Wednesday, 7 September 2016

අම්ම ද? බඩුවක් ද? මරිය තුමියක් ද?


උඹ මොන වගේ කෙල්ලෙක්වද බදින්න හොයන්නේ දැන්?

හ්ම්ම්... මම නං කැමති මචං අහිංසක, හිමීට කථා කරන, හොදට උයන්න පුලුවන්, ගෙදරටම වෙලා විනීතව හැදුන, කා එක්කවත් කලින් යාලු වෙලා නැති, සුපිරිසිදු, ළමා සාරියක් අදින මරිය තුමිය වගේ ගෑණු ළමෙක්ට.

එතකොට උඹ දැන් හොරෙන් කරන එක? ඊයෙත් ගියේ රූම් එකට?

ඒ පිස්සුද මචං... ඒකීව බදින්න පුලුවන් ද? ඒකීට පුදුම විසයක් නෙ තියෙන්නේ.. තනිකර බඩුවක්. කොටටමයි අදින්න කැමති. අනික සිගරුත් බොනව. එක පාරක් ජොයින්ට් එකකුත් ගැහුව මාත් එක්ක. ටැටූ එකකුත් ගහල ඉන්නේ පිටේ. ඒක ඔහොම්මම කරන් ඉන්නව ඉතින්, ආතල් එකට දන්නැද්ද!

ඉහත සංවාදය හුදෙක් මනංකල්පිත මම හදපු එකක් වුවද මෙය අපිට නිතරම මුණගැහෙන ඉතා සාමාන්‍ය කථන්දරයකි. මට මේක පොඩ්ඩක් ඇතුලට කිමිදිල ආයෙත් හිතන්න හිතුනේ යමක් ගැන වැඩි දුර හිතීමේ දැවෙන පිස්සුව නිසා වෙන්න පුල්වන්. 

ඇත්තටම මේ සංවාදයේ අපිට හම්බෙන පළවෙනි උත්තරයෙන් එළියට එන්නේ අපි හංගන් ඉන්න ඒත් ඇත්තටම අපි අතර සැරටම ක්‍රියාත්මක වන කැතම කැත ගද ගහන පුරුෂාධිපත්වය කිව්වොත් හරි. අපේ පොදු සමාජයේ ගැහැණිය යනු තාමත් කුස්සියේ උයන පියන වැඩ කළ යුතු, වළං සේදිය යුතු, ගේ අස් පස් කළ යුතු, අනිවාර්යෙන් ළමයි හැදීය යුතු, ළමයින්ගේ පූර්ණ වගකීම භාර ගත යුතු, සමාජයට එක්ස්පෝස් වෙන් නැති, කොන් විය යුතු, පුරුෂයාට අවශ්‍ය සියල්ල මැනවින් සම්පාදනය කළ යුතු, දුර්වල වහල් සේවයේ නිරත වන්නෙකි. මෙය මෙච්චර දරුණුවට එළියට අපිට පේන්න නැතත් රෙද්දෙන් වහගෙන ඇතුලෙන් සිද්ද වෙන ඇත්තම ඇත්ත මෙයයි. ඇත්තටම මේ තත්වයට පුරුෂාධිපත්වය කියනවාට වඩා අර්ථානුකූල වචනයක් හොයා ගන්න වෙනව මොකද ගැහැණිය ද මේ තත්වය ඉහ මුදුනෙන්ම භාරගෙන, පිළිඅරගෙන අවසන්ය. එයා යටත් වීමට හෝ එකී රාජකාරී ටික මැනවින් ඉටු කිරීමට කුඩා කල සිටම අම්මා යටතේ පුහුණුව ලබයි. එකී ටිපිකල් රාජකාරී ටික ඉටු කරමින් එයා ගෙදරටම වී ළමයි එක්ක හැප්පීගෙන බැනුං අහගෙන අන්තිමට ලෙඩ වී අසරණ විදියට මැරෙන්නට හිත හදාගෙන අවසන්ය. ඒ රාජකාරීන් හරියට ඉටු කර ගැනීමට නොහැකි වන තැන ගිල්ටි වීම ද සාමාන්‍ය දෙයකි. ඕක හරිම සුලුතරයක දක්නට නැතත් අති බහුතරයක පොදු කතන්දරයයි.

කොල්ලෙක් යනු අපේ මේ ඉහත කී සමාජයේ ගෙදර අම්මාගෙන් වැඩි සැළකිලි ලබන්නෙකි. කටු නැති ලොකු මාලු කෑලි බත් පිගානට ලබා ගන්නෙකි. වැඩට ගොස් ගෙදරටම ආ විගසම උණු උණු කෑම පිගානක් අම්මා විසින්ම අත් දෙකට ලබා ගන්නෙකි. ඒ දේවල් වලට අම්මල වාචිකව විරුද්ධයි කියා පෙන්නුවත් එය එසේ විය යුතු යැයි යන මිත්‍යාව ඔවුන්ම ඔවුන්ගේ ඔලුවට දමාගෙන අවසන්ය. කොල්ලා යනු විවාහයේදී දෑවැද්දක් ලබන්නෙකි. පිරිමියා විසින්ම ඔලුවට දාගෙන ඇත්තේ නැතහොත් ඔලුවට දමා ඇත්තේ ඔවුන්ව ගැහැණිය විසින් රැක බලා ගත යුතු බවයි නැතහොත් ගැහැණිය ඔවුන්ට සේවය කල යුතු බවයි. ඇත්තටම මේ තත්වයෙන් එළියට එන අපේ කාලයේ කොල්ලෙක් තමාගේ අනාගත බිරිද විදියට හොයන්නේ සමාජය විසින් ම පොඩි කාලේ ඉදන්ම එයාගේ ඔලුවට දාපු අර ළමා සාරි අදින, උයන්න පුලුවන්, අහිංසක, මදර් මේරී රෝල් මොඩ්ල් එකමයි. ඒක ඉතිං කොල්ලගේ පැත්තෙන් බැලුවොත් සාධාරණයි, මොකද පොඩි කාලේ ඉදන් ම ගෙදරින්, ටීවි එකේ නාට්‍ය වලින් හැමදෙයින්ම ඔලුවට වැටෙන්නේ ඒකට සමපාත වන අදහස් නේ. අගලක්වත් රාමුවෙන් එළියට පැනල හිතන්න බැරි උන් ඉතිං ඒ ළමා සාරියම හොය හොය ඉන්නවා.

අපිට ඇත්තටම මේ ලෝකේ ආදරය කියන දේ මුලින්ම දැනෙන්න පටන් ගන්නේ අම්මාගෙන්. පස්සේ අපි දැනගන්නව අම්ම කියන්නේ ගැහැණියක් කියල. මුලින්ම අපි ආදරයෙන් අම්ම එකක් වෙලෙද්දී අපිට කිසිම දෙයක් අදාළ නෑ, දන්නෙත් නෑ. එතන තියෙන්නේ අමුම අමු ආදරය කියන ශක්තිය කිව්වොත් හරි. ඉතිං අපි නැවතත් මුහුපුරා ගියාට පසු ස්වභාවයෙන්ම තවත් ගැහැණියකට බැදෙද්දී අපේ හිත අපිවම රවට්ටන්න ගන්නව මේ අපි බැදෙන ආදරය අම්මගේ ආදරය (නැත්තං සෙනෙහස කියමුකො) විය යුතුයි නේද කියල. ඒක සාධාරණයි මොකද අපේ හිත හැමවෙලේම අලුත් ෆීලින් එකක් ටච් කරපු ගමන් පරණ දේවල් නැත්නං, පරණ හැගීම් ආවර්ජනය කරනවා. සුවදක් නහයට වැටුන ගමන්ම මුලින්ම ඒ සුවද අපිට දැනුන තැනට හිත යනව, මතක් වෙනව. ඒ වගේම තමා මේ කථන්දරෙත්. ඒත් අපි තේරුම් ගන්න ඕන දේ තමා මේ දැනුන ෆීලින් එක අම්මගෙන් ලැබුණ ෆීලින් එකට සමහර තැන් වලදී සමාන වුනාට ගොඩාක් තැන් වලදී අසමාන බවයි. සරලව කිව්වොත් අම්මාව කෙල්ලට සමාන කරන්න බෑ. කෙල්ලවත් අම්මට සමාන කරන්න බෑ. හැබැයි මේ දෙන්නම අතර ගැවසෙන මොකක්දෝ මන්ද පොදු සාධකයක් තියෙනව. ඒක තමා අපිව හැමවෙලේම අතරමං කරවන්නේ. හැබැයි ඒකම තමා අපි අල්ල ගන්නත් ඕන. අපිට වෙලා තියෙන අවුල, අපි අම්මගේ ඒ පොදු සාධකය ඇතුලුව තවත් අපිට සෙට් වෙන්නේ නැති හෝ සෙට් වෙන්න ඕනෙත් නැති සාධක ගොන්නක් අපේ කෙල්ලගෙන් හොයා ගන්න උත්සහ කිරීමයි.

පොඩ්ඩක් මාතෘකාවෙන් පිට පැන්නදෝ කියල හිතෙනව. කමක් නෑ ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්.

