සීයා එක්ක මාර ආදරයකින් හුරතල් වෙවී විහිලු
කර කර සිංදු කිය කිය කථන්දර කිය කිය හිටපු සාම්ප්‍රධායික සීයා-මුණුපුරු මතකයක් මට
මගේ සීයා එක්ක නැත. එහෙම ඉදලම නැද්ද මන්ද, එක්කෝ මට මතක නෑ, එක්කෝ මට දැනිල නෑ. මුලින්ම
මම කුඩා කල තේරේන වයසේදී සීයා කියන කෙනාව දකින්නේ රෝද පුටුවේ එක් තැන් වුන ආච්චිගේ
ලෙඩ කන්දරාවක් එක්ක සටන් කරන, එයාට මුලු ජීවිතේම වෙන් කරපු, ඉදල හිටල අපේ ගෙදර
ඇවිත් ෂොට් එකක් දාලා පත්තරයක් කියෝගෙන ඉන්න තේරුං ගන්න අමාරු අමුතු චරිතයක්
විදියටයි. සීයා අනිත් අයට වඩා ගොඩක් වෙනස් කෙනෙක් කියන පොයින්ට් එක මම එතකොටත්
අල්ලගෙන ඉවරයි. සීයා ගැන මා කෙරෙහි තිබ්බේ මාරම ගෞරවයකි. ඒ වචනයේ තේරුම ඉස්කෝලේ ප්‍රින්සිපල්ට
තියෙන බය කියන අදහස නොව ඇත්තම ඇත්ත ගෞරවයයි. මොකද එකක් සීයා තනිව ගත් කල අතිෂය
ඩීප් තේරුම් ගන්න බැරි 'සරල' චරිතයකි (මම
ඒ වගේ අමුතු මිනිස්සුන්ට ආදරය කරන්නෙක්මි) අනික තමා මගේ තාත්තයි සීයයි අතර තිබ්බ
මොකක්දෝ මන්ද මට නිතරම දැනුන ආදර සම්බන්ධතාවයයි. සීයා ගැන මගේ ඩේටා බේස් එකේ ඇති
අතීත මතකයන් ඇදල ගන්න කිව්වොත් මට දෙන්න ලොකු මතකයන් ගොන්නක් නැත. එක දවසක් සීයා
ඉරිදට අපේ ගෙදර ඇවිත් ගහන හීනි ෂොට් එක පොඩ්ඩක් වැඩි වෙලා ඉස්සරා කාමරේ හාන්සි
වෙලා ඉන්නකොට එයා ළගට ගිය මට, මගේ අත අල්ලල "උඹලට මම ගොඩක් ආදරෙයි පුතේ" කියල ඇඩුව මතකයි. ඒ
වාක්‍ය මගේ බොක්කටම වැදුනේ එතනදී සීයා කවදාවත් නැතුව "උඹල" යන ආමන්ත්‍රණය යෙදුව
නිසා වෙන්නත් පුලුවන්, සීයා ඇඩුව නිසා වෙන්නත් පුලුවන්. සීයා එක්ක තද වුන අවස්ථාද
නැතුවා නොව. කාලයක් මට සීයා ඉංග්‍රීසි ඉගැන්වීමට උපරිම උත්සහ කළද එය හොදටම අසාර්ථක
වූයේ මගේම ඇති අලුගුත්තේරු උවමනාවක් නැති කම කිව්වොත් හරි, එක්කෝ සීයා කථා කරපු ඒ
බරපතල ඉංග්‍රීසිය මට දිරෙව්වේ නැතුවා වෙන්නත් පුලුවන්. ඒ කාලේ ඉතිං සීයා දෙසන බණ
(ලොකු වී අරය මෙයා වගේ ලොකු පොරක් විය යුතුයි වගේ දේවල්) වලට මට තද වුන අවස්ථා ද එමටය.
ඒක ඇත්තමට කෙනෙකු මට අවවාද දෙන විට හිත යටින් මල පැනීමේ හිතුවක්කාර පුරුද්දක් නිසා
විය හැකියි.
මේ අමුතු මිනිසා ගැන මා හට තිබූ ගෞරවය වැඩි
වන්නට පටන් ගත්තේ මං හිතන්නේ ආච්චිගේ මරණයත් සමග වෙන්න ඕන. මට මතක විදියට ආච්චි
අන්තිම හුස්ම හෙලන විට සීයා හිටියේ අපේ ගෙදර. ඒ ළග නොසිටීම සීයාට මාරම ශෝකයක් විය.
