Sunday, 4 September 2016

අනේ පිටසක්වලයෝ!

උඹ මේ ලෝකෙට එනකං මා බලා සිටින්නේ අද ඊයෙ නොව මා කුඩා කල සිටමය​. තාමත් උඹව මට හමු නොවීම ගැන මම ලත වෙන්නෙමි. උඹ මෙහෙට කලින් ආවාද නැතිනම් ඇවිත් මාව නොදැක්කා වගේ ගියාවත්ද යන සැකය සෑමවිටකම හිතට වද දෙන්නට විය. ඒ කෙසේ වෙතත් මහ රෑ උඹේ ඒ තාරකාව දිහා ඈත බලා සිටීම තවමත් මා නවත්වා නැත. ඒ කවදාහෝ උඹ ඇවිත් මෙහේ ප්රශ්ණ නැති කරයි නැතිනම් අඩුම තරමේ මාව හරි උඹේ තාරකාවට අරන් යයි යන දැඩි විශ්වාසයෙනි.  
 
මා මේ ජීවත් වන ලෝකයට වඩා උඹේ ලෝකය හොද යැයි සිතීම මගේ අහිංසක මෝඩ උපකල්පනයක් බව මම හොදටම දනිමි. උඹේ ලෝකය මීටත් වඩා ජරහන්ත එකක් වීමට අනිවාර්යයෙන්ම ඉඩක් ඇත. නමුත් මම එකී උපකල්පනයේම දිගටම සිටින්නේ මා මේ ජීවත් වන ලෝකයේ ගොඩාක් අවුල් කාරණා මට ඉතා නිරපේක්ෂව හිතට දැනෙන නිසාවෙනි. මම උඹට ලියන පළවෙනිම සහ අන්තිම ලිපියද මෙය වේ. මම ලියනා කාරණා උඹ දුටු විට ඊළග ෆ්ලයිට් එකේම උඹ මෙහෙට දුවගෙන එයි කියන අහිංසක පැතුමද මා හා නැතුවා නොවෙයි. කෙසේ හෝ මම මග බලා සිටිමි......

මේ දේවල් කියවා උඹ අනිවාර්ය්‍යයෙන්ම හිනා වනු ඇත. කමක් නෑ මං ඇත්තම කියන්නංකෝ!

