොල්ලො හරියට ගහගන්නවා. ලේ පෙරෙන්න ගහනවා. නිතරම ඇඟට එනවා. හෝමොෆෝබියා වගේ. ගුරුවරු අතරත් ළමයින් අතරත් බ්‍රදර්ස්ල අතරත් ලිංගිකත්වය ගැන මහා විචිකිච්චාවක් තිබුනා. ඒ ඉස්කෝලෙ හිටියා විවිධාකාර වීරයෝ. විවිධාකාර චණ්ඩි. ඒ අතර හැමෝගෙන්ම ගුටි කන නෝන්ජලයො සහ වහල්ලු හිටියා. ඒ චණ්ඩි භාරව පාතාල නායකයො වගේ පෙනී හිටපු සර්ලා වර්ගයකුත් හිටියා. මේ ඔක්කොම අස්සෙ කිසිම කතෝලික පිරිමි පාසලක නැති විදියට ඉතා සුලු ප්‍රමාණයක් ගැහැණු ළමයිනුත් හිටියා. ඒ ඔක්කොම වගේ ලස්සන ගැහැණු ළමයින්ව උරුම වෙලා තිබුනේ අර කිව්ව චණ්ඩි පාතාලයට සහ වරප්‍රසාදලත් ඉහල පවුල් වල උන්ට විතරයි. ඔහොම මගෙ ජීවිතේ උඩුයටිකුරු වෙලා යාන්තං 9 වසරට එද්දි ඒ “ලොකු” ඉස්කෝලෙ භාශාවට සංස්කෘතියට මම හුරු වෙන්න පටන් අරන්. ඒ හුරු වීම කෙලවර වුනේ මහා අනන්‍යතා අර්බුදයකින් කියලා අද හැරිලා බැලුවම මට පේනවා.
ඒ ඉස්කෝලේ ඇතුලෙ කවදාවත් මගේ සම්පූර්ණ ඇත්ත කථාව මට එළියට දාන්න හම්බුනේම නෑ. මට විතරක් නෙමේ කාටවත් එහෙම තම තමුන්ගෙ සමාජීය මානසික යථාර්තයන් වලට අවංක වෙන්න පුලුවන් වුනාද මට සැකයි. එහෙම විවෘත වේදිකාවක් මම ගිය කිසිම ඉස්කෝලෙක මට හම්බෙලා නෑ. හැමවෙලේම මම පෙනී සිටියේ සිතිජ ද සේරම් කියන ආකර්ශණීය සහ ඉහල මධ්‍යම පාංතික වැදගත් නමින්. ද සේරම් කියන්නෙ ද මැසිනොද් විදුහල ඇතුලෙ හොඳ පිළිගත්ත වාසගමක් වෙලා තිබුනා. ඒත් බ්‍රදර්ස්ලා දැනන් හිටියා මම ඉස්කෝලෙට ඇතුලත් වුනේ ඒ නම්බුකාර උසස් පවුලේ මිල මුදල් සහ දේශපාලනික බලය හරහා නෙමෙයි කියලා. අපෙ තාත්තා මම ඉස්කෝලෙන් අයින් වෙනකම්ම ඉස්කෝලෙට ආවෙ කෙරුවෙ නෑ.
මම ඉස්කෝලෙට ගිය පළවෙනි දවසෙම යනවා මගෙ තාත්තාගෙ පවුලෙ නෑදෑ වෙන මල්ලි කෙනෙක් හම්බෙන්න. බාප්පගෙ පුතා. මාව මැසනඩ් එක ඇතුලෙ දැක්කම ඌ පුදුම වෙනවා. ඊට කලින් මම ඉන්ටනැශනල් ඉස්කෝලෙට යද්දි ඒත් ඌ පුදුම වුනා ඉස්කෝලෙට ඩෙක් ශූස් දාන්න පුලුවන්ද කියලා. මම කලු සපත්තු දාලා කොණ්ඩෙ පීරලා සුදු කොට කලිසම ගහලා මැසනඩ් ඇවිල්ලා කියලා දැක්කම ඌ ආයෙ පුදුම වුනා. කෙසේ හෝ එදයින් පස්සෙ අර කිව්ව “සිතිජ ද සේරම්” එක්ක ඌ හොඳ මිත්‍රයෙක් වෙනවා. මමත් ලොකු ඉස්කෝලෙ එහෙම හම්බුන අලුත් අලුත් යාලුවො එක්ක එකතු වෙලා අර අප්සෙට් අර්ජුමාන්ව හංගන්න ලොකු උත්සහයක යෙදුනා. එතකොට කවුරුත් මට හිනා වුනේ නෑ. මමත් තවත් එක සාමාන්‍ය “නිරෝගී” මැසනඩ් කොල්ලෙක් බවට පත් වුනා.
මම ඒ ලොකුයි කිව්ව ඉස්කෝලෙට යනකං අපේ තාත්තාගෙ පවුලෙ කියලා මට පැහැදිලිව මතක සීයවයි බාප්පවයි විතරයි. අනිත් අයව අපි දකින්නෙ නත්තල් දවසෙ පැය කීපයකට මහ ගෙදරට ගොඩ වුනාම විතරයි. ඒ මුලු පවුලම ඉස්සරා මට කවදාවත් මගෙ නම “අර්ජුමාන්” කියාගන්න බැරි වුනා. උන් හිනාවෙනවා. මමත් හිනාවෙනවා. අපි ඔක්කොම හිනාවෙනවා. හකු රිදෙනකං හිනාවෙනවා. ඒ ඔක්කොටම තිබුනෙ අතිශය සාමාන්‍යයි කිව්ව කවුරුත් හිනාවෙන්නෙ නැති ආරක්ශිත නම්. ඒ ඔක්කොටම සිද්ද වෙලා තිබුනේ සුද්දා හදපු ඉහල මධ්‍යම පාංතික සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය සහ සුචරිතවාදය පිලිඅරගෙන ඉතා පරිස්සමෙන් ජීවත් වෙන්න. මමත් සිතිජ ද සේරම් වෙලා අර කිව්ව උසස් කතෝලික පාසලට ගිහිල්ලා අර්ජුමාන්ව ඇඳ අස්සට තල්ලු කරලා හංගලා දැම්මට පස්සෙ ඉස්සර මාව ප්‍රතික්ෂේප කරපු ගොඩාක් උදවිය මාව වැළඳගන්න පටන් ගත්තා. ඒ වැළඳගැනීමත් එක්කම පොඩි කාලේ සෙල්ලං කරපු ගමේ යාලුවන්ගෙන්, නංගිගෙන්, මගෙ අම්මගෙ ගම - කන්ද වත්තෙන්, වැලිගම්පිටියෙන් මම ටික ටික ඈත් වෙන්න පටන් ගත්තා.
ඩි මැසනඩ් එකේ නම කොළඹට අරගෙන යන ඉහල පෙලේ යැයි කියා ගත් පවුල් පරම්පරා වල ළමයි නිතර ගැවසෙන ඉස්කෝලෙ කොආයර් එකට මාව අහම්බෙන් වගේ සෙට් වුනා. මං ඒකට ආස වුනා. මගෙ පෙනුම සුදුයි උසයි කෙට්ටුයි. මාව ගැලපෙන්නෙ ඇල්ටො සොප්‍රානෝ කියන්න වුනත් මට සින්ග් කරන්න පුලුවන් වුනේ සහ මාව ටීචර් දැම්මෙත් බර වොයිසස් තියෙන බේස් සහ ටෙනර් කාණ්ඩ එක්ක ඉන්න. එතන හිටපු ඔක්කොම වගේ උස මහත, දිනපතා රැවුල් කපන, සද්දන්ත ජබ්බො. උන් බොග් බොග් ගගා බේස් සින්ග් කරද්දී ඇට කෝටු මමත් අස්සෙ රිංගගනෙ ඒ ගානටම උන් එක්ක සින්ග් කරන්න පටන් ගත්තා.