අපි කාටත් ඒ භෞතික වෙන්වීම ඇත්තටම දරා ගත නොහැකි වේදනාවකි. නමුත්, මට හිතෙන විදියට
සීයා එච්චරම මාර විදියට දුක් වුනේ හුදෙක් ආච්චිගේ මරණය නිසාම නොව අර මැරෙන මොහොතේ
සීයා හිතට දාගෙන තිබ්බ අත්ඇරීමක් නිසා වෙන්නත් බැරි නෑ. ඒක භෞතිකව අත්හැරීමක් නොව
හතිවැටීමකින් වුන නැවතීමක් කියල කිව්වොත් හරි. ඒක එහෙමනං, ඒක මරාගෙන මැරෙන්න හිතෙන
පට්ටම පුද්ගලික වේදනාවකි. ඒකත් නිකං අන්තිම මොහොතේ ජේසු "ස්වාමිණි, මාව
අත්හැරියේ මන්ද" කියල අහද්දී ජේසුට දැනුන ෆීලින් එකට සමානයි. ආච්චිගේ මරණයෙන්
පසු සීයාගේ වෙනස් වීම, තනිවීම, ඩීප් වීම ඕනම කෙනෙකුට ඔබ්වියස් කාරණයක් විය. ඒ
වෙනස් වීම මට දැන් බලන විට නං මාරම රොමෑන්ටික්. මොකද ඒක ටිපිකල් භාර්යාව නැති වුණ
සීයා කෙනෙකුගෙන් දකින දෙයක් නොවීය. සීයා හිතෙන් වැටිල ශරීරයෙන් වැටිල නෙගටිව්
අදුරු චරිතයක් වුනේ නෑ. ඒ වෙනුවට එයා රැඩිකල් නැත්නං තරුණ දේවල් කරන්නට විය. එයා
තනි වන්නට විය. තනිකමේ ඇති සුන්දර ගැඹුරු මානයන් සීයා හොයාගෙන ගියා කියල මට හිතෙනව.
ඔය කාලේ සීයා තකහනියක් ෆිල්ම් එකක් බැලීමට බංකොලොත් වුන ෆිල්ම් හෝල් එකකට ගොස් ඇති
අතර එහි එකම ප්රේක්ෂයා සීයා වූ හෙයින් හෝල් එකේ උන් ෆිල්ම් එක නොපෙන්වූ බව ඔහු
අපිට කිව්වේ මාරම ආතල් එකකිනි. ඔය ඔක්කොම දේවල් අස්සේ අමුතුම විරහවක් වගේ එකක්
සීයා එක්ක ගැවසුනා වෙන්නත් පුලුවන්. සීයාගේ ඒ හිතුවක්කාර රැඩිකල් බැනුං අහන වැඩ
වලට මම රහසින් ආදරය කරන්නට පටන් ගත්තෙමි. එහි ප්‍රතිපලය වූයේ සීයා කියන චරිතයට මම
ආදරය කරන්නට පටන් ගැනීමයි. ගොඩක් මම ආදරයෙන් මිනිස්සු එක්ක සම්බන්ධතා ඇති කර ගන්නේ
ඒ මිනිස්සුන්ව මගේ බොක්කටම ෆීල් වීම නිසාවෙනි. ඒ ෆීල් වීම තව තවත් වැඩි වූයේ සීයා
හා මා අතර ඇති යුනික් ජාන කීපයක් නිසා වෙන්නත් පුලුවන්.
