අද නොවැම්බර් 13. රෝහණ විජේවීරගේ මරණය. හෙට පාර්ලිමේන්තු මැතිවරණය. අලුත් ඉරක් පායන්න ඉතා ළඟයි. පරණ ඉරක් බැහැලා යන්න නියමිතයි. ඈතින් පේන මේ බොඳ වෙච්ච සිතිජය දිහා බලාගෙන හිතට ගලාගෙන ආපු සිතිවිලි කීපයක් මෙසේ දිගහරින්ට අවසර.
දැනට වෙමින් පවතින සංක්‍රාන්තිය මගේ පුංචි ළමා ඇසින්.
චූටි කාලේ අපි තෙමෙන්න ආස වුන ඒ වැස්ස තාමත් එහෙම්මම වහිනවා. අකුණු ගහනවා. ගෙම්බො කෑගහනවා. අපිට ඒත් එළියට යන්න හරි භයයි. ජෙනෙල්ලෙ ඇරලා වැස්ස දිහා බලන්නවත් හිතක් නෑ. දොර ළඟ ඉන්නවා මුරකාරයො. බුද්ධිමත් මුරකාරයො. දැනුමෙන් සන්නද්ධ නපුරු මිනිසුන්. අපිට ඒගොල්ලො රවනවා. හ්ම්ම්. එළියට බහින්න ගියාම ටොකු අනිනවා. රාක්සයො වගේ කෑගානවා. ඒගොල්ලොත් පව් ඉතිං මොනා කරන්නද. වැස්සට හරී භය වෙලා. එක්කො ඒගොල්ලන්ව භය කරලා. පුම්භගෙන සීරියස් වෙලා වැස්සෙන් අපිව ආරක්සා කරනවා. කොච්චර ආදරයක්ද. අනේ ඉතිං වැස්සත් ඔහේ වැහැලා වැහැලා වැහැලා මඩ වෙලා ගං වතුර දානකම්ම මේ සිකුරිටි උන්නැහැලා ටික එතුමන්ලාගෙ රාජකාරිය අකුරටම ඉස්ට කරමින් ඉන්නවා. මේ ගරාවැටිච්ච හිරගෙවල් අස්සෙ අපි තනි තනි වෙලා ෆෝන් ලැප්ටොප් තියාගෙන බර වැඩ. දවල් වරුවෙ වැඩ ඉවර වෙලා හවසට මහන්සිය නිවාගන්නත් එක්ක පාට් ටයිම් විප්ලවයක් දෙකක් කරගන්නවා. ගේමක් ගහගන්නත් එපැයි බං.
ඉස්සර නොසන්ඩාලකමට වැස්සෙ නාපු හැටි මතක් වෙනවා. මුරකාරයන්ට මැද ඇඟිල්ල පෙන්නලා කෝචෝක් දාගෙන හූ කියාගෙන දුවපු හැටි මතක් වෙනවා. කොච්චර සුන්දරද. කොච්චර අහිංසකද. මඩ කාගෙන, පොලොව හාරගෙන, බෝක්කු වල බැහැගෙන. බලු බෙට්ටක් පෑගුනත් ලොකු අවුලක් නෑ ඉතිං, වැස්සනේ. දැන් මේ මාංචු එක්ක මුකුත් කරගන්න බැරි වෙලා. අපිත් එක්ක එහෙම නටපු මඩකරි දැන් හොඳ ළමයි වෙලා. දැන් ඒගොල්ලො පිළිවෙලයි. පිරිසිදුයි. නිරෝගියි. තවත් මුරකාරයෙක් වෙන්න සුදුස්සෙක් වෙලා. උපාධි හම්බෙලා. මාස්ටර්ස් පීඑච්ඩී මග. ලෝගුව දාන්න ඔන්න මෙන්න. ඒගොල්ලො දැන් හරි වසයි. අපිට වෙඩිතියන්නත් බැරි නෑ. හ්ම්ම්. භයායි.
ඊයෙ මම හීනෙන් සීයාවයි ආච්චිවයි දැක්කනෙ. උන් දෙන්නාට මර කේන්ති ලු. මොනාද තොපෙ මහ උන්දලා මේ කොරලා තියෙන්නෙ කියලා මගෙන් අහනවා. දැන් අපේ කනත්තත් ෆුල් මාවලස් නෙ. ඒසී හයි කරලා හයිෆයි සිස්ටම් දාලා ෆුල් සිස්ටමැටික් වෙලා. සීයා ආච්චි මට කින්ඩි දානවා අපේ ඇටකටු තියෙන්නේ කොහෙවත් තොපි ඉටිපන්දම් පත්තු කරලා ඔරසම් කියන්නෙ වෙන කොහෙවත් කියලා. මොනා කියන්නද අප්පා. උන් දෙන්නා ඉන්නකං මේ මුරකාරයො ටිකට ඇඳුම් මැහුවා. තොප්පි දැම්මා. ලෝගු ඇන්ඳුවා. දැන් පොළොව අස්සට ගිහිල්ලා අපට කෑ ගහනවා. අපිත් කියලා මොනා කරන්නද. තනි තනියෙන් ඔරසම් කියලා ස්වයං වින්දනයේ යෙදෙනවා මිසක්.