කොළඹ ඉස්කෝල වලින් අපිට ඇහුනු - යුරෝපයේ වගේ දැනුනු - තාක්ශණිකවත් අධ්‍යාත්මිකවත් පුහුණු කෙරුනු ඒ සුපිරි වොයිසස් වලට අපේ කොආයර් එකේ මලකඩ කටහඬවල් ලං කරන්න බැරි වුනත් එහෙම කොළඹ ගියපු එකෙන් ඒ බටහිර ශ්‍රාස්ත්‍රීය ලෝකෙ මට දැකගන්න පුලුවන්කම ලැබුනා. නැශනල් ඔකේස්ට්‍රා ප්ලේ කරනවා දැකලා, ඉංග්‍රීසි නාට්ටි බලලා, කොළඹ පල්ලි වල වොයිස් ට්‍රේනින් වලට ගිහිල්ලා සහතිකයක් දෙකක් අරගෙන කඳාන හපුගොඩට බහිද්දි ඉස්කෝලේ ඒ වෙද්දි ජනප්‍රිය වෙලා තිබ්බ සංගීතය පාට පාට ලයිට් බුබුලු පත්තු වෙන වෙනමම එකක්. ඉස්කෝලෙ පූජාව කොළඹදි අපිට ඇහුන මයිල් කෙලින් වෙන රාජකීය පූජාව නෙමේ. ඒක නිසාම නිකංම සිංහල පෙරදිග සංගීතය කරන උන්ව අපි දකින්න හුරු වුනේ අඩු කුලේ පර හැත්ත වගේ. ඒත් ඉස්කෝලෙ ඇතුලෙ උන් හිටියේ විශාරද පණ්ඩිත් ලෝඩ් පකීර්ලා වගේ.
ඒ භාශාවයි කොආයර් එකේ භාශාවයි අහසයි පොළොවයි වගේ වුනා. ශික්ෂා පද්ධති දෙකක්. ලෝක දෙකක්. අභිලාශයන් දෙකක්. කොආයර් එකේ උන් ගරු කරන තරං ආගමට දෙයියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට ගරු කරන වගක් ආත්මීයව වන්දනාමාන කරන ගතියක් පෙරදිග සංගීත ලෝකෙ පෙනෙන්නට තිබුනෙ නෑ. කොණ්ඩ කොටට කපාගෙන ලෝගු ඇඳගෙන කොළඹ පල්ලි ඇතුලෙ සම්භාව්‍ය බටහිර සංගීතය ඉගෙනගත්තත් - දෙවියන්ට ඔප්පු කරන ගායනාවන් මෙන් ආධ්‍යාත්මිකව පුහුණුවන් ලැබුවත් - ඉස්කෝලෙට ආවාම දකින්න ලැබුනේ ඊට හාත්පසින්ම වෙනස් වුනු පාට පාට අච්චාරු සංගීතයක්.
ඒ සංගීතය හරහා ජනප්‍රිය වුනු එක එක සුපිරි චරිත ඉස්කෝලේ හැදිලා හිටියා. ඒ ජනප්‍රිය චරිත අවට නිතරම කෙල්ලො වගේම තරුණ ටීචර්ස්ලත් ගැවසුනා. උන්ට හැමවෙලේම වාසියි. බොරුවක් දෙකක් කියන එක මහා දෙයක් නෙමේ. ක්ලාස් කට් කරලා සංගීත කාමරේ ආතල් එකේ ඉන්න ඉහල පෙලේ සංගීත ගුරුවරුන්ගෙන්ම උන්ට ආශිර්වාදය ලැබිලා තිබුනා. ඒ පාට පාට පොළොවෙ සිහින තරු බිහි වුනා. මාකටින් ඔස්තාර්ලා බිහි වුනා. ලස්සන ලස්සන අලුත් තනු නිර්මාණ ඇහුනා. අලුත් සිංදු හැදුනා. ඊට එහායින් තිබ්බ සම්භාව්‍ය බටහිර සංගීත කුලයේ තිබ්බෙ තියෙන නොටේශන් එක එලෙසින්ම ගහනවා මිසක් එහෙම අලුත් එක එක නව නිර්මාණ හැදෙන බවක් පෙනුනේ නෑ. හැමෝම එකම ලෝගුවක් ඇඳලා එකට ගායනා කරේ ඈත අතීතයේ සිට පැවැතගෙන එන බටහිර ශ්‍රාස්ත්‍රීය ලෝකයේ කතෝලික අධිරාජ්‍යවාදීන්ගේ පල්ලි ඇතුලේ වැඩහිටපු සර්ව බලධාරී ඒක දෙවියන්ට මිසක් එක එක ගැහැණු පාර්ශවයන්ගෙන් ලකුණු දාගන්න නෙමෙයි. ඒක අනිත් උන් කොහොම ගත්තත් මම මහා අනවශ්‍ය විදියකට ඒ සංගීතය සහ ඒ විද්‍යාව සීරියස් ගන්න පටන් ගත්තා. මං අවංක මෝඩයෙක් ඔව් පිලිගන්නං. අවංකව මම විශයට ධාර්මික වෙන්න පටන් ගත්තා. එහෙම නැතිව මට සින්ග් කරගන්න බැරි වුනා. ඒකට බොක්කෙන් බැස්සොත් මිසක් මට ඒක ශාරීරිකව කරගන්න බැරි වුනා. එහෙම හිත පතුලෙන් ධාර්මික වෙන්න වෙන්න මට සංගීතය සහ ගණිතය අතර ලොකු වෙනස්කමක් පෙනෙන්නට තිබුනේ නෑ. ටිකෙන් ටික මගෙ ලෝකෙ ඇතුලෙ ඒ විශයන් දෙකම එකක් බවට පත්වෙමින් තිබුනා.
ඒ කාලේ තාත්තා ගෙදරට ගෙනාවා සුපිරි ඕගන් එකක්. ඒකෙ තිබ්බ ඔකේස්ට්‍රල් ඩෙමෝ ට්‍රැක්ස් දාගෙන මම ඇස් වහගෙන ඒ ඔකේස්ට්‍රා එක කන්ඩක්ට් කරනවා. ඒ කාලේ මම කොආයර් එකේ කන්ඩක්ටර්. එතකොට මට නොටේශන්ස් කියවන්න ඒවා බලාගෙන සින්ග් කරන්න පුලුවන්. ඒ වෙද්දි කොආයර් එකේ පොඩි මල්ලිලට පාට්ස් කියල දෙන සිනීයර් අයියා කෙනෙක් වෙලා. දවසක් මම එහෙම ඕගන් එක දාගෙන තාත්තාගෙ කාමරේ ඇස් වහගෙන කන්ඩක්ට් කර කර ඉද්දි එක පාර ගැස්සුනා - ඒ අම්මයි නංගියි මගෙ දිහා බලාගෙන හිනාවෙනවා ඇහිලා. ඒ වෙද්දිත් අපේ ගේ අස්සේ බල කඳවුරු දෙකක් ඇති වෙලා. එකක් ඉහත කිව්ව මම පොඩි කාලේ ඉඳන් හැදුන වැඩුන මගේ ග්‍රාමීය යථාර්තය. අනිත් එක මේ ශ්‍රාස්ත්‍රීය බටහිර සංගීතය සහ උසස් පෙළ සංයුක්ත ගණිතය හරහා මගේ ඇතුලෙ නිර්මාණය වෙලා තිබ්බ ගමෙන් එහාට විහිදුන විශ්වීය යථාර්තය.
