Monday, 7 September 2026

විසිරුනු මල් පෙති

​මම පොඩි ළමයින්ට උගන්නනවා දැන් අවුරුදු 7කට එහා

අවුරුදු 4ක් එක දිගට මම ඉස්කෝලෙක ඉතා කිට්ටුවෙන් මේ යෞවන යෞවනියො එක්ක කල් ගෙව්වා

මට එහෙම කාලයක් ආයෙත් ඇවිල්ලා නෑ එන්නෙත් නෑ

ඒක හීනයක් වගේ කාලයක්

මොන සැප සම්පත් ලැබුනත් ලෝකෙ වටේ ගියත් ඒ ළමයි එක්ක හිටපු කාලය තරම් සුන්දර ලෝකයක් මට ආයෙමත් හම්බෙලා නෑ

මම ගුරුවරයෙක් වුනේ වැරදිලා - අහම්බෙන්

මට එහෙම ගුරුවරයෙක් වෙන්න සුදුසු අධ්‍යාපනයට සම්බන්ධ කිසිම උපාධියක් හෝ හැදැරීමක් නෑ

මට තියෙන්නෙ මගෙ රස්තියාදු ඉංජිනේරු උපාධිය විතරයි 

මම ඉස්කෝලෙට ගියේ ගිටාර් උගන්නන්න 

නතර වුනේ ගණන් සර් කෙනෙක් වෙලා

කවදාවත් මට ස්ටාෆ් රූම් එකේ කල් ගෙවන්න ලොකු උනන්දුවක් තිබිලා නෑ 

ලොකු කමකට නෙමේ - පොඩි කමකට වෙන්න පුලුවන් 

හිටියේ මම නිතරම ළමයි අස්සෙමයි නැත්තං පුස්තකාලෙ

ළමයින්ගෙ ලෝකෙ උන් එක්කම දැවටිලා ඉද්දී මට මොකද්දෝ වෙනසක් වුනා මං හිතන්නේ

එක්කො මට වෙනසක් වෙලා හින්දා මං උන් එක්කම හිටියා

ඉස්සර ඉස්කෝලෙ ගේට්ටුව ඇරියම මහ මුහුද ගලනවා වගේ හෝ හෝ හෝ ගාලා ළමයි එනවා ඉස්කෝලෙ ඇතුලට

ඇවිල්ලා ටැංකි වලට වතුර පිරෙනවා වගේ පංති වලට ගාල් වෙනවා

හෝ සද්දෙ නිමක් නෑ - කුරුල්ලෝ කෑගහනවා - කිචි බිචි සද්දෙ - රැල්ල ගහනවා 

බෙල් එක ගැහුවම ඔන්න මහ මුහුද ලාවට නිසල වෙනවා

ආයෙ ඉස්කෝලෙ ඇරුනම මේ රැල්ල ඉස්කෝලෙන් ඉවත් වෙනවා

ඒ හෝ ගාන සද්දෙ නැති වුනාම මුලු ඉස්කෝලෙම පාලු සොහොනක් වෙලා යනවා

නිකං බිල්ඩින් ගොඩක් ඉතුරු වෙනවා

මට හැමදාම මුහුදට ගියාම ඉස්කෝලෙ තමා මතක් වෙන්නේ

"මම මේ මලුවට එනවා යනවා" වගේ මමත් ඉතිං ඉස්කෝලෙට යන්න එන්න හුරු වුනා 

ඒත් අර සිප් කිරි පෙවූ මූසිලයන් ගැන හූල්ල හූල්ල මකුණු දැල් බැඳිච්ච ලොකු හාමිනේ ගැන ඩිප්‍රෙස් වුන සියල්ල අත ඇරපු ගුරුවරයා වගේ නං නෙමේ ඉතිං

ඉස්සර පොඩි කාලෙ ඉස්කෝලෙ ගියේ හිතට වැදුනු ක්‍රශ් එකක් නිසා නැත්තං ලස්සන ටීචර් කෙනෙක් නිසා වගේම දැනුත් පාන්දර නැගිටගෙන ඉස්කෝලේ ගියේ ඒ නිසාම තමා

එහෙම ගියාට මම ක්‍රශස් පස්සෙ දුව දුව සෙවල හල හල ඇඹලයෙක් වෙන්නෙ නැතිව ඉගෙන ගත්තා වගේම දැනුත් කරේ ඉගෙන ගන්න එක හෝ උගන්නන එක විතරයි (දෙකම එකයි නේ) 

එහෙම යද්දි තමා "මේ ගැයෙන්නෙ රැයේ හැංගිලා, හිතේ වේදනාවෙන් හැඬූ කාරණා" කියලා ලියවුනේ

____________________________________________

වයස අවුරුදු 12, 13, 14 වගේ පාස් කරද්දි ඕනම ළමෙක්ගෙ වෙනස්කම් වෙන්න පටන් ගන්නවා

ඒගොල්ලො කණ්නාඩියෙන් නිතර බලනවා 

ෆැශන් කරනවා

දෙබස් කියනවා

තනියෙන් කියෝනවා

සමහරු අලුත් නම් දාගන්නවා

"සර් අද ඉඳන් මම ටර්බො... පරණ නම එපා හරි"

ඔහොම අමුතු වෙනස්කම් වෙන්න පටන් ගන්නවා

ඒක හරියටම දළඹුවා සමනලයා වෙනවා වගේ වැඩක්

මේ වෙනස්කම් එක්කම ඒගොල්ලො ඉතා ස්වභාවික ඉහල සවිඥානයකට ළඟා වෙන්න පටන් ගන්නවා

හැමදේම ප්‍රශ්ණ කරන්න පටන් ගන්නවා

ආගම ප්‍රශ්ණ කරනවා 

හරි වැරැද්ද ප්‍රශ්ණ කරනවා

විශය මූලික තත්වයන් ප්‍රශ්ණ කරනවා

පරම සත්‍යය කියන්නෙ මොකද්ද - ප්‍රශ්ණ කරනවා

ඇයි සර් මේවා ඉගෙනගන්නෙ - ප්‍රශ්ණ කරනවා

මහා පතරංග සමීකරණ දාලා පැය ගණන් අපි වැඩිහිටියො විසඳන ප්‍රශ්ණ 

ආ මේක ද සර්... කියලා අයිස් ක්‍රීම් එකක් කකා... නිකං උත්තරේ කියලා දානවා

ඒක කොහොමද ආවෙ කියලා කියන්න උන්ට තේරෙන් නැති වුනත් - බැලින්නං උත්තරේ හරි

ඒක වෙනස්ම දැකීමක්

ඒක තේරුම් ගන්නත්, තේරුම් කරවන්නත් අමාරු දෙයක්

__________________________________________

වයස අවුරුදු 15, 16, 17 වෙද්දි මට හිතෙන්නේ 

මේ ළමයි තවදුරටත් ළමයි නෙමේ

ඒ කියන්නේ ඔය කියන ඊනියා වැඩිහිටියොත් නෙමේ

ඒක අමුතු තත්වයක්

ඒගොල්ලො ලිංගිකත්වය ගැන උනන්දු වෙනවා

ආදරය ගැන හිතන්න ගන්නවා

ක්‍රියාශිලි වෙනවා 

ළමයි මල් වගේ කිව්වට එහෙමත් නෑ

සමහරු යක්කු වගේ

ඒත් ඉතිං ඒ යක්ස පැටියත් දරුවෙක් නොවැ

හැමදේ ගැනම කුතුහලය 

ඒක නිසාම ලෝක ප්‍රශ්ණ, දේශපාලනය, කලාව, ආගම, මිනිසා සහ මේ පැවැත්ම ගැන අලුත්ම කියවීමක් ඇති කරගන්න මේගොල්ලො පටන් ගන්නවා

එක එක ළමයා එක එක විදිය - අතේ ඇඟිලි පහ වගේ

කලින් තිබ්බෙ නැති වෙනස්ම මානසික අනන්‍යතාවයන් මේ කාලෙ ඇති වෙන්න පටන් ගන්නවා 

භෞතිකව එලියෙන් බැලුවොත් - ඔව් ඔක්කොම එක වගේ තමා

එක්කො ගෑණු - පිරිමි කියලා කඩන්න පුලුවන්

ඒත් එකින් එක අරන් බැලුවොත් කොච්චර වෙනස් ද

____________________________________________

සමහරු ටිකක් කලබලයි - දාංඟලේ අඩු වෙලා නෑ ලොකු වුනා කියලා

ආන්න එතකොට ගුරුවරු කියනවා... ආ මේ ළමයට ADHD

සමහරු අකුරු ලියන්න හොරයි - ශබ්ද රූප තමා පුලුවන් 

ආන්න එතකොට ගුරුවරු කියනවා... මේ ළමයට Dyslexia

සමහරු ඉන්නෙ ඒගොල්ලන්ගෙ එක එක හීන ලෝක වල... එහෙම ඇවිල්ලා ඒ ඒ දේවල් පංතියේ කතා කරන්න පටන් ගන්නවා...

එතකොට කියන්න ගන්නවා... මේ ළමයට Schizophrenia වගේ... අපි යවමු ඩොක්ටර් කෙනෙක් ගාවට

එක්කො මේ ළමයට යක්ස බලවේගයක් ඇතුල් වෙලා... කරමු අපි ශාන්ති කර්මයක්... 

අපි මේ ළමයා වෙනුවෙන් ඔරසං කියමු... පව්නේ අනුකම්පා කරමු... 

ඔහොම ඔහොම එක එක ආකාරයේ හඳුනාගැනීම් කරලා ආකෘති හදාගෙන ඒ අනුව වැඩ කටයුතු කරන්න පටන් ගන්නවා

පරිපාලනමය පහසුවට එහෙම කරත්... ටිකෙන් ටික ගුරුවරුන්ට අමතක වෙලා යනවා... ඕනෑම හඳුනාගැනීමකට (definitions) එහායින් තියෙන මහා සුවිසල් කලාපය සහ මේ හඳුනාගැනීම් වල තියෙන සීමාවන්

ඉතිං ළමයි ටික ටික ටික ටික එක එක ආකෘති ඇතුලට ගාල් වෙන්න පටන් ගන්නවා

මූ හාවා, මූ කොටියා, මූ නරියා... මූ සිංහයා

ආ අරූ එහෙමයි... මූ මෙහෙමයි...

අරූ අරකිත් එක්ක යාලුයි.. අරකි බඩුව... අරූ චණ්ඩියා... මූ ගේ... අරකි ලෙස්බියන්... අරූට Autistic… අර ඉන්නේ ඌ පොත් ගුල්ලා... මූට මොංගල්... මූ නං මීටරේ... 

____________________________________________

මේ කාලෙ ළමයි අතර විවිධාකාර සම්බන්ධතා ඇති වෙන්න පටන් ගන්නවා

මම තරුණ ළමයින්ට උගන්නද්දී එහෙම ඕන තරං දැකලා තියෙනවා අමුතු අමුතු සම්බන්ධතා

ඒවා ආදර සම්බන්ධතාත් නෙමේ... ලිංගික සම්බන්ධතාත් නෙමේ... හොර ඩීලුත් නෙමේ... ඒ ඔක්කොම වැඩිහිටියන්ගේ අර්ථ දැක්වීම් නෙ... 

ඒවා ඔක්කොම මිනිස් සම්බන්ධතා 

කාන්දම් ආකර්ශනය වෙනවා වගේ

සමහර ආකර්ශන විකර්ශන කොහොමද වෙන්නෙ කියලා අපිට ඒක රේඛීයව තේරුම් ගන්න හරිම අමාරුයි 

සමහර සම්බන්ධතා අති සංකීර්ණයි... ගුරුවරුන්ගෙ දෘශ්ඨි, ආකෘති, පරිපාලනමය ව්‍යුහ සුනුවිසුනු වෙලා යන තරමට සමහර සම්බන්ධතා හරිම ගුප්තයි 

ශාරිරිකව ලං වුනත් නැතත් සමහර බැඳීම් හරිම සුවිශේෂීයි

ඉවක් තියෙන ඕනෑම ගුරුවරයෙක්ට ඒක ටික ටික තේරෙන්න පටන් ගන්නවා

ගුරුවරු තමුන්වම කණ්නාඩියෙන් දකිනවා වගේ... මේවාට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා... 

මේවා දිහා... ඒක ආදරයක්ද, ලිංගික ඇසුරක්ද නැත්තං මහා විනාසකාරි දෙයක්ද යන්න ඍජු විග්‍රහ වලට ක්ශණිකව එන්නෙ නැතිව විවෘත ඇසකින් ටිකක් බැලුවොත් (beyond definitions)... 

පේනවා... ඒවා විශේෂ ශක්ති ක්ෂේත්‍රයන් කියලා 

එවැනි සම්බන්ධතා වල තියෙනවා අති විශේෂ වූ පරිකල්පන හැකියාවන්, අලුත්ම දෘශ්ඨි කෝණයන් හෝ ඒගොල්ලන්ගෙම විශ්වයන්

හැබැයි ඒක හරිම බිඳෙන සුලු දෙයක් (fragile)

තන අග තියෙන සියුම් වතුර බිංදුවක් වගේ, මලක රේණු වගේ... නැත්තං මිනිසාගෙ ඇස හෝ හර්ද වස්තුව වගේ හරිම ස්වභාවික සියුමැලි නිතර වෙනස් වෙන දෙයක්

එවැනි අති සුවිශේෂී බැඳීම් කළමනාකරණය කරගන්න ගුරුවරයාට දැනීමක් හෝ සහජ ඉවක් අවශ්‍ය වෙනවා

ඒක කොහෙන්වත් උපාධි ගහලා ඉගෙන ගන්න බෑ කියලා මට හිතෙන්නේ

උපාධි වලින් ඉගෙන ගන්න පුලුවන් දේවල් තියෙනවා බැරි දේවලුත් තියෙනවා 

සමහර නෛසර්ගික දේවල් කොච්චර බලෙන් ඉගැන්නුවත් පිහිටන්නෙම නෑ 

සහජයෙන් එන දේවල් තියෙනවා - ආයාසයෙන් ඉගෙන ගන්න පුලුවන් දේවල් තියෙනවා 

ඉතිං මෙහෙම සම්බන්ධතා ගුරුවරු දැක්ක ගමන් බහුතරයක් දෙනා සර්පයාට භය වෙලා වගේ මේ බැඳීම් මරලා දාන්න මාන බලනවා

එහෙම සම්බන්ධතා මරලා දාන්න ගුරුවරු අති දක්ශ වෙලා තියෙනවා - මිලිටරි සහ ආගමික පුහුණුවන් ලබලා තියෙනවා 

ආගම, ජාතිය, ශිශ්ඨාචාරය හෝ මිනිස් වර්ගයාගෙ සුභසිද්ධිය උදෙසා කියලා තුවක්කු අමෝරලා මෙවැනි ක්ෂේත්‍රයන් කෙලෙසලා දාන්න ගුරුවරු වහා පියවර ගන්නවා

සමරිසි හෝ ද්විරිසි හෝ සංක්‍රාන්ති හෝ එක එක නම් කියන්න පුලුවන්... ඒත්

මිනිස් වර්ගයා කියන්නෙ මහා සංකීර්ණ ස්වභාවික දේහයක් 

එහෙම විවිධාකාර නම් ගම් දාලා හිර කරලා මිනිසාව විග්‍රහ කරගන්න එච්චර ලේසි නෑ - එහෙම ලේසි නං අවුරුදු සියදහස් ගාණක් මිනිස් වර්ගයා මෙහෙම පවතින්නෙත් නෑ

එවැනි තමාට තේරුම් ගන්න අමාරු දේවල් විනාස කරලා දාන්න අපේ රටේ ලෝකෙ වැඩිහිටියෝ බහුතරයක් ඉන්නෙ මාන බලාගෙන 

එහෙම දෙයක් ඇති වුන වහාම ගුරුවරු හෝ වැඩිහිටියො හෝ පරිපාලකයා කිපෙන්න පටන් ගන්නවා

නිකං හරියටම සර්පයෙක්ව දැක්කා වගේ 

ඒක සර්පයාගෙ අවුලක්ද... වැඩිහිටියගෙ අවුලක්ද... කාටද පිස්සු? පිස්සටද? ඩොක්ටර්ද? 

____________________________________________

සාමාන්‍යයෙන් වැඩිහිටියො කියන මේ ඊනියා ගුරුවරු කරන්නේ තමුන්ට තියෙන සියලුම බලතල පාවිච්චි කරලා

මේ "දරුවන්ගේ" මෙවැනි ආදර සම්බන්ධතා වලට පහර ගහලා ගහලා... අපහස කරලා... නින්දා කරලා... උන්ට දිවිනසා ගන්න තැනට පත් කරන එක නෙමේද... 

ඒවගේ දෙයක්... මහා පොළොව නුහුලන අපරාධයක් නෙමේද... 

මොකද... එහෙම මැරුවට පස්සෙ... ආයෙත් ඒ මල පිපෙන්නේ නෑ... ආයෙත් ඒ සුවඳ විහිදෙන්නෙ නෑ... ආයෙත් ඒ ශක්තිය ඇති වෙන්නෙ නෑ... ඒ ශක්තිය මහා ඛේදවාචකයක් බවට පෙරලෙනවා මිසක්... 

ආයෙත් ඒ... බුද්ධිමය අවකාශය නිර්මාණය වෙන්නෙ නැති වෙයි... වුනත් මහා ඩැමේජ් වෙච්ච විකෘතියක් ඇති වෙන්න පුලුවන්... 