සීයා යනු මට දැනෙන විදියට සුද්දගේ මිෂනාරී ක්‍රමය
ඇතුලේ ක්‍රමය හොදින් තේරුම් ගනිමින් හැදුන වැඩුන, යම්කිසි අභිලාෂයන් කීපයකට
නොපසුබටව ධෛර්යවන්ත වුන, තමා හිතන දේ එලෙසින්ම හරියැයි හිතපු, මානසිකව ගොඩක්
ශක්තිමත්, ගැඹුරු සහ පට්ටම හිතුවක්කාර, සුන්දර, අහිංසක, ආදරණීය අමුතු චරිතයකි. මේ
ඩෙෆිනිෂන් එක සහමුලින්ම වැරදි වෙන්නත් පුලුවන්. නමුත් ඒක මට හිතෙන විදියයි. ඇත්තමට
අපිට කෙනෙකු ගැන හරි ඩෙෆිනිෂන් එකක් ලොවෙත් දිය නොහැක. අපිට කියන්න පුලුවන් වන්නේ
ඒ පුද්ගලයා අප හා ඉද්දී කරපු කියපු දේවල් වලින් අපි කරපු රෆ් ස්ටඩීස් වල ප්‍රතිපල
කීපයක් පමණි. විශේෂයෙන්ම ඒ පුද්ගලයාව අපිට පුද්ගලිකව හිතට දැනුන විදියෙන් එකී
ඩෙෆිනිෂන් එක හැඩ වීම බොහෝ විට විය හැක. සීයා හරිම සරල චාම් මනුස්සයෙකි. හවසට මාත්
එක්ක ඉස්තෝප්පුවේ ඔහේ කථා කරන්නට පුරුදු වූ ඔහු, කිසිම දිනක ඕප දුපයක්වත්, මොකෙක්ට
හරි බැනිල්ලක්වත්, කෙබරයක්වත් ඇදල ගත්තේ නැත. නිතරම කථා කලේ එක්කෝ අතීත ආවර්ජනයක්
ගැන නැත්තං ලෝකයේ පවතින ප්‍රශ්ණයක් ගැන නැත්තං රටේ දේශපාලනය ගැනය, ඔය මුකුත්ම
නැත්තං මගේ අධ්‍යාපනය ගැන අහන්නට ඔහු උනන්දු විය. සීයා අඩියක්වත් තමාගේ මතයෙන්
එහාට පය තිබ්බෙකු නොවේ, මට අනුව. එසේ පය තියන්නට ඕනමනං ඔහුගේ රාමුව තුළ ඉන්නා ඔහු
අගය කරනා මිනිසුන්ගෙන් පමණක් විමසීම විනා වෙන එකෙක්වත් ඔහුට අදාළ වූයේ නැත. එයා
යම් කිසි දේකට විරුද්ධ වුවහොත් විරුද්ධ වුනාම තමා. හෙන හැහුවත් වෙනස් වන්නේ නැත.
වෙන උන් අකැමැති වුනා කියලවත් හිනා වුනා කියලවත් වෙනස් වුනේ නැත. ඒ වගේම කැමති
වුවහොත් ඒකත් එසේමය. ආදරේ නං ඒකත් එසේමය. මේ වගේ මිනිස්සු එක්ක සාමාන්‍ය සරල
මිනිස්සුන්ට වාසය කිරීම ගොඩක් දුරට අමාරු වැඩකි. කේන්ති යන වැඩකි. ඒත් සීයාට
කවදාවත් හතුරෙකු හිටියේ නැත. ඔහුට වෛර කරපු එකෙක්වද හොයා ගැනීමට නැත. ඒකේ තේරුම
හැමෝම මිතුරෝ කියන එකද නොවෙයි.
සීයා හරියට පූසෙක් වගේ. පූසෝ කවදාවත් රංචු
ගැසෙන්නේ නැත. ඉන්නේ තනිවමය. රංචුවක අපිට පූසෙක්ව හොයාගැනීමට හරිම අපහසුයි
දැක්කොත් දකින්නට ඇත්තේ මහා පූස් වලියකි. බල්ලෙක් හා සැසදුව විට පූසා කවදාවත්
මිනිස්සුන්ට සෙවල හලාගෙන දගලගෙන ලව් කරන්නේ නැත. හැබැයි පූසාගේ ආදරය හරිම ගුප්තයි.
පූසන්ව ආශ්‍රය කර ඇති උන් මේවා දනිති. පූසා සමහර අය එක්ක ගැඹුරු ලෙස ආදරයෙන් බැදෙන
අතර ඒක කවදාවත් එළියට පෙන්නන්නේ නැත. පූසෝ ගෙවල් වලින් අතුරුදහන් වීම අතිශය සාමාන්‍ය
දෙයකි. උන්ට බෝරිං වගේ හිතුනම තනියම කොහේ හරි යනව. ගිහින් සමහරවිට ඇවිත් හරි
ආදරෙන් හුරතල් වෙනව. මේ වගේ කාරණා මම සීයාගෙන්ද නිරීක්ෂණය කරපු අවස්ථා බොහෝමයි. සීයා
වගේ මනුස්සයෙක් මට ආයෙත් ජීවිතේ හම්බෙන එකක් නෑ. එච්චරටම සීයා යුනික්. සීයාගේ එකී
පූස් ජාන මට ද මගේ පියාට ද පිහිටා තිබීම ගැන හිත යටින් අමුතු ආඩම්බරයක් ද මා හා
ඇත.