මුලින්ම මම පොඩි හැදින්වීමක් දෙන්නං. උඹේ ලෝකයත් අපේ ලෝකයත් පවතින්නේ එකම පාලනයකය නැතහොත් එකම තලයකය. ඒකට අපි විශ්වීය ස්වභාවදහම කියමු. අපේ ලෝකයේ ඒක හදුන්වන්නේ දෙවියන් යන නමිනි. නමුත් අවාසනාවට මෙහේ ගොඩාක් අය ඒක දන්නේ නැත. ඒක තේරුම් ගැනීමට උත්සහ ගන්නේ ද නැත. ස්වභාවදහම තුල අප ලෝකයට අයත් විවිධාකාර වූ ආම්පන්න රාශියක් ඇත. ගස් වැල්, ඇල දොල, සතුන් සහ මහා පුදුමාකාර වු අපට තාමත් තේරුම් ගැනීමට අපහසු වූ දේවල් ගොන්නක් එකී ආම්පන්න වලට අයත් වේ. මිනිසා යනු මේ දේවල් අතරින් හුදෙක් එක අවයවයක් පමණි. අප ලෝකයේ භූමිය රටවල් කියා නම් කෙරූ දේශ සීමා ගොඩකට එකී මිනිසා විසින් වෙන් කර ඇත. එම වෙන් වීම කාලයත් සමග ටිකෙන් ටික සිදූ වූ අතර අද වන විට එම වෙන්වීම නිසා මහා අවුල් ජාලාවල් දැනටම ඇති වී හමාරය. ඇත්තම කිව්වොත් මට ගොඩාක් ප්රශ්ණ ඇත්තේ මේ ලෝකය සමග නොව මේ ලෝකය තමාගේ යැයි කියමින් සියල්ලම මහා අවුලක් කරගනිමින් මේ ලෝකය විනාස කරන්නට උත්සහ දරන මා සහෝදර මිනිසා සමගය. මිනිසා සිතන්නේ (හෝ මිනිසාට හිතන්නට මිනිසා විසින්ම පුරුදු කර ඇත්තේ) ඒගොල්ලෝ මාරම බුද්ධිමත් පොරවල් කියාය. කොටින්ම ඒගොල්ලෝ ස්වභාවදහම තුල පවතින බවද පිළිගැනීමට නොහැකි තරම් උද්දච්ඡ වී ඇත. අද වන විට මිනිසා ස්වභාවදහම තමා යටතට ගෙන පාලනය කිරීමට උත්සහ දරා කෙල කරගෙන අවසන්ය. මිනිසා බුද්ධිමත් නැතැයි මම කීමට උත්සහ ගන්නේ නැත. මිනිසා යනු එකී සංකීර්ණ ස්වභාවදහම තුල පවතින හුදෙක් එක්තරා බුද්ධිමත් අවයවයක් පමණි. දවසක් මගේ තාත්තා මට කිවූ සරල උදාහරණයකින් ඒ කථාව හොදටම පැහැදිලි වේ. " මුලු ස්වභාවදහම ම එක්තරා ශරීරයක්නම් අපි නිකං හරියට ඒකේ පොඩි මහපට ඇගිල්ලක් වගේ නේද? " කියා ඔහු කිව්වේ ඉතා සරලව වුවද එයින් ඔහු අදහස් කල දේ මහා ගැඹුරු දෙයක් විය. ඒ උදාහරණය ගොඩාක් දුරට හරියටම හරිය. අද සිදු වී ඇත්තේ මහපට ඇගිල්ල අර මුලු ශරීරයෙන්ම වෙන් වීමට උත්සහ දරා ඉන් නොනැවතී මුලු ශරීරයම පාලනය කිරීමට උත්සහ දැරීමයි. මමත් මිනිසෙකි, නමුත් මේ බුද්ධිමත් මිනිසා අද වන විට මෙලෝ තේරුමක් නැති ක්රියා පටිපාටීන් සිදු කරන පිස්සු යකෙක් බවට පත් වෙමින් සිටින බව මට උඹට කියන්නට සිදු වීම මහා ලැජ්ජාවකි. මිනිසා පිස්සු යකෙක් බවට පත් වුවාටද කිසි අවුලක් නැත. අවුල ඇත්තේ මේ එකී ස්වභාවදහම යන සංකීර්ණ නෙට්වර්ක් එක තුළ සියල්ලම එකිනෙකට සම්බන්ධ බැවින් මිනිසා කරන අජූත වැඩ වලින් සියල්ලම අවුල් වීමට පටන් ගැනීමයි. එහි ප්රතිපලයක් ලෙස ලගදීම මේ ලෝකය විනාස විය හැකි යැයි සිතීම අතිශය සාධාරණ ලොජික් එකක් නොවේ ද!