අපි දන්නවා දැන් AI වලින් හදන ගෑණූ රූප පිරිමි රූප මාර පරිපූර්ණයි (perfect) 

ඒත් ඇත්ත මිනිස්සු එහෙම නෑ නේ

ඇත්ත මූණක් ටිකක් ඇදයි නේ

ලස්සනම කෙනා වුනත් ලං වුනාම ටිකක් කැතයි නේ

____________________________________________

100% හෝ 0% නැති සැබෑ ලෝකෙ අපි හදන්න යනවා මහා පරිපූර්ණ තත්වයන් (ideals)

එහෙම තත්වයක් පවතින්නෙ නැති බව අපි දන්නවා... කිසිම ආකාරයකින් අපි අතර ස්ථීර පරිපූර්ණත්වයක් පවතින්නෙ නෑ... නමුත් අපි එවැන්නක් උපකල්පනය කරලා එතනට ළඟා වෙන්න උත්සහා කරනවා

ශුන්‍යයක් පවතින්නෙ නැති වුනත් අපි ශුන්‍යයට සීමා වෙනවා (ආසන්න වෙනවා)

මේ ව්‍යායාමයේදී අපි රැකගන්න ඕනෙ නැද්ද... මිනිස් සුවඳ... මිනිස්කම... අපරිපූර්ණත්වය සහ එහි ඇති අපරිමේය ස්වභාවය....

කිසිදා පවතින්නේ නැති මහා පරිපූර්ණ උපකල්පනයකට ළඟා වෙන්න ගිහිල්ලා හත්පොලේ ගාගෙන ලේ වගුරපු රටක් ලෝකයක් නෙමේද මේ... 

____________________________________________

විශේෂයෙන්ම ලිංගිකත්වය ගැන වැඩිහිටියට ඇති විචිකිච්චාව මේ වගේ සම්බන්ධතා හරහා හෙළිදරව් වෙන්න පටන් ගන්නවා

ලිංගිකත්වය කියන්නේ බුද්ධියෙන් පරිභාහිර වූ හුදු භෞතික කාරණාවක් පමණද?

එහෙම මල් තලපු, අර අහිංසක හිත් මරපු, විස පොවපු ගුරුවරු ඉහලින් ඉහලට යනවා

අලුත් අලුත් තනතුරු හම්බෙනවා

තුවක්කු යුධ හමුදා බලය ඒගොල්ලන්ට හම්බෙනවා

එහෙම සම්බන්ධතා මරන්න මරන්න ඒගොල්ලන්ට මහා හයියක් ඇති වෙනවා

නරුම වෙනවා... තව තව යුදකාමි වෙනවා... හැමදේම දේශපාලනික කරගන්නවා... ඒගොල්ලන්ට අහිමි වුනු අතීතය ඒගොල්ලො විසින්ම විනාස කරගන්නවා...

මේ ඊනියා වැඩිහිටි ගුරුවරු කරමින් සිටින්නේ... සිය දිවිනසා ගැනීමක් නොවේද... 

එවැනි ශෘංගාරාත්ම අඩවියකට පය තියන්න බැරි දුර්වලතාවය මේ ගුරුවරු අවියක් විදියට භාවිතා කරලා... 

මේ ළපටි මල් කැකුලු මහා රත් වෙච්ච යකඩ අඬු වලින් අල්ලලා අඹරලා දාන්න පටන් ගන්නවා...

එහෙම කරලා... ඒ මල් කැකුලු... තමුන්ට ඕන විදියට හදලා... අඹලා... තමුන්ගෙ ඊනියා වැඩිහිටි ලෝකෙට කැඳවාගන්න උත්සහා කරනවා... 

එහෙම වැඩිහිටියො වෙච්ච වුන්... ආයෙත් උන් ලොකු වෙලා... එමම කරනවා...

මේක ඉවරයක් වෙන්නෙ නැති මුග්ධකමක චක්‍රයක් නොවේද?

____________________________________________

අතීතයේ වයස අවුරුදු 13දි විවාහ පවා සිද්ධ වෙලා තියෙනවාලු නේ

අපෙ අම්මගෙ ආච්චි විවාහ වෙලා තියෙන්නෙත් ඒ වගේ පොඩි කාලෙ කියනවා

එයා අනූ ගානක් ජීවත් වුනා - පරපුරක්ම බිහි කරා - දන්න තරමින් අවුලක් නං නෑ

අපි ඊනියා බටහිරවාදී / ක්‍රිස්තියානිවාදි ජීව විද්‍යාත්මක සහ මනෝ විද්‍යාත්මක කාරණා අනුව අද හිර වෙලා හිටියත්

මිනිස් වර්ගයා ඊට වඩා සංකීර්ණ සහ දියුණු ස්වභාවික සත්වයෙක් නොවෙයිද?

බටහිරෙන් අශිශ්ඨයි කිව්වෙ බැලින්නං මහා දියුණු තත්වයකට වෙන්න බැරිද? 

බටහිරෙන් ආපු යටත්විජිත වාදි ආකල්ප හිස මුදුනේ තියාගෙන හැමදේම ස්ථීර පදනම් විදියට කූඩු කරන්න, ආකෘති කරන්න සහ හිර කරලා බෙදලා පාලනය කරන්න හුරු වුනු අපි

අද වෙද්දි... මට හිතෙන්නේ... ලොකු මානව වටිනාකම් ගොඩක් අහිමි කරගෙන තියෙනවා කියලා... 

ඉහත කිව්ව කුඩා අහිංසක දරුවො ඒ ලෙවල් ඉවර වෙද්දි නිශ්ශබ්ද වෙලා ගල් වෙලා යක්කු වගේ නරුම වෙන හැටි මම දැකලා තියෙනවා 

ඒක මහා ඛේදවාචකයක් නෙමේද? 

ඒක දැකලා මට තවදුරටත් ඒ මල් වට්ටියට අත තියන්න බැරි හින්දයි මම ඉස්කෝලෙන් අයින් වුනේ

ආයෙ ආයෙ මම ගියත්... යන්න හැදුවත්... ඒක හරි ගියේම නෑ...

මට දැනෙන්නෙම ඉස්කෝලයක් කියන්නේ දැන්... මනස ප්‍රෝග්‍රෑම් කරන මැශිමක්... ඒක ෆැක්ට්‍රියක් වෙලා... මට දුකයි ඒ ගැන... වෙලාවකට මර කේන්තියි... 

ගොඩාක් ළමයි බිල්ඩින් වලින් පනිනවා, බෙහෙත් පෙති බොනවා මැරෙන්න, බ්ලේඩ් තල වලින් කපාගන්නවා

ඇයි ඒ?

මහා ධාවනකාරී රොකට් එකක් බර කරත්තයක හිර කරාම මොකෝ වෙන්නේ?

අපි නවීන මිනිස්සු ඉන්න දියුණු අනාගතයක් කියලා දකින්න ඕනා මහා ලෞකීක දේවල් පමණද

අපි භෞතිකව මහා දියුණුවකට ළඟා වෙලා තිබුනත් මානසිකව කොච්චර නොදියුණුද

සුනාමි එන්න කලින් සත්තු ඔක්කොම ආරක්ශා වෙද්දි... උන් දුවද්දි... අපි ගියා පස්සට ගිය මුහුදේ ඉඩං බෙදා ගන්න

ඈත අතීතයේ ඉඳන් සත්තු විදියට අපට තිබ්බ "ඉව" අද වෙද්දි මස්ත බාල්දු වෙලා මොට වෙලා අපි මෝඩයෝ වෙලා තියෙනවා 

මේ සරල ස්වභාවික කාරණාව තේරුම් ගන්න නොහැකි ඊනියා පාලකයන් / දෙමව්පියන් / ගුරුවරුන් මහා දියුණු යැයි කිවූ තාක්ෂණයන් පරිභෝජනය කරමින් හිටියත්

විවිධාකාර වූ මොල සෝදන බයිබල් පාඨ කට පාඩං කරමින් හිටියත්

තව තව ආරක්ශාවට සෙබලුන් යොදවමින් තුවක්කු අමෝරා ගත්තත්

ඔවුන් නොදැනීම මානසික වහලුන් බවට පත් වනවා නොවේද (indoctrination)

____________________________________________

මා ඉහත කිවූ යථාර්ථය දකින ගුරුවරු හෝ වැඩිහිටියො නැතුවා නෙමේ

ඒගොල්ලන්ගෙ දළ කපලා, කට වහලා... ඇඟ බැඳලා... දුකයි! 

මහා මජර වෙළඳපොළක් හරහා... ආසාව කියන නාස් ළණුව දාලා ඕනෑම විශිෂ්ඨයෙක්ව හිර කරන්න පුලුවන්... බර කරත්ත අද්දවන්න පුලුවන්... ඕනෑම දාර්ශනිකයෙක්ව කඩේ යවන්න පුලුවන්... 

ආශාව එච්චර තියුණුයි

ආශාව මර්ධනය කරලා වගේ ඉන්න පැවිද්දන් අද මහා දවල් කරන දේවල් අපට පේනවා... 

මහා කෘතිම විනයකින් තමුන්ට වද දෙන උදවිය පිපිරලා යන්නේ මහා විකෘති විදියට කියලා අපි දන්නවා 

ටිකක් බුරුල් වෙමු... ලිහිල් වෙමු... කියලා මම රටේ ලෝකෙ පාසල් වල නිවස් වල පල්ලි පන්සල් වල ඉන්න ගුරුවරුන්ගෙන් වැඩිහිටියන්ගෙන් ආයාචනා කරනවා

ඒ මං වෙනුවෙන් නෙමේ... මගේ මල තලලා ඉවරයි... වීදුරු මන්දිර කුඩු කරලා ඉවරයි... දැන් ආයේ ආපස්සට යන්න බෑනෙ...

අඩුම ගානෙ අද ඉපදෙන උන් වෙනුවෙන්වත් අපි පොඩි හරි පියවරක් ගන්න ඕනෙ නැද්ද?

අර්ජුමාන් 

07.09.2026

Tuesday, 1 September 2026

හොරු හොරුන්ව සොයයි

ගෘහ නිර්මාණ ශිල්පියෙක් (architect) හෝටලයක් නිර්මාණය කරලා ඒක ඉදිකරාට පස්සේ 

හෝටලෙන් එන වාර්ශික ආදායමෙන් ගෘහ නිර්මාණ ශිල්පියාට කොටසක් දෙන්න ඕනද කියලා කෙනෙක් අහලා තිබ්බා

ලෝකෙ එහෙම වෙන අවස්ථාත් නැතුවා නොවෙයි

ඒත් සාමාන්‍යයෙන් වෙන්නේ ඒ හෝටලයේ ඩිසයින් එක එහෙම්මම අරගෙන වෙන තැනක එමම හදනවනං අනිවාර්යයෙන්ම ගෘහ නිර්මාණ ශිල්පියා ගේ මැදිහත්වීම අවශ්‍ය වෙනවා

එතකොට අලුත් ඉදිකිරීමට වැය වන පිරිවැයට ගෘහ නිර්මාණ ශිල්පියාගෙ නිර්මාණ ගාස්තුවත් ඇතුලත් වෙනවා

ගීත නිර්මාණ සහ නිශ්පාදන වලට ආවම ඒක තවත් සංකීර්ණයි

අපි දන්නවා ගීතයක නිර්මාණ සැලසුම (බ්ලූ ප්‍රින්ට් එක) වෙන්නේ තනුව සහ පද රචනය

ඒක කරන්නේ එක්කෙනෙක් වුනත් දෙන්නෙක් වුනත් කීප දෙනෙක් වුනත් අපි ඒ පාර්ශ්වයට කතෘ පාර්ශවය කියලා කියමු

නිශ්පාදනය සහ බෙදාහැරීම යන අර්ථයෙන් ගීතයක් කියන්නේ අවසානයේ ශබ්දයක්

ඒ ශබ්දය ගොඩනගන්න ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා

ස්ටූඩියෝ පහසුකම්, මයික්, තාක්ශණික ආම්පන්න, සොෆ්ට්වෙයාර්ස්, සංගීත භාණ්ඩ යනාදි යන්ත්‍ර සූත්‍ර ඕන වෙනවා

මිනිස් ශ්‍රමය - ප්‍රධාන ගායක පාර්ශවය, සෙසු ගායකයින්, සංගීත ශිල්පීන්, ශබ්ද පරිපාලකයින් යනාදී සංගීතයට අදාල කම්කරුවන්ව අවශ්‍ය වෙනවා

සරල ප්‍රාග්ධන මූලධර්මයන්ට අනුව

මේ ගොඩනැගෙන ශබ්ද භාණ්ඩයේ (හඬ පටියේ / තැටියේ / යාන්ත්‍රික කොපියේ) අයිතිකාරයා වෙන්නේ එහි ආයෝජකයා නොහොත් ප්‍රාග්ධන හිමියා

ඉන් ඔබ්බට අනෙකුත් සියලුම අයිතිවාසිකම් බල පැවැත්වෙන්නේ ප්‍රාග්ධනහිමියා සහ සෙසු පාර්ශ්වයන් අතර ඇති කරගන්නා වූ නීත්‍යානුකූල ගිවිසුම් වලට අදාලව බවයි මාගෙ දැනීම

ආයෝජකයා විසින් සියලුම කම්කරුවන්ට (ශ්‍රමය සපයන්නන්ට) වේතනයන් ගෙවූ පසු භාණ්ඩයේ අයිතිය හෝ ඉන් ඉපයෙන ලාභයට ඇති අයිතිය කම්කරුවාට ඇත්තේද ප්‍රාග්ධන හිමියාට ඇත්තේද යන්න සියවස් ගණනාවක් පැවති වාදයකි

එකී වාද විවාද වල ප්‍රතිඵලයන් විදියට අඩු වැඩි වශයෙන් වෙනස් කම් වී ඇතත් දැනට පවතින සියලුම නිශ්පාදන ක්‍රියාවලියන් සිද්ද වෙන්නේ මේ මූලික ප්‍රාග්ධනවාදී සූත්‍රයට අනුකූලවයි

ඒ යාන්ත්‍රික සූත්‍රයට අදාලව ප්‍රධාන ගායකයා තනුවට සහ පද රචනයට දිය හැකි උපරිම සාධාරණය කරත් නොකරත් ගායකයාව සැලකෙන්නේ හුදෙක් මිනිස් කම්කරුවෙක් විදියට නොවේද? 

ඉදිකිරීම් ක්‍රේශ්ත්‍රයේද ප්‍රධාන ඉංජිනේරුවාට වේතනයක් හිමි වෙනවා මිස ආයෝජකයාගේ ලාභයෙන් කොටසක් හිමි නොවන බව අපි දනිමු

ගායකයාද ඉංජිනේරුවාද න්‍යායාත්මකව සැලකෙන්නේ කම්කරුවන් විදියට නොවේද? 

පද රචනයක් සහ තනුවක් සංගීත ප්‍රසංගයක හෝ වෙනත් ඕනෑම වේදිකාවක perform කිරීම සලකන්න වෙන්නේ එම රචනයේම සජීවි ප්‍රතිනිශ්පාදනයක් විදියටයි

ඒ කියන්නේ අර ගෘහ නිර්මාණ ශිල්පියාගෙ බ්ලූ ප්‍රින්ට් එක අරගෙන අලුත් හෝටලයක් ඉදිකරනවා වගේ වැඩක්

එතකොට ඒ අලුත් ප්‍රසංගයේ හැදුන අලුත් ශබ්දයෙන් එම ප්‍රසංගයේ ආයෝජකයා ලාභයක් උපයන්නේනම් එයින් කොටසක් කතෘභාගය විදියට පද රචකයාට සහ තනු නිර්මාණකරුවාට ගෙවීම සාමාන්‍ය බුද්ධිමය දේපල පනතට අදාල නීතීයයි

ලෝකේ පුරා මේ දේවල් කළමනාකරණය කරන්නේ රජය මූලිකව පවත්වාගෙන යන PRO (Performing Rights Organizations) හරහා කියලා අපි දන්නවා

මේ කාරණා රටේ බුද්ධිමය දේපල පනත යටතට වැටෙන නිසා රජයේ මැදිහත්වීම අනිවාර්යයි

__________________

දැන් මගෙ කතාවට එන්නං

මම ලියපු පදරචන සහ තනු තැන් තැන් වල ප්‍රතිනිශ්පාදනය කරමින් නොයෙකුත් පාර්ශ්වයන් මුදල් උපයනවා කියලා මම දන්නවා

රියැලටි ශෝ, සංගීත ප්‍රසංග, හෝටල්, වෙඩින් වල මගේ සිංදු එහෙන් මෙහෙන් ඇහෙනවා

එයින් අති බහුතරයක් දෙනා කිසිම ආකාරයක වාචික හෝ ලිඛිත අවසරයක් මගෙන් අරගෙන නෑ

කිසිම ආකාරයකින් ඔවුන් උපයන ලාභයෙන් කොටසක් මට ගෙවලත් නෑ

කිසිම ආකාරයක ගිවිසුමක් අත්සන් කරලත් නෑ

මමත් පස්සෙන් පන්න පන්න ඔවුන්ට වද දෙන්න යන්නෙත් නෑ

බුද්ධිමය දේපල පිළිබඳ නීති රීති බල්ලට ගියපු සමාජයක මට බල්ලො එක්ක රණ්ඩු කරගන්නත් බෑ

මම දන්න කියන සංගීත ශිල්පීන්ද තමුන්ගෙ වගේ මගෙම සිංදු කියලා සල්ලි හොයාගෙන ඇයි මම තාමත් ගේමක් ගහලා නැත්තෙ කියලා කෝචොක් දාන අවස්ථාත් නැතුවා නොවෙයි 

අනුන්ගේ අදහස්, අනුන්ගෙ නිර්මාණ, අනුන්ගෙ චින්තනයන් සහ අනුන්ගේ පක්ශ පවා තමුන්ගේ කරගෙන ගොඩයන්න උත්සහා කරන මංකොල්ලකාරයන් හැමතැනම පිරි ඉතිරී ගොස් ඇත

පහුගිය ටිකේ තැන් තැන් වල ගීත ගායනා කරමින් මුදල් උපයන වැඩේ මම සහමුලින්ම නවත්තලා දැම්මේ මේ පසුබිම උඩයි