අර සංවාදයේ දෙවනි උත්තරයෙන් කියවන කෙල්ල කව්ද? බඩුවක් කියන, විසයක් ඇතැයි කියන, ටැටූ ගහං ඉන්න, හයියෙන් කථා කරන, සිගරට් බොන සහ හැමෝම ෆක් එකට උත්සහ කරන මෙයා ඇත්තටම මට නං හනමිටි කාරයන්ගෙන් හැදෙන පුරුෂාධිපත්වය කර පින්නා ගත් ගොබ්බ අයිඩියෝලොජි එකකට පයින් ගහන රැඩිකල් මනුස්සයෙකි. එහෙම පුද්ගලයෙක් සමාජ විරෝධී වීම අතිශය සුලභ කාරණයකි. හරියට යුදෙව් වරු ජේසුස් ට විරුද්ධ වුනා වගේ මේ වගේ කෙල්ලෙක් දිහා මහ කැත නැත්තං විරෝධී මානයකින් බැලීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. ඇත්තටම මේ රෝල් මොඩ්ල්ස් දෙක අපිට හදල තියෙන්නේ සමාජයෙන්මයි. අපිව හුරු කරල තියෙන්නේ දෙයක් ගැන විචක්ෂණව හිතන්න නොව ටක් ගාලා ජජ් කිරීමටය (පූර්ණ නිගමන වලට එළබීමටය). ඇත්තටම ඒක හරිම ලේසි වැඩකි. හිතීම අමාරු වැඩකි. ඒක මේ කාරණයේදීත් එලෙසින්ම ව්‍යුත්පන්න වේ. ඇත්තටම මම එකී සංවාදයේ ඒ උදාහරණ දෙක අරගෙන උත්සහ කරේ ටැටූ ගහගෙන ෆ්රී එකේ ඉන්න කෙල්ල හොදයි කියන්නවත් ළමා සාරි ඇදන් අහිංසකව ඉන්න කෙල්ල නරකයි කියන්නවත් නෙමෙයි, ඒ අපේ ඔලුවේ පැලපදියන් වෙලා තියෙන නිගමන වැරදියි කියන්නටයි. මම කැමතියි ඇත්තටම ළමා සාරියක් ඇදගෙන ටැටූ එකක් ගහල ඉන්න උයන්න පුලුවන් ඉදල හිටල ජොයින්ට් එකක් ගහන පන්සලට ගිහින් සිල් ගන්න කෙල්ලෙක්ව හම්බෙන්න. ඒ වගේ කෙල්ලෙක් අර වගේ හනමිටි අයිඩියෝලොජි එකකට කන පැලෙන්න ගහනව දැකීම මට නං මාරම ආතල්ය.  හැමවෙලේම අපි උත්සහ කල යුත්තේ යම්කිසි දෙයක් ගැන සමාජය අපිට කියන දෙයින් නොව අපේ හිතෙන්ම අපිට කියන දෙයින් නිගමනයකට එළඹීමයි. ඒක මාර වටිනවා. අපේ නිගමනය හරිම ඉන්ඩිපෙන්ඩන්ට් (නිදහස්) කියල දැනෙනව. එතකොට ඒ නිගමනය හරි වුනත් වැරදි වුනත් කිසිම අවුලක් නෑ, ඒක අපේම නිසා.  

එකී සංවාදයේ තරුණයා දෙන උත්තරේ තව පැත්තක් හිතුවොත් අපිට පේනව මේ ගැහැණියව චාටර් කරවන නැත්නං යටත් කරවන ව්‍යුහය කොච්චර අවුල් ද කියල. ඇත්තටම ගොඩාක් උන් අර කියන අහිංසක, ළමා සාරි අදින, මදර් මේරි මොඩ්ල් එක සමග විනීත, සම්මත සම්බන්ධයක් පවත්වා ගත්තද හිත ඇතුලෙන් ඉන්නේ හරිම අසතුටෙන්ය අසංතෘප්තවය. ඒකේ ප්‍ර​තිඵලයක් ලෙස තරුණයා අර කිව්ව තහනම් වුන සමාජ විරෝධීයි කියන රැඩිකල් කෙල්ල සමග සම්බන්දයක් ඇති කර ගනියි. ඒක දැනට සිදුවන අතිශය සාමාන්‍ය දෙයකි, එය කවරෙකු හෝ ප්‍ර​තික්ෂේප කලද හිතෙන් හරි රහසින් සිදුවන දෙයකි. ඇත්තටම මේ සම්බන්ධයට සමාජය විසින් අසම්මත යැයි ලේබල් එකක් ගැසීම නිසාම මේක හුදෙක් කැත හොර මගුලක් බවට පත්වේ, අවසානයේ අර කෙල්ල නිකංම නිකං ගොන් බඩුවක් වේ, අර කොල්ල පජාතයෙක් වේ, මේ සම්බන්ධය හුදෙක්ම බඩු ගැසීමක් පමණක් වේ. එකී කොල්ල ඇත්තටම මේ වැරදි යැයි සමාජය කියන නැත්තං අසම්මත වන කෙල්ලව හොයාගෙන යන්නේ ඇයි? එයා එක්ක සම්බන්දයක් ඇති කරගන්නේ ඇයි? මෙයින් කොල්ල බලාපොරොත්තු වන්නේ ඇත්තටම මොකක්ද?

මේක එක පැත්තකින් හිතුවොත් නිකං, දෙයක් සමාජය ඇතුලේ බෑන් වෙන්න වෙන්න (තහනම් වෙන්න වෙන්න) ඒකට අපේ හිත පෙළඹීම වැඩි වෙනව. ඒක අපිට නිකංම අපේ හෘද සාක්ෂියෙන්ම ඔප්පු වෙන කාරණයකි. බ්ලු ෆිල්ම්ස් වැරදියි කියන්න කියන්න  අපි ඒව හොරෙන් කාමරේට වෙලා බැලුවෙ නැද්ද? සෙක්ස් ගැන කවුරුත් අපිට කියල දෙන්නෙ නැති විට, ඉස්කෝලෙන් පාඩම මිස් කරන විට ඒ ගැන අපි වැඩි වැඩියෙන් උනන්දු වුනේ නැද්ද? කසිප්පු තහනම් වෙන්න වෙන්න කසිප්පු නිශ්පාදනය වැඩි වෙන්නෙ නැද්ද? කුඩු, කේජී, පෙති වගේ දැනට ලාංකාවේ තියෙන ප්‍ර​සිද්ධ street drugs වුනත් ඔච්චරමය. ඇත්තටම මේ කාරණය සම්බන්ධයෙන් දකුණු ඇමෙරිකානු පොඩි රටක් වන උරුගුවේ ලස්සන වැඩක් කලා. ඒගොල්ලෝ කැනබීස් (ගංජා) ඉස්සර තහනං කරල තිබ්බේ. මොකද උනේ, රටේම ඉන්න හොර මගඩි බිස්නස් කාරයෝ ගංජා බිස්නස් එක අල්ලගත්ත. කොල්ලෝ කුරුට්ටෝ ඔහේ ලාභ-හොයන්න ජරා කරපු (Spoiled) ගංජා පාවිච්චි කරන්න වුනා. වලි, මිනිමැරුම්, කප්පං ගැනීම් වැනි අපරාධ වැඩි වුනා. උරුගුවේ වල එවකට ජනාධිපතිව හිටියේ ජෝස් මුලීකා (Jose Mujika) නම් වූ පුද්ගලිකව මමත් ගොඩක් කැමති පුද්ගලයෙකි. එක දවසක් පොර කිව්ව හැමෝටම අදින් පස්සේ ගංජා වල තහනම නැති කරනව සහ ඒ බිස්නස් එක රජයට පවරා ගන්නව සහ කාටහරි ගංජා ඕන නං කිසිම අවුලක් නෑ කඩේකින් සල්ලි දීල සීනී බනිස් ගෙඩියක් ගන්නව වගේ ගන්න පුලුවන් කියල (යම් කිසි කොන්දේසි සහිතව). මේ ප්‍ර​කාශයෙන් පසුව ගංජා කියන දේ අතිශය සාමාන්‍ය දෙයක් වුනා. ටීනේජස්ල අනවශ්‍ය විදියට ගංජා කියන දේ ගැන හොයන්න ගියේ නෑ. අවශ්‍ය අය ගත්ත ඕනෙ නැති අය නිකං හිටිය. නෙදර්ලන්තය ඇතුලු පෙරදිග යුරෝපා රටවල් ද ඇමෙරිකාවේ සමහර ප්‍ර​න්ත ද මේ හා සමාන ප්‍ර​තිපත්ති අදටත් අනුගමනය කරන අතර එයින් රටට වෙච්ච වාසියක් මිස අවාසියක් නැත. කොටින්ම නෙදර්ලන්තයේ හිර ගෙවල් කීපයක් ද මේ ලගදී වසා තබා තිබෙන්නේ අපරාධකරුවන්ගේ හිගයක් පැවතීමෙන නිසාවෙනි.

ඉතිං අපේ කතාවට ආයෙත් හැරුනොත්, අර කලින් කිව්ව විදියට අපේ කොල්ල කියන එකා එලෙස එකී සමාජයෙන් බඩුවක් කියල හංවඩු ගැහෙන සමාජ විරෝධී කෙල්ලෙක් දිහාවට ඇදිල යන්නේ මම කලින් තහනම ගැන විස්තර කරපු හේතු නිසා වෙන්නත් පුලුවන්.  ඇත්තටම අපි බොක්කෙන්ම හොයන සමහර දේවල් (සෙක්ස් ද ඇතුලුව) එකී අහිංසක, මරිය තුමිය මොඩ්ල් එකේ , සමාජයම නිර්මාණය කරපු සම්මත ගෑණු ළමයාගේ නැති විට ඉබේටම අපේ හිත ඒව හොයාගෙන යන්න බලනව. ඒක තමයි ස්වභාවය, ඇත්ත.