මිනිසා ගස් වැල් කපා ඇල දොල වසා පොලොව හාරා සියලුම ඛනිජ සම්පත් ද තෙල් ද ගෙන සුවිසල් ගොඩනැගිලි තනා ඒවා පල්ලි, පන්සල්, කෝවිල් යනුවෙන් නම් කොට තමාගේ වාසියට, මරණයෙන් පසුව වන දේවල් වලට බයට සහ මිනිසාම හදා ගත් ලොවෙත් නැති හේතු කාරණා මත අහස උඩ ජීවත් වෙතැයි විශ්වාස කරන දෙවියන් යැයි කෙනෙකුට වන්දනා කරයි. සතුන්වද මරා එම දෙවියන්ට ම පූජා කරයි. එකී වන්දනා පිළිවෙත් දේශයෙන් දේශයට වෙනස් වීමෙන් සහ තවත් විවිධාකාර වූ කල්චරල් හේතු කාරණා මත ආගම කියා සංකල්පයක් ද ඔවුන් ම ඇති කරගෙන ඇත. හොදම විහිලුව වන්නේ මේ ඔවුන්ම හදා ගත් ආගම හා ඔවුන්ම වෙන් කරගත් දේශ සීමා නිසා එකිනෙකා වෛරයෙන් මරා ගැනීමයි. මේ මොහොත වන විටත් එකී හේතු නිසා කුඩා ළමුන් ඇතුලු මිනිසුන් සිය ගණනක් බුරුතු පිටින් මැරෙනු ඇත, ස්වභාවදහම විනාශ වනු ඇත. මේවාට යුද්ධ යැයි කියනු ඇත. ප්රධාන වශයෙන් ආගම නිසා දෙවියන්ගේ නාමයෙන් ද දේශ සීමා වල නාමයෙන්ද මත් ද්රව්‍ය වල නාමයෙන්ද යුද්ධ ඇති කර ගත හැක. ඇත්තටම එයට ලොකු හේතු අවශ්‍ය නැත. මෝඩ කමයි වෛරයයි හොදටම ප්රමාණවත්ය. යුද්ධ වලට උල්පන්දම් දෙන්නේද මිනිසාමය. යුද්ධ වලින් ඉතා සුලු ධනවතුන් පිරිසකට මහා ලාභයක් එන අතර විශාල බහුතරයකට දරා ගත නොහැකි විනාසයක් අත් වේ, තම ආදරණීයන් අහිමි වේ, වෛර්‍යය පැතිරේ. එකී ඉතා සුලු ධනවතුන් පිරිස අර විශාල බහුතරයම මෝඩ ගොබ්බයන් බවට පත් කර ඇති අතර තවදුරටත් ඔවුන් ගොබ්බයන් වීම ධනවතුන්ට තව තවත් ලාභය වැඩි කරන සාධකයක් බවට පත් වී ඇත. අද වන විට මුලු ලෝකයම හුදෙක් ඉතාම සුලු පිරිසකගේ ජඩ අසාධාරණ පාලනයකට නතු වී හමාරය. මෙය සිදු වූවේද සිදු වන්නේද ඉතාම සූක්ෂම ලෙසය. මේ අතිශය සුලුතරය විසින් ප්රධාන-ධාරා මාධ්‍ය (Mainstream Media) සියල්ල හීන් සීරුවේ පාලනය කරමින් බහුතරයකගේ මොල සෝදනු ලැබේ, ඔවුන්ගේ සිතීමේ හැකියාව මොට්ට කරනු ලැබේ. ඔවුන් විසින් අධ්‍යාපනය පාලනය කරනු ඇත. ළමයින් ව හුදෙක් ගිරව් කොට නිර්මාණශීලි හැකියාවන් පාගා දමා එලොවටත් මෙලොවටත් නැති ඔවුන්ගේම වාසියට / ලාභයටම කර දෙන ඉතා සීමා සහිත ගොබ්බ අධ්‍යාපන ක්රමයක් ලොව පුරා පැතිරවීමට ඔවුන් සමත් වී ඇත. එහි ප්රථිපලයක් ලෙස බිහිවන ඉංජිනේරුවන් ධනපතියන්ගේ හා දේශපාලනයේ රූකඩ වී ඇත, දොස්තරවරු ද එසේමය (මෙම ක්රමය තුල බටහිර වෛද්‍ය විද්‍යාවෙන් බිහි වන දොස්තරවරුන් ගේ දැනුම එක පැත්තකින් ෆාමසි බිස්නස් කාරයන්ගෙන්ද අනිත් පැත්තෙන් ඉංජිනේරුවන්ව රූකඩ නටෝන ධනපතියාගෙන්ද හිර වී ඇත - එහි ප්රථිපලයක් ලෙස බටහිර වෛද්‍ය විද්‍යාව ලෙඩ සුවකරන්නෙක් නොව ලෙඩ නඩත්තු කරන්නෙක් වී ඇත). කොහෙන් ගියත් වාසි වන්නේ කලින් ඒකී සෙට් එකටමය. ජීවිතයම බිස්නස් එකක් වී ඇත. සෑම තප්පරයක්ම ලාභය සෙවීමේ යාන්ත්රණයකට යටත් වී ඇත.