අන්තිමටම සීයා එක්ක සිහියෙන් වෙනද විදියට මම
කථා කලේ, ගනුදෙනු කලේ මගේ උපාධියේ අවසාන වසරේ අවසාන විභාගයේ අවසානම මොඩියුල් එකට
කලින් රාත්‍රීයේය. එදා රාත්‍රිය මම ගෙව්වේ සීයා එක්ක වීම මට අමුතුම අත්දැකීමක්
විය. ඒක අද මට එදාට වඩා හිතට දැනෙයි. වෙන උන් විභාගේට කලින් දවස ගෙවන්නේ ජීවිතේ
අවසානය මෙන් හිතට දා ගත් මර භියකින් වුවද මට නං ඒ දවස මාරම ආතල් ය. මොකද පහුවදයින්
පසු විභාගය කෙසේ හෝ නිම වීමේ සතුට හිතේ පොපියන නිසා වෙන්න පුලුවන්. සීයා ද ඒ බව
දැන සිටියත් සැරෙන් සැරේ, ඔහු නිසා හෙට තියෙන මගේ විභාගය කෙල වෙයිද කියා මගෙන්
විමසුවේ සීයාගේ තියෙන පොලයිට් කම නිසාය. ඔහුගේ ඒ වගේ ගතිගුණ වලට මම මාර ආදරෙයි.
අහන මගුලක් වටේ යන්නේ නැත, හෙන ගහන්නා සේ සීයා දේවල් අසයි, ඒ ඇසීමෙන් ගොඩාක් දේවල්
විසදා ගත හැකි බව අදටත් මම අත්විදින කාරණයකි. සීයා ඒ වන විට යම්කිසි රෝගාතූර
තත්වයකින් සිටි අතර ශරීරයෙන් ගොඩාක් දුර්වල බව මට තේරුනි. ඔහුගේ පිට උණු වතුරෙන්
තවා කන්නට තිබූ මාලු හොද්දද රත් කර පාන් රාත්තල ද කපා දී සාලේ මේසේ ඉදගෙන සුපුරුදු
සරම විතරක් ඇදගෙන ඔහු ආසාවෙන් කන සැටි මා බලා සිටියේ වෙනදා මට නොදැනුනු අමුතුම
ආදරණීය හැගීම් ගොන්නක් හිතට ගලාගෙන එද්දීය. සීයා හොදින් බඩ පුරෝගෙන ඉක්මනින්
නින්දට ගියේය. ඇත්තටම මට අනුව සීයාගේ අන්තිම දවස එදාය.
මම ආදරය කරන මිනිස්සුන්ට මම කිට්ටු වන්නේ භෞතිකව
නොව හිතෙන් ය, රහසින් ය. ඒ හිත පණ නැති වීම මම මරණයක් විදියට දකිමි. විභාගය නිම
කොට සීයාව බලන්නට ගිය මම පුදුමයට පත් වුයේ සීයා ඇදේ වැතිරී අසිහියෙන් සිටීම
දැකීමෙනි. සීයා කියා කථා කලද ඒකට හරි හැටි පිළිතුරක් දීමට ඔහුට නොහැකි විය, එක්කෝ
ඔහුට ලොකු උවමනාවක් ද නැති විය. සීයාගේ මේ වැටීම කවදාවත් කවුරුත් නොදැකපු වැටීමකි.
ඔහු ඒ වන විටම සියල්ල අත්ඇරීමට තීරණය කර තිබුණෙදැයි මට හිතේ. සීයා යනු කාටවත්
පදිරි වෙවී, වාතයක් වෙවී ජීවත් වීමට අකැමති වූ චරිතයකි. කෙසේ හෝ සීයා දවසින් දවස දිරාපත්
වීමට පටන් ගත්තේ අපි බලා සිටිද්දීමය. එය මා ඇතුලු සියලුම සෙසු ආදරණීයන්ට මහා දුකක්
විය. සීයා දක්වන ප්‍රතිචාරය දිනෙන් දින අඩාල වන්නට විය. කන කෑම බීම දිනෙන් දින
නැවතෙන්නට විය. ඒ වන විට නැවතත් සීයාව පෙර තත්වයට ගොඩ දැමීමට නොහැකි අතිශය ස්වභාවික
දුර්වලත්වයකට ඔහුගේ ශරීරය පැමිණී තිබූ බව දැන දැනත් අප සියල්ලෝම සෑම දිනයකම උත්සහ
කලේ ඔහුව නැගිට්ටවීමටය. ඇත්තටම ඒක අපේ හරිම අහිංසක බොළද උත්සහයක් විය. ඒත් ඒ ගැන
සීයාට කිසිම ඕන කමක් නොතිබුණි. සීයාට තව තවත් ජීවත් වීමේ ලොකු පෙරේතකමක් නැත්තං
ආසාවක් නොතිබුණි. ඒ වන විටද ඔහුගේ පැත්තෙන් බැලුවොත් ඔහු සංතෘප්තය. නමුත් ඒ වන විට
සීයා මුහුණ දුන් ඒ සියලුම දුක්ඛිත තත්වයන් ඔහුගේ ආදරණියන් වන අපට මහත් වේදනාවක්
විය. හැමෝම එකා වගේ සීයා වෙනුවෙන් කැප වන්නට විය. සීයාව ඉස්පිරිතාලයට අරන් යා
යුතුයි යන තීරණය ඇත්තටම අපේ පැත්තෙන් සිදුකල යුතුව තිබූ අතිශය මානුෂීය ක්‍රියාවක්
විය. ඇත්තටම එහි සැබෑ අරමුණ වූයේ සීයාට නිකංම ඇදේ වැතිරී මැරෙන්නට ඉඩ නොහැර තව
තප්පරයක් හෝ ජීවත් කරවීමයි. ඒක ඇත්තටම මාර ආදරණීය ඉන්ලොජිකල් වැඩකි. නමුත් ඒ
අවස්ථාවේ ගැනීමට වෙන තීරණයක් නොවීය. මේ වගේ පට්ට ඉමෝෂනල් සිද්ධීන් වලට ජීවිතේට මූණ
දී නොසිටි මා හට මේ සිද්ධීන් දාමයන් සියල්ල එක්තරා විදියක මාර අත්දැකීමක් විය. ඒක
හරි වේදනාවක් වුනේ මේ සියල්ලටම බේස් වුන ප්‍රධාන චරිතය ආදරණීය සීයා වීමයි. ඒක
හරිම දුකක් විය.