විය යුත්තේ කුමක්ද? එකක් අපේ මේ තවත් කෙනෙක්ව ජජ් කිරීමේ කැත පුරුද්ද නවත්වා ගත යුතුය. පොතේ පිටකවරයෙන් කොහෙත්ම පොත ගැන අපට තේරුම් ගත නොහැක. අනික තමා ගැහැණිය සම්බන්දයෙන් අපි දරන මානය සහමුලින්ම කනපිට හැරිය යුතුව ඇත. ගැහැණිය යනු මනුස්සයෙකි. ඇත්තටම පිරිමියාට වඩා ගොඩක් විශේෂ දක්ශතා ඇති විශේෂ මනුස්සයෙක් කිව්වොත් හරි. පිරිමියා මෙලොවට පැමිණෙන්නේද ගැහැණියෙක්ගෙනි. ඇයට අමුතු තැනක් අමුතුවෙන් දීමට අවශ්‍ය නැත. ඇය පිරිමියා මෙන්ම මනුස්සයෙක් යැයි හිතුවොත් හොදටම ප්‍රමාණවත්ය.

මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික විසදුමක් ගැන ලියන්නටනං මේ ලිපිය තවදුරටත් දික් ගස්සන්න වෙන හෙයින් මෙතනින් ලිපිය නිම කරන්නට වෙනව. කමක් නෑ, මට ඕන වුන දේවල් ලියවුනා කියා හිතෙනව.

සරලවම කියන්නට ඇත්තේ,

අපි කල යුත්තේ තවත් අම්මා කෙනෙකුවත්, හොර බඩුවක්වත්, අහිංසක මරිය තුමියක්වත් යන කිසිම රෝල් මොඩ්ල් එකක් හති දාගෙන සෙවීම නොව මුලින්ම අපි අපිව හොයාගෙන ඊට පස්සේ හිත සහමුලින්ම පිරිල යන සංතෘප්තතාවයන් හම්බෙන පුද්ගලයෙකුට කිසිදු කොන්දේසියක් නොමැතිව ආදරය කිරීමයි.


- අර්ජුමාන්


Sunday, 4 September 2016

ගස් නගින මාලුවන් වෙත!

මුලින්ම මෙය කිව යුතූය. මම මාර සිංහලයෙක් නොවෙමි. මාගේ සිංහල භාවිතය ද වැරදි විය හැක. මෙම ලිපියේ මුලික අදහස උකහා ගැනීම විනා මාගේ සිංහල භාවිතය ගැන විශ්ලේෂණය කිරීම නොවිය යුතු දෙයකි.

පටන් ගැන්ම මෙසේ කිරිීමට කැමතිය. මුලු ලිපියම සහ ඉහත මාතෟකාවද සාරාංශ වීමට ඇල්බට් අයින්ස්ටයින් නැමැති විද්‍යාඥයා නොහොත් දාර්ශණිකයා ප්‍රකාශ කරපු කථන්දරයක් මම මෙතනට ඈද ගන්නම්. දැනට පවතින අධ්‍යාපන ක්‍රමය ඔහු මෙවැනි ඉතාම සරල උදාහරණයකින් පැහැදිලි කිරීමට උත්සහ දරනවා. එක්තරා වනාන්තරයක එක් පොදු තරගයක් කිරීමට යෙදුනි. මෙම තරගය සදහා සියලුම සතුන් ලක ලැහැස්ති වූයේ මහත් ආශාවකිනි. කුරුල්ලෝ, වදුරෝ, මාලුවෝ, නයි, අලි, සමනල්ලු, පනුවෝ සහ කොටි ඇතුලත් පට්ට විවිධත්වයකින් යුක්ත වූ මෙම සතුන් සියල්ලම ඔවුන් දැනුවත් වූ ලෙස දවසක එක විශාල අතු පතර ඇති උස ගසක් ළගට එකතු විය. තරගය නියම කරන්නන් විසින් සතුන්ට දැනුම් දුන්නේ, මෙම වනාන්තරයේ ඔබ ජීවත් වේ නම් මෙම පොදු තරගයට අනිවාර්්‍යයෙන් ඔබට මූණ දීමට සිදු වන බවයි.

තරගය වූයේ මෙම විශාල උස ගසට නැග උඩම ඇති කොඩිය ගැනීමයි. මුලින්ම කොඩිය ගන්නා සතා තරගයේ සහ මුලු කැලේම වීරයා වේ, අන්තිමට කොඩිය ගන්නා සතා හද්ද මෝඩයෙක් වී මුලු කැලෙන්ම කොන් වේ, ගසට කිසි සේත්ම නැග ගැනීමටවත් නොහැකි සතුන් පිස්සන් ලෙසද නම් විය හැක. ඉහත කී සිද්ධිය ඇල්බට් අයින්ස්ටයින් ඔහොම ලස්සනට නොකීවත් සාරාංශය එය විය. තරගයේ පලවෙනියා වන්නේ ගසට ඉක්මනින්ම නගින, ඒ සදහා මනා හැකියාවන් ඇති, ගස් නැගීම තම ආසාව නැතහොත් මුලු ජීවිතයම කර ගත් වදුරාය. එම තරග පද්ධතිය තුල මාලුවා, නයා, සිංහයා වැනි සතුන් කොන් වීම, ප්‍රතික්ෂේප වීම ඇල්බට් අයින්ස්ටයින් විසින් හෙලා දැකීමෙන් ඔහු මෙම පවතින අධ්‍යාපන ක්‍රමය වැරදියි බව කියා සිටියේය.

මා මේ ඔස්සේම සිතූ විට, මට සිතුනේ අධ්‍යාපන ක්‍රමය පමණක් නොව දැනට පවතින දැනට මා ජීවත් වන සාම්ප්‍රධායික පොදු සමාජ ක්‍රමය ද ඉහත උදාහරණය ඔස්සේම විශ්ලේෂණාත්මකව පැහැදිලි කර ගත හැකි බවයි.  ඇල්බට් අයින්ස්ටයින් නිවැරදි ය. සියල්ල සාපේක්ෂ වේ යන න්‍යාය සෑම දේකටම ව්‍යාවහර වන බව ඔහු සෑම මොහොතකම පුන පුන කියා සිටියේය. ඔව් සියල්ලම සාපේක්ෂයි. කොටින්ම ඇත්ත, බොරුව, හරි දේ, වැරදි දේ, කලු, සුදු යන සංඝටක සියල්ලම සාපේක්ෂයි. ඉහත කී සංඝටයක් දෙස යමෙකු බලන කෝණය (Perception) මත සියල්ල නිර්ණය වේ. වයින් බීම සහ ඌරු මස් කෑම කතෝලික පද්ධතියට අනුව අතිශය සාමාන්‍ය හරි, හොද, සුදු දෙයක් වීමත් ඉස්ලාම් පද්ධතියට අනුව වැරදි, නරක, කලු දෙයක් වීමත් එකී සාපේක්ෂවාදය තහවුරු කෙරෙයි මට සිතේ.

එක්තරා මොහොතක මෙම සමාජ පද්ධතිය තුල මා නැවතී පිටස්තරයෙකු / පිටසක්වළ ජීවියෙකු මෙන් පද්ධතිය නැතහොත් මේ සිස්ටම් එක දෙස ඉතාම විවෟත ලෙස බැලීමට උත්සහ කලේය. මට පෙනී ගියේ මෙයයි. මෙම මුලු බහුතර සමාජ පද්ධතියම මනාව සැකසුනු (Well Organized), නීති රීති සමුදායකින් යුක්ත වූ ඇල්බට් අයින්ස්ටයින්ගේ ඉහත කී කැළැවේ තරගයටද බොහෝ සෙයින් සමාන වූ සිස්ටම් එකකි. මෙහිදී මා දකිනා විදියට සිස්ටම් එකට අනුගත විය නොහැක්කා ට සිස්ටම් එක තුල ගොඩ ඒමක් නැත. එයින් එම තැනැත්තා සිස්ටම් එකට නොගැලපීම විනා ඔහු පට්ට මෝඩයෙක් යන අර්ථය නොදෙයි. මේ පොදු පද්ධතිය, පොදු මිනුම් දණ්ඩ මට වැටහෙන විදියට සර්ව සාධාරණ නැත. ඉහත කී පොදු ක්‍රමය තුල ජීවත් වන අම්මා, තාත්තා කෙනෙකුට ලැඛෙනා කිරි කැටි මෙලෝ සංසාරයක් දන් නැති ලදරුවා භාජනය වන්නේ සාධාරණ නැති, හැමෝටම එක ලෙස ගැලපෙන්නේ නැති, පොදු එකම අච්චුවකට යැයි මට හිතේ. මේ සිස්ටම් එක තුල මේ ලදරුවා ඉපදුනු විගසම ඇතුලත් වන අතිශය සාම්ප්‍රදායික රාමුව මෙසේ හැකි තාක් සාරාංශ කිරීමට සිතුනි. ඉපදුනු විගසම ලියකිවිලි රාශියක් සාදා එම දරුවාව රෙජිස්ටර් කර පද්ධතිය තුලට ඇතුලත් කර ගැනීම, Clinic යෑම, අවුරුදු 3 දී පෙර පාසල් යැවීම, අවුරුදු 5 දී පාසල් යැවීම, 5 ශිෂ්‍යත්වය, O/L කිරීම, A/L කිරීම, උපාදියක් ලබා ගැනීම, රස්සාවක් කිරීම, විවාහයක් කර ගැනීම, දරුවෝ හැදීම, දරුවන්ව ඉස්කෝල වලට දැමීම සහ අවසානයේ ජීවිතයේ සැදෑ සමයේදී හෙම්බත් වී නිවසට වී මැරෙන තුරු බලා සිටීම වැනි ප්‍රධාන කාරණා මේ සිස්ටම් එක තුල දැකිය හැක. ඉහත මා දැක්වූයේ ප්‍රධානතම සංඝටක කීපයක් පමණි. ඊට අස්සෙන් ඇති උප සංඝටක රාශියකි.