අප ජීවත් වන්නේ මාරම දියුණු ලෝකෙකය. මිනිසුන් සියල්ලම මේ පොළොව මත ජීවත් වීමට මුදල් ගෙවිය යුතුය. එතන ලාභයද අර කලින් කී සෙට් එකටමය. පොළොව අද වන විට මිනිසා සල්ලි වලට අරන් අවසන්ය. ලෝකයේ එක වර්ග අඩියක්වත් ෆ්රී නැත. සියල්ලම එක්කෝ මහා ශුද්ධ වූ ආණ්ඩුවට හෝ මොකෙක්ට හෝ අයිති වී ඇත. එසේ මුදල් ගෙවීමට අපොහොසත් වන්නා පාරට වැටේ (එතනින් නොනැවතී ඔවුන්ට පාරේ හිගා කෑමට සිදු වේ සහ අවසානයේ හිරේ ලගින්නට හෝ පාරේ බල්ලෙක් වගේ මැරෙන්නට සිදු වේ). අපට අවශ්‍ය කෑම ලබා ගැනීමට මුදල් අවශ්‍යය. විවිධාකාර වූ එක එක රහ ඇති අමුතුම වර්ගයේ කෑම බීම සුපර් මාකට් වල සහ හෝටල් වල ඇති අතර මුදල් නැත්නම් ඒවා දෙස බලා බඩගින්නේ මැරෙන්නට සිදු වේ. මේ මොහොතෙත් ඒ දේ යම් කිසි තැනකදී සිදු වෙමින් පවතී. කොහොම හරි මුදල් දී කෑම ලබා ගත්තා කියමුකෝ, ඒ කෑම වල භාගෙට භාගයක් අඩංගු වන්නේ අපේ ශරීරයට, මනසට හානි කරන කෙමිකල්ස් සහ තවත් අපේම මාර දියුණු විද්‍යාවෙන් හදා ගත් සංකීර්ණ අකාබනිකයන්ය. කෑම නිශ්පාදනකරුවන් ඒවා කෑම වලට දාන්නේ කසනවාට නොව වැඩි නිශ්පාදනයක් අඩු නිශ්පාදන වියදමකින් සකසා වැඩි ආදායමක් ලබා අනර්ඝ ශුද්ධ ලාභයක් ලාච්චුවට දා ගැනීමටය. ඒ තියරිය තුළ මෙම ලාභදායී නිශ්පාදන වලින් පරිසරයට වෙන හානිය, මිනිසාට වෙන හානිය සහ අනාගත පරපුරට වෙන හානිය ඇතුලු කිසිම මගුලක් අදාළ නැත. ලාභය පමණක් අදාළ වේ. එකී කෑම බීම තමාගෙම නිවසේ හෝ ගෙවත්තේ නිශ්පාදනය කර ගැනීමට නොහැක්කේදැයි කවුරුන් හෝ කියන්නේනම් ඒක නිකංම නිකං බොල් තර්කයක් බවට පත් වන්නේ එසේ කිරීමටද නිවසක් හෝ භූමියක් අවශ්‍ය හෙයිනි. අනුන්ගේ වත්තක කරපිංචා පැළයක් හෝ හිටවන එකාව හිරේ දැමීමට තරම් නීතිය මාරය. අද වන විට මිනිසාට ජීවත් වීමට අත්‍යවශය මූලික භෞතික කාරණා වන ආහාර, නිවහන, වතුර යනාදිය ද ආධ්‍යාත්මික කාරණා වන ආදරය, රැකවරණය, සතුට යනාදී දේවල් එච්චරම වැදගත් නැත. ඊට වඩා වැදගත් යැයි අපේ ඔලුවට දැමූ කාරණා කෝටියක් අපට ඇත. අප හා ඇති දේවල් / කාරණා වලින් 80%කට වඩා ප්රතිශතයක් අපට අනවශ්‍ය දේවල්ය. ඇත්තටම හිතුවොත් අපිට කොහෙත්ම උවමනා නැත. අප මාර සුවිසල් නිදහස් අතිශය තරගකාරී මාර්කට් එකක් තුළ ජීවත් වන අතර ඒ මාර්කට් එකේ වෙළෙන්දුන්ගේ තරගකාරීත්වය වැඩි කරගැනීමට එකම අයිටම් එකේ විවිධාකාර වූ ජාතී ගොඩාක් විකිණීමට ඇත. ඒ මාර්කට් එක ඇතුලේ අප මිනිසුන් පිස්සන් නොවුනොත් පුදුමය.

උඹට පිස්සු වගේ ඇති නේද පිටසක්වලයෝ... කමක් නෑ ඉතුරු ටිකත් අහගනින්කෝ!

