මුදලාලි... ලයිටරේ පොඩ්ඩක්...
බල්ලො මරලා හරි සල්ලි හොයන්න වෙනවා බං මේකත් එක්ක හැප්පෙන්නනං.ඉතිං උඹට තිබ්බනේ ඒ ලෙවල් ඉවර වුන ගමන් බිස්නස් එකක් පටන් ගන්න. එහෙම පොඩියට පටන් ගත්තනං අද වෙද්දි උඹ සුපිරි තැනක නෙ. එක්කො තිබ්බෙ සුපිරි රටකට පැනගන්න. බලපං රට ඉන්න උන් හම්බ කරන හම්බ කිරිල්ල. උන් අද ඔය ආණ්ඩුත් මට්ටු කරන්නෙ. කොහෙද ඉතිං උඹට කැම්පස් යන්න ඕන වුනානෙ - ලබ්බෙ විද්‍යාවක් ඉගෙන ගන්න.
සිරාවට දැන් හිතෙනවා බං අපරාදේ අවුරුදු ගාණක් නාස්ති කරගත්තෙ කියලා. කැම්පස් ගිය දවසෙ ඉඳන් ඉගෙනගන්නවට වඩා වුනේ කඩේ යන්න වුන එකනෙ. මට කඩේ යන්න තේරෙන් නෑ බං. ෆස්ට් ක්ලාස් ගත්තත් අද ජොබ් එකක් නැතුව මං ගෙදර. අපෙ අයියා බලපං. ඌ පොතක් අතින් ඇල්ලුවෙ නෑ. විභාග ඔක්කොම ෆේල්. ඉගෙන ගන්න උගේ කිසිම උනන්දුවක් නෑ. ඉස්කෝලෙ ඉවර වුන ගමන් අපේ තාත්තාගේ කන්ටෑක් එකකින් පොරට සෙට් වුනා බැංකුවෙ රස්සාව. අපේ මහ ගෙදරත් ඌටනෙ. ඔක්කොම ඌට. ඌට හම්බුන් නැතත් ඌ උදුරුලා ගන්න එකානෙ. ඔය ඉන්නෙ සැපට. දන්න ගණිතයක් විද්‍යාවක් නෑ - ඕනෙත් නෑ අදාලත් නෑ. පල්ලියේ ෆාදර්ගෙ අහවල් එක හෝද හෝද ඉන්නවා. ඒත් බලපං අද වෙද්දි.... අම්මා තාත්තා ඉඳන් උගේ සල්ලි බලේටයි වාහනේටයි සරෙන්ඩර් නෙ.
වැඳපන් සල්ලි දෙයියන්ට. උඹ වඳින දෙයියන්ට ට්‍රැක්. ලෝකෙට ආදරය කරුණාව සහෝදරත්වය බෙදන්න යනවානෙ උඹ පල්ලි ගිහිල්ලා. පිස්සු නේ. ඒවා පල්ලියෙ නෑ බං. ඒවා නැති වෙලා ගොඩක් කල්. මැස්සා වහන්නෙ කුණු ගොඩට. බෝම්බ උස්සගෙන අල්තාරෙ ඉස්සරාට එනකං නල්ල මලේ භක්තිකයන්ටයි අල්තාරේ උඩ ඉන්න ලෝගුකාරයන්ටයි මෙලෝ ඉවක් නෑ - හැඟීමක් දැනීමක් නෑ. කොටින්ම ගහලා යනකං දන්නෑ. කුහකකං, ඊරිසියාව පුරෝගෙන පල්ලිය ඇතුලෙ සෙප්පඩ විජ්ජා දාන උන්ට මොන ඉවද බං. ඔය මල දානේ නවත්තපං. සල්ලි හම්බෙන ආගමකට පලයං. උඹ ගොඩ.