වැටහුනු කාරණාවන් මෙසේය. පොදු පද්ධතියක් ඇත. එම පද්ධතිය හැමෝටම සාදාරණ නැත. එය පැහැදිලිය. පද්ධතියක් පැවතීම වැරදි නොවන බවත් එහි දැනට පවතින ව්‍යුහය වැරදි බවත් මට සිතේ. ඇත්තටම පවතින ව්‍යුහය වෙනස් විය යුතුය. කලින් කිවූ කැලේ තරගයට අනුව මාලුවා ගස් නැගීමට නොහැකිව කොන් වීමත් වදුරා පමණක් ගසට නැග බැබලීමත් අසාධාරණය.

පොදු සිස්ටම් එකක් නිර්මාණය වූයේ ඇයි?

මේ මාගේ අදහසයි. සිිස්ටම් එකක් නැතහොත් පද්ධතියක් එසේත් නැතහොත් නීති රාමුවක් සමාජය තුළ ස්ථාපනය වීමට බොහෝ කරුණු කාරණා බලපාන්නට ඇත. මොහොතකට ඉහත කී පද්ධතියක්, නීති රාමුවක් නැතැයි සිතමු. එසේ වුවහොත් මෙම සමාජය වල් බූරූ නිදහසක් ඇති ජරහන්ත ලෝකයක් වී වල් බිහි වීමට ඉඩ ඇතැයි මට  සිතේ. ඕනෑම පුද්ගලයෙකුට ඇති පුද්ගලික බැදීම් (Relationships), හැගීම් (Emotions) වලට පහරක් වැදීමට, හිත් පෑරීමට මෙලෝ නීතී රාමුවක් නැති වීම බලපාන්නට ඇත. එම කාරණාව සමගම පොදු පද්ධතියක් නිර්මාණය වූයේ ඇයි යන ප්‍රශ්ණයට සාධාරණ පිළිතුරක් ලැඛෙන්නේ යැයි මට සිතේ. මිනිස්සුන්ගේ සිතට එන ඔ්නෑම ආශාවක් අත දිග හැර ඉෂ්ඨ කර ගැනීම එකී පොදු සමාජ පද්ධතියක් නොමැති වීමෙන් සිදු විය හැක. එයින් සිදු වන්නේ සමාජය විනාශ වී යාමයි. එය වැළැක්වීමට පොදු පද්ධතියක් නිර්මාණය විය. සිස්ටම් එකක් අනවශ්‍යයි කියා මා කියන්නේ නැත. එය අත්‍යවශය කාරණයකි. මගේ අදහස දැනට පවතින සාම්ප්‍රධායික පද්ධතියේ ව්‍යුහය වෙනස් විය යුතුය.
මිනිසා යනු අතිශය සංකීර්ණ ස්වභාවධර්මයකි. ස්වභාවධර්මය අති විවිධත්වයකින් යුක්ත වීම යන කාරණයෙන්, මිනිසා යන ස්වභාවධර්මයේ ප්‍රධානතම අංගය ද අතිශය විවිධාකාර වීම මනාව පැහැදිලි කරයි. සෑම මලක්ම සමාන නොවේ. විවිධාකාර පාට වලින් යුක්ත, විවිධ සුවද වලින් යුක්ත, විවිධ හැඩැති, අති සංකීර්ණ විවිධත්වයක් මල් වලට ඇත. සතුන්ද එසේමය. විවිධාකාර එකිනෙකාට හාත්පසින්ම වෙනස් සතුන් ඇත. එසේනම් විවිධ හැකියාවන් ඇති, එක එක විදියට හිතන, විවිධාකාර වූ perceptions ඇති අතිශය සංකීර්ණ වූ විවිධත්වයක් මිනිසුන් තුලද ඇති වීම පුදුමයක් නොවේ. මම කිසිසේත්ම නුඹ වගේ නොවෙයි, නුඹ කොහෙත්ම ඔහු වගේ නොවෙයි, ඔහු ද ඇය වගේ නොවෙයි. ජීව විද්‍යාත්මක කාරණා වලින්ද මනෝ විද්‍යාත්මක කාරණා වලින්ද තවත් බොහෝ සංකීර්ණ criteria තොගයක් හමුවේදී මේ ලොව සියලුම මිනිසුන් එකිනෙකාට සහමුලින්ම වෙනස්ය. මගේ තර්කයට අනුව මේ විවිධත්වයකින් යුක්ත වූ මිනිසාට පොදු පද්ධතියකට නැතහොත් එකම එක අච්චුවකට යටත් වී ජීවත් වීමට සිදු වීම පට්ටම අසාධාරණය.
එම පද්ධතියට අනුව, typical පාසල තුල පන්තියේ අන්තිමයා හද්ද මෝඩයෙකු වේ, පාසලට යෑමට ආසාවක් නැති ළමයා කම්මැලියෙකු වේ, පද්ධතියට කොහෙත්ම අනුගත විය නොහැක්කා මානසික රෝගියෙකු වේ, පද්ධතිය තුල තමාගේ විදියට ඉන්න උත්සහ කරන්නා හිතුවක්කාරයෙකු වේ.

සාරංශය

මෙම ක්‍රමය වෙනස් විය යුතුය. සියලුම මිනිසුන් සාධාරණ ලෙස සතුටෙන් ජීවත් විය යුතුය. මා දකින විදියට මෙම නිර්මාණය වී ඇති ඉතා අඩු ප්‍රතිශයකට පමණක් වාසි වන පොදු රාමුවට අනුගත වීමට උත්සහ දරන්නන්ට සිදුවන්නේ තමා හොයන සතුට/තමාගේ නියම සතුට නැති කරගනිමින් හැමෝම පස්ස නොබලා නොනැවතී දුවන රේස් එකක හති දාගෙන දිවීම පමණයි. එම කොටසට සතුටක් නැත, සිනහ වුවද සිනහ වන්නේ කටින් පමණි, හදවතින් නොවෙයි, එකිනෙකාට ඊර්ෂ්‍යා වන්නට පටන් ගනියි, එකිනෙකා සංසන්දනය වීමට උත්සහා දරයි, එකිනෙකා පරයා අහසට නැගීමට උත්සහ කරයි, ආදරය, ලිංගිකත්වය, ශෟංගාරය, පරිත්‍යාගශීලි බව විලි ලැජ්ජාවක් නැතිවම පාවා දෙයි නැතහොත් බිල්ලට දෙයි, වාද විවාද ඇති වේ, යුද්ධ ඇති වේ, ලේ වැගිරීම් සහ මරණ අතිශය සාමාන්‍ය සංඛ්‍යා ලේඛන වේ, අවසානයේ ලොවටම සිනහව අහිමි වී දරා ගත නොහැකි දුකක් පමණක් ඉතිරි වේ. අප විවිධාකාර වූ වෙනස් මිනිසුන් ලෙස තේරුම් ගත යුතු කාරණයක් ඇත. අප එකිනෙකාට සහමුලින්ම වෙනස්ය. එක මනුස්සයෙකු පාන් කෑමට බොහෝ සෙයින් ඇලුම් කලද තවකෙකු පාන් කෑම තරම් අප්පිරිය දෙයක් නැති වීමටද ඉඩ ඇත, එසේම තවත් මනුස්සයෙකු පාන් කියලා දෙයක් අහලවත් දැකලවත් නැති වීම ද සිදුවිය හැක. මෙම කාරණය හිතනවට වඩා සංකීර්ණයි කියාද මට සිතේ, යම් මොහොතක මෙය ප්‍රායෝගික ද නොවේ. නමුත් අප උත්සහ දැරිය යුත්තේ රොබෝ යන්ත්‍ර මෙන් පද්ධතියකට අනුකූල වී අමාරුවෙන් අසතුටෙන් ජීවත් වීම නොව, පෞද්ගලිකව තමාව හදුනා ගැනීම සහ තමා වටා ඇති ලෝකය පැහැදිලිව වෙන් වෙන් වශයෙන් හදුනා තේරුම් ගැනීම යැයි මට සිතේ.