තවත් පද රචකයෙක් හෝ තනු නිර්මාණ ශිල්පියෙක් නිර්මාණය කරපු ගීතයක් මම ගායනා කරලා සල්ලි උපයනවනං ඊට අදාල සංවිධායකයා හෝ ප්‍රසංග ආයෝජකයා නීත්‍යානුකූලව PRO (Performing Rights Organization) හරහා අදාල කතෘභාගය ගෙවිය යුතු බව මාගෙ දැනීමයි

එහෙත් එවැන්නක් මා දන්නා තරමින් කිසිම තැනක හරියට ක්‍රියාත්මක වන්නේ නැත

සංගීත ප්‍රසංග වල සංවිධානකරුවන්ට හෝ සංගීතයේ නියැලිලා ඉන්න අයට හෝ හෝටල් හිමියන්ට හෝ සාමාන්‍ය ජනතාවට මේ ගැන හරිහමන් දැනුවත්වීමක් නොමැත

කොහොමහරි ගේමක් ගහගන්න ඕන නිසා කොහොමහරි සල්ලි හොයන්න නොගිහින් ළමයි කීප දෙනෙක්ට ක්ලාස් කරලා ජීවත් වෙනවා කියලා තීරණය කලේ මම ඒ නිසා

ටියුශන් කීපයක් කරලා හම්බෙන ආදායමෙන් ඉඳලා හිටලා ඩ්‍රින්ක් එකක් දාන්න, කොහෙ හරි ගමනක් බිමනක් යන්න, කාර් එක සර්විස් කරගන්න තියා සමහර වෙලාවට අම්මා තාත්තාගෙ බෙහෙත් අරන් දෙන්නත් අමාරු වෙන අවස්ථාවත් නැතුවා නොවෙයි

මම මැච් එකක් ගහගත්තෙ නෑ, ගේමක් ගහගත්තෙ නෑ, කෙල්ලව ගොඩදාගත්තෙ නෑ කිය කිය තැන් තැන් වල කියෝ කියෝ යන සංගීත ශිල්පීන් මගෙම සිංදු කිය කිය ගේම් ගහන හැටි බලන් ඉන්න මට විලිලැජ්ජයි 

ඒත් ලංකාවේ තියෙන්නේ එහෙම සදාචාරසම්පන්න, ශිශ්ඨ සම්පන්න වෙළඳපොලක් නෙමෙයි කියලා අපි දන්නවා

තමුන්ගේ ප්‍රතිවාදියා එක්ක ලස්සනට නීතියට අදාලව මැච් එකක් ගහනවා වෙනුවට තියෙන්නේ ප්‍රතිවාදියාව මරලා දාන සංස්කෘතියක්

තමුන් දිනනවා වෙනුවට තියෙන්නේ අනෙකාව පරද්දන සංස්කෘතියක්

මෙච්චර දරුණු අපරාධ වෙන පාතාලයක් හැදිලා තියෙන්නෙත් මේ මජර නූගත් ලුම්පන් පංතියේ වෙළඳපොල ක්‍රමය නිසාම නෙමේද? 

කෙසේ හෝ මින් ඉදිරියට මම මගේම ප්‍රසංගයකින් ස්ටේජ් එකට එනවා මිසක් වෙනත් පාර්ශ්වයකින් සංවිධානය කරන ප්‍රසංග හෝ ඕනෑම වේදිකාවකට ගොඩ වෙනවානං මගෙම ගීත පමණක් ගායනා කරන්නට මම තීරණයක් අරන් තියෙනවා 

කුසගිනි හැදුනට ඉදුල් නොකව් නෙ... නේ? 

වෘත්තීමය වශයෙන් සිවිල් ඉංජිනේරු සහ ගණිතය සම්බන්ධ වටපිටාවක් තිබුනත් මගේ සහජ හැකියාව සහ උනන්දුව තිබ්බේ සංගීත නිර්මාණයට සහ නොයෙකුත් ආකාරයෙ නිර්මාණ වැඩ වලට යෙදෙන්න

ඒත් හැමදාම ලංකාවෙ නිර්මාණකරණය සම්බන්ධව තිබුනු නීතිමය සංකූලතා නිසා මට හරියට මේ මඩ වලේ ඕලු නෙලුම් නෙලාගන්න බැරි වෙන්න ඇති

මං අවංක මෝඩයෙක් ඔව් පිළිගන්නං 

දැන් බැනපං 

අවවාද දියං 

ඔච්චර හිතන්න එපා

උඹ පටලගෙන

ඔහොම හිතලා බෑ දියුණු වෙන්න

කරන්න දෙයක් නෑ මේ මම නේ

එන්නේ ෆුල් පැකේජ් එකෙන්

පණ්ඩිතකමයි ගොංකමයි එකට එන්නේ

නිර්මාණ බිහි වෙන්නෙත් මේ ඔලු ගෙඩියෙන්ම තමා

කවුරුහරි හදලා දුන්න ගේම් එකක් ගහලා දිනන එකයි ගේම් එකක් අලුතින් හදන එකයි කියන්නෙ සම්පූර්ණ වෙනස් ඔලු ගෙඩි දෙකක් නෙ... නේ? 

අදහස් හොරු, හීන හොරු, චින්තන හොරු සහ මංකොල්ලකාරයෝ උස පුටු වල වැජබෙනවා පේනවා

මේ බුද්ධිමය දේපල පිළිබඳ නීතිමය සංදර්භය ගැන ඔවුන්ගේ ඇති අවබෝධය ඉතා පටු බව හැඟී යනවා

ඉන් ඔබ්බට ලොව පුරා පැතිරිලා යන කෘතිම බුද්ධිමය විප්ලවය හරහා ඉහත කතා කරපු ප්‍රාග්ධන මූලධර්මයන් සියල්ල වෙනස් වෙමින් යන යුගයක් පැමිණෙමින් තියෙනවා 

මෙවැනි පසුබිමක මේ ඉන්ටනෙට් අවකාශයේ කොපිරයිට්ස් සම්බන්ධව පවතින සංවාදය මහා සංකීර්ණ තැනකට ගමන් කිරීම අපට වළක්වන්න බෑ

එවැනි සංකීර්ණ තාක්ශණික සංවාදයකට මේ හැඟීම්බර වූ රාජ්‍ය පාලකයා සූදානම් වී ඇත්ද? 

හැමතැනම හීන හොරු, අදහස් හොරු සහ චින්තන

හොරු පැටව් ගසා ඇත

ඒ හොරුම තුවක්කු දික් කර කර හැමතැනකම හොරු අල්ලමින් සිටිනු ඇත

ඔය හොයන හොරා ඉන්නෙ කොහෙවත් නෙමේ සෑර්

ඔයාගෙ ඇඳ අස්සේ... නැද්ද මං කියන්නෙ... 

ඉස්සරා අනාගත රටේ ලෝකෙවත් මේ දේවල් හරි හැටි සැකසේවා කියලා අවංකවම ප්‍රාර්ථනා කරනවා

සර්ව සාධාරණ සමාජයක් හදන්න යන උන් ලෝකෙට පරකාසෙ නැතිව තම තමුන්ගෙ ගෙවල් අස්සෙන්ම වැඩ පටන් ගනියි කියන අහිංසක බලාපොරොත්තුව සමඟ මම නවතිනවා

දුක අසන ඔබ සැමට 

තුති

මීට

අර්ජුමාන්​

දළඹුලන්තයේ ආදර කථාවක්

​දළඹු පෙම්වතිය ඇයගේ සමනළ පෙම්වතාව අමතමින්

"බලන්න මම දැන් අපේ දළඹු පවුලේ ඉහලම තැනකට ඇවිල්ලා... අපේ ගමේ කවුරුත් මම වගේ ඉහලට ඉගෙනගෙන නෑ... මට දැන් හොඳ පිලිගැනීමක් තියෙනවා... උගත් බුද්ධිමත් ලස්සනට ඉංග්‍රීසි කථා කරන්න පුලුවන් දළඹුවෙක් මම... පාර්ලිමේන්තු වුනත් යන්න පුලුවන්... පොලීසියෙ කන්ටැක්ස් වුනත් තියෙනවා.... දැන් අපිට කසාද බඳින්න පුලුවන්... ඒත් ඔයා දැන් වෙනස් වෙලා නෙ... මොනාද මේ පිහාටු කෑලි... මම කියනවට අපි එක පාරක් යමු ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න... මම දන්න හොඳ ඩොක්ටර්ස් ලා ඉන්නවා... දැන් මම දළඹු ඩොක්ටර්ස් ලා එක්කමයි වැඩ කරන්නේ... ඔය පිහාටු ටික එයා අයින් කරලා දායි ඔපරේශන් එකක් කරලා... නැත්තං ඉගිලෙන්න බැරි වෙන්න හිරිවට්ටයි... මම සල්ලි දෙන්නං... ඊට පස්සෙ ආයෙත් ඔයා ඉස්සර හිටපු මගේම දළඹු පැටියා වෙයි... හාද?"

සමනළ පෙම්වතා අහක බලමින්

"ඔයා ඉහල තැනකට ආවා කිව්වට ඔයා තාම දළඹුවෙක් නෙ... ඔයාගෙ දළඹු අයියා මේ ළඟදිත් මූණ ඉදිමෙන්න ගැහුවා නේ... මම දන්නවා ඔයාට තාම ඒ තුවාල රිදෙනවා කියලා... ඒත් ඔයා ඒවා ඉවසගෙන සමාව දීලා ඉන්නවා... මොකද ඔයා භයයි පිහාටු ඇවිල්ලා ඔයා සමනළයෙක් වෙනවට... නේද... කී පාරක් ඔයාගෙ පිහාටු කැපුවද ඒගොල්ලො... දැන් ඔයත් උන්ගෙම එකෙක් වෙලා මගේ පිහාටුත් කපන්න එනවා..."

දළඹු පෙම්වතිය තවත් උත්සහයක් දියත් කරමින්

"මේ බලන්න... ඔය විකාර විදියට හිතන එක නවත්තන්න.... මට කියලා දුන්නේ එංගලන්තෙන් ආපු සුදු දළඹු අයියා කෙනෙක්... එයා කිව්වෙ පොඩ්ඩක් සෙල්ෆිශ් වෙන්න කියලා... ඔහොම හිතලා අපිට පොහොසත් දළඹුවො වෙන්න බෑලු... මම නං දැන් ඕවා හිතන් නෑ... මට සුපිරි දළඹු යාලුවො ටිකක් ඉන්නවා... මම දැන් ගොඩාක් සමාජශීලියි... දළඹු සමාජයට ඕන විදියට මම ඉන්නවා... ඔයා ඉතිං වෙන කවුරුත් කියන දේ අහන් නෑනෙ... ඔයාගේ මතේමනේ... අනික ඔය අලුත් පාට පාට පිහාටු ආවා කියලා... ඔයාට පොඩ්ඩක් ඉගිලෙන්න පුලුවන් වුනා කියලා... ඔයා දළඹුවෙක් කියන එක අමතක කරන්න එපා... අපේ අයියා බලන්න... එයාට කිසිම පිහාට්ටක් නෑ... පිහාට්ටක් ආවත් ටක්ගාලා කපලා දානවා... ඒත් අද එයා කොච්චර සාර්ථක දළඹුවෙක් වෙලාද... එයාට සෙල්ලම් බඩු ගොඩාක් තියෙනවා... එයා කියන්නේ මමත් එයාගෙ සෙල්ලම් බඩුවක්ලු... මම නැති වෙයි කියලාලු ගහන්නේ... ආදරේටනේ... කොහොමත් සෙල්ලම් බඩු වැඩිපුර තියෙන කෙනානේ දිනන්නේ... බලන්න අද ඔයාට කිසිම සෙල්ලම් බඩුවක් නෑ... පාට පාට පිහාටු ටිකක් තියෙනවා... ඔහොම සමනළයෙක් වෙන්න ගියොත් නං දළඹු තාත්තා ඔයාට සෙල්ලම් බඩු අරන් දෙන එකක් නෑ... යමුද ඩොක්ටර් ගාවට මගේ දළඹු පැටියෝ..."

සමනළ පෙම්වතා එක පාර ඉහලට පියාසර කරමින්

"ආදරය... ඔයාට පේන්නෙ නැද්ද... ඔයත් දවසක සමනළයෙක් වෙනවා කියලා... මේ බලන්න... ඔයාට ඔහොම පොළොවෙ ඉඳන් පේනවාට වඩා... ගව් ගාණක් ඈත මට පේනවා... ලස්සනයි... හරිම සුවිසල්... ඔව් මම දළඹුවෙක් තමා... ඒත් මම පියාඹන දළඹුවෙක්... දැන් මගේ ඇඟට වඩා පිහාටු තමයි ලොකු... පිහාටු කැපුවොත් මම නිකංම නිකං මස් වැදැල්ලක් විතරයි... මට බෑ ආයෙ බිමට බහින්න... එනවානං අහසේ හම්බෙමු අපි... පොළොවේ ගනුදෙනු නැතා... හරී..."

සමනළ පෙම්වතා ඈත අහසේ පියාසර කරමින් කරනම් ගසමින් සුළඟේ දැවටෙමින් ගී ගයමින්

"කියන්න ඔයාගෙ දළඹු ඩොක්ටර්ස්ලට ගිහිල්ලා... මට ඒගොල්ලො ගැන දුකයි කියලා... එක හුස්මකින් මේ හැමදේම නැති වෙනවා කියලා... සීයා මැරෙද්දි මට හිතුනේ එහෙම... එක තප්පරයයි... නැද්ද... මැරුන එකාට මේ මුකුත් නෑ... අපි තමා මිනිය කරේ තියං පල්ලි පන්සල් හදාගෙන මැරුන දළඹුවෙක්ට වන්දනා කර කර ඉන්නේ... ඉවසන්න ආදරය... ඉඩ දෙන්න... ඔහොම තමුන්ටම නපුරු වෙන්න එපා... එක පාරක් ඔය පිහාටුවට එන්න ඉඩ දෙන්න... මහා දෙයක් වෙන්නෙ නෑ... බොරු භයක් නෙ තිබ්බෙ කියලා හිනාවක් යනවා මිසක්... අනික ඔයානෙ කිව්වෙ මම සමනළයෙක් වගේ කියලා ඉස්සර... ඉතිං මම පිහාටු එන්න ඉඩ දුන්නා... ඔව් මට දළඹු ලෝකෙ මුකුත් විච්චූරන නෑ තමා... ඔයා දැකලා නෑනෙ මගෙ සමනළ ලෝකේ තියෙන දේවල්... තරහද මගෙ ආදරය..."

දළඹු පෙම්වතිය ඉහල අහස දෙස බලමින්

"මට එන්න බෑ ඔයා ඉන්න තැනට... මට හැමදාම ඕන වුනේ දළඹු අම්මෙක් වෙලා... දළඹු පැටව් එක්ක... සදාකාලිකව ජීවත් වෙන්න... ඔයා තමා මට ඇවිල්ලා කිව්වෙ අපි සදාකාලිකව ජීවත් වෙන්නෙ නෑ අපි හැමෝම මැරෙනවා කියලා... ඒත් හැමවෙලේම මැරෙනවා කිය කිය ඉන්නත් බෑනේද මගෙ පැටියෝ... කෝ බිමට බහින්න දැන්... අද තියෙනවා දළඹුලන්තේ අවුරුදු උත්සවේ... අපෙ අයියා තමා ග්‍රීස් ගහ නගින්නේ... මම ඔට්ටුවක් ඇල්ලුවා මගේ දළඹු යාලුවෙක් එක්ක... එයා කොඩිය ගන්නවා ශුවර්... අපි ඔය අතීතේ දේවල් අමතක කරලා දාලා යමු... මම ඔයාට කෝට් එකක් දෙන්නං... ඒක ඇන්ඳම ඔය පිහාටු ටික හංගගන්න පුලුවන් වෙයි... මම ඉන්නවනේ ඔයා එක්ක... භය වෙන්න එපා... මම දැන් හොඳට දන්නවා දළඹුලන්තෙ ඉන්න ඕන විදිය... කෝ එන්නකො දැන්..."

සමනළ පෙම්වතාගෙ කටින් උල් දත් මතු වෙමින් විරිත්තමින්

"ඔයා දන්නවා මට කවුරුහරි වද දෙද්දි මේ ඩ්‍රැකියුලා දත් එනවා කියලා... මාව ලේ විකා බොන යක්සයෙක් කරන්න තමා ඔය හදන්නෙ... ඔයා යන්න... ගිහිල්ලා අවුරුදු කුමරිය වෙන්න... මම එන්නෙ නෑ ඕවාට... ඔයාට ඔටුන්නක් හම්බෙයි... ඒක දාගත්තට පස්සෙ ඔයාට හම්බෙයි සුපිරි ඉස්කෝලෙකට ගිය, ස්ථීර ජොබ් එකක් කරන, ඉන්ශූවරන්ස් තියෙන කඩවසම් දළඹු මහත්තයෙක්... මට වද දෙන්න එපා... යන්න... ගිහින් උන්ට ඕන දේම ඔයා කරන්න..."

හිටි හැටියේ මහා වැස්සක් ඇද හැලෙයි

අකුණු පිට අකුණු

මහා ජල ගැලීමක් එන්න වගේ

සමනළ පෙම්වතා සුළඟට ගසාගෙන යන හැඩයි

දළඹු පෙම්වතිය ඉහල අහස දෙස බල බල සමනළ පෙම්වතාව සොයයි

සමනළ පෙම්වතා කුණාටුව මැද අතුරුදහන් වුනු හැඩයි

එක පාර ඇදහැලුනු මහා වැස්ස නිමවනතුරු දළඹු පෙම්වතිය නැවතත් තම දළඹු ගුල ඇතුලට රිංගාගෙන ඉකි ගසමින් අඬන්නට පටන් ගනියි

"මේක නං මහා දේව සාපයක්, මහා පොළොව නුහුලන අපරාධ කරපු දේශයකලු මෙහෙම වහින්නෙ, විනාසයි, අපි හදාගත්ත පොහොසත් ලස්සන දළඹු ජීවිතය විනාසයි... අනේ දෙවියනේ... දෙයියන්ටවත් මේවා පේන් නැද්ද..."