මේක ලෝක දෙකක් වෙලා වෙන්වෙලා ඈත් වෙලා යුද්ධයක් නිර්මාණයක් වෙලා තිබුනා. ඒ කාලේ ගෙදර රණ්ඩුවක් නොවුන දවසක් මට මතක නෑ. වම් මොළෙයි දකුණු මොළෙයි මරා ගන්නවා වගේ ගෙදර හැමවෙලේම තිබ්බෙ කවදාවත් ඉවරයක් වෙන්නේ නැති මොකෙක්වත් පරදින්නෙත් දිනන්නෙත් නැති තර්ක විතර්ක විතරයි. 2009දි උතුරෙ සිවිල් යුද්ධෙ උච්චතම තැනකට ඇවිල්ලා තිබුනා. අපි ශාරීරිකව යුද්ධෙට අහු නොවුනත් මානසිකව මහා යුද්ධෙකට බිලිවෙමින් - එකිනෙකා ගැටෙමින් තනි තනි වෙමින් - ඉස්සර අපි අතර තිබ්බ ප්‍රේමය සමාවදීම සහෝදරත්වය ටිකෙන් ටික ගිලිහෙමින් තිබුනා. සංගීතය ගණිතය විතරක් නෙමේ - ලෝක දැක්ම, ආගම, දේශපාලනය, ආදරය, ලිංගිකත්වය, දෙවියන්, සහෝදරත්වය, මව්පියන්, විවාහය, උපත සහ විපත - මේ සියල්ල දකින්න කියවන්න පුලුවන් ඒ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෝක දෙක මගෙ ඇස් දෙකට කාච දෙකක් බවට පත් වුනා. අහසයි පොලොවයි අතර වගේ ඔය කාච දෙක මැද්දෙ මම සැරිසරන්න පටන් ගත්තා. මැසනඩ් යථාර්තයේ මට ස්වාධීනව පය ගහලා ඉන්න පුලුවන් එකම ආත්ම ශක්තිය බවට පත් වුනේ - එකී සංගීතය සහ ගණිතය කියන විශයන් දෙකට ඇති වූ අවංක ආත්මීය ඇල්ම විතරමයි. අද හැරිලා බැලුවම විශයකට වඩා එතනදි මම අවංක වෙලා තියෙන්නෙ සියලුම ජල ගංගා වල මහා උල්පතකට කියලා පේනවා.
තිස්තුන්කෝටියක් දෙවිවරු එක්ක ගනුදෙනු කරද්දි තිස්තුන්කෝටියක් ගෑණුන්ට හිත යනවාලුනෙ. ඉහත කී කොආයර් එකට සෙට් වෙලා පොශ් වෙන්න කලින් 9 වසරෙ මුල මම ෆුල් වල්. වල්කථා කාපර්. ටීචර්ස්ලා, අක්කිලා, නංගිලා, අම්මිලා, ඇන්ටිලා.... බෙල්ලෙන් පහල ඕනෑම ස්ත්‍රී රූපයකට මම වශී වෙන්න පටන් අරන්. ඒ වනවිට වනචර දෙව්ලොව මහා කථා සක්විති මගේ යාලුවා - මැක්සි. ඉස්කෝලෙ යන්නෙම උගෙන් අලුත් කථාවක් අහගන්න. ඔහොම ඔහොම මහා වනචරකමකට ගොදුරු වුන මට ඕලෙවල් ලං වෙද්දි හිතෙන්න ගන්නවා එක ආදරවන්තියක් ඇති කියලා. ඒ සිතිවිල්ලෙන් මට හරිහමන් ගැහැණු ළමෙක් හමුනොවුනත් ඕලෙවල් විභාගෙට හොඳ රිසාල්ට් එකක් අරගන්න පුලුවන් වෙනවා. ඒ ආපු පිම්මෙන් හැමෝගෙන්ම ආශිර්වාද අරගෙන උසස් පෙළ ගණිතය හදාරන්න යනවා. මගේ තිබ්බ ස්නායු වල කේස් එකක් නිසා මං හිතන්නෙ අනිත් විශයන් ඔක්කෝටම වඩා නිරායාසයෙන්ම මට පුලුවන් වුනේ ගණිතය විතරයි. කවදාවත් මම පැය ගණන් පොත් පාඩං කරලා නෑ. ඒත් මං දවස් ගණන් එකම ප්‍රශ්ණෙ එක්ක එක එක විදියට ඔට්ටු වෙනවා. ඉස්කෝලෙ ගණන් සර්ටත් වඩා තියුණු විදියට ගාණට බැස්සට මට හරි වෙලාවෙදි ගාණ ඉවර කරගන්න බැරි වෙන නිසා ඒ වෙද්දිත් විභාග මට අප්පිරිය වෙන්න පටන් අරන්.
මගෙ ගණන් සර් වුනේ තාත්තා. ඉස්සර තාත්තා කියන මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. මට එන්නෙ කේන්තියක්. තාත්තා උගන්නන්න ගන්නෙම මහා සංකීර්ණ යුධ ගැටුම් වල උදාහරණ. ගොඩක් ඒ යුධ ගැටුම් අවසාන වෙන්නෙ ලංකාවේ යුධ හමුදාව එල්ටීටීඊ එකෙන් අම්බානක කාලා. එයාගෙ රස්සාව වුනේ නැව් වල යන ඉංජිනේරුවන්ට, නේවි ඔෆිසස්ලට, විශ්වවිද්‍යාල වල ශිෂ්‍යන්ට ඉංජිනේරු විශයන් ඉගැන්වීම. තාත්තා අනින ටොක්ක පස්සෙ තමයි තේරෙන්නෙ වගේ එයා කියන මහාප්‍රාණ පැහැදිලි කිරීම් මුලදි මට තේරුන් නැතත් කොහොමහරි ගණිතයේ හරිම නිලය මට ඒ මානසික පීඩනය හරහා සෙට් වෙලා කියලා තේරුනේ උසස් පෙළ ගණිතය පංති කාමරේදි. ජීවිතේ පළවෙනි වතාවට ඇප්ලයිඩ් මැත්ස් පේපර් එකටයි පියෝ මැත්ස් වලටයි අනූගණන් ගත්තා මතකයි. කැළෑ අශ්වයෙක් රේස් එකේ ඉස්සරහින් දුවනවා වගේ මම උසස් පෙළට ගිය ගමන් හෝ ගාලා බැට් කරන්න ගත්තා. කොහොමහරි ඒ කාලේ මම තර්ක කරපු, කුප්පි දාපු, සංවාද පවත්වපු උන් අද වෙද්දි ඉංජිනේරුවො හෝ රටේ ලෝකෙ පාලනයට කර තියන ප්‍රධාන පෙලේ මිනිස්සු බවට පත් වෙලා. මම මෙහෙ වතුර බවට පත්වෙලා. එක එක භාජනයෙන් භාජනයට මාරු වෙන, අහසින් පොළොවට වැටෙන, පොළොවට අහසට නගින, විටෙක අයිස් වෙන, තවත් විටෙක හුමාලය වෙන වතුර වෙලා. සමහරු ඒ වතුර තිබහට බොනවා. සමහරු ලැට් හෝදනවා.