කා විසින්වත් සකසනු ලැබූ එක්තරා පොදු පද්ධතියකට යටත් වී ජීවත් වීමට වඩා තමාව පුද්ගලිකව හදුනා ගැනීමෙන් රාමු නොමැති නිදහස් අවකාශයක ජීවත් වීම මා දකින විදියට ගැඹුරු සතුටකි. එම පෞද්ගලික සතුටේදී තවත් එකෙකුගේ හිත රිදවීමක් සිදු වේ යැයි ද එසේ නිදහස් අවකාශයේ ජීවත් වන්නා ආත්මාර්ථකාමියෙකු යැයිද යමෙකුට කිව හැක. එසේ හිත් රිදවීම් ඇති වන්නේද ආත්මාර්ථකාමි ඇදුම අන්දන්නේද මා ඉහත කිවූ පද්ධතියට සියලුම මිනිසුන් (පද්ධතියෙන් එලියට ඒමට උත්සහ දරන්නන්ද) ඇතුලත් වී තිබීමයි. පද්ධතියට අනුව රාමුවෙන් පිටට පනින්නා සෑම විටකම ආත්මාර්ථකාමියෙකු, හිතුවක්කාරයෙකු, පිස්සෙකු, ඔල්මාද කාරයෙකු ලෙස නම් කිරීම පද්ධතිය විසින්ම සිදු වේ.

ජීවත් වීම යනු හුදෙක් පොදු සිස්ටම් එකක ක්රියා පටිපාටින් ඉෂ්ඨ කිරීමක් නොවේ. කොහෙත්ම නොවේ. ජීවත් වීමට විග්‍රහයක් අවශ්‍ය නැත. එකෙකුගේ ජීවත් වීම අනෙකාට කරදරයක් නොවිය යුතුය, දුක වේදනාව, බය, හීනමානය වැනි ඝෟණාත්මක සංඝටක ජීවත් වීම තුල නොතිබිය යුතුය. ජීවත් වීම යටත් වීමක් නොවිය යුතුය, සුන්දර විය යුතුය, ගැඹුරු සතුටක් තිබිය යුතුය. කිති කවා බලෙන් හිනා වීම කොහෙත්ම සතුට නොවේ. හිත එළිය වී, නිදහසේ හුස්ම ගැනීම යනු නියම සතුට වේ. මට හිතෙන විදියට සුන්දර ජීවත් වීමක් යනු සීමා මායිම් නොමැති, රාමු අච්චු නොමැති නිදහස් ශීලාචාර දෙයකි. ගහක් මල් පෝච්චියක දමා, වැටක් ගසා, එක්තරා අනුකූල වු ව්‍යුහයකට අනුව හැදීමත්, නිදහසේ ඉර අව්වට ගහ යොමා, ගසට හිතු මනාපේ අතු පතර විහිදා හැදෙන්නට ඉඩ දීමත් අතර මම ලොකු වෙනසක් දකින්නෙමි. පද්ධතිය වෙනස් කිරීමට ප්‍රථම පෞද්ගලිකව අප වෙනස් විය යුතු බව මාගේ අදහසයි. අප දකින විදිය, අහන විදිය විනිවිද විය යුතුය, විවෟත විය යුතුය. ආදරෙන් පිරිච්ච, ඊර්ෂ්‍යාව, තරගය, කුහක කම, අනුන් පරයා නැගී සිටීම නොමැති, සාධාරණ, සතුටෙන් හිනා විය හැකි, සල්ලි වලින් වෟත්තියෙන් මිනිස්සුන්ව මැනෙන් නැති, සාධාරණව ආදරය කරන, එකිනෙකා සංසන්දනය නොවන, ගැඹුරු ආධ්‍යාත්මයක් ඇති, රේස් නැති සුන්දර ලෝකයක් අනිවාර්යයෙන්ම ඇත. එය අප අතරම අපට නොපෙනී ඇති බව මම විශ්වාස කරමි. එවන් ලොවක් කරා.......

"එකී ස්වර්ගය ද අපාය ද, දෙවියන් ද සාතන් ද, වෙන කිසිවෙකු නොව, ඔබමය" 



- අර්ජුමාන්

කොහේද කොහේද අපේ ලොවක්!

මම හුදෙක් කොමියුනිස්ට්වාදියෙකුවත් ධනවාදියෙකුවත් නොව සරල හදාරන්නෙක්මි. සියල්ල පෙනෙන ලෙසවත් ඇහෙන ලෙසවත් පිළිනොගෙන ඒ තුළ ගැඹුරටම ගොස් විචක්ෂණව තේරුම් ගැනීමට උත්සහ දැරීමේ එක්තරා පිස්සුවක් නිසා මම බොහෝ වේලාවට දුක් විදින්නෙමි. මා හට ජීවත් වීමට සිදු වී ඇති මෙම අතිශය ධනවාදී ක්රමය තුළ පන නල ගැටගසා ගැනීමට දරන උත්සහය දන්නේ මා පමණකි. 
වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වූ මා හට මෙම ක්රමයේදී කම්කරුවා හුදෙක් වේතනයක් ලබන මැෂිමක් ලෙස පමණක් සළකා ඔවුන් හා හාද නොවී මහා ලොක්කෙකු සේ ඔවුන් අතර ගැවසෙමින් මාගේ උපරිම වෙර දමා වෙහෙ‍සෙමින් මෙලෝ හසරක මොලයක් නැති සල්ලි කාර ධනපතියෙකුට උපරිම ලාභයක් ලබා දීමට කටයුතු කිරීම මහා අවුලක් සේ මට දැනේ. මම ද කම්කරුවා ද එකී ධනපතියාගේ සපත්තු අඩියට යට වී ඇති බව තේරුම් ගත් මා, මාගේම ආදරණීයන්ගේ දුක් කම්කටලු සහ බැදීම් හමුවේදී අසරණ වන අවස්ථා බොහෝමය. සල්ලි කාරයා තවදුරටත් සල්ලිකාරයෙකු වන දුප්පතා තවදුරටත් දුප්පත්ම වී යන මෙම ක්රමය තුල සල්ලි කාරයෙකු වීමට නම්, ආදරය, කරුණාව, පරාර්ථකාමී බව වැනි උතුම් ගතිගුණ පසෙකලා හුදෙක් ලාභය පසුපස හතිදාගෙන දිවීමට සිදු වන බව මා තේරුම් ගෙන අවසන්ය. මාගේ පියාද මාගේ සීයා ද අනෙකුත් අහිංසක ආදරණීයන් ද මෙම උතුම් ගතිගුණ සමග තනිවී තවමත් දුප්පතුන්, ණය කරුවන් බවට පත් වී සිටීමට හේතු ද මා තේරුම් ගෙන අවසන්ය. 
ලෝකය අද වන විට මහා දියුණුවකට පත් වී ඇත්තේ මෙකී ධනවාදය නිසාමය. කොමියුනිස්ට්වාදය මේ මුලු ලොව පැවතුනහොත් මෙවන් දියුණුවක් අත් කර ගැනීමට අපට නොහැකි බව නොඅනුමානය. නමුත් එසේ වුවහොත් අප සියල්ලම මීට වඩා සතුටින්, ආදරෙන්, සමගියෙන් සිටිනු ඇතැයි මට සිතේ. මා සිහින මැවුවේ මාගේ බුද්ධිය, මාගේ උගත් කම හුදෙක් ධනපතියෙකුගේ ලාභය උදෙසා වෙහෙසවීමට නොව මුලු මහත් ලෝකයක් වෙනුවෙන් පූජා කිරීමට වුව ද එකී ධනපතියාගෙන්ම බැට කෑ මාගේ අසරණ ආදරණියන් වෙනුවෙන් නැගී සිටීමට උත්සහ දැරීම එක්තරා ආත්මාර්ථකාමී බවක් ද එක්තරා පරාර්ථකාමී බවක් ද වේ. 
දිනෙක නුඹත් මමත් ආදරෙන් හිනැහෙමු.... ‍කෙතරම් අසීරු වුව ද
නිතරම අපි සිහින දකිමු.... පියමං කරනට
ඒ සුන්දර ලොව කරා! 
- අර්ජුමාන්

සෙට් වෙමුද!