සෙසු දළඹුවන් රංචු ගැසෙමින් තැන් තැන් වල අවනඩුවක් විමසමින් සිටිනු පෙනේ. 

අර්ජුමාන් 

31.08.2026

Saturday, 18 July 2026

වරදවා වටහගන්නෙපා

"අර්ජු...මෑන්.. කව්ද මේ අර්ජුනද... මොකාද මේ - නම හරියට ලියලා නෑ...."

හය වසරේ එක්සෑම් හෝල් එකේ ගණන් සර් කෑගහනවා මගේ පේපර් එක උස්සගෙන. ඒ ස්වරයේ තියෙනවා ගණන් සර්ලටම උරුම වෙච්ච හදපතුලටම කාවද්දගෙන යන මහා අපහසයක්. ගණන් සර්ලා සහ ගණිතය එක්කම ඉන්න උන් නිකංම අපහසය නින්දාව වගේ දේවල් එක්ක හැප්පෙනවා කියලා පස්සෙ මට තේරුනෙ මමත් ගණන් සර් කෙනෙක් වුනාම. කොහොමහරි එහෙම නිශ්ශබ්ද එක්සෑම් හෝල් එකේ මගේ අප්සෙට් නම තව තවත් අප්සෙට් කර කර කෝචෝක් කරද්දි කොල්ලො කෙල්ලො හිනාවෙන්න පටන් ගත්තා. මමත් හිනාවෙන්න ගත්තා. මටම මම හිනාවෙනවා. මගෙ අවයවයකට මමම හිනා වෙනවා වගේ. එතකොට මට අපහස කරපු සර්රුත් හිනාවෙන්න ගත්තා. හැමෝම හිනා වෙලා ගෙදර ගියා - මට තාම ඒ හිනාව දෝංකාරෙ දෙනවා.

ඒ කාලේ ඉඳන්ම මම "සාමාන්‍ය" මනුස්සයෙක් වගේ ලෝකෙට මූණ දුන්නේ මගෙ මුල් නමින් - සිතිජ. ඒ අම්මා දාපු නම. අම්මට තියුණු ඉවක් තියෙනවා මිනිස්සු හිනාවෙන තැන් අල්ලගන්න. මොකද අම්මත් එහෙම හිනාවෙනවා. ඒක කලාවක් වෙලා. එහෙම සමච්චලේට ලක් නොවී පරිස්සමෙන් ජීවත් වෙන්න එයා පාඩං ඉගෙනගෙන. ඒ මිනිස්සු හිනාවෙන ඇද කුද හොයලා මැහුම් දාන එක අම්මගේ දක්ශතාවය සහ වෘත්තිය. අපේ අම්මා හොඳ ඇඳුම් මසන්නියක්. ලස්සන ලස්සන විලාසිතා එයා මවනවා. ඉතිං එයා ඒ ලස්සන සිතිජවත් මැව්වා. සිතිජට ගුරුවරියන් ආදරේ වුනා. ලස්සන ගැහැණු ළමයි ආස වුනා. ඒත් සිතිජ කිව්වම ආකර්ශණය වෙන ගොඩාක් අය අර්ජුමාන්ව දැනගත්ත ගමන් ටිකෙන් ටිකෙන් ඈත් වෙන්න පටන් ගත්තා.

"අර්ජුමාන් අයියේ...." කියාගෙන ඉස්සර අපේ ගෙවල් පිටිපස්සෙ හිටිය බ්‍රිටෝ, බ්‍රයන්, පිංකි එනවා සෙල්ලං කරන්න. උන් සිංහල නෙමේ. උන් දෙමළ - ක්‍රිස්තියානි. ඒත් කථා කරේ සහ ජීවත් වෙන්න වුනේ සිංහල විදියට. එහෙම ඈත ඉඳන් ඒ නම ඇහෙද්දි හද පතුලෙන්ම මට ලොකු සතුටක් ආඩම්බරයක් ඉපදෙනවා. නංගියි මායි උන් එක්ක සෙට් වෙලා කෑළෑ වැවුනු වතු වලට පනිනවා. අපි කරන්නේ සෙල්ලං නෙමේ - ත්‍රාසජනක කඩප්පුලි වැඩ. ලොකු ලොකු වලව් වල වතු වලට පැනලා තුප්පහි වැඩ කරන්න අපි අති දක්ශයි. අපේ මේ පොඩි කණ්ඩායමට අපි නමක් දාගත්තා - පාත්ෆයින්ඩස්.

අරම අර්ජුමාන් කෑල්ලට හිනා වුන එවුන්ම සහ ඒ සමාජ පංතියම බ්‍රිටෝටත්, බ්‍රයන්ටත්, ඇනීටටත් (පිංකි), අපේ නංගිගෙ නමේ අනිත් කෑල්ල සහජාන්ටත් හිනාවෙනවා කියලා මම දැනන් හිටියා. බ්‍රිටෝගේ තාත්තට තිබ්බා ස්නායු සම්බන්ධ රෝගයක්. එයා වැඩ ඇරිලා පාරෙ ඇවිදන් එද්දි පේන්නෙ හොඳටම බීලා වගේ. කෙලින් ඇවිදින්න බෑ. හැමෝම හිතුවේ මාටින් අංකල් බේබද්දෙක් කියලා. හරියට ඒ මනුස්සයාට අපහස කරලා තිබ්බා ගමේ උන්. ඉතිං ඒ සමාජීය පීඩනය ගෙදර ඇවිල්ලා පිපිරෙනවා. උන්ගෙ ගෙදර හැමදාම වගේ රණ්ඩු. ඒකෙන් අංකල් බේබද්දා කියලා ආයෙ ආයෙ තහවුරු වෙනවා. ඒ වගේම අපහසය නින්දාව නිසා වැරදි වැරදි ආයෙ ආයෙ පැටලි පැටලි යන නූල් බෝලයක් මටත් මගේ අර්ජුමාන් නමටත් තිබ්බා. ඒක අදටත් ලෙහා ගන්න බැරි වෙච්ච පැටලිච්ච නූල් බෝලයක්.

පොඩි කාලේ මම මුලින්ම ඉස්කෝලෙකට කියලා ගියේ වෑවල පල්ලියේ සාන්ත ක්ෂේවියර් පොඩි ඉස්කෝලෙට. ඊට පස්සෙ 7 වසර වෙනකං කතෝලික නොවන ඉස්කෝලෙකට ගියා - සෙවන්ත්ඩේ ඇඩ්වෙන්ටිස්ට්. ඒ කාලය සුන්දර මතකයක්. තාත්තා මාවයි නංගිවයි බයිසිකලේ දාගෙන උදේට ගිහින් ඇරලනවා. මම ඉන්නෙ ලගේජ් එකේ - නංගි ඉස්සරා. කන්දක් සෙට් වුනාම මම බැහැලා තල්ලු කරන්න ඕනා. තාත්තා මට කිව්වේ එක්ස්ට්‍රා එන්ජිම කියලා. ඒ නිසාම කොයි වෙලාවෙත් මං පොළොවට බහින්න බලාගෙන යන්නෙ.

8 වසරෙදි මට යන්න සෙට් වෙනවා අපේ පැත්තෙ තියෙන සුපිරියි කියන කතෝලික පාසලකට - ඩි මැසනඩ්. පොඩි කාලෙ අපි අහලා තිබ්බා ඒ ඉස්කෝලේ වස ෆාදර්ලා ඉන්නවා - ළමයින්ට වේවැලෙන් ගහනවා - ගහලා කලුවර කාඹර අස්සෙ හිර කරනවා කියලා. කොහොමහරි පොඩි කාලේ මාව ඒකට දාන්න උත්සහ කරලා තිබ්බත් ආර්ථික ප්‍රශ්ණ හින්දා ඒක බැරි වුනාලු. ආර්ථිකය හැමවෙලාවෙම දුවන්නෙ ප්‍රතිපත්තිමය රාමුවක් ඇතුලෙ නිසා - තාත්තාගෙ දැඩි අකමැත්ත නිසාම ඩි මැසනඩ් එකට මාව දාන්න හම්බෙලාම නෑ. ඒ “ලොකු” ඉස්කෝලෙට මං ගියෙ අපෙ “ලොකු” මාමාගෙ අතින් අල්ලගෙන.

තාත්තා අපිව හදිස්සියෙම සෙවන්ත්ඩේ ඇඩ්වෙන්ටිස්ට් ඉස්කෝලෙන් අයින් කරලා ඉන්ටනැශනල් ඉස්කෝලෙකට දැම්මා. අපිට ඉංග්‍රීසි ගැන තිබ්බ මාරාන්තික දේව භය ඒකෙන් පොඩ්ඩක් හරි නැති වෙලා ගියා කියලා හිතෙනවා. ඒත් අපි හැදුනු වැඩුනු පරිසරයේ තිබ්බ ලිංගික භාවිතාවන් සහ ඒවට තිබ්බ අනියත සබකෝලය නිසා ඒ ඉස්කෝලෙ වැඩි කල් අපිට ඉන්න හම්බුන්නෑ. කොහොමහරි එතන ප්‍රශ්ණ ඇති වෙලා අවුල් වෙලා නන්නත්තාර වෙලා ඉද්දි දේවදූතයා වගේ බැස්සෙ අපේ දොස්තර ලොකු මාමා. හැමවෙලේම අපි ළඟ නොහිටියත් අපට කෙල වුනාම හැමවෙලාවෙම උදව්වක් විදියට අපේ ළඟට සම්ප්‍රාප්ත වෙන්නෙ ඒ ලොකු මාමා. ඒත් ඒ කිසිම උදව්වක් නොමිලේ ගලාගෙන ආවෙ නෑ. ඒ හැම උදව්වකටම තිබ්බා දේශපාලනික පිරිවැයක්.

ඉතිං ඒ ලොකු ඉස්කෝලෙට යන්න අතේ සල්ලි නැති වුනත් ලොකු මාමාගෙ දේශපාලනික මැදිහත් වීමෙන් ඇඳුනුම්කම් හරහා මාව කොහොමහරි වැටෙනවා මැසනඩ් එකට. ලක්ශ ගණන් වැඩිපුරත් බ්‍රදර්ස්ලට දීලා ඉන්න කොල්ලො අස්සෙ ඉතා කුඩා මුදලකින් රිංගගත්ත මට හැමවෙලේම සිද්ද වුනේ ඒ බැලන්ස් පේමන්ට් එක එක එක ආකාරයෙන් ගෙවන්න. අවුරුද්ද මැද ඉස්කෝලෙට ගියපු මම හැම අතින්ම අඩත්තේට්ටම් වලට ලක් වෙන්න ගත්තා - ඒකට කියන්නෙ බයිට් වෙනවා කියලා. මුලින්ම මට ඒ භාශාව තේරුන් නෑ. අපේ ගෙදර උන්ට තේරුනෙත් නෑ. ඉස්කෝලෙ කොල්ලො හරියට ගහගන්නවා. ලේ පෙරෙන්න ගහනවා. නිතරම ඇඟට එනවා. හෝමොෆෝබියා වගේ. ගුරුවරු අතරත් ළමයින් අතරත් බ්‍රදර්ස්ල අතරත් ලිංගිකත්වය ගැන මහා විචිකිච්චාවක් තිබුනා. ඒ ඉස්කෝලෙ හිටියා විවිධාකාර වීරයෝ. විවිධාකාර චණ්ඩි. ඒ අතර හැමෝගෙන්ම ගුටි කන නෝන්ජලයො සහ වහල්ලු හිටියා. ඒ චණ්ඩි භාරව පාතාල නායකයො වගේ පෙනී හිටපු සර්ලා වර්ගයකුත් හිටියා. මේ ඔක්කොම අස්සෙ කිසිම කතෝලික පිරිමි පාසලක නැති විදියට ඉතා සුලු ප්‍රමාණයක් ගැහැණු ළමයිනුත් හිටියා. ඒ ඔක්කොම වගේ ලස්සන ගැහැණු ළමයින්ව උරුම වෙලා තිබුනේ අර කිව්ව චණ්ඩි පාතාලයට සහ වරප්‍රසාදලත් ඉහල පවුල් වල උන්ට විතරයි. ඔහොම මගෙ ජීවිතේ උඩුයටිකුරු වෙලා යාන්තං 9 වසරට එද්දි ඒ “ලොකු” ඉස්කෝලෙ භාශාවට සංස්කෘතියට මම හුරු වෙන්න පටන් අරන්. ඒ හුරු වීම කෙලවර වුනේ මහා අනන්‍යතා අර්බුදයකින් කියලා අද හැරිලා බැලුවම මට පේනවා.

ඒ ඉස්කෝලේ ඇතුලෙ කවදාවත් මගේ සම්පූර්ණ ඇත්ත කථාව මට එළියට දාන්න හම්බුනේම නෑ. මට විතරක් නෙමේ කාටවත් එහෙම තම තමුන්ගෙ සමාජීය මානසික යථාර්තයන් වලට අවංක වෙන්න පුලුවන් වුනාද මට සැකයි. එහෙම විවෘත වේදිකාවක් මම ගිය කිසිම ඉස්කෝලෙක මට හම්බෙලා නෑ. හැමවෙලේම මම පෙනී සිටියේ සිතිජ ද සේරම් කියන ආකර්ශණීය සහ ඉහල මධ්‍යම පාංතික වැදගත් නමින්. ද සේරම් කියන්නෙ ද මැසිනොද් විදුහල ඇතුලෙ හොඳ පිළිගත්ත වාසගමක් වෙලා තිබුනා. ඒත් බ්‍රදර්ස්ලා දැනන් හිටියා මම ඉස්කෝලෙට ඇතුලත් වුනේ ඒ නම්බුකාර උසස් පවුලේ මිල මුදල් සහ දේශපාලනික බලය හරහා නෙමෙයි කියලා. අපෙ තාත්තා මම ඉස්කෝලෙන් අයින් වෙනකම්ම ඉස්කෝලෙට ආවෙ කෙරුවෙ නෑ.

මම ඉස්කෝලෙට ගිය පළවෙනි දවසෙම යනවා මගෙ තාත්තාගෙ පවුලෙ නෑදෑ වෙන මල්ලි කෙනෙක් හම්බෙන්න. බාප්පගෙ පුතා. මාව මැසනඩ් එක ඇතුලෙ දැක්කම ඌ පුදුම වෙනවා. ඊට කලින් මම ඉන්ටනැශනල් ඉස්කෝලෙට යද්දි ඒත් ඌ පුදුම වුනා ඉස්කෝලෙට ඩෙක් ශූස් දාන්න පුලුවන්ද කියලා. මම කලු සපත්තු දාලා කොණ්ඩෙ පීරලා සුදු කොට කලිසම ගහලා මැසනඩ් ඇවිල්ලා කියලා දැක්කම ඌ ආයෙ පුදුම වුනා. කෙසේ හෝ එදයින් පස්සෙ අර කිව්ව “සිතිජ ද සේරම්” එක්ක ඌ හොඳ මිත්‍රයෙක් වෙනවා. මමත් ලොකු ඉස්කෝලෙ එහෙම හම්බුන අලුත් අලුත් යාලුවො එක්ක එකතු වෙලා අර අප්සෙට් අර්ජුමාන්ව හංගන්න ලොකු උත්සහයක යෙදුනා. එතකොට කවුරුත් මට හිනා වුනේ නෑ. මමත් තවත් එක සාමාන්‍ය “නිරෝගී” මැසනඩ් කොල්ලෙක් බවට පත් වුනා.

මම ඒ ලොකුයි කිව්ව ඉස්කෝලෙට යනකං අපේ තාත්තාගෙ පවුලෙ කියලා මට පැහැදිලිව මතක සීයවයි බාප්පවයි විතරයි. අනිත් අයව අපි දකින්නෙ නත්තල් දවසෙ පැය කීපයකට මහ ගෙදරට ගොඩ වුනාම විතරයි. ඒ මුලු පවුලම ඉස්සරා මට කවදාවත් මගෙ නම “අර්ජුමාන්” කියාගන්න බැරි වුනා. උන් හිනාවෙනවා. මමත් හිනාවෙනවා. අපි ඔක්කොම හිනාවෙනවා. හකු රිදෙනකං හිනාවෙනවා. ඒ ඔක්කොටම තිබුනෙ අතිශය සාමාන්‍යයි කිව්ව කවුරුත් හිනාවෙන්නෙ නැති ආරක්ශිත නම්. ඒ ඔක්කොටම සිද්ද වෙලා තිබුනේ සුද්දා හදපු ඉහල මධ්‍යම පාංතික සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය සහ සුචරිතවාදය පිලිඅරගෙන ඉතා පරිස්සමෙන් ජීවත් වෙන්න. මමත් සිතිජ ද සේරම් වෙලා අර කිව්ව උසස් කතෝලික පාසලට ගිහිල්ලා අර්ජුමාන්ව ඇඳ අස්සට තල්ලු කරලා හංගලා දැම්මට පස්සෙ ඉස්සර මාව ප්‍රතික්ෂේප කරපු ගොඩාක් උදවිය මාව වැළඳගන්න පටන් ගත්තා. ඒ වැළඳගැනීමත් එක්කම පොඩි කාලේ සෙල්ලං කරපු ගමේ යාලුවන්ගෙන්, නංගිගෙන්, මගෙ අම්මගෙ ගම - කන්ද වත්තෙන්, වැලිගම්පිටියෙන් මම ටික ටික ඈත් වෙන්න පටන් ගත්තා.