දවසක් කෙමෙස්ට්‍රි ලැබ් එකේ අපි විවාහ වෙන වයස ගැන කියෝ කියෝ ඉද්දි මගේ ක්‍රෂ් එකක් වෙලා හිටපු දූතිකා මට කිව්වා මතකයි මම නං ඔක්කෝටම කලින් කසාද බඳියි කියලා. අපි ඔට්ටුවකුත් ඇල්ලුවා. එච්චර උණක් මට ඒ කාලේ ගහලා තිබ්බා. ඒත් මම කිව්වෙ මම කවදාවත් කසාද බඳින්නෑ කියලමයි. ඒ කිව්වෙ මට එයා එක්ක කථාබහක් ඇති කරගන්න ඕන නිසා මිසක් ඇත්තට නෙමේ. දූතිකා ඒක පිළිගත්තෙම නෑ. අද එයාට ළමයි දෙන්නෙක්ද මන්දා ඉන්නවා මං හිතන්නෙ. ඒ ලව් උණ කිව්ව උණ හැමදාම එක්කො මම වරදවා වටහගෙන - එක්කො මම ලං වුන ගෑණු ළමයි වරදවා වටහගෙන. හැමදාම වෙලා තියෙන්නෙ ගෑණු ළමෙක් මට කැමති වුන ගමන් මම හතර වටේ දුවන්න පටන් ගන්න එක. ගෑණු ළමෙක් කැමතියි කියලා ඉඟි කරපු ගමන් මම දුවනවා, පොත් ලියනවා, තනු හදනවා, කවි නිසදැස් ලියනවා වගේ එක එක පිස්සු කෙලිනවා. අපේ පූසට බඩගිනි වුනාමත් එහෙමයි. හැමතැනම ඇතිල්ලෙනවා, එහෙ මෙහෙ දුවනවා, ඳගලනවා එක විකාරයයි. ගොඩක් වෙලාවට කෑම එක කොහෙවත් පූසා කොහෙවත්.
මම අර කිව්ව ඒකීය ආදරවන්තිය මට ඉස්කෝලෙ කාලෙ ඉන්නකම්ම හම්බුනේ නෑ. ඒලෙවල් කාලේ ඉස්කෝලෙට ආපු ඔක්කොම රස වරකා ගෙඩි හිටපු කාක්කො පොර කකා කෑවා. බල්ලො මස් කෑල්ලට පොරකනවා වගේ තත්වයක් තිබූ හෙයින් එකක්වත් සාර්ථක වුනේ නෑ. දවසක් 2007දි මම මහා සිකුරාදා පල්ලි ගියාම ලස්සන ගෑණු ළමෙක්ව දකිනවා. පස්සෙ මම ඒලෙවල් කරද්දි දැන ගන්නවා එයා අපේ සීයලගෙ මහගෙවල් එහා පැත්තෙ ඉන්නෙ කියලා. ඒ මගේ පළවෙනි ආදරවන්තිය.
එයා හැම ඉරිදාම උදේ පූජාවට එනවා කියලා මට දැනගන්න ලැබෙන්නෙ එයාගෙ අසල්වැසියෙක් වන මා මිත්‍ර තරීන්ගෙන්. ඒ හෝඩුවාවෙන් මම හැම ඉරිදම මහා පාන්දර නැගිටගෙන පල්ලි යන්න පටන් ගත්තා. ගිය පළවෙනි දවසෙම එයාව දැක්කා කියන්නෙ දෙවියන් බැහැ දැක්කා වගේ තමා. මම හිතුවේ ඒක දේව සැලැස්ම කියලා. මොකද අර කිව්වා වගේ මට වනචරකමින් මිදිලා පවිත්‍ර වෙන්න බරපතල උවමනාවක් ඇවිල්ලා තිබුනේ. මට තේරුනා මේ හමුවීමෙන් මගේ සැබෑ වෙනසක් වෙනවා කියලා. ඒ කාලේ තාත්තා ගෙදර දානවා ධර්මරත්න බ්‍රදර්ස්ලගේ වැහිදාක ගඟනෝදරේ සිංදුව. ඒක අහගෙන මම සිහින ලෝකෙකට යනවා. තනියම කථා කරනවා. දෙබස් කියනවා. ඔහොම ඉද්දි මට සිංදුවකට පේලි කීපයක් ලියවුනා. “මා ඔබේ ඇස් පල්ලියේදි යන්තමින් දුටුවා - එදා ටිකක් අඳුරුයි වළාකුලු නෑ මහා සිකුරාදා”. ඒක ටික ටික සිංදුවක් විදියට හැදුනා. මම ඒ සිංදුවෙ ජීවත් වෙන්න පටන් ගත්තා. ඒක හරියටම ෆිල්ම් එකක් ඇතුලට ඇවිදන් යනවා වගේ. ඒ සිංදුවෙන් පස්සෙ මම ජීවත් වුනේ ඒ ෆිල්ම් එකේ. ෆිල්ම් එකේ ඉද්දි හැමදෙයක්ම දැනෙන්නෙ ඇහෙන්නෙ ඒ විදියට. අපි කථා කරපු හැම දෙබසක්ම මම සීරියස් ගත්තා. මියුසික් අහද්දි මට කරන්ට් පාස් වෙන්න පටන් ගත්තා. මම කවි ලිව්වා. සම්පූර්ණ පොතක්ම ලියලා එයාට දුන්නා කියවන්න කියලා. ඒ කාලේ මම ලියනවා ලියනවා ඉවරයක් නෑ.
ඒ වෙද්දි මම ඒ ලෙවල් කරලා ඉවරයි. ෆිල්ම් එකේ නිළිය ඒ ලෙවල් කරනවා. අපිට හම්බෙන්න කරන්න වරම් තිබුනෙ නෑ. ඉඳලා හිටලා හොරෙන් පොඩි වෙලාවකට හම්බෙනවා හැරෙන්න එහෙම මාර ප්‍රේමයක් අපි දෙන්නා අතර තිබුනේ නෑ. මම ජීවත් වෙලා තියෙන්නෙ මගේම මනෝ ලෝකෙක. එයා ජීවත් වෙලා තියෙන්නෙ එයාගේම ලෝකෙක. ඒත් අපි ආදරවන්තයෝ. ඒ අපේ ෆිල්ම් එකේ.
මම ලංකාවේ රජයෙ කැම්පස් යනවට තාත්තගේ ලොකු උනන්දුවක් තිබුනෙ නෑ මුල ඉඳන්ම. එයා කිව්වෙ තනියම ඉගෙනගන්න පටන් ගන්න කියලා. ඒ කාලේ ලෝකෙ පුරා පවත්වපු ඉංජිනේරු විභාග වගයක් තිබුනා. ඒක පැවැත්වුවේ එංගලන්තෙ ඉංජිනේරුවන්ගෙ කවුන්සිල් එකෙන්. ඒ වෙද්දි මම අවශ්‍ය කරන ඉංජිනේරු අච්චු පොත් එහෙම හොයාගෙන තාත්තා එක්ක සෙට් වෙලා තනියම ඉගෙන ගන්න පටන් අරන්. මගක් දුර වැඩේ කරන් යද්දි හෙන ගහනවා වගේ ලෝකෙ පුරා ඒ විභාගෙ පවත්වන එක නැවැතුනා. එතනින් පස්සෙ ලංකාවේ කවුන්සිල් එකට සෙට් වෙන්න වුනා. ඔහොම ඔහොම මගෙ ඉංජිනේරු අධ්‍යාපනය එක එක කඳවුරු වල විවිධාකාර ගුරුවරු ආශ්‍රය කරමින් විවිධාකාර පොත් කියවමින් තැන් තැන් වලට මාරු වෙමින් යන අවිධිමත් රස්තියාදු ගමනක් වුනා.