2019යෙ දවස් 40ක් කන්නලව් කරලා පාස්කු දා කුඩයක් අරන් පල්ලියට ගියා. හිතුවෙ වහියි කියලා. එකෙක්වත් කුඩ ගෙනල්ලා තිබ්බෙ නං නෑ. වැස්සක් ආවෙත් නෑ. ඒ වෙනුවට ආවෙ බෝම්බයක්. කෑලි කෑලි ගැලවිලා ගියා. තාම කෑලි අහුලනවා. අල්තාරෙ කුඩුපට්ටං වුනා. එදයින් පස්සෙ හැදුනා අලුත්ම පල්ලියක්. සුපිරි පල්ලියක් ආයෙ. පට්ට උස ගේට්ටු හයි කරලා. තාප්ප උඩින් වීදුරු කටු සෙට් කරලා. දැන් පූජාවට කාසි දාන්නෙත් නෑනෙ. ක්‍රෙඩිට් කාඩ් ගෙනියන්න ඕනා. බෝම්බෙන් මැරුණ උන්ව ෆ්‍රී ඔෆ් චාජ් යැව්වා ස්වර්ගෙට. ඇටකටු ටික දැම්මා කනත්තෙ පොලොව යටට. දාලා උඩින් ගැහුවා සුපිරි ස්ලැබ් එකක්. දැන් කනත්ත සෙකන්ඩ් හෑන්ඩ් විකුණනවනං බර ගාණකට සෙට් වෙනවා. පල්ලිය ප්‍රයිස් කරන්න ගියොත් එතන තියෙනවා හෙනම තරඟයක්. දැනට උඩින්ම ඉන්නෙ මිරැකල් ඩෝං. එව්වට ලං කරන්න බෑ මේව්වා. දෙයියො නං අන්න. අපිත් එක්ක හිටිය මඩකරි සෙට් එකක්ම ප්‍රොෆට් හෝදලා බෞතිස්ම කරලා දැම්මා. දැන් උන්ට හරි සරුයි. බෝක්කු ගානෙ වැස්සෙ නාන්න එන්න දැන් කොහෙද වෙලාවක්.
කොහොමහරි සන්තෝසයි විලි ලැජ්ජයි.
මෙතෙක් හැංගි හැංගි සටන් කරපු විප්ලවවාදීන්ට පුලුවන් වෙනවා හෙට රෝමෙට යන්න. රෝමෙ සමග අතිනත අරගෙන රෝමානු වෙන්න. මෙතෙක් කිලුටු ඇඳුම් අඳින්න වුන, පාරෙ නිදාගන්න සිද්ධ වුන, මහා දුක් වින්ඳ, ජීවිත අහිමි කරගත්ත කැරලිකාරයන්ට හෙට ඉඳන් පුලුවන් රෝමේ පූජකයො වෙන්න. රාජ්‍ය සුවඳ තියෙන සෙන්ට් තවරාගෙන රට රටවල් අල්ලාගෙන අද මියැදුන නායකයාගෙ දහම ලොව පුරා දෙසමින් රෝමානු කොඩිය උස්සන්න. කමක් නෑ. මැක් ඩොනල්ඩ්ස් වුනත් මේ ලංකා දීපයේ ඉඳන් අපි රස කර කර කන්නේ එහෙම නැව් නැග්ග පූජකයො ටිකක් හින්දනෙ.
අවසානයේ අපේ සුදු මහත්තයාගෙ නෝනා හාමුට උම්මා එක්ක දෙන්න ඕනා. දෙයියන්ට ඔප්පු කරන්න තිබ්බ පඬුරු අල්තාරයක් නැති මේ සුපිරි පල්ලියෙ කොහෙන් කියලා තියන්නද. නේද. නෝනා හාමු නැත්තං අදටත් අපේ වසවර්තියා පල්ලියෙ තැඹිලි කඩනවා. ඔයා නිසා අද එයා සුද්ධ වූ පූජකයෙක් වෙලා. ඔයා වමට හැරෙන්න කිව්වම එයා වමට හැරෙනවා. එක පාර නෑ නෑ දකුණට කිව්වම දකුණට හැරෙනවා. කරත්තෙ දක්කගෙන ගොනා හපුතල් නගිනවා.
මේ පොඩි මනසට ගොඩාක් දේවල් තේරෙන්නෙ නෑ. ඉවක් නං තියෙනවා. ඒ සතෙක් නිසා. සතාට පියාඹන්න පුලුවන් පියාපත් නිසා. ඉතිං පොළොවෙ නයි මුගටි එක්ක මේ හිටියට කොයි වෙලේ තුස්තිම්භූත වෙලා යයිද දන් නෑ. එහෙම එකපාර ලයිට් ගියොත් භය වෙන්න එපා. ආයි එනවා. වෙන විදියකින් එනවා. හොල්මන් කරනවා. ළිඳ ළඟ ගොම්මනේ බලාගෙන හිටපු භූතයා වගේ නිතර නිතර හීනෙන් පේන්න ගන්නවා.
ස්ත්‍රීන් කෙහෙවලු පටලාගත් සීතල යුධ සමය කෙමෙන් කෙමෙන් අවසානයකට ළඟා වෙමින් පවතිනවා. පරම යථාර්ථය හිස හොසවමින් එම ස්ත්‍රීන්ගේ දාසයන් වූ පිරිමින් තම නාස් ළණු ලෙහා ගනිමින් ලේ බිඳක් නොසොල්වන සැබෑ යුද්ධයකට සැරසෙනවා. කාමුක ස්ත්‍රී-මායාව විසින් නිර්මාණය කරන ලද හිස්ටීරියාවෙන් මිදෙන්නට මා ප්‍රියාදර පිරිමි මිතුරන්ට ආරාධනා කරනවා. පුරුශ ශක්තිය යොදවා අසීරුවෙන් ගොඩනගාගත් ලොවක් විනාස කර දැමීමට නොව ඉතා ඉවසීමෙන් අලුත් ලොවක් ගොඩනගන්නට මාගෙ සුභ ප්‍රාර්ථනා මින් එක්කර සිටිනවා.
යුධ බිමේදී හමුවෙමු!
අර්ජුමාන්
13.11.2024