ඩි මැසනඩ් එකේ නම කොළඹට අරගෙන යන ඉහල පෙලේ යැයි කියා ගත් පවුල් පරම්පරා වල ළමයි නිතර ගැවසෙන ඉස්කෝලෙ කොආයර් එකට මාව අහම්බෙන් වගේ සෙට් වුනා. මං ඒකට ආස වුනා. මගෙ පෙනුම සුදුයි උසයි කෙට්ටුයි. මාව ගැලපෙන්නෙ ඇල්ටො සොප්‍රානෝ කියන්න වුනත් මට සින්ග් කරන්න පුලුවන් වුනේ සහ මාව ටීචර් දැම්මෙත් බර වොයිසස් තියෙන බේස් සහ ටෙනර් කාණ්ඩ එක්ක ඉන්න. එතන හිටපු ඔක්කොම වගේ උස මහත, දිනපතා රැවුල් කපන, සද්දන්ත ජබ්බො. උන් බොග් බොග් ගගා බේස් සින්ග් කරද්දී ඇට කෝටු මමත් අස්සෙ රිංගගනෙ ඒ ගානටම උන් එක්ක සින්ග් කරන්න පටන් ගත්තා.

කොළඹ ඉස්කෝල වලින් අපිට ඇහුනු - යුරෝපයේ වගේ දැනුනු - තාක්ශණිකවත් අධ්‍යාත්මිකවත් පුහුණු කෙරුනු ඒ සුපිරි වොයිසස් වලට අපේ කොආයර් එකේ මලකඩ කටහඬවල් ලං කරන්න බැරි වුනත් එහෙම කොළඹ ගියපු එකෙන් ඒ බටහිර ශ්‍රාස්ත්‍රීය ලෝකෙ මට දැකගන්න පුලුවන්කම ලැබුනා. නැශනල් ඔකේස්ට්‍රා ප්ලේ කරනවා දැකලා, ඉංග්‍රීසි නාට්ටි බලලා, කොළඹ පල්ලි වල වොයිස් ට්‍රේනින් වලට ගිහිල්ලා සහතිකයක් දෙකක් අරගෙන කඳාන හපුගොඩට බහිද්දි ඉස්කෝලේ ඒ වෙද්දි ජනප්‍රිය වෙලා තිබ්බ සංගීතය පාට පාට ලයිට් බුබුලු පත්තු වෙන වෙනමම එකක්. ඉස්කෝලෙ පූජාව කොළඹදි අපිට ඇහුන මයිල් කෙලින් වෙන රාජකීය පූජාව නෙමේ. ඒක නිසාම නිකංම සිංහල පෙරදිග සංගීතය කරන උන්ව අපි දකින්න හුරු වුනේ අඩු කුලේ පර හැත්ත වගේ. ඒත් ඉස්කෝලෙ ඇතුලෙ උන් හිටියේ විශාරද පණ්ඩිත් ලෝඩ් පකීර්ලා වගේ.

ඒ භාශාවයි කොආයර් එකේ භාශාවයි අහසයි පොළොවයි වගේ වුනා. ශික්ෂා පද්ධති දෙකක්. ලෝක දෙකක්. අභිලාශයන් දෙකක්. කොආයර් එකේ උන් ගරු කරන තරං ආගමට දෙයියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට ගරු කරන වගක් ආත්මීයව වන්දනාමාන කරන ගතියක් පෙරදිග සංගීත ලෝකෙ පෙනෙන්නට තිබුනෙ නෑ. කොණ්ඩ කොටට කපාගෙන ලෝගු ඇඳගෙන කොළඹ පල්ලි ඇතුලෙ සම්භාව්‍ය බටහිර සංගීතය ඉගෙනගත්තත් - දෙවියන්ට ඔප්පු කරන ගායනාවන් මෙන් ආධ්‍යාත්මිකව පුහුණුවන් ලැබුවත් - ඉස්කෝලෙට ආවාම දකින්න ලැබුනේ ඊට හාත්පසින්ම වෙනස් වුනු පාට පාට අච්චාරු සංගීතයක්.

ඒ සංගීතය හරහා ජනප්‍රිය වුනු එක එක සුපිරි චරිත ඉස්කෝලේ හැදිලා හිටියා. ඒ ජනප්‍රිය චරිත අවට නිතරම කෙල්ලො වගේම තරුණ ටීචර්ස්ලත් ගැවසුනා. උන්ට හැමවෙලේම වාසියි. බොරුවක් දෙකක් කියන එක මහා දෙයක් නෙමේ. ක්ලාස් කට් කරලා සංගීත කාමරේ ආතල් එකේ ඉන්න ඉහල පෙලේ සංගීත ගුරුවරුන්ගෙන්ම උන්ට ආශිර්වාදය ලැබිලා තිබුනා. ඒ පාට පාට පොළොවෙ සිහින තරු බිහි වුනා. මාකටින් ඔස්තාර්ලා බිහි වුනා. ලස්සන ලස්සන අලුත් තනු නිර්මාණ ඇහුනා. අලුත් සිංදු හැදුනා. ඊට එහායින් තිබ්බ සම්භාව්‍ය බටහිර සංගීත කුලයේ තිබ්බෙ තියෙන නොටේශන් එක එලෙසින්ම ගහනවා මිසක් එහෙම අලුත් එක එක නව නිර්මාණ හැදෙන බවක් පෙනුනේ නෑ. හැමෝම එකම ලෝගුවක් ඇඳලා එකට ගායනා කරේ ඈත අතීතයේ සිට පැවැතගෙන එන බටහිර ශ්‍රාස්ත්‍රීය ලෝකයේ කතෝලික අධිරාජ්‍යවාදීන්ගේ පල්ලි ඇතුලේ වැඩහිටපු සර්ව බලධාරී ඒක දෙවියන්ට මිසක් එක එක ගැහැණු පාර්ශවයන්ගෙන් ලකුණු දාගන්න නෙමෙයි. ඒක අනිත් උන් කොහොම ගත්තත් මම මහා අනවශ්‍ය විදියකට ඒ සංගීතය සහ ඒ විද්‍යාව සීරියස් ගන්න පටන් ගත්තා. මං අවංක මෝඩයෙක් ඔව් පිලිගන්නං. අවංකව මම විශයට ධාර්මික වෙන්න පටන් ගත්තා. එහෙම නැතිව මට සින්ග් කරගන්න බැරි වුනා. ඒකට බොක්කෙන් බැස්සොත් මිසක් මට ඒක ශාරීරිකව කරගන්න බැරි වුනා. එහෙම හිත පතුලෙන් ධාර්මික වෙන්න වෙන්න මට සංගීතය සහ ගණිතය අතර ලොකු වෙනස්කමක් පෙනෙන්නට තිබුනේ නෑ. ටිකෙන් ටික මගෙ ලෝකෙ ඇතුලෙ ඒ විශයන් දෙකම එකක් බවට පත්වෙමින් තිබුනා.

ඒ කාලේ තාත්තා ගෙදරට ගෙනාවා සුපිරි ඕගන් එකක්. ඒකෙ තිබ්බ ඔකේස්ට්‍රල් ඩෙමෝ ට්‍රැක්ස් දාගෙන මම ඇස් වහගෙන ඒ ඔකේස්ට්‍රා එක කන්ඩක්ට් කරනවා. ඒ කාලේ මම කොආයර් එකේ කන්ඩක්ටර්. එතකොට මට නොටේශන්ස් කියවන්න ඒවා බලාගෙන සින්ග් කරන්න පුලුවන්. ඒ වෙද්දි කොආයර් එකේ පොඩි මල්ලිලට පාට්ස් කියල දෙන සිනීයර් අයියා කෙනෙක් වෙලා. දවසක් මම එහෙම ඕගන් එක දාගෙන තාත්තාගෙ කාමරේ ඇස් වහගෙන කන්ඩක්ට් කර කර ඉද්දි එක පාර ගැස්සුනා - ඒ අම්මයි නංගියි මගෙ දිහා බලාගෙන හිනාවෙනවා ඇහිලා. ඒ වෙද්දිත් අපේ ගේ අස්සේ බල කඳවුරු දෙකක් ඇති වෙලා. එකක් ඉහත කිව්ව මම පොඩි කාලේ ඉඳන් හැදුන වැඩුන මගේ ග්‍රාමීය යථාර්තය. අනිත් එක මේ ශ්‍රාස්ත්‍රීය බටහිර සංගීතය සහ උසස් පෙළ සංයුක්ත ගණිතය හරහා මගේ ඇතුලෙ නිර්මාණය වෙලා තිබ්බ ගමෙන් එහාට විහිදුන විශ්වීය යථාර්තය.

මේක ලෝක දෙකක් වෙලා වෙන්වෙලා ඈත් වෙලා යුද්ධයක් නිර්මාණයක් වෙලා තිබුනා. ඒ කාලේ ගෙදර රණ්ඩුවක් නොවුන දවසක් මට මතක නෑ. වම් මොළෙයි දකුණු මොළෙයි මරා ගන්නවා වගේ ගෙදර හැමවෙලේම තිබ්බෙ කවදාවත් ඉවරයක් වෙන්නේ නැති මොකෙක්වත් පරදින්නෙත් දිනන්නෙත් නැති තර්ක විතර්ක විතරයි. 2009දි උතුරෙ සිවිල් යුද්ධෙ උච්චතම තැනකට ඇවිල්ලා තිබුනා. අපි ශාරීරිකව යුද්ධෙට අහු නොවුනත් මානසිකව මහා යුද්ධෙකට බිලිවෙමින් - එකිනෙකා ගැටෙමින් තනි තනි වෙමින් ‌- ඉස්සර අපි අතර තිබ්බ ප්‍රේමය සමාවදීම සහෝදරත්වය ටිකෙන් ටික ගිලිහෙමින් තිබුනා. සංගීතය ගණිතය විතරක් නෙමේ - ලෝක දැක්ම, ආගම, දේශපාලනය, ආදරය, ලිංගිකත්වය, දෙවියන්, සහෝදරත්වය, මව්පියන්, විවාහය, උපත සහ විපත - මේ සියල්ල දකින්න කියවන්න පුලුවන් ඒ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෝක දෙක මගෙ ඇස් දෙකට කාච දෙකක් බවට පත් වුනා. අහසයි පොලොවයි අතර වගේ ඔය කාච දෙක මැද්දෙ මම සැරිසරන්න පටන් ගත්තා. මැසනඩ් යථාර්තයේ මට ස්වාධීනව පය ගහලා ඉන්න පුලුවන් එකම ආත්ම ශක්තිය බවට පත් වුනේ - එකී සංගීතය සහ ගණිතය කියන විශයන් දෙකට ඇති වූ අවංක ආත්මීය ඇල්ම විතරමයි. අද හැරිලා බැලුවම විශයකට වඩා එතනදි මම අවංක වෙලා තියෙන්නෙ සියලුම ජල ගංගා වල මහා උල්පතකට කියලා පේනවා.

තිස්තුන්කෝටියක් දෙවිවරු එක්ක ගනුදෙනු කරද්දි තිස්තුන්කෝටියක් ගෑණුන්ට හිත යනවාලුනෙ. ඉහත කී කොආයර් එකට සෙට් වෙලා පොශ් වෙන්න කලින් 9 වසරෙ මුල මම ෆුල් වල්. වල්කථා කාපර්. ටීචර්ස්ලා, අක්කිලා, නංගිලා, අම්මිලා, ඇන්ටිලා.... බෙල්ලෙන් පහල ඕනෑම ස්ත්‍රී රූපයකට මම වශී වෙන්න පටන් අරන්. ඒ වනවිට වනචර දෙව්ලොව මහා කථා සක්විති මගේ යාලුවා - මැක්සි. ඉස්කෝලෙ යන්නෙම උගෙන් අලුත් කථාවක් අහගන්න. ඔහොම ඔහොම මහා වනචරකමකට ගොදුරු වුන මට ඕලෙවල් ලං වෙද්දි හිතෙන්න ගන්නවා එක ආදරවන්තියක් ඇති කියලා. ඒ සිතිවිල්ලෙන් මට හරිහමන් ගැහැණු ළමෙක් හමුනොවුනත් ඕලෙවල් විභාගෙට හොඳ රිසාල්ට් එකක් අරගන්න පුලුවන් වෙනවා. ඒ ආපු පිම්මෙන් හැමෝගෙන්ම ආශිර්වාද අරගෙන උසස් පෙළ ගණිතය හදාරන්න යනවා. මගේ තිබ්බ ස්නායු වල කේස් එකක් නිසා මං හිතන්නෙ අනිත් විශයන් ඔක්කෝටම වඩා නිරායාසයෙන්ම මට පුලුවන් වුනේ ගණිතය විතරයි. කවදාවත් මම පැය ගණන් පොත් පාඩං කරලා නෑ. ඒත් මං දවස් ගණන් එකම ප්‍රශ්ණෙ එක්ක එක එක විදියට ඔට්ටු වෙනවා. ඉස්කෝලෙ ගණන් සර්ටත් වඩා තියුණු විදියට ගාණට බැස්සට මට හරි වෙලාවෙදි ගාණ ඉවර කරගන්න බැරි වෙන නිසා ඒ වෙද්දිත් විභාග මට අප්පිරිය වෙන්න පටන් අරන්.

මගෙ ගණන් සර් වුනේ තාත්තා. ඉස්සර තාත්තා කියන මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. මට එන්නෙ කේන්තියක්. තාත්තා උගන්නන්න ගන්නෙම මහා සංකීර්ණ යුධ ගැටුම් වල උදාහරණ. ගොඩක් ඒ යුධ ගැටුම් අවසාන වෙන්නෙ ලංකාවේ යුධ හමුදාව එල්ටීටීඊ එකෙන් අම්බානක කාලා. එයාගෙ රස්සාව වුනේ නැව් වල යන ඉංජිනේරුවන්ට, නේවි ඔෆිසස්ලට, විශ්වවිද්‍යාල වල ශිෂ්‍යන්ට ඉංජිනේරු විශයන් ඉගැන්වීම. තාත්තා අනින ටොක්ක පස්සෙ තමයි තේරෙන්නෙ වගේ එයා කියන මහාප්‍රාණ පැහැදිලි කිරීම් මුලදි මට තේරුන් නැතත් කොහොමහරි ගණිතයේ හරිම නිලය මට ඒ මානසික පීඩනය හරහා සෙට් වෙලා කියලා තේරුනේ උසස් පෙළ ගණිතය පංති කාමරේදි. ජීවිතේ පළවෙනි වතාවට ඇප්ලයිඩ් මැත්ස් පේපර් එකටයි පියෝ මැත්ස් වලටයි අනූගණන් ගත්තා මතකයි. කැළෑ අශ්වයෙක් රේස් එකේ ඉස්සරහින් දුවනවා වගේ මම උසස් පෙළට ගිය ගමන් හෝ ගාලා බැට් කරන්න ගත්තා. කොහොමහරි ඒ කාලේ මම තර්ක කරපු, කුප්පි දාපු, සංවාද පවත්වපු උන් අද වෙද්දි ඉංජිනේරුවො හෝ රටේ ලෝකෙ පාලනයට කර තියන ප්‍රධාන පෙලේ මිනිස්සු බවට පත් වෙලා. මම මෙහෙ වතුර බවට පත්වෙලා. එක එක භාජනයෙන් භාජනයට මාරු වෙන, අහසින් පොළොවට වැටෙන, පොළොවට අහසට නගින, විටෙක අයිස් වෙන, තවත් විටෙක හුමාලය වෙන වතුර වෙලා. සමහරු ඒ වතුර තිබහට බොනවා. සමහරු ලැට් හෝදනවා.

දවසක් කෙමෙස්ට්‍රි ලැබ් එකේ අපි විවාහ වෙන වයස ගැන කියෝ කියෝ ඉද්දි මගේ ක්‍රෂ් එකක් වෙලා හිටපු දූතිකා මට කිව්වා මතකයි මම නං ඔක්කෝටම කලින් කසාද බඳියි කියලා. අපි ඔට්ටුවකුත් ඇල්ලුවා. එච්චර උණක් මට ඒ කාලේ ගහලා තිබ්බා. ඒත් මම කිව්වෙ මම කවදාවත් කසාද බඳින්නෑ කියලමයි. ඒ කිව්වෙ මට එයා එක්ක කථාබහක් ඇති කරගන්න ඕන නිසා මිසක් ඇත්තට නෙමේ. දූතිකා ඒක පිළිගත්තෙම නෑ. අද එයාට ළමයි දෙන්නෙක්ද මන්දා ඉන්නවා මං හිතන්නෙ. ඒ ලව් උණ කිව්ව උණ හැමදාම එක්කො මම වරදවා වටහගෙන - එක්කො මම ලං වුන ගෑණු ළමයි වරදවා වටහගෙන. හැමදාම වෙලා තියෙන්නෙ ගෑණු ළමෙක් මට කැමති වුන ගමන් මම හතර වටේ දුවන්න පටන් ගන්න එක. ගෑණු ළමෙක් කැමතියි කියලා ඉඟි කරපු ගමන් මම දුවනවා, පොත් ලියනවා, තනු හදනවා, කවි නිසදැස් ලියනවා වගේ එක එක පිස්සු කෙලිනවා. අපේ පූසට බඩගිනි වුනාමත් එහෙමයි. හැමතැනම ඇතිල්ලෙනවා, එහෙ මෙහෙ දුවනවා, ඳගලනවා එක විකාරයයි. ගොඩක් වෙලාවට කෑම එක කොහෙවත් පූසා කොහෙවත්.