සති කීපයක් සීයා එක්ක ඉස්පිරිතාලේ ගත කල ඒ
අමුතු ජීවිතය මට නං ගොඩාක් පාඩං උගන්නපු කාලයක් වුනා. කොහොමත් අපි පොතෙන් පතෙන්,
ඉස්කෝලෙන්, කැම්පස් එකෙන් ඉගෙන ගන්න හුදෙක් ජොබ් එකක්, පඩියක් ඉලක්ක වූ ගොබ්බ රාමුවකට
කොටු වූ දැනුමට වඩා සමාජය එක්ක ගැටෙද්දී, මිනිස්සු එක්ක හැප්පෙද්දී, දාඩිය දාගෙන
අව්වේ පාරවල් වල රස්තියාදු වෙද්දී, මරණයක් එක්ක ඉස්පිරිතාල වල සටන් කරද්දී ඉගෙන
ගන්න දේවල් හරිම උසස්. මට ඒ වෙද්දීත් ඒ වගේ අත්දැකීම් මගේ වයසේ අනිත් උන්ට වඩා
ලැබී තිබුනි. ඒ ඉස්පිරිතාලේ ගෙවුන කාලවකවානුව එක්තරා විදියකින් මට නං හරිම
සුන්දරයි. විභාගය නිම වූ විගසම නිසා මට ජොබ් එකක් කිරීමේ මහා ලොකු වගකීමක්
තිබුනේත් නැත. ජොබ් එකක් කරපන් කියා වද දෙන නෑදැයින්ගෙන් ද කරදරයක් වූයේ නැත. මේ
සියලුම හේතූන් නිසා සීයා එක්ක මට ඔහේ ඉස්පිරිතාලේට වෙලා කාලය ගෙවන්නට පුලුවන් වුනි.
ඒ කාලේ කවදාවත් නැති විදියට මට සීයාට ලං වෙන්නට පුලුවන් වුනා කියල හිතෙනව. සීයා
ගොඩාක් දුරට අන්කොන්ෂස් වුවද ඔහු හා මා අතර මහ රෑ ජාමේ අමුතු අමුතු කතා බහවල්
යන්නට විය. ඒවා හරිම සිනෙමැටික් වුනා. ඔය
කාලේ සීයා හීනෙන් ඇහැරිල වගේ "මහින්ද තාමත් ඉන්නවද" කියල මගෙන් රහසින් ඇහුව
මතකයි. ඒ වෙලාවේ මට හිතුනේ තාමත් සීයාගේ හිත හොදට වැඩ කරන නමුත් යලි නැගිටීමට
කිසිම උවමනාවක් නැති බවයි. ඒ සීයා හිතුවක්කාර ලෙස තිත්ත ඇත්ත අපට වඩා ඉක්මනින් භාර
ගැනීමයි. ඉස්පිරිතාලේ සිටි දොස්තරලාද නර්ස්ලාද මෙච්චර ආදරය ලබන මේ වගේ වයසක සීයා
කෙනෙක් ඒගොල්ලන්ගේ සේවා කාලයේදීම දැකල නොතිබෙන්නට පුලුවන්. ඒ අපේ කට්ටියගෙන් සීයා
ලබපු අසීමීත ආදරය සහ කැපවීම හැමෝටම පෙනුන කාරණයක් නිසාය. මට මතක විදියට ඒ වෝඩ්
එකේම මෙච්චර ලව් එකක් තිබ්බ ඇදක් දකින්නට නොතිබිනි. සීයා කොච්චර ආදරණීය
පුද්ගලයෙක්ද කියන කාරණය එතනින්ම පැහැදිලි වෙනවා.