පුච්චනවා මේ උපාධි. අපරාදේ මේ රිසර්ච් එක පට්ට සීරියස් ගත්තනෙ බං මං. පුදුම කාලයක් නාස්ති කරගත්තෙ තීසීස් එකට. ෆස්ට් ක්ලාස් ගත්තා - ඔව්. ඒත් එක කොම්පැණියක් නෑ කියහං ඉගෙන ගත්ත දේට ගැලපෙන ජොබ් එකක් කරන්න. එක එක කුණු පෙරේතයන්ට පක්කිලි වැඩ කරන්නද බං මෙච්චර මහන්සි වුනේ. සල්ලි හම්බෙනවා කියලා කාර් දෙනවා කියලා යට ඇඳුම් හෝදන්න බෑනෙ බං. මේ ළඟදි සෙට් වුනා ජර්මන් ප්‍රොෆෙසර් කෙනෙක් - ඌ කියන්නෙ එහෙ ඇවිල්ලා ඌත් එක්ක සෙට් වෙලා උන්ගෙ රටට ගැලපෙන විදියට ආයේ කරන්නලු රිසර්ච් එක. තේරුමක් නෑනෙ බං. උන් බලන්නෙ අපිව සූරලා උන්ගෙ රටට වැඩක් කරගන්න. අපේ රටේ කුහක හැත්ත අනුන්ගේ හාල් කිර කිර ඉන්නවා මිසක් මෙහෙ උගත් කියපු උන් කවද්ද බං අලුත් දෙයක් කරේ. හැදුවත් හදන්නේ දර වලින් දුවන ලොරි නෙ. මාර නව නිර්මාණ. දර ෆුල් ලෝඩ් එකක් ගහන්න ඕනා ලොරිය දුවන්න - හදපු එකාට වැඩකුත් නෑ - රටට ලෝකෙට වැඩකුත් නෑ.
අලුතින් හිතන්න පුලුවන්ද බං මෙහෙ උගත්තුන්ට. කරත්ත දක්ක දක්ක ඉන්නවා මිසක්. බලපං අපේ ඉස්කෝලෙ. කීයෙන් කීයද කැම්පස් ගියේ කියහං. කීයෙන් කීයද කියපං ෆාදර්ලා හෝස්ටල් එකේ කරන දේවල් දැක දැක කටක් ඇරියෙ. එකෙක් නෑ. ගුටි කකා උන්ටම වඳින වහල්ලු තමා බහුතරය. එතනින් නිදහස් වෙලා අහසට ඉගිල්ලෙන්න එකෙක්ට හයියක් තිබ්බද කියපං. අදටත් මුන් - වයසට ගිහිල්ලත් - සුපිරියි කියන රටවල් වල පදිංචි වෙලත් - තාම ඉස්කෝලෙ කරේ තියං ඉන්න තරමට කොච්චර වහල් ද බලපං - කොච්චර වහල්ද. ජාතිවාදි හැතිකරේ හැදෙන් නෑ මකලවත් හදන්න බෑ - ඒ තරමට මේක අරටුවෙ ඉඳන් යටත් විජිතයක්.
“ආදරේ ආදරේ... අද අදිනවා ආදරේ..... මහත්තයා ගන්නවද... අද ආදරේ කෝටි පහයි. බඩු ශුවර්. ගන්න මහත්තයා - වරම ඔබ අතේ. ගත්තෙ නැත්තං වෙන කෙනෙක් ගනියි... උදේ නැගිටිද්දි රෑ නිදාගද්දි ළඟ තියාගන්න පුලුවන්... පාර්ටි එකකට මල ගේකට කැත නැතිව අරන් යන්න පුලුවන්... ආදරේ අද අදිනවා.... ෆාදර්ලා හාමුදුරුවො පොලීසිය හමුදාව ඕන එකෙක් පදිරි... ගන්න මහත්තයා කෝටි පහයි... අද අදිනවා”
උඹ තියරි කියෝ කියෝ හිටපං. අද බලපං පාර්ලිමේන්තුව. උන් තියරි කියෝ කියෝ හිටියනං අදටත් භීෂණේ. ඔය ඉන්නෙ සැපට. තියරි වලලලා දාලා හොයපං සැප. අයියා වගේ වෙයං. ප්‍රැක්ටිකල් වෙයං. තියරි වැඩක් නෑ. ගහපං ගේමක් ආයේ ලොවෙත් නැති වෙලා යන්න. ඉතුරු ටික භාර දීපං සර්ව බලධාරී දෙයියන්ට එච්චරයි. පුච්චලා දාපාං ඔය පොත් මල දාන ඔක්කොම ටික. රිසර්ච් අරවා මේවා මොනාටද බං. අනේ මන්දා මටනං තේරෙන්නෑ. ෆේස්බුක් තියෙනවා යූටියුබ් තියෙනවා චැට්ජීපීටි තියෙනවා - ඇති නෙ. ෆෝන් එක තියෙනවා - ඩයලොග් මොබිටෙල් ස්ටාර්ලින්ක් තියෙනවා - ඇති නෙ. හොදටම ඇති. ගහපං ගේමක්. මැච් එකක් ගහලා දිනපං එච්චරයි. උඹ පරද්දපං අයියව. ගනින් සුපිරි අපාර්ට්මන්ට් එකයි කැබ් එකයි. බලපංකො නැට්ට වනන වැනිල්ල ඕකුන්.