මම අර කිව්ව ඒකීය ආදරවන්තිය මට ඉස්කෝලෙ කාලෙ ඉන්නකම්ම හම්බුනේ නෑ. ඒලෙවල් කාලේ ඉස්කෝලෙට ආපු ඔක්කොම රස වරකා ගෙඩි හිටපු කාක්කො පොර කකා කෑවා. බල්ලො මස් කෑල්ලට පොරකනවා වගේ තත්වයක් තිබූ හෙයින් එකක්වත් සාර්ථක වුනේ නෑ. දවසක් 2007දි මම මහා සිකුරාදා පල්ලි ගියාම ලස්සන ගෑණු ළමෙක්ව දකිනවා. පස්සෙ මම ඒලෙවල් කරද්දි දැන ගන්නවා එයා අපේ සීයලගෙ මහගෙවල් එහා පැත්තෙ ඉන්නෙ කියලා. ඒ මගේ පළවෙනි ආදරවන්තිය.

එයා හැම ඉරිදාම උදේ පූජාවට එනවා කියලා මට දැනගන්න ලැබෙන්නෙ එයාගෙ අසල්වැසියෙක් වන මා මිත්‍ර තරීන්ගෙන්. ඒ හෝඩුවාවෙන් මම හැම ඉරිදම මහා පාන්දර නැගිටගෙන පල්ලි යන්න පටන් ගත්තා. ගිය පළවෙනි දවසෙම එයාව දැක්කා කියන්නෙ දෙවියන් බැහැ දැක්කා වගේ තමා. මම හිතුවේ ඒක දේව සැලැස්ම කියලා. මොකද අර කිව්වා වගේ මට වනචරකමින් මිදිලා පවිත්‍ර වෙන්න බරපතල උවමනාවක් ඇවිල්ලා තිබුනේ. මට තේරුනා මේ හමුවීමෙන් මගේ සැබෑ වෙනසක් වෙනවා කියලා. ඒ කාලේ තාත්තා ගෙදර දානවා ධර්මරත්න බ්‍රදර්ස්ලගේ වැහිදාක ගඟනෝදරේ සිංදුව. ඒක අහගෙන මම සිහින ලෝකෙකට යනවා. තනියම කථා කරනවා. දෙබස් කියනවා. ඔහොම ඉද්දි මට සිංදුවකට පේලි කීපයක් ලියවුනා. “මා ඔබේ ඇස් පල්ලියේදි යන්තමින් දුටුවා - එදා ටිකක් අඳුරුයි වළාකුලු නෑ මහා සිකුරාදා”. ඒක ටික ටික සිංදුවක් විදියට හැදුනා. මම ඒ සිංදුවෙ ජීවත් වෙන්න පටන් ගත්තා. ඒක හරියටම ෆිල්ම් එකක් ඇතුලට ඇවිදන් යනවා වගේ. ඒ සිංදුවෙන් පස්සෙ මම ජීවත් වුනේ ඒ ෆිල්ම් එකේ. ෆිල්ම් එකේ ඉද්දි හැමදෙයක්ම දැනෙන්නෙ ඇහෙන්නෙ ඒ විදියට. අපි කථා කරපු හැම දෙබසක්ම මම සීරියස් ගත්තා. ‍මියුසික් අහද්දි මට කරන්ට් පාස් වෙන්න පටන් ගත්තා. මම කවි ලිව්වා. සම්පූර්ණ පොතක්ම ලියලා එයාට දුන්නා කියවන්න කියලා. ඒ කාලේ මම ලියනවා ලියනවා ඉවරයක් නෑ.

ඒ වෙද්දි මම ඒ ලෙවල් කරලා ඉවරයි. ෆිල්ම් එකේ නිළිය ඒ ලෙවල් කරනවා. අපිට හම්බෙන්න කරන්න වරම් තිබුනෙ නෑ. ඉඳලා හිටලා හොරෙන් පොඩි වෙලාවකට හම්බෙනවා හැරෙන්න එහෙම මාර ප්‍රේමයක් අපි දෙන්නා අතර තිබුනේ නෑ. මම ජීවත් වෙලා තියෙන්නෙ මගේම මනෝ ලෝකෙක. එයා ජීවත් වෙලා තියෙන්නෙ එයාගේම ලෝකෙක. ඒත් අපි ආදරවන්තයෝ. ඒ අපේ ෆිල්ම් එකේ.

මම ලංකාවේ රජයෙ කැම්පස් යනවට තාත්තගේ ලොකු උනන්දුවක් තිබුනෙ නෑ මුල ඉඳන්ම. එයා කිව්වෙ තනියම ඉගෙනගන්න පටන් ගන්න කියලා. ඒ කාලේ ලෝකෙ පුරා පවත්වපු ඉංජිනේරු විභාග වගයක් තිබුනා. ඒක පැවැත්වුවේ එංගලන්තෙ ඉංජිනේරුවන්ගෙ කවුන්සිල් එකෙන්. ඒ වෙද්දි මම අවශ්‍ය කරන ඉංජිනේරු අච්චු පොත් එහෙම හොයාගෙන තාත්තා එක්ක සෙට් වෙලා තනියම ඉගෙන ගන්න පටන් අරන්. මගක් දුර වැඩේ කරන් යද්දි හෙන ගහනවා ව‌ගේ ලෝකෙ පුරා ඒ විභාගෙ පවත්වන එක නැවැතුනා. එතනින් පස්සෙ ලංකාවේ කවුන්සිල් එකට සෙට් වෙන්න වුනා. ඔහොම ඔහොම මගෙ ඉංජිනේරු අධ්‍යාපනය එක එක කඳවුරු වල විවිධාකාර ගුරුවරු ආශ්‍රය කරමින් විවිධාකාර පොත් කියවමින් තැන් තැන් වලට මාරු වෙමින් යන අවිධිමත් රස්තියාදු ගමනක් වුනා.

ඉහත කිව්ව සිතිජ ද සේරම් ඒ වෙද්දි ෆිල්ම් එකේ ලස්සනම තැනකට ගිහිල්ලා. මැසනඩ් කොල්ලෙක්. උසස් වාසගමක්. ඉංජිනේරු ශිෂ්‍යයෙක්. ඒ වෙද්දි ෆිල්ම් එකේ නිළිය මට පොරොන්දුවක් දීලා තිබුනා ඒ ලෙවල් ඉවර වුනාම මේ තහංචි ඔක්කොම ඉවරයි - අපි අපේම ලෝකෙකට පියාසර කරමු - එතකං මේ මුකුත් ඕනේ නෑ - අපි ඉවසමු නේද කියලා. මං අවංක මෝඩයෙක් ඔව් පිලිගන්නං. මම එයාගේ ඒ ලෙවල් ඉවර වෙනකං පොඩ්ඩක්වත් වද නොදී දරාගෙන අඬාගෙන හිටියේ එයාට අධ්‍යාපනයට පොඩි හරි බාදාවක් නොවෙන්න. ඒ ලෙවල් ඉවර වෙලා පහුවදා එයා මැසේජ් එකක් දැම්මා - මට මේක තවත් කරන්න බෑ - මේක ඉවරයි කියලා. මම ඒ වෙද්දි පෑලියගොඩ සයිට් එකක ට්‍රේනින් යනවා. ඒ පොඩි මැසේජ් එකෙන් මං හිතන්නෙ මගේ ඇතුලෙ මොකක්හරි ආයෙ හරවගන්න බැරි කේස් එකක් පත්තු වුනා. ඒ වෙද්දි මම දැඩි විශ්වාසකයෙක් වෙලා. ඒත් දේව සැලැස්ම මට ඕන විදියට දුවන්නෙ නැති නිසා මම ඒ වෙද්දිත් අහන්න පටන් අරන් ස්වාමිනි ඔබ මා අත්හැරියේ මන්ද කියලා. අවුලක් නෑ තව පොඩ්ඩක් යන්කො කිය කිය ඉස්සරාට ඇදගෙන යද්දි තමා නිළිය මැසේජ් එක එව්වෙ. එතනින් එහාට සිංහල හඬ කවපු හිංදි නාට්ටි වල වගේ කෙලින්ම නිළිය අතුරුදහන්.

එදයින් පස්සෙ අර කිව්ව ඉහල මැද පංතියේ ප්‍රශංසා ලබමින්, පල්ලියෙ ඉස්කෝලෙ පවුලෙ පරම්පරාවේ හොඳ නම රකිමින්, ගුණවන්ත අහිංසක ගුරුවරුන් වැඩිහිටියන් කියන දේ අහන දෙවියන්ට කීකරු ආදරණීය සිරිමත් මගෙ සකි - සිතිජ ද සේරම් ඇතුලෙන් පුපුරලා යන්න පටන් ගත්තා. ඒ වන විටත් මට පිටතින් හිනාවෙලා අතිශය සාමාන්‍ය විදියට ඉන්න සිද්ද වෙලා තිබුනත් - ඇතුලාන්තයෙන් මහා ගැඹුරු අනන්‍යතා අර්බුදයකට මූණ දෙන්න පටන් අරන් ඉවරයි. ටික ටික සියලුම ඊනියා පාසල් යාලුවන්ගෙන් සහ සම්පූර්ණ මැසනඩ් යථාර්ථයෙන් නික්මෙන්න පටන් අරන්. මහා ඉහලින් මාව පිලිගත්ත නෑදෑයන්ගෙ හෙලුව මට පේන්න පටන් අරන්.

දෙවියන්ට මම තනියෙම කෑගහන්න පටන් ගත්තා. හැම රෑම කඳුලකට පෙරලුනා. මුලු රෑම අඬ අඬ ඉඳලා පහුවදා ඉතා සාමාන්‍ය විදියට මුකුත්ම වෙලා නෑ වගේ හිනා වෙලා ජීවත් වෙන්න හුරු වුනා. ආදරය ප්‍රතික්ශේප වෙනවට වඩා මට වුන ලොකුම අවුල අර කිව්ව සර්ව බලධාරී ඒක දෙවියන් අවංක ධාර්මික සුහට කීකරු මට පිටුපෑමයි. ඒක මට තේරුං ගන්න බැරිව මම ලොකු දුකක් වින්ඳා. මොකද එතනදි පල්ලියෙ සහ මම ගිය කතෝලික ඉස්කෝලෙ තර්කය සහමුලින්ම ෆේල් වෙලා ඉවරයි. මම ඒ වෙද්දිත් දෙවියන් කිව්ව විදියට ජීවත් වුන එකෙක්, පංති භේද නැතිව හැමෝටම පොදුවෙ ආදරය කරපු එකෙක්, ඊරිසියා කරන කකුලෙන් අදින උන්ට සමාව දුන්න එකෙක්, වම් කම්මුලට ගැහුවම දකුණු කම්මුලත් හරෝපු එකෙක් - අවසානයේ දෙවියන් මාව අතහැරලා විසිකරලා දැම්මා හපයක් වගේ.

මට මගෙ අර්බුදය කියාගන්න එකෙක්වත් හිටියෙ නෑ. හැමදේම තනියම රහසේ දෙවියන්ට කියන්න හුරු වෙලා හිටපු මම ඒ වෙද්දිත් ගොඩාක් යාලුවන්ගෙන් ඈත් වෙලා ඉවරයි. ඒ වෙද්දි ගෙදර සෑහෙන විපර්යාසයක් වෙන්න පටන් අරන්. නංගි එයා ඒ ලෙවල් කරන කාලෙම ආදර සම්බන්ධතාවයකට පැටලුනා. ඒ සම්බන්ධය එයාට නුසුදුසුයි කියලා මට හිතිලා ඒ වෙද්දි මායි නංගියි අතර මාරාන්තික යුද්ධයක් පටන් අරන්. කොච්චර අකමැති වුනත් දවසක් නංගි පල්ලියෙදී ඉකි ගගහා අඬනවා දැකලා ඒකත් මම දෙවියන්ගෙ කැමැත්ත කියලා හිතලා එයාට එයාගෙ ජීවිතෙ තීරණ ගන්න ඉඩ දුන්නා. ඒ වටපිටාවේ මට මගෙ දුක කියාගන්න එකෙක්වත් ගේ ඇතුලෙ හිටියෙ නෑ. කිව්වත් මොකෙක්වත් තේරුං ගත්තෙත් නෑ. කෙල්ලෙක් දාලා ගියා නං තව කෙල්ලෙක්ව හොයා ගන්න කියලා හැමෝම කිව්වත් මට තිබ්බෙ කෙල්ලෙක් දාලා ගිය  ප්‍රශ්නයක් නෙමේ - මහා සර්ව බලධාරී දෙවියන් එකක් ඇති වුන මාරාන්තික යුද්ධයක්.

සියලුම ආයතන විසින් පොඩි කාලේ ඉඳන් හදලා දුන්න අනන්‍යතාවයන් සුනු විසුනු වෙලා තියෙද්දි නන්නත්තාර වෙලා ඉද්දි මම ලං වෙනවා කෙනෙක්ට. එයා මට වඩා අවුරුදු අටක් බාලයි. ඒ වෙද්දිත් එයා ඉස්කෝලෙ යන පොඩි ළමෙක්. අපි දෙන්නා ලේ ඥාති. එවැනි හෘදයාංගම ලෙන්ගතුබවක්, කොන්දේසි විරහිත බාර ගැනීමක් සහ උණුසුමක් මට කාගෙන්වත් - අම්මගෙන් තාත්තගෙන්වත්, කිසිම යාලුවෙක්ගෙන්වත් කිසිම විදියකින් හම්බෙලා තිබුනෙ නෑ. අදටත් නෑ. කවදාවත් කවුරුත් හීනෙකින්වත් හිතන්නෙ නැති මහා අසම්භාව්‍ය විදියට අපි දෙන්නා ටික ටික ලං වෙන්න පටන් ගත්තා.

කිසිම ලිඛිත භාශාවකින් ප්‍රකාශ කරගන්න අමාරු හරිම නැවුම් වෙනස් හැඟීම් ගොඩක් මැද මම ආයෙත් අලුත්ම කලලයක් විදියට ඉපදෙන්න පටන් ගත්තා. පෙර වූ අනන්‍යතාවය කුඩු පට්ටං වෙලා මරණයට පත් වෙලා නමක් ගමක් ආගමක් ජාතියක් නැති ගන්ධබ්බයෙක් වගේ එහෙ මෙහෙ සැරිසරද්දි මට අලුතෙන් ඉපදෙන්න ගර්භාශයක් හම්බෙනවා. ඒ ඇයයි. එහෙම අලුතින් ඉපදුනු කුඩා දරුවට මම ‘අර්ජුමාන්’ කියලා නම් කරලා හිතට ගලාගෙන එන දේවල් මේ වගේ ඉන්ටනෙට් එකේ ලියන්න පටන් ගන්නවා. ඉස්සර ලිව්ව දේවල් මම හංගලා මගෙ ළඟ තියාගත්තා මිසක් කාටවත් මම පෙන්නලා නෑ කියවන්න. අරම අලුතින් ඉපදුනාට පස්සෙ මම බ්ලොග් එකක් හදලා ලියන්න පටන් ගත්තා, තනු නිර්මාණය කරන්න ගත්තා, සිංදු හදන්න ගත්තා - ලියවෙන්න ගත්තා, තනු නිර්මාණය වෙන්න ගත්තා, සිංදු හැදෙන්න ගත්තා.

ඉතා අහම්බෙන් සිදු වුනු ඒ හමුවීමෙන් සහමුලින්ම මගේ විශ්වාස පද්ධතිය උඩුයටිකුරු වුනා. මට ඒක කාටවත් කියාගන්න තේරුනේ නෑ. ඒක නිකං පිටසක්වල යානයක් එක්ක සන්නිවේදනයක් පටන් ගත්තා වගේ වැඩක්. එතනින් එහාට මම වෙනම භාශාවකට විවෘත වෙන්න ගත්තා. ඒ භාශාව තේරුනේ අපි දෙන්නට විතරයි. අපි දෙන්නගේ මේ අසාමාන්‍ය සම්බන්ධතාවය එක එක අය එක එක විදියට අර්ථ දක්වන්න පටන් ගත්තා. ඒ හැම අර්ථ දැක්වීමක්ම ඉතා පටු, ග්‍රාමීය, භයාදු සහ ඒකමාන කියවීමක් වුන නිසාම - මටත් ඒක හරියටම ප්‍රකාශ කරගන්න තේරුනෙත් නැති නිසාම - ඒ වුනේ මොකද්ද කියලා හොයාගෙන යන්න මම පෙළඹුනා. මහ සිකුරාදා ගීතය ලියවුනාට පස්සෙ අනිත් සියලුම ගීත ලියවෙන්න, ලිපි ලියන්න සහ ඒ අනුව මගෙ මුලු ජීවිත ගමනම සම්පූර්ණයෙන් කනපිට ගැහෙන්න බලපාපු ප්‍රධානම මුලාශ්‍රය වුනේ ඇයයි.

මම කොල්ලෙක්. එයා කෙල්ලෙක්. ලස්සන කොල්ලෙක් - ශාරුක්කාන් වගේ. ලස්සන කෙල්ලෙක් - කාජල් වගේ. ඒක නිසා හැමෝම කිව්වෙ හරි සරලයි මුන් ලව් කරනවා. මුන් සෙක්ස් කරනවා. මුන්ට සෙක්ස් කරන්න දෙන්න බෑ එහෙම. එහෙනං අපිත් කරනවනෙ. අපිත් ආසයිනේ. බෑ බෑ බෑ අංගවිකල ළමයි හම්බෙනවා. මොන්ගල් ළමයි හම්බෙනවා. මේක අනීතිකයි. පවුලෙ දැලි ගානවා. ෆාදර් මේ බලන්න මුන් පව් කරනවා. අපි මුන්ට අනුකම්පා කරමු නේ. මුන්ගෙ පවුලටම පිස්සු නේ. මේවා විකෘති අදහස්. ඕක අසනීපයක්. මෙච්චර විද්‍යාව දියුණු ලෝකෙ මුන්ට අමු කැවිලද බං. ඔච්චර ඕනනං කෙල්ලව උස්සං වරෙන්කො. උඹ පිරිමියෙක් නේ. පිරිමියෙක්නං ඉස්සරාට වරෙන්කො. මේකිගෙ තියෙන දාංගලේ බලපංකො. උඹලට තියෙන්නෙ ඊරිසියාව. මෙතන තියෙන්නෙ කුහකකම වෙන මුකුත් නෑ. නෑ නෑ නෑ නෑ නෑ ඕකුන් එකතු වෙලා මගේ දරුවව අල්ලගන්න ගියේ. ආයේ අපේ කිසිම නෑදෑකමක් සහෝදරකමක් නෑ ඒක දැනගනින්. මේ පැත්ත පළාතේ පස්පාගන්නෑ. ඔය සම්බන්දෙ නවත්තපං. මගේ මිනිය උඩින් ගියත් මේක වෙන්න දෙන්නෙ නෑ. මේක දේව සාපයක්. යක්සයා ඔතන ඉන්නෙ. ඕකව මරලා දාන්න ඕනා.