මේ හැම රෙද්දකටම මුදල් අවශ්‍ය වී ඇත. ආහාර, වතුර, නිවහන, විවාහය, ලිංගිකත්වය, ආගම, කලාව සහ කොටින්ම කිව්වොත් අද වන විට දියුණු යැයි කී රටවල් හුස්ම ගැනීමට සුදුසු ඔක්සිජන් ද විකිණීමට එකී මාර්කට් එකේ තබා ඇත (මොකද ඇත්තම කිව්වොත් සමස්තයක් ලෙස ගත් කල ලෝකය පුරා කර්මාන්තශාලා ඇතුලු මිනිස් ක්රියාකාරකම් වලින් නිශ්පාදනය වන කාබන්ඩයොක්සයිඩ් ඇතුලු ජරහන්ත වායු මිශ්රණ උරා ගෙන මුලු ස්වභාවදහමම තුලනය කිරීමට අවශ්‍ය ඔක්සිජන් සැපයීමට ප්රමාණවත් ගස් කොලන් අපට නොමැත, මෙහි ප්රතිපලයක් ලෙස ලොව පුරා දරුණු කාලගුණ විපර්යාසයක් (Climate Change) ඇති වී හමාරය ). එකී මුදල් සොයා ගැනීමට මිනිසාට සරලවම ඇත්තේ විධි 3කි. එකක් අර කලින් කිව්ව මාර්කට් එකේ තරග කරන ලාභය හොයන වෙලෙන්දෙක් වීමයි, අනික ඒ වෙලෙන්දා යටතේ පඩියට වැඩ කරන සේවකයෙක් / වහලෙක් වීමයි, අනික ඔය දෙගොල්ලන්ගෙන්ම යැපෙන ආණ්ඩුව හෝ NGO වැනි බොඩි එකකට හේත්තු වීමයි. ඔය විධි තුනෙන්ම අවසානයේ මිනිසාට කරදරයක්, හිසරදයක් මිස සතුටක් අත් වන්නේ නැත. අද මිනිසා මුදල් ඉපයීමට ජීවත් වේ, කරන්නන් වාලේ හුදෙක් ක්රියාපටිපාටින් සිදු කරමින් සිටියි. අද වන විට ධනවාදයේ හදවත මෙන් සළකන ඇමෙරිකාවේ ජනගහනයෙන් 90%කට වඩා වැඩි පිරිසක් තමා මුදල් උපයන ආකාරය සහ ගත කරන ජීවන රටාව ගැන කොහෙත්ම තෘප්තිමත් නැත. මෙය අනෙකුත් ඒ මාර්ගයේම ගමන් කරන ඕස්ටේලියාව, කැනඩාව, ජර්මනිය, ප්රංශය වැනි රටවල් වලත් එසේමය. 911 හදිසි ඇමතුම් අංශයට ලැබෙන දුරකථන ඇමතුම් වලින් බහුතරයක් සිය දිවි නසා ගැනීම් සහ එයට තැත් කිරීම්ය. මේ ක්රියාපටිපාටින් වල අපට උරුම වන අන්තිම ප්රතිපල ලෙස පිළිකා වැනි තාමත් හරි ප්රතිකාරයක් ඉදිරිපත් නොවෙන (ෆාමසි කාරයන් නඩත්තු කරවන) රෝග, ෂුගර් ප්රෙශර් වැනි ප්රසිද්ධ සාමාන්‍ය රෝග, මානසික අවපීඩන (Depression), මානසික අසහනය, සාංකාව, පවුල් ප්රශ්ණ, දික්කසාද, සිය දිවි නසා ගැනීම් වැනි දේවල් දැක්විය හැක. මිනිසා ඇත්තටම ඉන්නේ තේරුමක් නැති ජයග්රහනයක් නැති රේස් එකකය. මේ හයිස්පීඩ් රේස් එකේ අනෙකා දිහා බැලීමටවත් වෙලාවක් තැත, නැවතුනොත් පෑගී මැරෙනු ඇත, ආදරය යනු කුමක්දැයි කාටවත් හරියට පැහැදිලි නැත නමුත් ආදරය රුපියල් 50යේ ඉදන් ලක්ෂ ගණන් යනකං පේමන්ට් එකේ ඉදන් ෂොපින් මෝල් වෙනකම්ම විකුණන්නට දමා ඇත.