දොස්තරලා සති කීපයක පරිශ්‍රමයකින් පසුව
සීයාගේ ටිකට් කැපීමට තීරණය කලේ සීයා හොදටම හොද වීමෙන් නොව ඔවුන්ට කරන්න පුලුවන්
උපරිමය කල අවසන් නිසාය. සීයාව ටිකට් කපාගෙන ගෙදර එක්කං එන දවස අපිට මාර සතුටක්
විය. ඇත්තටම ඒක හරිම අහිංසක, ඉන්ලොජිකල්, ළමා සතුටක් වුවද අපි ජීවීතේ ගොඩාක්
තැන් වල ඒ ළමා සතුට (යථාර්තය හිතා මතාම තේරුං නොගැනීමේ සතුට) අත්විදිය යුතු යැයි
මට හිතේ. ඒක හරිම මනස්ගාතයි ඒ නිසාම හරිම සුන්දරයි. මේ සියල්ල සිදුවූයේ මුලු
අවුරුද්දේම ආතල්ම කාලය වන දෙසැම්බර් අන්තිමෙ වුවද ඇත්තටම එහෙම දෙයක් අපේ මතකෙටවත්
ආවේ නැත්තේ සීයාගේ කාරණා එක්ක බොක්කෙන්ම යෙදී සිටීම නිසා විය හැකියි. ඉස්පිරිතාලේක
වෝඩ් එකක් ඇතුලට පිටත කිසිදු කාලයක් අදාල වන්නේ නැත. නමුත් මට ඒ කාලය තාමත් හිතෙන්
ගැලවිල යන්නැති හරිම වෙනස් ෆීලින්ස් තොගයක් අරන් එන අමුතුම කාලයක් වුනේ ඒ නත්තල්
සීත, දෙසැම්බර් මද වැස්ස එක්ක මික්ස් වුන දුක, ආදරය සහ අහිංසක බලාපොරොත්තු ගොන්නත්
නිසාය. සීයාව ටිකට් කපාගෙන ගෙදර අරන් එන දවසට සියල්ලෝම ලක ලැහැස්ති වූයේ
යුද්දෙකින් ජය ගත් වීරයෙක්ව පිළිගන්නට වගෙයි. එදා අලුත් සරමක් හා ෂර්ට් එකක්
අමාරුවෙන්ම අන්දා සීයාව රෝද පුටුවට ගත් විට සීයාද අමුතු හිනාවක් දැම්මේ හිත ඇතුලෙ
තිබ්බ දේවල් ගොඩක් කියා ගැනීමට බැරුව වගෙයි. කොහොම හරි ආයෙත් හීනියට හරි
බලාපොරොත්තුක් හිතට දා ගත් සීයාගෙන් අමුතු ෆ්‍රෙෂ් ගතියක් මම දුටුවෙමි. හැබැයි ඒක
නිකං අපිව සනසන ෆ්‍රෙෂ් ගතියක් විය. මං සීයාව රෝද පුටුවේ දාගෙන වෝඩ් එක වටේම අරන්
ගියේ පොඩි ලමෙක්ගෙ ඇඩිල්ල නවත්තන්න දරන උත්සහයක් වගෙයි. බට ලයින් හයිකරපු, භාගෙට
සිහිය තිබ්බ සීයා නැවතත් නිවසට පැමිණීමෙන් ආපු අහිංසක සතුට හුදෙක්ම තාවකාලික වුනේ
දවසෙන් දෙකෙන් ඔහු නැවතත් පෙර තත්වයටම ඇදගෙන වැටීමෙනි. සීයාගේ මරණය හැමෝටම දරාගන්න
පුලුවන් වෙන විදියට කාලය විසින් සියල්ල සකස් කෙරුනි. දෙවැනි පාර සීයාගේ ඇද වැටීම
අනිවාර්යෙන්ම සීයා අපගෙන් ඉක්මනින්ම වෙන් වෙයි යන කාරණය නැවත නැවතත් පසක් කරන්නට
විය. එය හැමෝම හිතෙන් පිළිගන්නට සූදානම් විය. ඒක මාරම ඉමෝෂනල් සිතුවිල්ලකි. පුද්ගලිකව
මම පැතුවේ සීයා තවදුරටත් අප හා සිටි ශක්තිමත් සීයා ලෙස යලිත් නැගිටෙන්නේ නැත්තම්
හැකි ඉක්මනින් හොදම විදියට මරණය සිදු වේවැ යැයි කියාය. ඒක පට්ට දරුණු, අමාරු ඒත්
හරිම ප්‍රායෝගික ලොජිකල් සිතුවිල්ලකි.