ඇත්ත. ජාතික ගීය ලියපු එකත් දිවි නසාගත්ත රටේ මොන රිසර්ච් ද බං. උඹ එක්ක කියෙව්වට මං මේවා එච්චර කියවන්න යන්නෑ. මේ ළඟදි අපිත් එක්ක කැම්පස් එකෙ හිටපු එකෙක් පාර්ලිමේන්තු ගියා නේ - මූ කියනවා මට අසනීපයක්ලු. ඉතිං කියවන්න යන් නෑ බං - ගොනා සහ තණකොළ සේ ඉන්නවා මිසක්. මේ එකට ඉන්න උන් ශුවර් නෑ - විවේචනයක් ගෙනාපු ගමන් පිස්සු කියලා අල්ලලා බෙහෙත් දෙන්න යනවා. තව ඇත්ත කථා කරොත් අල්ලලා හිර කරනවා ඉස්පිරිතාලේ. බෝතල් පත්තරකාරයෙක්ට වික්කත් තීසිස් එකයි ලියපු නෝට්ස් ටිකයි මහ ගාණක් හම්බෙන් නෑ. ඒක නිසා මං හිතුවා බාර් එක ළඟ කඩලකාරයට දීලා දාන්න. මොකෙක් හරි කියවයි නේ.
දීපං. කඩලකාරයා කඩල ඔත ඔත බාර් එකේ උන්ට බෙද බෙද දෙයි උඹේ සොයාගැනීම් ටික. ඔතන්ට එන කපටි වෙළෙන්දෙක් කවදාහරි උඹේ තීසිස් එකේ කෑලි බෑලි කියෝනවා. කියෝලා ඒකෙන් ඌට ගන්න ඕන දේ ඌ අරගෙන ඌ හදනවා තව ෆේස්බුක් එකක් චැට්ජීපිටි එකක්. එදාට උඹේ අයියා වගේ අසික්කිතයෙක් ඒ වගේ නරියෙක්ට කඹුරන්න පටන් ගන්නවා. රාජකාරිය දේවකාරිය කරගෙන ඒ වගේ උද්දච්ඡ අයියෙක් උඹ වගේ කරබාගෙන ඉන්න මල්ලි කෙනෙක්ව තලන්න පටන් ගන්නවා. මේක ඉවර වෙන්නෑ පුතා. ඒක හින්දා එච්චර පැටලෙන්න එපා. භයානකයි. හිටපං මෝඩයා වගේ. මේ ඉන්නෙ මං. ගොනා වගේ හිටපං. විශේෂයෙන්ම ඔය උගත් කියා ගන්න උන්ගෙන් පරිස්සං වෙලා හිටපං. දිගටම ලියපං. එක එක විදියට ලියපං. ලියපං ලියපං මරනකං ලියපං. ලියනවා හැරෙන්න උඹට වෙන විකල්පයක් නෑ. ලියලා කියපං මේක නිකං කථාවක් නෙ - මේක නිකං සිංදුවක්නෙ කියලා - මේක නිකං පොතක් නෙ - කියලා. උඹට හුස්ම වැටෙනකං පිස්සෙක් නොවී ජීවත් වෙන්න පුලුවන් - ලියපං.
අදට ඇති.
යමං!
අර්ජුමාන්
11.12.2025
No comments:
Post a Comment