ඇත්තටම මේ අජූත තත්වය උඹල වගේ පිටසක්වලයෝ මෙහෙට ඇවිල්ලවත් වෙන විදේශ කුමන්ත්රණයකින්වත් ඇති වූවක් නොව අප මිනිසුන් විසින්ම සාදා ගත්තකි. ඉහත කී සියල්ලෙන් මා වහෙන් හොරා හෙළා දකින්නේ දැනට පවතින ධනවාදී ක්රමය නේද යනුවෙන් උඹ හිතුවොත් උඹ වැරදි නැත. හැබැයි ඒක හරියටම හරි නැත. ධනවාදී ක්රමය මුලුමනින්ම ප්රතික්ෂේප කිරීමට ද අපට නොහැක. මට හිතෙන විදියට ධනවාදය මුලු ලෝකයෙන්ම අතු ගා දමා අලුත් ක්රමයක් හැදුවත් මිනිසා නැවතත් කැරකී දවසක ආයෙමත් ඒ ධනවාදයේ තියෙන සතුට, ආතල් එක, සොමිය හොයාගෙන එනු ඇත. මාක්ස් කියන විදියට කොමියුනිස්ට් සමාජයක් ඇති වෙන්නනං අනිවාර්යෙන්ම ධනවාදී සමාජය හිනි පෙත්තට ගොස් විනාස විය යුතුය (?). එහෙනං ඒකේ අනිත් තේරුම, ධනවාදය පුපුරා කොමියුනිස්ට් වාදය ඇති වූවත් කවදාහරි ආයෙත් ඕකෙ අනිත් පැත්ත වෙනව කියන එක නේද? මොකද මිනිසා කියන අවයවයේ පවතින ව්‍යුහයට හොදටම තකට තක සෙට් වෙන්නේ (වැරදි වුනත් හරි වුනත්) ධනවාදී ෆ්රී මාකට් එකමයි කියල මට හිතෙනව.
 
ධනවාදී ක්රමය ලොව පුරා මෙලෙස සීඝ්රයෙන් ව්‍යාප්ත වීම සහ මිනිසුන් හරි කැමැත්තෙන් වැලද ගැනීමම එය ව්‍යුත්පන්න කරන්නේයැයි මට හිතේ. අපේ හිතේ අභිලාෂ, සිතුම් පැතුම්, ආස දේවල් වලට මෙම ක්රමය තුළ එකෙන්ම උල්පන්දම් දෙනු ඇත, ඒවා අවුස්සනු ඇත. ඒ සාධකයම ධනවාදය තවදුරටත් වර්ධනය කරනු ඇත. ඒක නිකං සයනයිඩ් දාපු බොම්බයිමොටයි ලස්සනට පාට කර හැඩ වැඩ දමා පොඩි ළමෙක්ට කන්න දෙනවා හා සමානය. 

