එදා, මට ද නුඹ ට ද අහම්බෙන් එකවර දැනුන, ඒ ලොව සුන්දරතම අමුතුම අසම්මත යැයි කී හැගීම මට තවමත් මතකයක් සේ තුරුල් වේ. එය පංච ඉංද්රියන්ගෙන් දැනෙන්නේ නැති නමක් නැති අමුතුම හැගීමකි. එය තාමත් මගේ ජීවිතේ මට දැනුන හැගීම් අතර උඩින්ම පවතින්නේ එය එතරන්ම විශේෂ වූ නිසාය. මට මෙන්ම නුඹටද එසේම එය දැනීම විශේෂය, සුන්දරය සහ දුර්ලබය. එතැන් පටන් නුඹ කෙරේ තිබු ඒ සෙනෙහසට මට වෙනත් පාටක් ගෑමට වෙනත් නමක් සෙවීමට වෙනත් ස්වරූපයක් දීමට සිදු වුනි. එයට සරල උත්තරයක් මට නොතිබුනේ මම සරල නොවන නිසා ද විය හැක එසේත් නැත්තං නුඹද අමුතු කෙනෙක් නිසාද විය හැක.
මා ඇතුලතින් නුඹට වඩා බෙහෙවින් පරිණත, පණ්ඩිත, පෙර තුවාල ද ඇති සංකීර්ණ චරිතයක් වුවද නුඹේ කෙලිලොල් අහිංසක, දඟකාර හැසිරීමට මා ආකර්ෂණය වීම මටම උත්තර ඇති ප්‍රෙහෙලිකාවක් විය. සීමා නොතකා අනවබෝදයෙන් හෝ අවබෝදයෙන් නුඹ මට දැක්වූ ඒ අසීමිත සෙනෙහස, ලැදියාව නැත්තන් ලෙන්ගතු කම මට මහා සතුටක් ගෙන දෙන්නක් විය. නුඹට පෙනෙන්නට අඳින්නට පළදින්නට විය, නුඹට දැනෙන්නට සුවඳ වන්නට විය, නුඹට ඇහෙන්නට ගායනා කරන්නට විය. අඳුරු වූ කඳුළු හංගා හොරෙන් අඬ අඬා සිටි සමය නිම කරගැනීමට එය උවමනාවෙන්ම නැතත් කෙසේ හෝ මා හට මහත් පිටුවහලක් විය.
නුඹෙන් ඉගිලී ඇතට යන්නට උත්සහ කල වාර අපමණය. ඒ අනුන් හැදු සීමා මායිම්, කූඩු ඇතුලේ නුඹත් මමත් විඳි අපහස නිම වීමටය. එය තේරුමක් නැති උත්සහයක් වුයේ අහසට විසි වු ගල් කැටයක් ඉහලටම ගොස් යලිත් පොළොවට වැටෙන්නාක් මෙනි. සියල්ල අතහැර නුඹ ලඟට කාටත් හොරා රහසෙන් විත් තුරුල් වීම සහ නුඹ මාව අසීමිත සෙනෙසහකින් තුරුල් කරගැනීම මේ කතන්දරය මහා ගැඹුරු සංකීර්ණ ආදරයකට පෙරලීමකට හේතු විය.
එය ඇති වීමකි, නැති වීමක් පේන තෙක් මානෙක නැති ඇති වීමකි. හේතු නැති ඇති වීමකි. අයිතියක් ගැන බලාපොරොත්තු සුන් වූ ඇති වීමකි. සෑම මොහොතක්ම දනාත්මක කරන සතුටු කරවන සිනහව පිරි ඇති වීමකි. එයට මම ආදරය කියමි. නුඹද මමද සම්මත රාමුවෙන් ගිලිහුනු ආදරණීය වෙනමම රාමුවක් තුල ආදරය කරන්නෙමු. ආදරයට දෙන්නට හුදෙක් වෙන් වු අර්ථ දැක්වීමක් නැති මට එය එක්තරා දැනීමක් පමණි. එහි සෑම අඩියක් පාසාම, සෑම කොනකම නුඹ ඇත. මා ඇන්ද මේ චිත්‍රයේ වර්ණ සංකලනය නුඹමය. නුඹේ දඟකාර කෙළිලොල් හුරතලය මාව තව තවත් ප්‍රබුද්ද කරන්නට විය. මහා මෙරක් සේ මට දැනෙන නුඹේ අහිංසක ලාමක ආදරයෙන් මගේ ඔලුව අත ගා මා සනසවන හැම තප්පරයක්ම කල්පයක් සේ දැනෙන්නට විය. නුඹ හා මා වෙලෙන ඒ අසීමිත ශ්රුන්ගාරය මට මහා ගැඹුරු සයුරක් විය. එහි ගිලි ගැඹුරටම යාමට ඕන විය.
ඇයි යන ප්‍රශ්නයට පිළිතුර නුම්බටවත් මටවත් තාමත් සොයා ගැනීමට අපහසුය. එය කාටවත් විග්‍රහ කිරීමටද නොහැකිය. කවදාවත් කිසිසේත්ම නොහැකිය.
නුඹ මට සිතිජයේ සිට......
ආදරෙන්!
- අර්ජුමාන්
No comments:
Post a Comment