ඉහත කිව්ව සිතිජ ද සේරම් ඒ වෙද්දි ෆිල්ම් එකේ ලස්සනම තැනකට ගිහිල්ලා. මැසනඩ් කොල්ලෙක්. උසස් වාසගමක්. ඉංජිනේරු ශිෂ්‍යයෙක්. ඒ වෙද්දි ෆිල්ම් එකේ නිළිය මට පොරොන්දුවක් දීලා තිබුනා ඒ ලෙවල් ඉවර වුනාම මේ තහංචි ඔක්කොම ඉවරයි - අපි අපේම ලෝකෙකට පියාසර කරමු - එතකං මේ මුකුත් ඕනේ නෑ - අපි ඉවසමු නේද කියලා. මං අවංක මෝඩයෙක් ඔව් පිලිගන්නං. මම එයාගේ ඒ ලෙවල් ඉවර වෙනකං පොඩ්ඩක්වත් වද නොදී දරාගෙන අඬාගෙන හිටියේ එයාට අධ්‍යාපනයට පොඩි හරි බාදාවක් නොවෙන්න. ඒ ලෙවල් ඉවර වෙලා පහුවදා එයා මැසේජ් එකක් දැම්මා - මට මේක තවත් කරන්න බෑ - මේක ඉවරයි කියලා. මම ඒ වෙද්දි පෑලියගොඩ සයිට් එකක ට්‍රේනින් යනවා. ඒ පොඩි මැසේජ් එකෙන් මං හිතන්නෙ මගේ ඇතුලෙ මොකක්හරි ආයෙ හරවගන්න බැරි කේස් එකක් පත්තු වුනා. ඒ වෙද්දි මම දැඩි විශ්වාසකයෙක් වෙලා. ඒත් දේව සැලැස්ම මට ඕන විදියට දුවන්නෙ නැති නිසා මම ඒ වෙද්දිත් අහන්න පටන් අරන් ස්වාමිනි ඔබ මා අත්හැරියේ මන්ද කියලා. අවුලක් නෑ තව පොඩ්ඩක් යන්කො කිය කිය ඉස්සරාට ඇදගෙන යද්දි තමා නිළිය මැසේජ් එක එව්වෙ. එතනින් එහාට සිංහල හඬ කවපු හිංදි නාට්ටි වල වගේ කෙලින්ම නිළිය අතුරුදහන්.
එදයින් පස්සෙ අර කිව්ව ඉහල මැද පංතියේ ප්‍රශංසා ලබමින්, පල්ලියෙ ඉස්කෝලෙ පවුලෙ පරම්පරාවේ හොඳ නම රකිමින්, ගුණවන්ත අහිංසක ගුරුවරුන් වැඩිහිටියන් කියන දේ අහන දෙවියන්ට කීකරු ආදරණීය සිරිමත් මගෙ සකි - සිතිජ ද සේරම් ඇතුලෙන් පුපුරලා යන්න පටන් ගත්තා. ඒ වන විටත් මට පිටතින් හිනාවෙලා අතිශය සාමාන්‍ය විදියට ඉන්න සිද්ද වෙලා තිබුනත් - ඇතුලාන්තයෙන් මහා ගැඹුරු අනන්‍යතා අර්බුදයකට මූණ දෙන්න පටන් අරන් ඉවරයි. ටික ටික සියලුම ඊනියා පාසල් යාලුවන්ගෙන් සහ සම්පූර්ණ මැසනඩ් යථාර්ථයෙන් නික්මෙන්න පටන් අරන්. මහා ඉහලින් මාව පිලිගත්ත නෑදෑයන්ගෙ හෙලුව මට පේන්න පටන් අරන්.
දෙවියන්ට මම තනියෙම කෑගහන්න පටන් ගත්තා. හැම රෑම කඳුලකට පෙරලුනා. මුලු රෑම අඬ අඬ ඉඳලා පහුවදා ඉතා සාමාන්‍ය විදියට මුකුත්ම වෙලා නෑ වගේ හිනා වෙලා ජීවත් වෙන්න හුරු වුනා. ආදරය ප්‍රතික්ශේප වෙනවට වඩා මට වුන ලොකුම අවුල අර කිව්ව සර්ව බලධාරී ඒක දෙවියන් අවංක ධාර්මික සුහට කීකරු මට පිටුපෑමයි. ඒක මට තේරුං ගන්න බැරිව මම ලොකු දුකක් වින්ඳා. මොකද එතනදි පල්ලියෙ සහ මම ගිය කතෝලික ඉස්කෝලෙ තර්කය සහමුලින්ම ෆේල් වෙලා ඉවරයි. මම ඒ වෙද්දිත් දෙවියන් කිව්ව විදියට ජීවත් වුන එකෙක්, පංති භේද නැතිව හැමෝටම පොදුවෙ ආදරය කරපු එකෙක්, ඊරිසියා කරන කකුලෙන් අදින උන්ට සමාව දුන්න එකෙක්, වම් කම්මුලට ගැහුවම දකුණු කම්මුලත් හරෝපු එකෙක් - අවසානයේ දෙවියන් මාව අතහැරලා විසිකරලා දැම්මා හපයක් වගේ.
මට මගෙ අර්බුදය කියාගන්න එකෙක්වත් හිටියෙ නෑ. හැමදේම තනියම රහසේ දෙවියන්ට කියන්න හුරු වෙලා හිටපු මම ඒ වෙද්දිත් ගොඩාක් යාලුවන්ගෙන් ඈත් වෙලා ඉවරයි. ඒ වෙද්දි ගෙදර සෑහෙන විපර්යාසයක් වෙන්න පටන් අරන්. නංගි එයා ඒ ලෙවල් කරන කාලෙම ආදර සම්බන්ධතාවයකට පැටලුනා. ඒ සම්බන්ධය එයාට නුසුදුසුයි කියලා මට හිතිලා ඒ වෙද්දි මායි නංගියි අතර මාරාන්තික යුද්ධයක් පටන් අරන්. කොච්චර අකමැති වුනත් දවසක් නංගි පල්ලියෙදී ඉකි ගගහා අඬනවා දැකලා ඒකත් මම දෙවියන්ගෙ කැමැත්ත කියලා හිතලා එයාට එයාගෙ ජීවිතෙ තීරණ ගන්න ඉඩ දුන්නා. ඒ වටපිටාවේ මට මගෙ දුක කියාගන්න එකෙක්වත් ගේ ඇතුලෙ හිටියෙ නෑ. කිව්වත් මොකෙක්වත් තේරුං ගත්තෙත් නෑ. කෙල්ලෙක් දාලා ගියා නං තව කෙල්ලෙක්ව හොයා ගන්න කියලා හැමෝම කිව්වත් මට තිබ්බෙ කෙල්ලෙක් දාලා ගිය ප්‍රශ්නයක් නෙමේ - මහා සර්ව බලධාරී දෙවියන් එකක් ඇති වුන මාරාන්තික යුද්ධයක්.