අපේ ශිෂ්ඨාචාර වල ඉතිහාසය බැලුවත් භාණ්ඩ හුවමාරුවෙන් පසු මුලින්ම මුදල් හුවමාරුවෙන් වර්ධනය වූ පළවෙනි ආර්ථික ක්රමය ලෙස ධනවාදී ආර්ථික ක්රමය (Capitalism) හැදින්විය හැක. පසු කාලීනව එහි ඇති අවුල් තැන් සහ තුච්ච අසාධරණත්වයන් නැති කර ගැනීමට විකල්ප ක්රම ලෙස කොමියුනිස්ට්වාදය, සමාජවාදය යනාදී වාමාංශික ක්රම බිහි විය. නමුත් මෙම ක්රම මෙතෙක් වෙනකම් ලොව පුරා සාර්ථක වූවාක් දකින්නට නැත. එයට විවිධාකාර වූ හේතු ඉදිරිපත් කල හැක. මෙතෙක් ලෝකයේ කවදාවත් ශුද්ධ කොමියුනිස්ට් සමාජයක් බිහි වෙලා නෑ (හරියටම). රුසියාවේ, කියුබාවේ වගේ රටවල් වල බිහි වුනානං බිහි වුනේ ඒ සමාජය කරා යන්න පුලුවන් වාමාංශික පාරක් විතරයි. ගෙයක් හදලා ගේ ඇතුලට වෙලා ආතල් එකේ ඉන්න අවස්ථාවයි ගෙදර සැලසුම් කරල ඒ ගේ හදන අවස්ථාවයි සහමුලින්ම වෙනස්. කොහොම හරි මට හිතෙන විදියට අපේ මේ ගොබ්බ ඇටිටියුඩ්ස් වලින් අපිට ශුද්ධ වූ (යුටෝපියන්) කොමියුනිස්ට් සමාජයක් ඇති කරගන්න බෑ. මාක්ස් ඒක ඇනලයිස් කරගන්න යොදා ගත්ත භෞතික වාදය (අදේවවාදය) නිසා කොමියුනිස්ට් සමාජය සාර්ථකව පවත්වා ගන්න බැරි වෙයි කියල මට හිතෙනව. කොමියුනිස්ට් වෙන්න කලින් පුද්ගලයන් විදියට සමාජයක් විදියට අපි ස්පිරිචුවලි ගොඩාක් වෙනස් වෙන්න (දියුණු වෙන්න) වෙනව. නැත්තං ඉබේටම ආයෙත් ක්‍ර​මය ධනවාදයකට පෙරලීම නවත්තන්න බැරි වෙනව. මේ මිනිස් හැසිරීම් තුල, මිනිසාගේ ලිබරල් අයිතිවාසිකම් උල්ලංඝණය වීම, නිදහස සීමා කිරීම, කලින් කිවූ රේස් එකක් නැති වීමෙන් කිසිම විවිධත්වයක් හා නිර්මාණශීලිත්වයක් නැති බොල් කැත පරිසරයක් ඇතිවීම වැනි හේතු කාරණා නිසා ශුද්ධ වාමාංශිකය මේ ලෝකයේ නොකැඩී පැවතීම අසීරු දෙයක් වූවා යැයි මට හිතෙනව. අද වන විට ලෝකයේ රටවල් වලින් හරිම අඩු පිරිසක් (චීනය, වියට්නාමය, උතුරු කොරියාව සහ සමහර පෙරදිග යුරෝපීය රටවල් ) වාමාංශිකයට බර ආර්ථික ක්රමයක් අනුගමනය කරමින් සිටියි. එ යනු ඒ කිසිම රටක් ශුද්ධ කොමියුනිස්ට්වාදයවත් ශුද්ධ සමාජවාදයවත් (Pure communism or Pure socialism) අනුගමනය නොකරයි. ඇත්තටම ප්රායෝගිකව එසේ කිරීමටද නොහැක. වර්තමානයේ සියලුම රටවල් පාහේ කිසිම ආර්ථික හෝ සමාජීය ක්රමයක් ශුද්ධ ලෙස ව්‍යවහාර කරන්නේ නැත. ඒ ඒ රටට අදාළ විදියට එය සකසා ඇත. එහි කිසිම අවුලක් නැත. අවුල ඇත්තේ අද වන විට මේ රටවල් වලට තනි තනිව පැවතීමට නොහැකි වීමයි. මිනිසාම දේශ සීමා වෙන් කරද එසේ සහමුලින්ම වෙන් වී සිටීම ප්රායෝගිකව කල නොහැක්කක් වී ඇත. මේ ප්රශ්ණය උඩ සියලුම රටවල් අච්චාරු ආර්ථික ක්රම (හයිබ්රිඩ්) අනුගමනය කරමින් සිටියි. ඒකෙන් වන්නේ කෙල වීමක් විනා ගොඩ ඒමක් නොවේ. මගේ පුද්ගලික අදහස නම් ලෝකයක් ලෙස ගත් කල එකම එක ක්රමයක් නැතහොත් ව්‍යවස්ථාවක් (Constitution) පැවතිය යුතුය. එකී ව්‍යවස්ථාව "ස්පිරිවුවල්" (අරාජික - ආණ්ඩු නොමැති, පවුල් නොමැති, දේපල අයිතියක් නැති) කොමියුනිස්ට්වාදී එකක් නම් එවිට යම් තාක් දුරට හෝ මිනිසාට ශුද්ධ සතුටක් ලගා වනු ඇතැයි මට උපකල්පනය කිරීමට පුලුවන. නමුත් එයද ෂුවර් නැත මොකද අපි බුද්ධිමත් සංකීර්ණ සයිකොලොජිකල් අවයවයක් වන "මිනිසා" නිසාවෙනි. මේ කොමියුනිස්ට්වාදී සමාජයක් ගැන කියවන්නට අද වන විට හැමතැනම දකින්නට ඇත්තේ පවතින ධනවාදය ට විරුද්ධව කෑ ගහන, කාටවත් තේරෙන් නැති ලොකු හර බර වමේ ටෝක්ස් දෙන, ඒ ක්‍ර​මයෙන්ම ෂේප් එකේ යැපෙන, ධනවාදී පවුල් සංස්ථාව ෂේප් එකේ හොදටම රන් කරන් යන, රැවුල් වවා ගත්ත, කිලුටු ෂර්ට් අදින, මාක්ස්ගෙ පරණ වෙච්ච මකුණු දැල් බැදිච්ච දාස් කැපිටල් එක බයිබලයක් කර ගත්ත, පරණ අරගලයම එහෙම්මම කරගෙන යන බේබදු වාමාංශිකයන් ටිකක් පමණයි.   
          