මෙම ලිපියේද සීයාත් එක්ක බැදුනු මගේ කථාවේද
දරාගන්න අමාරුම හරිය මෙයයි.
2014 දෙසැම්බර් 28 වෙනිදා දවල් 2 පසුවනවාත්
සමගම සීයාගේ කලින් දැකල නැති වෙනස් කම් ටිකක් දකින්නට විය. එය මෙලෙසැයි මට හරියට
පැහැදිලි කිරීමට අමාරුය. දවල් 2ත් 2.30ත් අතර එක්තරා මොහොතක සීයා ඔහුගේ දරුවන්
මුණුපුරෝ වටකරගෙන රජෙකු මෙන් ඔහුගේ අන්තිම හුස්ම හෙළීය. සීයාගේ එතෙක් අමාරුවෙන්
හරි වැඩකරපු හදවත නැවතුනි, මොලයට ලේ නොයෑමෙන් මොළයද නැවතුනි. ඒ මොහොතේ මගේ ඇස්
දෙකෙන් ලාවට කදුලු කැට කීපයක් ගලාගෙන ගියේ අමුතුම ෆීලීන්ස් තොගයක් සමගය. ඒ හුදෙක්
වෙන් වීමේ දුකම නොව. ඒක ඇතුලේ සීයාගේ පැත්තෙන් ඔහු ලැබූ එක්තරා විදියක විමුක්තියකින්
නැත්තං සැනසිල්ලකින් ආපු ආදරණිය සතුටක්ද නොතිබුනා නොව. ඒ මොහොතේ මහා ඇඩිල්ලක්
මගෙන් එලියට පැන්නේ නැත. ඒ වන විට සීයාගේ වෙන්වීම සම්බන්දයෙන් මම හොදටම අඩා
අවසන්ය. දොස්තර කෙනෙකු ඇවිත් නීත්‍යානුකූලව සීයා මරණයට පත් වී ඇති බව සනාථ කරන්නට
විය. ඇසිල්ලකින් ගමේම සෙනග නිවසට එක් රැස් වුයේ හරිම ලෙන්ගතු කමකින්ය. එතනින් පටන්
ගත් දුක්මුසු, ආදරණීය, හරිම ඉමෝෂනල් කාල පරිච්ඡෙදය සීයාගේ ශරීරය මිහිදන් කරන තුරු
නිවස පුරා, අපේ ජීවික පුරා තදින්ම පැවතුනි. ආදරණියන් ඔක්කොම එකට එකතු වීමෙන්
එකිනෙකාගේ දුක අහිංසක විහිලු තහලුවෙන්, ආදරයෙන්, අනෙකුත් සාම්ප්‍රධායික මරණ ගෙයක
රාජකාරී වලින් තුනී කරගන්නට පුලුවන් විය. ඒ සති කීපය මට පුද්ගලිකව පසක් කර දුන්නේ
අපිට ජීවිතේ බැදීම් එක්ක එන වෙන් වීමේ මහා දුක තුනී කරගත හැක්කේ ඒ සමානම තවත්
බැදීම් වලින්ම බවයි. ඒක පොඩ්ඩක් ෆිලොසොෆිකලි හිතුවොත් වැරදි වෙන්නත් පුලුවන්. මොකද
ඒකත් නිකං හරියට, බෙහෙතක් බිව්වම එන සයිඩ් ඉෆෙක්ට්ස් නැති කරගන්න ආයෙත් අපි බෙහෙත්
බොනව වගේ වැඩකි. ඒත් සයිඩ් ඉෆෙක්ට්ස් එන එක නවතින්නේ නැත. ඇත්තමට කල යුත්තේ බෙහෙත්
බීම නොව බෙහෙත බොන රෝගය නැති කර ගැනීමයි. බෞද්ධ දර්ශනය කියන්නෙත් බැදීමක් යනු අවසානයේ
දුකක් ගෙන දෙන්නක්, බැදෙන්නනේ නැතුව සතුටින් ඉන්න බලන්න කියලයි. කතෝලික ආගමේ
කියන්නේ බැදීම් ඇතිකරගන්න, හැබැයි එතනින් එහාට වෙන දේවල් දේව කැමැත්තට භාර දෙන්න
කියලයි. හැම දර්ශණයක්ම ඒ ඒ සීමා මායිම් තුල නිවැරදි වුනත් මට සීයාගේ මරණ-ගෙදර කාල
පරිච්ඡෙදය දරා ගන්න ටිකක් අමාරු කාලයක් විය.