සියලුම ආයතන විසින් පොඩි කාලේ ඉඳන් හදලා දුන්න අනන්‍යතාවයන් සුනු විසුනු වෙලා තියෙද්දි නන්නත්තාර වෙලා ඉද්දි මම ලං වෙනවා කෙනෙක්ට. එයා මට වඩා අවුරුදු අටක් බාලයි. ඒ වෙද්දිත් එයා ඉස්කෝලෙ යන පොඩි ළමෙක්. අපි දෙන්නා ලේ ඥාති. එවැනි හෘදයාංගම ලෙන්ගතුබවක්, කොන්දේසි විරහිත බාර ගැනීමක් සහ උණුසුමක් මට කාගෙන්වත් - අම්මගෙන් තාත්තගෙන්වත්, කිසිම යාලුවෙක්ගෙන්වත් කිසිම විදියකින් හම්බෙලා තිබුනෙ නෑ. අදටත් නෑ. කවදාවත් කවුරුත් හීනෙකින්වත් හිතන්නෙ නැති මහා අසම්භාව්‍ය විදියට අපි දෙන්නා ටික ටික ලං වෙන්න පටන් ගත්තා.
කිසිම ලිඛිත භාශාවකින් ප්‍රකාශ කරගන්න අමාරු හරිම නැවුම් වෙනස් හැඟීම් ගොඩක් මැද මම ආයෙත් අලුත්ම කලලයක් විදියට ඉපදෙන්න පටන් ගත්තා. පෙර වූ අනන්‍යතාවය කුඩු පට්ටං වෙලා මරණයට පත් වෙලා නමක් ගමක් ආගමක් ජාතියක් නැති ගන්ධබ්බයෙක් වගේ එහෙ මෙහෙ සැරිසරද්දි මට අලුතෙන් ඉපදෙන්න ගර්භාශයක් හම්බෙනවා. ඒ ඇයයි. එහෙම අලුතින් ඉපදුනු කුඩා දරුවට මම ‘අර්ජුමාන්’ කියලා නම් කරලා හිතට ගලාගෙන එන දේවල් මේ වගේ ඉන්ටනෙට් එකේ ලියන්න පටන් ගන්නවා. ඉස්සර ලිව්ව දේවල් මම හංගලා මගෙ ළඟ තියාගත්තා මිසක් කාටවත් මම පෙන්නලා නෑ කියවන්න. අරම අලුතින් ඉපදුනාට පස්සෙ මම බ්ලොග් එකක් හදලා ලියන්න පටන් ගත්තා, තනු නිර්මාණය කරන්න ගත්තා, සිංදු හදන්න ගත්තා - ලියවෙන්න ගත්තා, තනු නිර්මාණය වෙන්න ගත්තා, සිංදු හැදෙන්න ගත්තා.
ඉතා අහම්බෙන් සිදු වුනු ඒ හමුවීමෙන් සහමුලින්ම මගේ විශ්වාස පද්ධතිය උඩුයටිකුරු වුනා. මට ඒක කාටවත් කියාගන්න තේරුනේ නෑ. ඒක නිකං පිටසක්වල යානයක් එක්ක සන්නිවේදනයක් පටන් ගත්තා වගේ වැඩක්. එතනින් එහාට මම වෙනම භාශාවකට විවෘත වෙන්න ගත්තා. ඒ භාශාව තේරුනේ අපි දෙන්නට විතරයි. අපි දෙන්නගේ මේ අසාමාන්‍ය සම්බන්ධතාවය එක එක අය එක එක විදියට අර්ථ දක්වන්න පටන් ගත්තා. ඒ හැම අර්ථ දැක්වීමක්ම ඉතා පටු, ග්‍රාමීය, භයාදු සහ ඒකමාන කියවීමක් වුන නිසාම - මටත් ඒක හරියටම ප්‍රකාශ කරගන්න තේරුනෙත් නැති නිසාම - ඒ වුනේ මොකද්ද කියලා හොයාගෙන යන්න මම පෙළඹුනා. මහ සිකුරාදා ගීතය ලියවුනාට පස්සෙ අනිත් සියලුම ගීත ලියවෙන්න, ලිපි ලියන්න සහ ඒ අනුව මගෙ මුලු ජීවිත ගමනම සම්පූර්ණයෙන් කනපිට ගැහෙන්න බලපාපු ප්‍රධානම මුලාශ්‍රය වුනේ ඇයයි.
මම කොල්ලෙක්. එයා කෙල්ලෙක්. ලස්සන කොල්ලෙක් - ශාරුක්කාන් වගේ. ලස්සන කෙල්ලෙක් - කාජල් වගේ. ඒක නිසා හැමෝම කිව්වෙ හරි සරලයි මුන් ලව් කරනවා. මුන් සෙක්ස් කරනවා. මුන්ට සෙක්ස් කරන්න දෙන්න බෑ එහෙම. එහෙනං අපිත් කරනවනෙ. අපිත් ආසයිනේ. බෑ බෑ බෑ අංගවිකල ළමයි හම්බෙනවා. මොන්ගල් ළමයි හම්බෙනවා. මේක අනීතිකයි. පවුලෙ දැලි ගානවා. ෆාදර් මේ බලන්න මුන් පව් කරනවා. අපි මුන්ට අනුකම්පා කරමු නේ. මුන්ගෙ පවුලටම පිස්සු නේ. මේවා විකෘති අදහස්. ඕක අසනීපයක්. මෙච්චර විද්‍යාව දියුණු ලෝකෙ මුන්ට අමු කැවිලද බං. ඔච්චර ඕනනං කෙල්ලව උස්සං වරෙන්කො. උඹ පිරිමියෙක් නේ. පිරිමියෙක්නං ඉස්සරාට වරෙන්කො. මේකිගෙ තියෙන දාංගලේ බලපංකො. උඹලට තියෙන්නෙ ඊරිසියාව. මෙතන තියෙන්නෙ කුහකකම වෙන මුකුත් නෑ. නෑ නෑ නෑ නෑ නෑ ඕකුන් එකතු වෙලා මගේ දරුවව අල්ලගන්න ගියේ. ආයේ අපේ කිසිම නෑදෑකමක් සහෝදරකමක් නෑ ඒක දැනගනින්. මේ පැත්ත පළාතේ පස්පාගන්නෑ. ඔය සම්බන්දෙ නවත්තපං. මගේ මිනිය උඩින් ගියත් මේක වෙන්න දෙන්නෙ නෑ. මේක දේව සාපයක්. යක්සයා ඔතන ඉන්නෙ. ඕකව මරලා දාන්න ඕනා.
ඔහොම ඔහොම මහා ඉහලයි කිව්ව උසස් යැයි කිව්ව උගත් යැයි කිව්ව මහා යහපත් යැයි කිව්ව සියලුම සුචරිතවාදීන්ගෙ නිරුවත ටිකෙන් ටිකෙන් මේ ආදර සම්බන්දය හරහා එළියට පනින්න පටන් ගත්තා.
“සතුරාට වැරදි කරන්ට ඉඩ හරින්න”
තම ශරීරය කපා පසාරු කොට එහි අන්තර්ගතය අධ්‍යනය කිරීමට පටන් ගත් දවසේ සිට - මිනිස් වර්ගයා ටිකෙන් ටිකෙන් ඊට පෙර පැවති ආධ්‍යාත්මික විඥානයෙන් බැහැර වී - මහා භෞතික විඥානයක් ගොඩනගාගනිමින් - බටහිර නිව්ටෝනියානු ඉංජිනේරු විද්‍යාව හරහා නිර්මාණය වූ කාර්මික විප්ලවයත් පසු කරමින් - ස්වභාවික ලෝකය පරදා එහි සාරය විනාස කොට - අද වන විට පරමාණුවක න්‍යශ්ටියද හාරවුස්සමින් - න්‍යශ්ටික අවි නිපදවමින් - පුද්ගලික ලාභය උදෙසා මහා දවල් කුඩා දරුවන් පුලුස්සමින් - ඒ අලු නලල් මත තවරාගනිමින් - උගත් යැයි කිවූ, උසස් යැයි කිවූ මහා අධිරාජ්‍යයන් ජාතික කොඩි ඔසවමින් සිටිනු පෙනේ.