ඉතිං පිටසක්වලයෝ.... ඔන්න ඕකයි තත්වෙ!
 
මට මේ ලොව තව දුරටත් රැදී සිටීමට ඇති එකම හේතුව ආදරයයි. නමුත් ආදරය යනු කිසිදා නැති නොවන්නාක් හෙයින් මම උඹ හා මෙහෙන් නික්ම ගියද මගේ ආදරය කිසිදා මෙහෙන් නික්ම නොයනු ඇත. එය මුලු විශ්වය පුරාම පවතිනු ඇත. අද වන විට මගේ ආදරණීයන් හති දදා මේ රේස් එකේ දුවයි. විටෙක නතර වී අඩයි, කිසියම් අහිංසක බලාපොරොත්තුවක් හිතට දමාගෙන නැවතත් දුවයි. අද අපි උපාධිධාරීන් වී ටයි බයි දාගෙන වැදගත්, පොෂ් විදියට වහල් සේවයේ නිරත වේ. ඔෆිස් යයි, පඩි ගනියි, අර කිවූ මාර්කට් එකෙන් මෙලෝ අර්ථයක් නැති බඩු ගනියි, ආයෙත් ඔෆිස් යයිආයෙත් ආයෙත් ඔෆිස් යයි, සොච්චමක් බැංකුවට දමයි, ඒ බැංකුවෙන් ම ණය ගනී, වාහන ගනියි, පොලි ගෙවයි කොටින්ම රොබෝවරු මෙන් කිසියම් අච්චුවක ක්රියාපටිපාටීන් ඉෂ්ඨ කරමින් සිටියි. අන්තිමට ලෙඩ කන්දරාවක් සමග දුකක්, සාංකාවක් සහ දැඩි තනිකමක් පමණක් ඉතිරි වේ.
 
පිටසක්වලයෝ, උඹට පුලුවන්නම් මෙහෙට වරෙන්. මෙහෙ කිසිවෙකු මේවා තේරුම් ගන්නේ ද නැත. හොයාබලන්නේද නැත. මේවා ගැන කථා කරපු උන් අද එක්කෝ පොළොව යට නැත්නම් මානසික රෝහල් වලය. මෙහෙ උන්ට තේරුම් ගත නොහැකි යමක් කෙනෙකු කියන විට ඔහුට හෝ ඇයට නිකංම පිස්සෙක් හෝ මානසික රෝගියෙක් කියා ලේබල් වැදීම අතිශය සාමාන්‍ය දෙයකි. මෙහෙ වැඩියෙන්ම දුක් විදින්නේ මා ඉහත කිවූ දේවල් තේරුම් අරගෙන මෙතනම ජීවත් වීමට සිදුවන ඒ අතලොස්සයි. උඹ මෙහෙ ඇවිත් අඩුම ගානේ මම මේ කියන දේවල් අහගෙන හරි හිටපං. මම තවමත් විශ්වාස කරන විදියට ආදරයෙන් ගොඩාක් ප්රශ්ණ විසදිය හැක. මොකද මිනිසුන් යනු ආදරය කිරීමට උපන් පිරිසකි. අද සිදු වී ඇත්තේ මිනිසුන් මිනිසුන්ට ආදරය නොකර භෙෘතික දේවල් ගොන්නකට ආදරය කිරීමයි. 
අනේ පිටසක්වලයෝ,


උඹවත් මා හා එකතු වෙයන්

හදන්නට සුන්දර ලෝකයක්

ආදරෙන් පිරුණු.....

- අර්ජුමාන්
 




  

No comments:

Post a Comment