ලංකාව යනු මාරම ආතල් රටකි. 
මෙය තවදුරටත් තහවුරු වන්නේ ලංකාවෙන් එළියට ගොස් මෙලෝම රහක් නැති අරාබිය වැනි දේශයක ජීවත් වන විටය. ලංකාව තුළ කොපමණ දූෂණ වංචා තිබුණද දුප්පත් කම කන පැලෙන්නට රට පුරාම පැවතුනද ළමා අපචාර, හොරකම්, බැංකු මංකොල්ල, මිනී මැරුම් පැවතුනද කොටින්ම කිවහොත් රට හොදටම අවුල් වුවද ලංකාව ආතල්ය. ලංකාව හරිම අපිළිවෙලයි, සද්ද ගොඩයි, ප්රශ්ණ ගොඩයි, ඕප දූප එමටයි, වලි විමානයයි, කට කථා කියල වැඩක් නෑ... ඉතින් ආතල් නැද්ද! ලංකාව තුළ හැමදාම හැමවෙලේම කුමක් හෝ කථා කිරීමට ප්රශ්ණයක් ඇත. එයම ආතල්ය.
ලංකාවේ පාරවල් කොහෙත්ම කොලිටි නැත, ෂේප්... පාරවල් වල කාර්, වෑන්, ලොරි, ප්රයිවට් බස්, CTB බස්, කරත්ත, බල්ලෝ, වැඩට යන මිනිසුන්, බයිසිකල්, full face helmet දාගත්ත ස්කූටි පෙප් වල යන කොල්ලො, කාලෙකින් මුණගැසුනු ගැහැණු උදවිය, මදුරු රැකට් විකුණන අව්වට කට්ට කලු වූ වෙළද මහතුන්, ත්රී වීලර්, හිගන්නෝ (කලර් ලයිට් හිගන්නන් සහ සාමාන්‍ය හිගන්නන්) සහ ඒ අස්සෙන් පොලිස් කාරයෝ ද දක්නට ලැබීම මාරම ආතල්ය. ඒ අස්සෙන් සද්ද ගොඩයි... ත්රී වීලර් වල සද්ද, බස් කොන්දොස්තර තමාට හැකි උපරිමයෙන් කෑ ගහන ඒ මිහිරි සද්දය, පාර දෙපැත්තේ ඇති කඩ වලින් ඇහෙන සිංදු, කොත්තු සහ රයිස් සෑදීමේදි නිකුත් වන දුර්ලභ සද්ද, මහා හෝන් සද්ද පූජාව, කෝච්චි සද්ද සහ ඒ ඔක්කොම අස්සෙන් ඇහෙන පිරිත් බණ වැනි සද්ද ලංකාවට ම ආවේනිකය. 
මල ගෙයක රැය (නිදි මැරීම, බූරු ගැසීම, කැරම් ගැසීම, බොරු කීම, හොල්මන් කථා සහ අතිශය විනෝදකාමී කථා කීම, අරක්කු බීම, ටොපි දැමීම, ජොයින්ට් ගැසීම etc), චන්දය (චන්දය පැමිණීම, චන්දය ඇති දිනය, චන්දය දැමීමට යෑම, හොර චන්ද දැමීම, චන්ද පෙට්ටි ඉස්සීම, චන්ද වලි දා ගැනීම සහ චන්දය ඇසීම), වෙසක් (වෙසක් කූඩු සාදා විකිණීම, තොරං සෑදීම, වෙසක් බැලීමට යෑම, දන්සැල් වලට සල්ලි එකතු කිරීම, දන්සැල් කෑම සහ අවසානයේ කන පැලෙන්නකන් බීම), පල්ලියේ මංගල්ලය, කොඩි ගහ එසවීම, වීදි යෑම, ඉරිදා පූජාව, ගැහැණු ළමයි වැඩිවියට පත්වීමේ උත්සව, සංගීත සහ කොටින්ම ප්රභාකරන් මැරුණ දිනයද මාරම ආතල් එකක් කර ගැනීමට ලාංකීකයන් සමත් වීම අතිශය සුවිශේෂී කරුණකි. 
දවස අවසානයේ සියලුම ලාංකිකයන්ගෙන් බහුතරයක් කෙසේ හෝ අයුරකින් මත් වී සිටීම හෝ මත් වීමට උත්සහ දැරීම සැළකිය යුතු විශේෂ කාරණයකි. අවම වශයෙන් ටොපියක් හෝ දමා මෙලෝ හේතුවක් නොමැතිව මිනිසුන් හිනා වී සිටීම අතිශය සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. මිහින්තලය නැමැති මහා බෙෘද්ධ අග නගරයට ළගින්ම ඇති බාර් එකේ සෑමදාම පට්ට පෝළිමක් දක්නට ලැබීම එම කාරණය තව දුරටත් පැහැදිළි කරයි. 
ඉහත මා කිවූ කාරණා සමාජීය, සංස්කෘතික, ආගමික සහ මනෝ විද්‍යාත්මක අර්ථ නිරූපණ වලින් පැහැදිලි කිරීමට හැකි වුවද ඉතා සරලව ලංකාව යනු වෙනස් රටකි. එම වෙනසට බලපෑ බොහෝ හේතුද ඇත. ඉහත කී එ් ආතල් සමුදාය පිටින් බලන විට මහා ආතල් ගොඩක් සේ දැනුනද ඇතුලෙන් සියලුම ලාංකිකයන් ට එය හුදෙක් ක්රියා පටිපාටියක් වී තිබීම අවුලකි. එම අවුල මම ද හොදටම දනිමි. නමුත් අප ලාංකිකයන් කොපමණ අවුල් තිබුනද හිනා වී මොහොතක් හෝ ආතල් එකේ සිටීමට උත්සහ දැරීම අප විසින්ම අගය කර ගත යුතුය. නැතහොත් අප හට ඇති ප්රශ්ණ කන්දරාවත් සමග තනි වුවහොත් දවස අවසානය අපටවත් සිතා ගත නොහැකි මහා අවුලක් වනු ඇත. 
එහෙනං.....
අද 
සෙට් වෙමුද!
- අර්ජුමාන්

අම්මේ, තාත්තේ...

රටක ප්‍රදානම අවයවය නුඹ කිව්වොත් මම වැරදි නැත. විශේෂයෙන්ම අප වැනි ඉතාම දුර්වල රටක නුඹට කල හැකි කොටස අති මහත්ය. ඒ වෙන කිසිවකින් නොව නුඹේම දරුවන්ගෙන්ය. 
මුලින්ම නුඹේ දරුවන් නුඹ යටතේ සිටිනා හුදෙක් රූකඩ නොකරගන්න. ඔවුන්ට ඇති මහත් වූ ආදරය නුඹ හා එසේම තියාගෙන ඔවුන්ව මේ ලොවට අයිති කරවන්න. මන්ද, ඔවුන්ද නුඹ මෙන්ම මේ ලොව තවත් එක් මිනිසෙකි. ඔවුන්ට ඔවුන්ගේම වූ මානව අයිතිවාසිකම් ඇති බව මතක තබා ගන්න.
ඔවුන්ට ඉංග්‍රීසි කතා කරවීමට බල නොකරවන්න. ඉංග්‍රීසි කතා කිරීම පට්ට ආඩම්බරයක් කියන මෝඩ සංකල්පය හිතෙන අයින් කරවන්න. අපේ රටේ බාෂාව මුලින්ම ඔවුන්ට උගන්වන්න. ඉංග්‍රීසි යනු වෙන ලොකු රටක හුදෙක් බාශාවක් වග මතක තබා ගන්න. නිශ්ශබ්ද ස්ථාන වල නුඹේ ළමයා සිංහලෙන් කෑ ගහල කතා කරන විට ලැජ්ජා වී ඉංග්‍රීසියෙන් කෑ ගහන විට හිත යටින් ආඩම්බර වීම පට්ට මෝඩ කමක් බව පිළිගන්න.
ඔවුන්ට සුදු පැහැපත් විනීත පෙනුමක් ඇත්නම් ඔවුන්ව දොස්තරවරයෙක් කිරීමට නොසිතන්න. ඒ පෙනුම නැත්තන් ඔවුන්ව ඉංජිනේරුවකු නොකරන්න. රටේ ඇති වෘත්තිමය අවශ්‍යතාවය සහ ඔවුන්ගේ පෞද්ගලික නිපුණත්වය බලා ඔවුන්ව රටේ අවශ්‍යතාවයට යොමු කරනවා විනා මෝඩ තර්ක හමුවේ ඔවුන්ව ඉංජිනේරුවරු දොස්තරවරු කිරීමට සිහින නොමවන්න. ඔවුන්ව රටට සේවයක් කිරීමට යොමු කරවන්න. නැතිනම් ඔවුන් දොස්තරවරු වී හැකි තාක් සල්ලි හොයාගනීමට දිවා රාත්‍රී චැනල් ක්ලිනීක් වල ඔවුන්ගේ ජීවිතය නාස්ති කරගනී, ඉංජිනේරුවෝ වී හුදෙක් ධනපතියන්ට උපරිම ලාබයක් හොයා දීමට තම ජීවිතය නාස්ති කරගනී. 
ඔවුන් එකිනෙකා එකිනෙකාගෙන් වෙනස් බව තේරුම් ගන්න. හැමෝම එකම දේ අච්චු ගැසීමක් කල යුතු නැත. අනුන් නුඹේ දරුවා ගැන සිතන දෙයින් කොහෙත්ම පලක් නැත. ඔවුන් පන්තියේ අන්තිමයා වුවහොත් ඔවුන්ට බැන නොවදින්න. එය අන්තිමයා පළවෙනියා විග්‍රහ කරන සිස්ටම් එකේ අවුලක්ද විය හැක. මලුවෙකුට ගස් නැගීමට නොහැක. එසේනම් නුඹේ මාලුවාව විලකට යවන්න. 
මේ ලොව යුද්ද ඇති බවත් ඒවා ඇති උන හේතුද ඒ තේරුමක් නැති යුද්ද වලින් මේ වන විටත් අහිංසක මිනිසුන් මැරෙන බව ඔවුන්ට කියන්න. ඔවුන්ට එකිනෙකාට ආදරය කිරීමට උගන්වන්න. කිසිම ආකාරයක ප්‍රති උපකාරයක් අපේක්ෂා නොකොට අනුන්ට උදව් කිරීමට උගන්වන්න. ඔවුන් කන බොන විට මේ ලොව තවත් තැනක ඔවුන්ගේම වයසේ අහිංසක ළමයින් කෑම නැතිව මැරෙන බව ඔවුන්ට කියා දෙන්න.
නුඹට නුඹේ තරුණ කාලයේ කර ගැනීමට නොහැකි වූ දේවල් ඔවුන්ගෙන් කරගෙන සතුටු වීමට කටයුතු නොකරන්න. එසේ කලොත් ඔවුන්ද ඔවුන්ගේ දරුවන්ට එසේ කරාවි. ඔවුන්ට වැස්සේ නාන්න දෙන්න, නුඹත් ඔවුන් හා නටන්න, තාලයක් ඇතත් නැතත් සින්දු කියන්න, ඔවුන් හා තනි වී ඔවුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න, ඔවුන්ව හුරතල් කරන්න, ඉඹින්න. 
ඔවුන්ට ආදරය කියා දෙන්න. ආදරය යනු අයිති කරගැනීම නොව ඊට වඩා ගොඩාක් ගැඹුරු දෙයක් බව පහදා දෙන්න. එකිනෙකාට ආදරය කරන්න කියන්න. එකිනෙකා හා තරඟ නොකරන්න කියන්න. ඔවුන් වැරද්දක් කරන්නේනම් ඔවුන්ට පිටුපසින් ඉඳ ඔවුන්ව ආරක්ෂා කර එම වැරැද්ද කරන්න ඉඩ දී යථාර්තය ඔවුන්ටම තේරුම් කර ගැනීමට ඉඩ හරින්න. 
කොටින්ම කිවහොත් නුඹ දරුවෙකු හදන්නේනම් එය නුඹේ ජීවිතේ වැදගත්ම තීරණයක් කරගන්න. හුදෙක් දරු සුරතල් බැලීමට දරුවන් නොවදන්න. දරුවන් හැදෙන නිසා දරුවන් නොහදන්න. පසුව නුඹේ අවුල් වෙච්ච ජීවිතය ගොඩ දාගැනීමට තම දරුවන්ව පාවිච්චි නොකරගන්න. 
මොහොතක් හිතන්න නුඹට මේ රට සහමුලින්ම වෙනස් කල හැක...
- අර්ජුමාන්