එහි උච්ඡතම අංගය වූ සීයාගේ ශරීරය මිහිදන් කිරීමෙන් පසු මගේ හිතේ ඇති වුයේ
කාටවත් කියා ගැනීමට අපහසු නමක් නැති තනියම බොන්න හිතෙන හැගීම් ගොන්නකි. ඒක නිකං මහ
රෑ ආපු කුණාටුවකින් ඔක්කොම කුඩු පට්ටං කරල විනාස කරල දාලා හිමීට රෑ ගෙවිල ගිහිල්ල
උදා වුන උදයක් වගේ. බැදීම් වලින් ඇති වෙන සාංකාව, දුක, පාලුව එච්චරටම දරුණු බව මම
තේරම් ගත්තේ එදා වෙන්න පුලුවන්. අද හෝ හෙට හෝ කවදා හෝ අනිවාර්යෙන්ම සිදුවන මගේ
අනෙකුත් ආදරණීය බැදීම් වල වෙන් වීමට මම එදයින් පසු අමාරුවෙන් හෝ හිත සුදානම් කර
ගන්නට විය. තව තවත් බැදිම් අලුතෙන් ඇතිකරගැනීමට පෙර දහස් වාරයක් හිතන්නට විය.
ශරීරයක් මිය යාම යනු කෙනෙකුගේ අවසානය නොව.
සමහර විට අලුත් ආරම්භයක් වෙන්නත් පුලුවන්. සීයා තාමත් මා තුල ජීවත් වන කෙනෙකි. අපි
මැරුනට පස්සේ සිද්ද වෙන්නේ මේ භෞතික මානයෙන් ගැලවිල අපිට දැනට අල්ලගන්න බැරි වෙනත්
මානයකට අපේ ශක්තිය පරිවර්තනය වීමක් කියල හිතන්නත් පුලුවන්. ඒ අලුත් මානයේ (ඩිමෙන්ෂන්
එකේ) අපේ හැසිරීම අපි භෞතිකව ජීවත් වෙලා ඉද්දි කොච්චරකට ආධ්‍යාත්මිකව පෝෂණය වුනාද,
කොච්චර අනෙකාට ආදරය කරාද, කොච්චර දේවල් තේරුම් ගත්තාද වගේ අභෞතික කාරණා මත රදා
පවතින්න පුලුවන්. බෞද්ධ දර්ශනයේ කියන විදියට නැවත ඉපදීමක් (එකී අභෞතික ශක්තිය භෞතිකයකට
පෙරලීම) ගැන මට ලොකු අයිඩියා එකක් නැත. නමුත් එය තර්කයෙන් බැහැර කිරීමට ද නොහැක. කොහොම
හරි සීයාගේ අභෞතික ශක්තිය මරණයෙන් පසු එයා ගොඩාක් ආදරය කරපු මිනිස්සුන්ට බෙදලා
දුන්නා වගේ අදහසක් අපිට හිතන්න පුලුවන්. ඒක මම පෞද්ගලිකව අත්විදින කාරණයකි. මම
මිනිස්සුන්ට බැදෙන්නේ කිසිම රාමුවක් තුල නොව, සීමාවක් තුල නොව, කොන්දේසියක් තුල
නොව හුදෙක්ම මානුෂීය හා ආදරණීය මානයකිනි. ඒ තියරියට අනුව සීයාට මම ආදරය කලේ ඔහු
මගේ සීයා නිසාවත්, මගේ පියාගේ ආදරණීය තාත්තා නිසාවත් නොව ඔහු ඔහු නිසාවෙනි. ඔහු නැති
අඩුව මට විතරක් නොව අනිත් සියලුම ඔහුගේ කිට්ටුම මිනිස්සුන්ට දැනෙන එක පුදුමයක්
නොවේ. ඇත්තටම සීයා නැතිව පාලුයි. මම ඒ පාලුව තුනී කරගන්නේ අර කලින් කිව්ව පොදු තියරි
එකක් ඔලුවට දා ගැනීමෙන් සියල්ල එලෙසින්ම තේරුම් ගැනීමට උත්සහ කිරීමෙනි. සීයා
ගොඩාක් පාඩම් උගන්වා ආදරය වපුරවා වීරයෙක් සේ නික්ම ගියේය.
සීයා හැමදාට අප අතරම සෑම මොහොතකම ජීවත් වනු
ඇත.
“සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ, අනග
තරුණ බඹරු අපියි, අමර වරම අපට හිමියි, අපි මැරෙන්නේ නෑ , අපි මැරෙන්නේ නෑ....
”
- අර්ජුමාන්