ඔහොම ඔහොම මහා ඉහලයි කිව්ව උසස් යැයි කිව්ව උගත් යැයි කිව්ව මහා යහපත් යැයි කිව්ව සියලුම සුචරිතවාදීන්ගෙ නිරුවත ටිකෙන් ටිකෙන් මේ ආදර සම්බන්දය හරහා එළියට පනින්න පටන් ගත්තා.

“සතුරාට වැරදි කරන්ට ඉඩ හරින්න”

තම ශරීරය කපා පසාරු කොට එහි අන්තර්ගතය අධ්‍යනය කිරීමට පටන් ගත් දවසේ සිට - මිනිස් වර්ගයා ටිකෙන් ටිකෙන් ඊට පෙර පැවති ආධ්‍යාත්මික විඥානයෙන් බැහැර වී - මහා භෞතික විඥානයක් ගොඩනගාගනිමින් - බටහිර නිව්ටෝනියානු ඉංජිනේරු විද්‍යාව හරහා නිර්මාණය වූ කාර්මික විප්ලවයත් පසු කරමින් - ස්වභාවික ලෝකය පරදා එහි සාරය විනාස කොට - අද වන විට පරමාණුවක න්‍යශ්ටියද හාරවුස්සමින් - න්‍යශ්ටික අවි නිපදවමින් - පුද්ගලික ලාභය උදෙසා මහා දවල් කුඩා දරුවන් පුලුස්සමින් - ඒ අලු නලල් මත තවරාගනිමින් - උගත් යැයි කිවූ, උසස් යැයි කිවූ මහා අධිරාජ්‍යයන් ජාතික කොඩි ඔසවමින් සිටිනු පෙනේ.

මෙවැනි පසුබිමක මගේ ආදරය, මගේ ලිංගික යථාර්තය සහ මගේ මේ ඉව කෙලෙසීම ඉවසා දරා ගැනීමට මට පුලුවනි. ඒ මම නිරුවත් වානරයෙක් නිසාය. මමයි මගෙ අතක් අහිමි කරගත්ත පූසයි දෙන්නම එකක් නිසාය. මගේ නැගණිය අතර ඇති වූ ඒ දයානුකම්පාවෙන් සහ අහිංසකත්වයෙන් පිරුණු අතිශය ස්වභාවික ඇල්ම මා වටා ඉන්න කිසිම උගතෙකුට හෝ ප්‍රඥාවන්තයෙකුට තේරුම් ගැනීමට නොහැකි විය. ඒ ඔවුන්ගෙ යටත්විජිතවාදී භයාදු කුලෑටි බව නොවේද. ලස්සනට සැකසුනු දිලිසෙන ආලින්දය ජරා කරන වන සතුන් මෙන් සැලකූ අපව තලා පෙලා, අත්තටු කපා, ආධ්‍යාත්මික වදකාගාර වල සිරකොට දිනපතා දස වද දෙන ඒ සුචරිතවාදි යටත්විජිත ඒජන්තවරු අද වන විට අපේ ආත්මය පුලුස්සවමින් එකී ගැඹුරු බැඳීම ඇතුලාන්තයෙන්ම විනාස වී යාමට සූක්ෂමව ඉඩ සලස්වා ඇත.

ඒ කාලේ යුරෝපයෙන් නැව් නැග්ග එවුන් රතු ඉන්දියානුවන්ට, ලංකාවට, අප්‍රිකාවට සහ ලොව පුරා විහිදුනු විවිධාකාර වූ ශිශ්ඨාචාරයන් වලට කලෙත් මේකම නෙමේද. ඉතා ස්වභාවික කාරණා ජන්ම පාපයයි, අශිශ්ඨකමයි, නොවැදගත්කමයි කිය කිය වද දිදී අපේ සම්පත් සූරා කමින් මහා භෞතික දියුණුවකට ළඟා වුනු සුද්දො කරෙත් මේ විලි ලැජ්ජ නැති වැඩේම නොවේද. උන් ආවේ අපිව ශිශ්ඨසම්පන්න කරන්නලු. උන් ආවේ අපිට ස්වර්ගයට යන පාර පෙන්නන්නලු. උන්ගෙ අධ්‍යාපන ක්‍රමය, උන්ගෙ චින්තනය, උන්ගෙ ලෝක දැක්ම මෙහෙ අටෝලා අපට ටයි කෝට් අන්දලා පව්ඩර් ගාලා අපේ සබ්බසකලමනාව සූරගෙන ගිහිල්ලා උන්ගෙන්ම ණයට කකා ඉන්න හිඟන්නො, නිවටයෝ බවට අපිව පත් කරෙත් මේ විදියටම නොවේද. අපේ රට ජාතිය මේ විදියට බංකොලොත් කරේ සුද්දො නෙමේ - සුද්දන්ගෙ ජංගි හෝදපු කලු සුද්දො. අල්ලපු වත්තෙ ඉන්න දෙමළ සහෝදරයා එක්ක දශක තුනකට වඩා යුද්ද කරන්න අපිව ඇවිස්සුවේ මේ සුද්දන්ට ගොට්ට අල්ලපු ඒ විදියට ජීවත් වෙන්න හදපු ඒ විදියට දියුණු වෙන්න දඟලපු පරයො නෙමේද.

ස්වාමිනි, මොවුන් නොදැන කරන වරදට සමාව දුන මැනවි. විටෙක එවැනි තුච්ච පාලනයන් වලට විරුද්ද යැයි කිවූ, රැඩිකල් යැයි කිවූ මහා විප්ලවවාදීන්ද අද වන විට බලු නිවටකමින් වලිගය අස්සේ ගසාගනිමින් යටත්විජිතවාදි වික්ටෝරියානු කුස්සිය මුල්ලේ වලං සෝදමින් සිටිනු අපට පෙනේ. කාට කියන්නද ස්වාමිනි. කුඩා දරුවන්ව දේශපාලනික අවි කරගනිමින්, දේශපාලනික සොල්දාදුවන් කරගනිමින් ඒ අහිංසක ආත්ම පුච්චන මේ පාලන බලය අතැති වියරු වැටුනු හීනමානික වැඩිහිටියන් හෝ වැඩිහිටියන් යැයි කියා ගත් පූර්ව ළමා විය සංවර්ධනයක් නොවූ විකෘති ළදරුවන් ඔවුන්ට අනුව කරමින් සිටිනුයේ කල හැකි නිවැරදිම දෙය යැයි අපට පවසමින් සිටිනු ඇත. ආදරේ හින්දලු ගහන්නෙ. ආදරේ හින්දලු දූශණය කරන්නෙ. ආදරෙ හින්දලු මිනි මරන්නෙ. පව්.

“මටත් කථා හැදුවා. හදලා කඩප්පුලි කීවා. මම වගේ දඟකාර එවුන් රටේ නැතුවා”

දශකයකට වඩා පහර කෑවා. නින්දා අපහස වින්දා. උන් ගොඩ ගියා. අපි වලපල්ලට ගියා. ඒකටත් වැරදි අපිලු. කරබාගෙන උන්ගෙ අසමජ්ජාතිකං වනචරකං ඉවසා දරාගෙන හිටපු සමාව දුන්න අපිලු වැරදි. උන්ගෙ දෙයියො. උන්ගෙ නීතිය. උන්ගෙ තුවක්කු. ඒ දෙයියො අපිව ගිල්ටි කරා. අපි පව්කාරයෝ කිව්වා. උන් වරප්‍රසාදලද්දෝ වුනා. අපි වනචරයො වුනා. අපේ නිර්මාණ කොල්ල කාලා උන්ගෙ විදියට ලෝකෙට පෙන්නුවා. අපේ සම්පත් උදුරාගෙන ගිහිල්ලා උන්ගෙ විදියට ලෝකෙට වික්කා. අද උන් මහත්තුරු වෙලා. අපි හිඟන්නො වෙලා. ඒකත් උන්ගෙන්ම හිඟන්න වෙලා.  

අද උන්ම - කවුද? - අපිව දෘශ්ඨිවාදයෙන් මර්ධනයට ලක් කල එවුන්ම - ඒ යටත් විජිතවාදි ගැති මනසම - බටහිර දියුණුව තම හිස උඩ තියාගත් මුග්ධ ද්‍රෝහීන්ම ආත්මාර්ථකාමී, ධනේශ්වර, ක්‍රිස්තියානි කසාද ව්‍යුහයට අපව තල්ලු කොට නාස් ළණුවක හිර කිරීමට දැඩි උත්සහයක නිරත වෙමින් සිටිනු පෙනේ. ඒ ඇයි? අපට ආදරේ හින්දද? අපි ගැන මහා දයානුකම්පාවක් පහල වෙලාද? නෑ. කොහෙත්ම නෑ.

එවැනි ප්‍රයත්නයන් වල එකම පරමාර්ථය මේ විකෘති යැයි කිවූ, ව්‍යාධික යැයි කිවූ, දේව අල්තාරයට නිග්‍රහ කරනවා යැයි කිවූ ඔවුන්ට දරා ගත නොහැකි මේ අදහස් පද්ධතීන් මර්ධනය කොට තනුක කොට ඔවුන්ගේ විදියට සකසා ඔවුන්ට කර ගත නොහැකි වූ දේ අප ලවා කරවා ගැනීම නොවේද. ඔවුන් මෙන්ම තවත් තුච්ච දරුණු මුග්ධ පාලකයන් අප හරහා නිර්මාණය කරගැනීම නොවේද. මෙච්චර කල් නැති වුනු මහා ආදරයක් දැන් එක පාර පහල වන්නෙ කෙසේද? කපන්න බැරි අත ඉඹිනවා මෙන් ඊනියා පාලකයා සෑම විටම තාරුණ්‍යයට කරමින් සිටිනුයේ මුලින්ම විරුද්ධ වී මර්ධනය කොට පසුව තමුන්ගෙ විදියට හීලෑ කොට නාස් ලණුවක් බන්ඳවා සමාජීය ආර්ථිකමය සහ මහා පසුගාමී ආගමික බර කරත්තයක සිර කරවීම නොවේද.

“කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට ඔව්වා කියාපං”

අද වන විට චින්තනයෙන් දුප්පත් වූ සල්ලි, රත්තරං බඩු, යාන වාහන, ලොකු ගෙවල් දොරවල්, පොලිස් හමුදා බලය අතපත ගාන ඊනියා මධ්‍යම පාංතිකයා සියල්ල නිවැරදි කරවීමේ මහා මානසික යාන්ත්‍රණයකට ගොදුරු වී ඇති බව ඔබට නොපෙනේද? එනම් සියලුම උප සංස්කෘතීන්, විවිධාකාර වූ ජන වර්ග සහ කුල, විකල්ප කලා භාවිතාවන්, භාශාවේ පරාසයන්, ඉතිහාසයේ මානයන්, විවිධාකාර වූ මිනිස් අනන්‍යතාවයන්, මිනිසාගේ පැවැත්මේ පවතින අපරිමේය ස්වභාවයන් සහ විවිධාකාර දේශපාලනික දෘශ්ඨිකෝණයන් හෝ මනසේ ඇතිවන සියලුම සිතිවිලි පවා “නිවැරදි” කොට ඇදකුද නැතිව සකසා මහා බහුමාන මිනිස් සමාජය හරිම සරල ඒක මානයකට ලගු කරවාගැනීමට දරන උත්සහය ඔබට නොපෙනේද? මේ මොල සෝදනය හෝ මොල ප්‍රෝග්‍රෑම් කිරීම ගැන මෙලෝ අවබෝධයක් නැති - මහජන බදු මුදල් වලින් හෝ පුද්ගලික මිල මුදල් වලින් හෝ ඊනියා බටහිර ක්‍රිස්තියානිවාදී කෘතිම බුද්ධිය භාවිතාවෙන් හෝ - උගත් යැයි කිවූ බටහිර වන්දනාකරුවන් කරමින් සිටිනුයේ ආපස්සට ගත නොහැකි මේ විස ඇම ගිල දමමින් එකී යාන්ත්‍රණයේ සදාකාලික සිරකරුවන් වෙමින් වියරු පාලක වේශයක ඒජන්තවරු බවට පත්වනවා නොවේද?        

පෙර කී ලෙස - මා වතුරය. විටෙක හුමාලය වන හෙයින් - විටෙක ගලාගෙන යන හෙයින් - විටෙක තියුණු අයිස් කැටයක් වන හෙයින් මාව සදාකාලික අනන්‍යතා සිරකඳවුරක හිර කිරීමට කිසිවෙකුට නොහැක. මාගෙ ශරීරය මරාදැමූවද මාගෙ ආත්මය රෑ හීනෙන් හොල්මන් කරනු ඇත. භාජනය විනාස කලද එහි ඇති වතුර අන්ත්‍රස්ධාන වන්නේ නැත. ආකාරයෙන් ආකාරයට මාරු වනවා මිස කිසිම දෙයක් නැති වන්නේද ඇති වන්නේද නැත. ඈත අතීතයේදී එලෙස මරණයට පත් වූ තරුණ විමුක්තිකාමීන්ගේ අඳුරු මතකයන් - අද ඔවුන්ගේම මල මිනී මත ගොඩනගාගත් රාජ්‍යය තුල හොල්මන් කරනවා සේම - මාද මාගේ මරණයෙන් පසු එකී ඊනියා යටත් විජිතවාදී රාජ්‍ය පාලකයාගේ රාත්‍රී සුව නින්දට සුලි සුළඟක් මෙන් පැමිණෙනු ඇත.

මේ මාගේ කථාවයි. මේ අර්ජුමාන්ගේ කථාවයි. මෙතෙක් නොකී කථාවයි. විටෙක ගීතයකින්, විටෙක ලියවිල්ලකින් හෝ විටෙක වෙස්මූණකින් ඔබ අතරට පැමිණෙන මා - විවිධාකාර ස්වරූප වලින් එකම වේදනාව එක එක විදියට ලොවට පෙන්වා ඇත - ඉදිරියේදී ද පෙන්වා දෙනු ඇත.

“දැන් ඉතිං වෙන කුමක් කරන්නද -  ආදරය කරනු මිස”

කිසිසේත්ම ආපස්සට යෑමක් නැති මේ සටන කිසිදා නිම නොවන සටනකි. සටන නිමවන තැනදී - මාද සතුරාද දෙදෙනාම මියැදෙනු නිසැකය. ඒ සතුරෙකුට කල හැකි උපරිම නින්දාවයි. මාගේ සැබෑ ආදරය ඇත්තේ මා‌ගේ සතුරා කෙරෙහි පමණි. සතුරා දුර්වල වූ තැනදී ලෙඩ වූ තැනදී වහා ක්‍රියාත්මක වී යුද්දය නවතා බෙහෙත් හේත් ලබා දී උණුසුම රැකවරණය ලබා දී නැවතත් සටන් බිමට කැඳවාගෙන එනවා මිස සතුරා දුර්වල වූ තැනදී සපා කෑම මාගේ ලක්ශණය නොවෙයි. කුතුහලයෙන් ප්‍රශ්ණ අසමින් - ඒ අනුව පරීක්ශණ දියත් කරමින් - එහි ප්‍රථිපල කියවා ගනිමින් - සිදු වූ වැරදි අවංකව හඳුනාගනිමින් - ඒවා විනිවිදව නිවැරදි කරවාගනිමින් - යලි උත්සහා කරමින් - නැවත නැවතත් උත්සහ කරමින් - පරිපූර්ණත්වයේ උමතුවෙන් බැහැර වෙමින් - අපරිපූර්ණත්වය අප මිනිස් මූලය ලෙස පිළිගනිමින් - අප සියල්ලෝ අහිංසක ගැහෙන මිනිස් හදවත් යැයි යලි යලිත් සිහි කරගනිමින් - විය හැකි මහා ප්‍රාතිහාර්යයන් කරා අඳුරේ සක්මන් කිරීම මාගේ ලක්ශණයයි. ඒ මාගේ සටනයි. ඒ මාගේ අහිංසක ආදරයයි.

සටන ඉදිරියට.

අර්ජුමාන්

18.07.2026      

 

 

 

 

 

 

 

 

 

 

 

 


Sunday, 8 February 2026

බුද්ධිමතුන්ට රට භාරයි

ලංකාවේ නිදහස් අධ්‍යාපනය යනු රැකියාවක් අරමුණු කරගත්ත - නොමිලේ පිරිනැමෙන හුදු වෘත්තිමය පුහුණුවක් පමණක් බවත් - එහි කිසිම ආකාරයක නිදහස් චින්තනයක් හෝ නිවහල් දැක්මක් අඩංගු වී නොමැති බවත් - දැනට ආණ්ඩු පාලනයට පැමිණ සිටින සියලුම රාජ්‍ය විශ්ව විද්‍යාලීය උගතුන් සහ බුද්ධිමතුන් අපට ඔප්පු කරමින් සිටිනු ඇත.