සිතිජයේ සිට...

එදා, මට ද නුඹ ට ද අහම්බෙන් එකවර දැනුන, ඒ ලොව සුන්දරතම අමුතුම අසම්මත යැයි කී හැගීම මට තවමත් මතකයක් සේ තුරුල් වේ. එය පංච ඉංද්රියන්ගෙන් දැනෙන්නේ නැති නමක් නැති අමුතුම හැගීමකි. එය තාමත් මගේ ජීවිතේ මට දැනුන හැගීම් අතර උඩින්ම පවතින්නේ එය එතරන්ම විශේෂ වූ නිසාය. මට මෙන්ම නුඹටද එසේම එය දැනීම විශේෂය, සුන්දරය සහ දුර්ලබය. එතැන් පටන් නුඹ කෙරේ තිබු ඒ සෙනෙහසට මට වෙනත් පාටක් ගෑමට වෙනත් නමක් සෙවීමට වෙනත් ස්වරූපයක් දීමට සිදු වුනි. එයට සරල උත්තරයක් මට නොතිබුනේ මම සරල නොවන නිසා ද විය හැක එසේත් නැත්තං නුඹද අමුතු කෙනෙක් නිසාද විය හැක. 
මා ඇතුලතින් නුඹට වඩා බෙහෙවින් පරිණත, පණ්ඩිත, පෙර තුවාල ද ඇති සංකීර්ණ චරිතයක් වුවද නුඹේ කෙලිලොල් අහිංසක, දඟකාර හැසිරීමට මා ආකර්ෂණය වීම මටම උත්තර ඇති ප්‍රෙහෙලිකාවක් විය. සීමා නොතකා අනවබෝදයෙන් හෝ අවබෝදයෙන් නුඹ මට දැක්වූ ඒ අසීමිත සෙනෙහස, ලැදියාව නැත්තන් ලෙන්ගතු කම මට මහා සතුටක් ගෙන දෙන්නක් විය. නුඹට පෙනෙන්නට අඳින්නට පළදින්නට විය, නුඹට දැනෙන්නට සුවඳ වන්නට විය, නුඹට ඇහෙන්නට ගායනා කරන්නට විය. අඳුරු වූ කඳුළු හංගා හොරෙන් අඬ අඬා සිටි සමය නිම කරගැනීමට එය උවමනාවෙන්ම නැතත් කෙසේ හෝ මා හට මහත් පිටුවහලක් විය. 
නුඹෙන් ඉගිලී ඇතට යන්නට උත්සහ කල වාර අපමණය. ඒ අනුන් හැදු සීමා මායිම්, කූඩු ඇතුලේ නුඹත් මමත් විඳි අපහස නිම වීමටය. එය තේරුමක් නැති උත්සහයක් වුයේ අහසට විසි වු ගල් කැටයක් ඉහලටම ගොස් යලිත් පොළොවට වැටෙන්නාක් මෙනි. සියල්ල අතහැර නුඹ ලඟට කාටත් හොරා රහසෙන් විත් තුරුල් වීම සහ නුඹ මාව අසීමිත සෙනෙසහකින් තුරුල් කරගැනීම මේ කතන්දරය මහා ගැඹුරු සංකීර්ණ ආදරයකට පෙරලීමකට හේතු විය. 
එය ඇති වීමකි, නැති වීමක් පේන තෙක් මානෙක නැති ඇති වීමකි. හේතු නැති ඇති වීමකි. අයිතියක් ගැන බලාපොරොත්තු සුන් වූ ඇති වීමකි. සෑම මොහොතක්ම දනාත්මක කරන සතුටු කරවන සිනහව පිරි ඇති වීමකි. එයට මම ආදරය කියමි. නුඹද මමද සම්මත රාමුවෙන් ගිලිහුනු ආදරණීය වෙනමම රාමුවක් තුල ආදරය කරන්නෙමු. ආදරයට දෙන්නට හුදෙක් වෙන් වු අර්ථ දැක්වීමක් නැති මට එය එක්තරා දැනීමක් පමණි. එහි සෑම අඩියක් පාසාම, සෑම කොනකම නුඹ ඇත. මා ඇන්ද මේ චිත්‍රයේ වර්ණ සංකලනය නුඹමය. නුඹේ දඟකාර කෙළිලොල් හුරතලය මාව තව තවත් ප්‍රබුද්ද කරන්නට විය. මහා මෙරක් සේ මට දැනෙන නුඹේ අහිංසක ලාමක ආදරයෙන් මගේ ඔලුව අත ගා මා සනසවන හැම තප්පරයක්ම කල්පයක් සේ දැනෙන්නට විය. නුඹ හා මා වෙලෙන ඒ අසීමිත ශ්රුන්ගාරය මට මහා ගැඹුරු සයුරක් විය. එහි ගිලි ගැඹුරටම යාමට ඕන විය.
ඇයි යන ප්‍රශ්නයට පිළිතුර නුම්බටවත් මටවත් තාමත් සොයා ගැනීමට අපහසුය. එය කාටවත් විග්‍රහ කිරීමටද නොහැකිය. කවදාවත් කිසිසේත්ම නොහැකිය.
නුඹ මට සිතිජයේ සිට......
ආදරෙන්! 
- අර්ජුමාන්

අපි... වලත්තයිද? කලාත්මකයිද?

