රටක ප්‍රදානම අවයවය නුඹ කිව්වොත් මම වැරදි නැත. විශේෂයෙන්ම අප වැනි ඉතාම දුර්වල රටක නුඹට කල හැකි කොටස අති මහත්ය. ඒ වෙන කිසිවකින් නොව නුඹේම දරුවන්ගෙන්ය.
මුලින්ම නුඹේ දරුවන් නුඹ යටතේ සිටිනා හුදෙක් රූකඩ නොකරගන්න. ඔවුන්ට ඇති මහත් වූ ආදරය නුඹ හා එසේම තියාගෙන ඔවුන්ව මේ ලොවට අයිති කරවන්න. මන්ද, ඔවුන්ද නුඹ මෙන්ම මේ ලොව තවත් එක් මිනිසෙකි. ඔවුන්ට ඔවුන්ගේම වූ මානව අයිතිවාසිකම් ඇති බව මතක තබා ගන්න.
ඔවුන්ට ඉංග්‍රීසි කතා කරවීමට බල නොකරවන්න. ඉංග්‍රීසි කතා කිරීම පට්ට ආඩම්බරයක් කියන මෝඩ සංකල්පය හිතෙන අයින් කරවන්න. අපේ රටේ බාෂාව මුලින්ම ඔවුන්ට උගන්වන්න. ඉංග්‍රීසි යනු වෙන ලොකු රටක හුදෙක් බාශාවක් වග මතක තබා ගන්න. නිශ්ශබ්ද ස්ථාන වල නුඹේ ළමයා සිංහලෙන් කෑ ගහල කතා කරන විට ලැජ්ජා වී ඉංග්‍රීසියෙන් කෑ ගහන විට හිත යටින් ආඩම්බර වීම පට්ට මෝඩ කමක් බව පිළිගන්න.
ඔවුන්ට සුදු පැහැපත් විනීත පෙනුමක් ඇත්නම් ඔවුන්ව දොස්තරවරයෙක් කිරීමට නොසිතන්න. ඒ පෙනුම නැත්තන් ඔවුන්ව ඉංජිනේරුවකු නොකරන්න. රටේ ඇති වෘත්තිමය අවශ්‍යතාවය සහ ඔවුන්ගේ පෞද්ගලික නිපුණත්වය බලා ඔවුන්ව රටේ අවශ්‍යතාවයට යොමු කරනවා විනා මෝඩ තර්ක හමුවේ ඔවුන්ව ඉංජිනේරුවරු දොස්තරවරු කිරීමට සිහින නොමවන්න. ඔවුන්ව රටට සේවයක් කිරීමට යොමු කරවන්න. නැතිනම් ඔවුන් දොස්තරවරු වී හැකි තාක් සල්ලි හොයාගනීමට දිවා රාත්‍රී චැනල් ක්ලිනීක් වල ඔවුන්ගේ ජීවිතය නාස්ති කරගනී, ඉංජිනේරුවෝ වී හුදෙක් ධනපතියන්ට උපරිම ලාබයක් හොයා දීමට තම ජීවිතය නාස්ති කරගනී.
ඔවුන් එකිනෙකා එකිනෙකාගෙන් වෙනස් බව තේරුම් ගන්න. හැමෝම එකම දේ අච්චු ගැසීමක් කල යුතු නැත. අනුන් නුඹේ දරුවා ගැන සිතන දෙයින් කොහෙත්ම පලක් නැත. ඔවුන් පන්තියේ අන්තිමයා වුවහොත් ඔවුන්ට බැන නොවදින්න. එය අන්තිමයා පළවෙනියා විග්‍රහ කරන සිස්ටම් එකේ අවුලක්ද විය හැක. මලුවෙකුට ගස් නැගීමට නොහැක. එසේනම් නුඹේ මාලුවාව විලකට යවන්න.
මේ ලොව යුද්ද ඇති බවත් ඒවා ඇති උන හේතුද ඒ තේරුමක් නැති යුද්ද වලින් මේ වන විටත් අහිංසක මිනිසුන් මැරෙන බව ඔවුන්ට කියන්න. ඔවුන්ට එකිනෙකාට ආදරය කිරීමට උගන්වන්න. කිසිම ආකාරයක ප්‍රති උපකාරයක් අපේක්ෂා නොකොට අනුන්ට උදව් කිරීමට උගන්වන්න. ඔවුන් කන බොන විට මේ ලොව තවත් තැනක ඔවුන්ගේම වයසේ අහිංසක ළමයින් කෑම නැතිව මැරෙන බව ඔවුන්ට කියා දෙන්න.
නුඹට නුඹේ තරුණ කාලයේ කර ගැනීමට නොහැකි වූ දේවල් ඔවුන්ගෙන් කරගෙන සතුටු වීමට කටයුතු නොකරන්න. එසේ කලොත් ඔවුන්ද ඔවුන්ගේ දරුවන්ට එසේ කරාවි. ඔවුන්ට වැස්සේ නාන්න දෙන්න, නුඹත් ඔවුන් හා නටන්න, තාලයක් ඇතත් නැතත් සින්දු කියන්න, ඔවුන් හා තනි වී ඔවුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න, ඔවුන්ව හුරතල් කරන්න, ඉඹින්න.
ඔවුන්ට ආදරය කියා දෙන්න. ආදරය යනු අයිති කරගැනීම නොව ඊට වඩා ගොඩාක් ගැඹුරු දෙයක් බව පහදා දෙන්න. එකිනෙකාට ආදරය කරන්න කියන්න. එකිනෙකා හා තරඟ නොකරන්න කියන්න. ඔවුන් වැරද්දක් කරන්නේනම් ඔවුන්ට පිටුපසින් ඉඳ ඔවුන්ව ආරක්ෂා කර එම වැරැද්ද කරන්න ඉඩ දී යථාර්තය ඔවුන්ටම තේරුම් කර ගැනීමට ඉඩ හරින්න.
කොටින්ම කිවහොත් නුඹ දරුවෙකු හදන්නේනම් එය නුඹේ ජීවිතේ වැදගත්ම තීරණයක් කරගන්න. හුදෙක් දරු සුරතල් බැලීමට දරුවන් නොවදන්න. දරුවන් හැදෙන නිසා දරුවන් නොහදන්න. පසුව නුඹේ අවුල් වෙච්ච ජීවිතය ගොඩ දාගැනීමට තම දරුවන්ව පාවිච්චි නොකරගන්න.
මොහොතක් හිතන්න නුඹට මේ රට සහමුලින්ම වෙනස් කල හැක...
- අර්ජුමාන්
No comments:
Post a Comment