මෙවැනි පසුබිමක මගේ ආදරය, මගේ ලිංගික යථාර්තය සහ මගේ මේ ඉව කෙලෙසීම ඉවසා දරා ගැනීමට මට පුලුවනි. ඒ මම නිරුවත් වානරයෙක් නිසාය. මමයි මගෙ අතක් අහිමි කරගත්ත පූසයි දෙන්නම එකක් නිසාය. මගේ නැගණිය අතර ඇති වූ ඒ දයානුකම්පාවෙන් සහ අහිංසකත්වයෙන් පිරුණු අතිශය ස්වභාවික ඇල්ම මා වටා ඉන්න කිසිම උගතෙකුට හෝ ප්‍රඥාවන්තයෙකුට තේරුම් ගැනීමට නොහැකි විය. ඒ ඔවුන්ගෙ යටත්විජිතවාදී භයාදු කුලෑටි බව නොවේද. ලස්සනට සැකසුනු දිලිසෙන ආලින්දය ජරා කරන වන සතුන් මෙන් සැලකූ අපව තලා පෙලා, අත්තටු කපා, ආධ්‍යාත්මික වදකාගාර වල සිරකොට දිනපතා දස වද දෙන ඒ සුචරිතවාදි යටත්විජිත ඒජන්තවරු අද වන විට අපේ ආත්මය පුලුස්සවමින් එකී ගැඹුරු බැඳීම ඇතුලාන්තයෙන්ම විනාස වී යාමට සූක්ෂමව ඉඩ සලස්වා ඇත.
ඒ කාලේ යුරෝපයෙන් නැව් නැග්ග එවුන් රතු ඉන්දියානුවන්ට, ලංකාවට, අප්‍රිකාවට සහ ලොව පුරා විහිදුනු විවිධාකාර වූ ශිශ්ඨාචාරයන් වලට කලෙත් මේකම නෙමේද. ඉතා ස්වභාවික කාරණා ජන්ම පාපයයි, අශිශ්ඨකමයි, නොවැදගත්කමයි කිය කිය වද දිදී අපේ සම්පත් සූරා කමින් මහා භෞතික දියුණුවකට ළඟා වුනු සුද්දො කරෙත් මේ විලි ලැජ්ජ නැති වැඩේම නොවේද. උන් ආවේ අපිව ශිශ්ඨසම්පන්න කරන්නලු. උන් ආවේ අපිට ස්වර්ගයට යන පාර පෙන්නන්නලු. උන්ගෙ අධ්‍යාපන ක්‍රමය, උන්ගෙ චින්තනය, උන්ගෙ ලෝක දැක්ම මෙහෙ අටෝලා අපට ටයි කෝට් අන්දලා පව්ඩර් ගාලා අපේ සබ්බසකලමනාව සූරගෙන ගිහිල්ලා උන්ගෙන්ම ණයට කකා ඉන්න හිඟන්නො, නිවටයෝ බවට අපිව පත් කරෙත් මේ විදියටම නොවේද. අපේ රට ජාතිය මේ විදියට බංකොලොත් කරේ සුද්දො නෙමේ - සුද්දන්ගෙ ජංගි හෝදපු කලු සුද්දො. අල්ලපු වත්තෙ ඉන්න දෙමළ සහෝදරයා එක්ක දශක තුනකට වඩා යුද්ද කරන්න අපිව ඇවිස්සුවේ මේ සුද්දන්ට ගොට්ට අල්ලපු ඒ විදියට ජීවත් වෙන්න හදපු ඒ විදියට දියුණු වෙන්න දඟලපු පරයො නෙමේද.
ස්වාමිනි, මොවුන් නොදැන කරන වරදට සමාව දුන මැනවි. විටෙක එවැනි තුච්ච පාලනයන් වලට විරුද්ද යැයි කිවූ, රැඩිකල් යැයි කිවූ මහා විප්ලවවාදීන්ද අද වන විට බලු නිවටකමින් වලිගය අස්සේ ගසාගනිමින් යටත්විජිතවාදි වික්ටෝරියානු කුස්සිය මුල්ලේ වලං සෝදමින් සිටිනු අපට පෙනේ. කාට කියන්නද ස්වාමිනි. කුඩා දරුවන්ව දේශපාලනික අවි කරගනිමින්, දේශපාලනික සොල්දාදුවන් කරගනිමින් ඒ අහිංසක ආත්ම පුච්චන මේ පාලන බලය අතැති වියරු වැටුනු හීනමානික වැඩිහිටියන් හෝ වැඩිහිටියන් යැයි කියා ගත් පූර්ව ළමා විය සංවර්ධනයක් නොවූ විකෘති ළදරුවන් ඔවුන්ට අනුව කරමින් සිටිනුයේ කල හැකි නිවැරදිම දෙය යැයි අපට පවසමින් සිටිනු ඇත. ආදරේ හින්දලු ගහන්නෙ. ආදරේ හින්දලු දූශණය කරන්නෙ. ආදරෙ හින්දලු මිනි මරන්නෙ. පව්.
“මටත් කථා හැදුවා. හදලා කඩප්පුලි කීවා. මම වගේ දඟකාර එවුන් රටේ නැතුවා”
දශකයකට වඩා පහර කෑවා. නින්දා අපහස වින්දා. උන් ගොඩ ගියා. අපි වලපල්ලට ගියා. ඒකටත් වැරදි අපිලු. කරබාගෙන උන්ගෙ අසමජ්ජාතිකං වනචරකං ඉවසා දරාගෙන හිටපු සමාව දුන්න අපිලු වැරදි. උන්ගෙ දෙයියො. උන්ගෙ නීතිය. උන්ගෙ තුවක්කු. ඒ දෙයියො අපිව ගිල්ටි කරා. අපි පව්කාරයෝ කිව්වා. උන් වරප්‍රසාදලද්දෝ වුනා. අපි වනචරයො වුනා. අපේ නිර්මාණ කොල්ල කාලා උන්ගෙ විදියට ලෝකෙට පෙන්නුවා. අපේ සම්පත් උදුරාගෙන ගිහිල්ලා උන්ගෙ විදියට ලෝකෙට වික්කා. අද උන් මහත්තුරු වෙලා. අපි හිඟන්නො වෙලා. ඒකත් උන්ගෙන්ම හිඟන්න වෙලා.
අද උන්ම - කවුද? - අපිව දෘශ්ඨිවාදයෙන් මර්ධනයට ලක් කල එවුන්ම - ඒ යටත් විජිතවාදි ගැති මනසම - බටහිර දියුණුව තම හිස උඩ තියාගත් මුග්ධ ද්‍රෝහීන්ම ආත්මාර්ථකාමී, ධනේශ්වර, ක්‍රිස්තියානි කසාද ව්‍යුහයට අපව තල්ලු කොට නාස් ළණුවක හිර කිරීමට දැඩි උත්සහයක නිරත වෙමින් සිටිනු පෙනේ. ඒ ඇයි? අපට ආදරේ හින්දද? අපි ගැන මහා දයානුකම්පාවක් පහල වෙලාද? නෑ. කොහෙත්ම නෑ.