ගමෙන් කැම්පස් එන ග්‍රාමීය තරුණ තරුණියන් කැම්පස් සීමාව ඇතුලත ශිෂ්‍යයන් ලෙස මහා වික්‍රම පාමින්, දුප්පත් පොහොසත් භේදය ගැන ඇඟ කිලිපොලා යන රැඩිකල් දේශනා පවත්වමින්, ධනේශ්වර රාජ්‍යය පාලනය පෙරලීමට සිසුන් සංවිධානය කරමින්, පාර පුරා උද්ඝෝශණ රැලි පවත්වමින්, ගැහැණුන්ට චීත්ත ගවුම් අන්දවමින් සාමුහික යැයි කියා ගත් ඊනියා ග්‍රාමීය සමාජවාදයක කිමිදුනද - අවසාන වසරට ලං වීමත් සමගම සහ උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව - ඔවුන්ගේ මේ සිංහ හම හොර රහසේම ගලවා දමා - සල්ලිකාර පවුලකින් කසාදයක් බැඳගෙන - කොළඹ පදිංචියට පැමිණ - දන්න දන්න ගජමිතුරු සමාගම් හරහා රජයේ ඉහළ පෙලේ රැකියාවක් හොයාගෙන - වාහන ලීස් කරගෙන - දරුවන්ව කොළඹ ජනප්‍රිය පාසල් වලට දක්කගෙන - අවසානයේ බුද්දහගම කර උඩ තියාගෙන ජනප්‍රිය පන්සල් වල ප්‍රධාන දායක මහත්තුරු බවට පරිවර්තනය වෙන හැටි අප දැක ඇත්තෙමු. 

 

අද මේ රාජ්‍ය මට්ටමින් වෙමින් පවතින්නේ එහි දිගුවක්ද?

 

පවතින ආණ්ඩුව ආවඩන්නට කැපවූ පාරිභෝජනවාදී / ජනප්‍රියවාදී අති බහුතර මහජනයා අද මේ ප්‍රශ්ණය අසන්නේ නැත. කන්න දෙනවනං අපට බොන්න දෙනවනං මොන කෙන් ගෙඩියද තව ඕනෑ කියන්නේ ගයමින් මහා ආත්මාර්ථකාමයකට බිලි වී ඇති එකී මහ ජනයා තමුන් සහ තමුන්ගේ යැයි කියාගත් ඉතා පටු කූඩාරමකට හිර වෙමින් සිටිනු පෙනේ.

 

අති බහුතර ආගමිකවාදී - ජාතිකවාදී මහජනයාව කුලප්පු නොකරවාගෙන ඔවුන්ට චූන් දෙමින්, සංදර්ශණ පවත්වමින්, කන්න බොන්න දෙමින්, චිත්‍රපටි හරහා විනෝදය සපයමින්, දළදාව හෝ මොකක්හරි ආගමික කෑල්ලකට වන්දනා පෝලිම් ගස්සවමින් මහ ජනයාගේ අවධානය එහෙට මෙහෙට යැවීමට ආණ්ඩුව දක්ශ වී ඇත.

 

නමුත් මෙවැනි ප්‍රෝඩාකාරී සිල්ලර පිළිවෙත් කවදා වෙනකං කරන්නද?

 

මොවුන් ප්‍රායෝගික වෙනවා යැයි කියමින් රටට්ටන්න උත්සහ කරන්නේ කාවද?

 

ඉහත කී රාජ්‍ය විශ්ව විද්‍යාලීය උගතුන්ගේ බුද්ධිය සහ එහි පසු කාලීන සමාජ භාවිතාව පැත්තකින් තිබ්බත් එකී උගත් විද්වතුන්ගේ පිට කොන්ද අපට කිරා මනින්ට කාලය දැන් එළඹ ඇත.

 

ඔවුන් කැම්පස් සීමාවේ හෝ රාජ්‍ය ව්‍යුහයන් තුල සේවයේ නිරතව සිටියදී දේශපාලනික වේදිකා වල උගුර කඩාගෙන කෑමොර දුන් ආකාරය සහ දැන් රාජ්‍ය පරිපාලනයේදී පෙන්වන ඉතා නිවට, ගැති සහ සුපරික්ෂාකාරී හැසිරීම හරහා අපට පෙනී යන්නේ කුමක්ද?

 

තම යටත්විජිතවාදි ස්වාමියාගෙ අණ පිළිපැදීමට පුරුදු පුහුණු වූ මොවුන් මේ ක්‍රමය තුල දැනුවත්ව හෝ නොදැනුවත්ව කොතරම් වහල් වී ඇත්ද?

 

විශේෂයෙන්ම ඉන්දියාවට සහ ඇමෙරිකාවට මේ දක්වන කොන්දේසි විරහිත දෙපිටකාට්ටු ගැතිභාවය දෘශ්ඨිවාදීමය තලයේදී අපට තව දුරටත් දරා ගත හැකි වේද?

 

නිදහස් අධ්‍යාපනය හරහා නිදහස් ජාතියක් බිහි කරනවා කීවාට මේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් බෞතීස්ම වූ සියලුම උගත් බුද්ධිමතුන්ට එවැනි නිදහස් නිවහල් චින්තනයක් හෝ නිවහල් ලෝක දැක්මක් නැත්තේ ඇයි?

 

එවැනි නොමිලේ ලැබෙන සුබසාධන අධ්‍යාපනයකින් මොළ සෝදා ගන්නා මේ මිනිසුන් පසුකාලීනව උග්‍ර ආගමිකවාදයකට, ජාතිවාදයකට, පවුල්වාදයකට එසේත් නැත්නම් උග්‍ර කල්ලිවාදයකට ගොදුරු වන්නේ ඇයි?  

 

දවසින් දවස රටට ගලාගෙන එන විවිධාකාර ව්‍යාපෘති සියල්ල කොහේ හරි රටක කවුරුන් හෝ විසින් සකසන ලද මේ පොළොවට කිසිසේත්ම ගැලපෙන්නේ නැති බොරු අටමගල නොවේද?

 

මේ වෙමින් තිබෙන්නේ ගෘහනිර්මාණ ශිල්පියාගේ තැනට මේසන් බාස් කෙනෙකු පැමිණ කරන විජ්ජුම්බරයක් නොවේද?

 

මේ වෙමින් තිබෙන්නේ අදහස් මංකොල්ලයක් නොවේද?

 

මෙවැනි වහල් ශ්‍රමික මනසකින් අනාගත ලෝකයට ඔබින නව නිර්මාණ බිහි කල හැකි වේද?

 

නිතර දහඩිය මහන්සියෙන් අකුරට වැඩ කරනවා යැයි පෙනෙන අද පාලනයට පැමිණ සිටින සියලුම කීකරු උගත් කම්කරුවන් මේ කරමින් සිටින්නේ නව පද්ධතියක් අලුතින් සැකසීමද නැතහොත් මෙතෙක් පැවති යුරෝපීය යටත් විජිතයෙන් අපට දායාද වූ යල් පැන ගිය අතීතකාමී මකුණු දැල් බැඳිච්ච පරණ යන්ත්‍රයක මලකඩ කැඩීමක්ද? 

 

මොවුන් අද වන තුරු දැනට පවතින එකී යල් පැන ගිය වික්ටෝරියානු - ඕල්කොට් - ධර්මපාලවාදී - යුරෝපවාදී - ඇමෙරිකානු ගැති අදහස් ගොන්නට අමතරව අලුතින් යමක් කර ඇත්ද?

 

ඇමෙරිකානු වට්සැප්, ෆේස්බුක් හෝ යූටියුබ් වල තලු මර මර සිටිනවා හැරෙන්නට මේ උගත් මහත්තුරුන් සතුව අපට හෝ අපගේ දරුවන්ට පෙන්වීමට නව ලෝකයක් තිබේද?

 

පිරිමි පාසල් සහ ගැහැණු පාසල් වල මෙතෙක් පැවති අඳුරු ලිංගික සංකීර්ණයන් අද මතුපිටට පැමිණ ඇත. ජනප්‍රිය පාසල් උන්මාදය මෙතනින් හෝ නිම වෙයි කියා අප සිතුවද - වී ඇත්තේ එහි විලෝමයයි. සියලුම පාසල් දරුවන් සහ ඊනියා ආත්මාර්ථකාමී දෙමව්පියන් අද ඔලුව හැරුන අතේ අයාලේ දුවමින් සිටිනු ඇත. සල්ලිකාර ටියුශන් ගුරුවරුන්, යූටියුබ් බක පණ්ඩිතයන්, ගමේ ගොඩේ මහදැනමුත්තන්, ඩයස්පෝරා විද්වතුන් ඇතුලු එකී මෙකී මහාප්‍රාණ පොරවල් රටේ අධ්‍යාපනික දිශානතිය තීරණය කරමින් ඇත.

 

මෙවැනි වාමාංශික යැයි කියාගත් උගතුන්ගෙන් අප බලාපොරොත්තු වූ බිම් මට්ටමේ ජනයා රැස් කිරීමක්, අධ්‍යාපනික දැනුවත් කිරීමේ වැඩපිළිවෙලවල් හෝ පොදු මහජනයාට සමීප කිසිවක් එදිනෙදා ජීවිතයේ අපට පෙනෙන්නට නැත. දේශපාලනික පලිගැනීම් සහ අගතිගාමී පංති ඊරිසියාවන් ප්‍රදර්ශණය කරනවා විනා යුක්තිය ඉටු කිරීම පෙරදැරි කරගත් කිසිඳු ප්‍රභල ඓතිහාසික නීතිමය පියවරවල් කිසිවක් ගෙන නැත. අප එදිනෙදා ජීවිතය වෙනස් වීමට බලපාන කිසිම රැඩිකල් ප්‍රතිපත්තියක් සම්මත කරවාගෙන නැත. දිට්වා සුලි කුණාටුවෙන් ආදරීණයන් වෙන් වී මහා දේපල හානියක් සිදු වීමත් සමගම තවත් අගාධයකට අපව ආපස්සට තල්ලු වූවා හැරෙන්නට සිදු වූ සමාජ පරිවර්ථනයක් නම් පෙනෙන්නට නැත.   

 

ලොව පුරා යල්පැන ගිය, බටහිර විසින්ම ප්‍රතික්ෂේප වී ඇති, නිව්ටෝනියානු දැක්මක සිර වූ භෞතිකවාදී හෝ ද්‍රව්‍යවාදී හණ මිටි අදහස් හැරෙන්නට - නූතන සහ අනාගතවාදී විද්‍යානුකූල භාවිතාවන් එකී රාජ්‍ය විශ්වවිද්‍යාලීය උගත් වියතුන්ගෙන් අපට පෙනෙන්නට නැත්තේ ඇයි?

 

විද්‍යාවට මල් පහන් පුදමින් විවිධාකාර වූ දේව අල්තාර හමුවේ දණින් වැටෙන මෙම බුද්ධිමතුන් බටහිර විද්‍යාව බයිබලයක් සේ කට පාඩං කරමින් මහා දවාලේ ටයි කෝට් දාගනිමින් මේ කරන දන්සැල් වන්දනාව අප තව දුරටත් බලා සිටිය යුතුද?  

 

නොමිලේ ලැබෙනවායි කීවාට ඒ සියලුම පාඨමාලා පැවැත්වීමට ගිය මුලු පිරිවැය දරාගන්නට හැමදාම සිදු වූයේ පොදු මහජනයාටයි. මෙසේ බදු බර කරට ගනිමින් විශ්ව විද්‍යාල වලට යැවූ සිසුන්ගෙන් බහුතරයක් අද වන විට බටහිර රටවල ඉතා සුඛෝපභෝගී ජීවිත ගත කරමින් ඒ ඒ රටවල පුරවැසිභාවය හිමිකරගෙන ඇති අතර ඔවුන්ගෙන් වෙන් වූ දේශප්‍රේමී යැයි කියාගත් උගත් ගජමිතුරු සමාගමක් අද රාජ්‍ය බලය හොබවමින් ඇත. ඉතා අවිධිමත් රැකියා කරමින්, එදිනෙදා පොඩි පොඩි බිස්නස් කරමින්, ඩීල් දමමින් අනාරක්ශිතව ජීවත් වන අති මහත් පොදු මහජනයා හැමදාම වාගේ සූදු අල්ලමින් සහ ලොතරැයි අදිමින් සිටිනු පෙනේ.

 

වික්ටෝරියානු සම්ප්‍රදායන් මත ගොඩ නැගුණු යටත්විජිවාදී ආකෘතියක සිර වූ මේ රාජ්‍ය විශ්වවිද්‍යාලීය යුරෝපීය ව්‍යුහයන් තුල නිශ්පාදනය වුනු ඔලු ගෙඩි වලින් අපට තවත් දෙයක් බලාපොරොත්තු විය හැකිද?

 

ශිෂ්‍ය නායකයින් බලය අත්පත් කරගත්තාට පසු උදාවන යුගය මෙයද? 

 

තත්වය ඉතා විනෝද සමයකි. පාර්ලිමේන්තුව දවසින් දවස විහිලු සපයන රඟ මඩලක් වෙමින් පවතී. විපක්ශයද හරිහරියට බෝල පාස් කර ගනිමින් කිසිම තේරුමක් නැති වාද විවාද ඇති කරගනිමින් තම තමුන්ගෙ බඩ වියත රකිමින් මැච් එකක් ගසනු පෙනේ. දක්ණාංශික විපක්ශයට හෝ ජාතිකවාදී විපක්ශ කඳවුරු වලට ආණ්ඩුවට විරුද්ධ වීමට අති ප්‍රභල කාරණාවක්ද නැත. මොකද ආණ්ඩුව කරමින් සිටිනුයේ ඔවුනට කරගත නොහැකිව සිටි සියල්ලයි. ආණ්ඩුව මෙලෙස තමුන්ගේ ඡන්ද ව්‍යාපාරයට ආයෝජනය කල විවිධාකාර පාර්ශවයන් සතුටු කරමින්, විපක්ශය නලවමින්, තම හිතාදර වෘත්තීය සමිති සහ වාමාංශික කඳවුරු මගහරිමින් අයිස් ක්‍රීම් වෙළෙන්දෙකු මෙන් මේ යන්නේ කොයිබටද?  

 

ඉතිහාසය පුරා සිදු වී ඇත්තේ බලය උදුරාගැනීමේ ක්‍රියාවලියක් පමණි. රාජ්‍ය බලය, යුද හමුදා බලය, මුදල් බලය, ප්‍රසිද්ධ බලය යනාදී විවිධාකාර වූ බල ඔටුනු හිස මත තිබ්බායින් පසු මිනිසුන්ගේ සිදුවන වෙනස් වීම හරිම පුදුමාකාරයි. විශේෂයෙන්ම උගත් යැයි කියාගත් මිනිසුන් බලයට තනතුරට ආසා වෙමින් මහා හීනමානයකට ගොදුරු වීම අප රටක් විදියට ලැජ්ජා සහගත විය යුතු නොවේද?

 

ඉගෙන ගන්න ඉගෙන ගන්න තව තව සරල නිහතමානී කුඩා මිනිසුන් වනවා යැයි අප අසා තිබුනද මේ උගතුන් යන්නේ ඊට ප්‍රතිවිරුද්ධ පාරේ නොවේද?

තමා උගත් හෝ තමා සියල්ල දන්නවා යැයි විවිධාකාර ක්‍රම වලින් ලොවට පෙන්වීමට ඇති උත්සහය විනා අති බහුතර රාජ්‍ය විශ්වවිද්‍යාලීය උගතුන්ට තම විශය පිළිබඳ ඇති අවංක උනන්දුවක් හෝ ආත්මීය ඇල්මක් කිසිවිටෙක අපට පෙනෙන්නට නැත. ඕනෑම විශයකට හිමි විශය මූලික විනය පටිපාටීන් හරහා සිදුවන මානසික විපර්යාසය මේ යටත්විජිතවාදී උගතුන්ගේ වී ඇත්තේ මහා ආත්ම වංචනික පාවාදීමක් හරහා නොවේද?

 

සැබෑ අධ්‍යාපනික භාවිතාවක ජීවත් වන අයෙකුගෙන් පෙනී යන ආත්මීය විනය හෝ හික්මීම යනු තව දුරටත් බලහත්කාරකමකින් හෝ යටත්කරගැනීමකින් භාහිර පාර්ශවයක් විසින් බලෙන් බල පවත්වන ලද ආරූඪයක් නොවන බවත් එවැනි ඓයින්ද්‍රීය ශික්ශණයක් යනු ඉතා රිද්මයානුකූල සහ ස්වභාවධර්මයට සමීප ගැඹුරු ආධ්‍යාත්මික කාරණාවක් බවත් අප මේ අධිකාරීවාදී අධ්‍යාපනික විනය රාමූන් හමුවේ තේරුම් ගත යුතුව ඇත.    

 

යටත්විජිතවාදී අධ්‍යාපනික ගර්භාශයක උපත ලද අද රාජ්‍ය බලය හොබවන මේ සියලුම උගත් වැදගත් නෝනා මහත්තුරුන්ව අප නිතර නිතර ලිට්මස් පරික්ශාවට ලක් කර යුතුව ඇත්තේ - ඔවුන් අපෙන් පරිබාහිර ජීවින් කොටසක් කරගනිමින් ඔවුන් වැටෙනකං බලාගෙන සිටීමට හෝ කකුලෙන් ඇදීමට නොව - ඔවුන්ද අපද ඔබද මම ද සිරවී සිටින මේ මහා අධිකාරීවාදී මානසික යාන්ත්‍රණයේ ඇති දිග පළල සහ ගැඹුර හරි හැටි නිර්ණය ගැනීමට සහ එයට නිවැරදි ඔබින විකල්පයන් යෝජනා කිරීමට පමණි.

 

එළි වෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලං බලාපොරොත්තුවෙන් සිටිමු.

 

මේ ගෙවෙන්නේ එළිදරව්වේ කාල පරිච්ඡේදයයි.


අර්ජුමාන්    

08.02.2026