එවැනි ප්‍රයත්නයන් වල එකම පරමාර්ථය මේ විකෘති යැයි කිවූ, ව්‍යාධික යැයි කිවූ, දේව අල්තාරයට නිග්‍රහ කරනවා යැයි කිවූ ඔවුන්ට දරා ගත නොහැකි මේ අදහස් පද්ධතීන් මර්ධනය කොට තනුක කොට ඔවුන්ගේ විදියට සකසා ඔවුන්ට කර ගත නොහැකි වූ දේ අප ලවා කරවා ගැනීම නොවේද. ඔවුන් මෙන්ම තවත් තුච්ච දරුණු මුග්ධ පාලකයන් අප හරහා නිර්මාණය කරගැනීම නොවේද. මෙච්චර කල් නැති වුනු මහා ආදරයක් දැන් එක පාර පහල වන්නෙ කෙසේද? කපන්න බැරි අත ඉඹිනවා මෙන් ඊනියා පාලකයා සෑම විටම තාරුණ්‍යයට කරමින් සිටිනුයේ මුලින්ම විරුද්ධ වී මර්ධනය කොට පසුව තමුන්ගෙ විදියට හීලෑ කොට නාස් ලණුවක් බන්ඳවා සමාජීය ආර්ථිකමය සහ මහා පසුගාමී ආගමික බර කරත්තයක සිර කරවීම නොවේද.
“කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට ඔව්වා කියාපං”
අද වන විට චින්තනයෙන් දුප්පත් වූ සල්ලි, රත්තරං බඩු, යාන වාහන, ලොකු ගෙවල් දොරවල්, පොලිස් හමුදා බලය අතපත ගාන ඊනියා මධ්‍යම පාංතිකයා සියල්ල නිවැරදි කරවීමේ මහා මානසික යාන්ත්‍රණයකට ගොදුරු වී ඇති බව ඔබට නොපෙනේද? එනම් සියලුම උප සංස්කෘතීන්, විවිධාකාර වූ ජන වර්ග සහ කුල, විකල්ප කලා භාවිතාවන්, භාශාවේ පරාසයන්, ඉතිහාසයේ මානයන්, විවිධාකාර වූ මිනිස් අනන්‍යතාවයන්, මිනිසාගේ පැවැත්මේ පවතින අපරිමේය ස්වභාවයන් සහ විවිධාකාර දේශපාලනික දෘශ්ඨිකෝණයන් හෝ මනසේ ඇතිවන සියලුම සිතිවිලි පවා “නිවැරදි” කොට ඇදකුද නැතිව සකසා මහා බහුමාන මිනිස් සමාජය හරිම සරල ඒක මානයකට ලගු කරවාගැනීමට දරන උත්සහය ඔබට නොපෙනේද? මේ මොල සෝදනය හෝ මොල ප්‍රෝග්‍රෑම් කිරීම ගැන මෙලෝ අවබෝධයක් නැති - මහජන බදු මුදල් වලින් හෝ පුද්ගලික මිල මුදල් වලින් හෝ ඊනියා බටහිර ක්‍රිස්තියානිවාදී කෘතිම බුද්ධිය භාවිතාවෙන් හෝ - උගත් යැයි කිවූ බටහිර වන්දනාකරුවන් කරමින් සිටිනුයේ ආපස්සට ගත නොහැකි මේ විස ඇම ගිල දමමින් එකී යාන්ත්‍රණයේ සදාකාලික සිරකරුවන් වෙමින් වියරු පාලක වේශයක ඒජන්තවරු බවට පත්වනවා නොවේද?
පෙර කී ලෙස - මා වතුරය. විටෙක හුමාලය වන හෙයින් - විටෙක ගලාගෙන යන හෙයින් - විටෙක තියුණු අයිස් කැටයක් වන හෙයින් මාව සදාකාලික අනන්‍යතා සිරකඳවුරක හිර කිරීමට කිසිවෙකුට නොහැක. මාගෙ ශරීරය මරාදැමූවද මාගෙ ආත්මය රෑ හීනෙන් හොල්මන් කරනු ඇත. භාජනය විනාස කලද එහි ඇති වතුර අන්ත්‍රස්ධාන වන්නේ නැත. ආකාරයෙන් ආකාරයට මාරු වනවා මිස කිසිම දෙයක් නැති වන්නේද ඇති වන්නේද නැත. ඈත අතීතයේදී එලෙස මරණයට පත් වූ තරුණ විමුක්තිකාමීන්ගේ අඳුරු මතකයන් - අද ඔවුන්ගේම මල මිනී මත ගොඩනගාගත් රාජ්‍යය තුල හොල්මන් කරනවා සේම - මාද මාගේ මරණයෙන් පසු එකී ඊනියා යටත් විජිතවාදී රාජ්‍ය පාලකයාගේ රාත්‍රී සුව නින්දට සුලි සුළඟක් මෙන් පැමිණෙනු ඇත.
මේ මාගේ කථාවයි. මේ අර්ජුමාන්ගේ කථාවයි. මෙතෙක් නොකී කථාවයි. විටෙක ගීතයකින්, විටෙක ලියවිල්ලකින් හෝ විටෙක වෙස්මූණකින් ඔබ අතරට පැමිණෙන මා - විවිධාකාර ස්වරූප වලින් එකම වේදනාව එක එක විදියට ලොවට පෙන්වා ඇත - ඉදිරියේදී ද පෙන්වා දෙනු ඇත.
“දැන් ඉතිං වෙන කුමක් කරන්නද - ආදරය කරනු මිස”
කිසිසේත්ම ආපස්සට යෑමක් නැති මේ සටන කිසිදා නිම නොවන සටනකි. සටන නිමවන තැනදී - මාද සතුරාද දෙදෙනාම මියැදෙනු නිසැකය. ඒ සතුරෙකුට කල හැකි උපරිම නින්දාවයි. මාගේ සැබෑ ආදරය ඇත්තේ මාගේ සතුරා කෙරෙහි පමණි. සතුරා දුර්වල වූ තැනදී ලෙඩ වූ තැනදී වහා ක්‍රියාත්මක වී යුද්දය නවතා බෙහෙත් හේත් ලබා දී උණුසුම රැකවරණය ලබා දී නැවතත් සටන් බිමට කැඳවාගෙන එනවා මිස සතුරා දුර්වල වූ තැනදී සපා කෑම මාගේ ලක්ශණය නොවෙයි. කුතුහලයෙන් ප්‍රශ්ණ අසමින් - ඒ අනුව පරීක්ශණ දියත් කරමින් - එහි ප්‍රථිපල කියවා ගනිමින් - සිදු වූ වැරදි අවංකව හඳුනාගනිමින් - ඒවා විනිවිදව නිවැරදි කරවාගනිමින් - යලි උත්සහා කරමින් - නැවත නැවතත් උත්සහ කරමින් - පරිපූර්ණත්වයේ උමතුවෙන් බැහැර වෙමින් - අපරිපූර්ණත්වය අප මිනිස් මූලය ලෙස පිළිගනිමින් - අප සියල්ලෝ අහිංසක ගැහෙන මිනිස් හදවත් යැයි යලි යලිත් සිහි කරගනිමින් - විය හැකි මහා ප්‍රාතිහාර්යයන් කරා අඳුරේ සක්මන් කිරීම මාගේ ලක්ශණයයි. ඒ මාගේ සටනයි. ඒ මාගේ අහිංසක ආදරයයි.
සටන ඉදිරියට.
අර්ජුමාන්
18.07.2026