සෙක්ස් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ස්ත්‍රී දුෂණ, ගබ්සා, ළමා අපචාර, බ්ලු ෆිල්ම්ස්, හොර මගුල්, ගෑනු නානවා හොරෙන් බලන කලු කුමාරයෝ, වැලේ වනල තියෙන යට ඇඳුම් හොරකම් කරන හොරු, ගෙවල් වලට රිංගන ග්‍රීස් යක්කු, බස් වල කොච්චි වල තෙරපෙන උන්, පල්ලි වල පන්සල් වල හොරෙන් සිද්ද වන අපචාර යනාදී හද්ද කැත කලු ගඳ ගහන ජරා ගොඩක් වීම මට මහා ප්‍රශ්නයක් වන්නට පටන් ගත්තේ දේවල් ගැන ප්‍රශ්න කිරීමෙන් ආරම්බ වුන ඒ පිස්සුව සමගය. සෙක්ස් වලට අදාළ පාඩමද ඉස්කෝලෙන් මග හරින්නේ සර් හීන් සීරුවේය. පල්ලියේ ෆාදර් ද සෙක්ස් ගැන හිතන්නවත් එපා යයි කියා වැරදිලා හරි හිතුවොත් වහාම කොමිසන් කර ගන්න කියද්දීත් මට මේක මහා ප්‍රෙහෙලිකාවක් විය. සෙක්ස් ගැන අම්මල තාත්තල එක්කත් කතා කිරීම මහා ලජ්ජා සහගත එකක් වීම එක්තරා විදියකට වැඩිවියට පත්වීමේදී මුහුණ දුන් ප්‍රශ්නයක් විය. මෙය මා දන්නා තරමින් ලංකාවේ ටීනේජර්සලා මුණ දෙන ලොකුම ප්‍රශ්න ගොන්නකින් ප්‍රදාන එකකි.
කවදාත් අපේ හිතට සෙක්ස් කිවූ පමණින් සුන්දරත්වයක්, පිවිතුරු බවක්, සුවඳවත් ශ්රුන්ගාරයක්, ලාලිත්යක්, ගැඹුරු භාවනාවක් වගේ දේවල් හිතට ආවේ නැත්තේ ඇයි? අපේ හිත එක එකාට ඕන විදියට මෙහෙයවීමක් වෙලා නිසාවත්ද?
පොඩි ලමෙක්ට මලක් පෙන්නලා ඉගැන්නුවොත් මේක තමා මේ ලෝකේ තියෙන කැතම දේ මේකට කියන්නේ සාතන්ගේ සිම්බල් එක කියල, ඔයා කෑ ගැහුවොත්, ඔයා බත් කෑවේ නැත්තන් මේකෙන් පෙත්තක් කඩල දානවා දිවට, එතකොට ඔයාගේ දිවේ සාතන්ගේ මයිල් එනවා වගේ ලොවෙත් නැති බොරු බයිලා ගොඩක් කිව්වොත් අර මෙලෝ හසරක් දන්නැති ළමය බය වෙන්නේ නැද්ද? අනිවාර්යෙන්ම බය වෙනවා. ඊට පස්සේ ඒ පොඩි එකා හිතන්නේ අර සුන්දර ලස්සන මල ගැන අර විදියටම නෙමේද? ඒ වගේ දෙයක් තමා අපිටත් වුනේ. මේක මටත් ඔයාටත් අපි හැමෝටම වුන දෙයකි. මට හිතෙන විදියට ලාංකික අපිට සෙක්ස් කියන සබ්ජෙක්ට් එක මෙච්චර අවුලක් වුනේ එකක් අපේ රටේ ආගම දෝරෙ ගලන හින්ද වෙන්න පුළුවන්.
ආගමක් අප අතරට එන්නේ දෙවියන් කියන සංකල්පය හරහා අපිව ශිෂ්ටසම්පන්න, සිහියෙන් ඉන්න, ආදරය කරන සාමකාමී මිනිසුන් පිරිසක් කිරීමටය, සරලවම. නමුත් අවාසනාවට අපේ රටේ සහ ලොව බොහෝ සමාජ පද්දති වල සිද්ද වුනේ ආගම නිසා ජීවිත අවුල් කරගැනීමයි, එහි ඇති හොඳම විහිලුව වන්නේ කෙල කරගත් ජීවිතය ගොඩ දාගැනීමට නැවත නැවතත් ආගම පසු පස හඹා ගෙන යාමයි. එය තවත් උදාහරණයකින් කිවහොත් මිනිස්සු ඔක්කොටම එන්න කියා කෙනෙක් අහසට ඇඟිල්ල දික් කර ගෙන හඳ පෙන්නන විට අපි බැලුවේ ඇඟිල්ල දිහා නේද? සහ අපි කෙරුවේ එක එක ඇඟිල්ල ගැන වාද විවාද ඇති කරගෙන මරාගත්ත එක නෙමේද? කෙසේ හෝ අද වන විට අපේ රට ඉහල සිට පහලටම ආගමීකරණය වී ඇති බව අපිට පිළිගන්නම වෙන කාරණයකි. ජනාදිපති ඉඳන්ම ආගම මුල් තැනට අරගෙන පිස්සු කෙලින සාමාජයක් අද බිහි වී ඇත. ක්‍රිකට් ටීම් එක ප්ලේ කරන්න යන්නේද පිරිත් නුලක් බැන්දගෙනය, අලුත් පාලමක් ඕපන් වෙන්නෙත් පොල් ගෙඩි පොලේ ගසාය, අලුත් වාහනයක් ගත් පසු මුලින්ම යන්න ඕනත් පල්ලියේ ෆාදර් ළඟටය යනාදී වශයෙන් අපි ආගමෙන් හදල දුන්න වත් පිළිවෙත් වලට ඕනවට වඩා අන්දයෝ මෙන් වහල් වී ඇත. ආගම් දෝරේ ගලන අපේ රටේ එක කොනකවත් දෙවියන් ඉන්නවද කියල ලොකු ප්‍රශ්නයක් මට තියෙනවා. එකෙක්වත් දෙවියන් යනු කුමක්ද යන ප්‍රශ්නය ගැන හිතනවද කියා ද ප්‍රශ්නයකි. අනිත් කාරණය විශේෂයෙන්ම අපේ සමාජයේ ආගමක් අදහන් නැති මිනිහෙක්ව හොයා ගන්න හරිම අමාරුයි. ඇත්තේ ගොඩක් ආගමෙන් හෙම්බත් වී නන්නත්තාර වුන සෙට් එකකි. ඒ සෙට් එක සමාජයෙන්ම කොන් වීම සාමාන්‍ය දෙයකි. හරිම අඩු පිරිසක් සියල්ල තෙරුන් අරගෙන අර කලින් කිව්වා වගේ කාගෙවත් ඇඟිල්ලක් ඕනේ නැතුව තමාගේම නුවනින්ම හඳ බලනු ඇත. උන්ට කියන්නේ සමහරවිට පිස්සන් කියාද විය හැක.
මේ ආටිකල් එක ආගම පැත්තට නිකන්ම හැරුනේ සෙක්ස්, ආගම එක්ක කෙලින්ම සම්බන්ද නිසා වෙන්න පුළුවන්. ඒක නිකන් මේ වගේ. ආගම කොහෙද සෙක්ස් අනිවාර්යෙන්ම එතන බෑන් වීම ( වාරණය ) සාමාන්‍ය දෙයකි. මොකද ආගමකට අර කලින් කිවූ ක්‍රයිටේරියා වලට අනුව මිනිස්සුන්ව ශිෂ්ට සම්පන්න කිරීමට නම් සෙක්ස් කියන දේ පොඩි කරදකාරී දෙයක් වෙනවා. මොකද නියම සෙක්ස් වලට සීමාවක් නෑ, සෙක්ස් කර කර ඉන්න ගියොත් අපිට ශිෂ්ටසම්පන්න වෙන්න බෑ ( මේ සිස්ටම් එකේ ) වගේ දේවල් කියල ඒගොල්ලො විවාහය කියල කන්සෙප්ට් එකක් ගෙනල්ල ඒක ඇතුලේ ශුද්ද වූ සෙක්ස් කියන දේ හදනවා. මොකද සෙක්ස් නැතුවත් බෑනේ. එතන ඒක හරිම ශුද්දයි. අපි හෝලි සෙක්ස් කියමු ඒකට. නමුත් මේ කන්සෙප්ට් එක කොච්චරක් දුරට සාර්ථකද කියා ආගමට හිතුනේ නැද්දෝ හිතිලා ශේප් එකේ මග හැරියදෝ කියා මට හිතෙනවා. මොකද විවාහය ඇතුලත හොඳටම සැටිස්ෆයිඩ් සේක්ශුවල් ලයිෆ් එකක් අත් විඳින්නේ මුළු විවාහික ශුද්දවූ පවුල් වලින් සියලු දේ හොඳින් තේරුම් ගත් ඉතාම සුළු පිරිසකි. ඉතුරු කොටස කරන්නේ තමාව මරාගැනීමකි. ඒ කිව්වේ තමාගේ සේක්ෂුවල් ඉන්ටරෙස්ට්ස් නැති කරගෙන, මේක තමා අපිට උරුම වගේ දෙයක් හිතට දාගෙන හිත හදාගනීමක් වෙන්න පුළුවන්. ආගමෙන්ද මේකට හොඳ පොහොර දැමීමක් සිද්ද වනු ඇත. පසු කාලීනව සිද්ද වන්නේ මේ මරාගැනීම උග්‍ර වී සෙක්ස් වලට වයිර කිරීමට නැත්තන් අවුල් වුන සේක්ෂුවල් විකෘතියක් හොයා ගැනීම වෙන්නත් පුළුවන් ( සමහරවිට). තව කොටසක් කරන්නේ රඟපෑමකි. විවාහ පද්දතියේ පාර්ශව දෙකම තාමාට ඕන දේ හොයාගෙන අනියම් කිවූ මාතෘකාව උඩ, යහතින් වෙන වෙනම කල් ගෙවන අතර නියම් වූ මාතෘකාව උඩ විවාහයද ගොඩ දාගනී. මෙකී නොකී කොටස් සියල්ලම හොයන්නේ එක දෙයකි, එය නම් අපිට නැති වුන පරිපුර්ණ සැටිස්ෆයිඩ් ලිංගිකත්වයයි. අපේ විවාහයේ සෙක්ස් කියන මාතෘකාව අමතක කරනවා නැත්තන් මග හරිනවා කිව්වොත් හරි. දෑවැද්ද, වෙඩින් පාටි, ළමයි හැදීම, කාර් ගැනීම, ගෙවල් හැදීම, පල්ලි යෑම, ඔෆිස් යෑම වගේ තේරුමක් නැති කාරණා ඉස්මතු කරගත්තත් විවාහය තුල තිබිය යුතු අතිශය වැදගත් කාරණා වන ආදරය සහ සෙක්ස් මිස් කරනවා කියල හිතන්න පුළුවන්. ඒ මිස් කිරීමෙන් හෙම්බත් වුන සමාජය අද වන විට අවුල් ගොඩකට මුණ දී ඇත. එලෙස මිස් කිරීමට මම කෙලින්ම ආගමට බ්ලෙම් නොකරත් වක්‍රාකාරයෙන් හෝ ආගමට ඇඟිල්ල දික් කරන්නට වෙනවා. එකක් ආගමෙන් සෙක්ස් ශුද්ද වූ කිරීම අනික සෙක්ස් විවාහය ඇතුලට කොටු කරලා සීමා පැනවීම. ඒ අවුල් වලින් එලියට එන දේවල් අතර ළමයින්ව දුෂණය කොට මරා දැමීම, ඒ මරපු ළමයාගේ නිරුවත් චායාරූපය පන දාගෙන ශෙයා කිරීම, ඊට පසු චුදිතයාව එල්ලා මරන්න කියා කෑ ගැසීම, ලිංගික අල්ලස් ගැනීම, සමාජයක් ලෙස පෝර්න් (බ්ලු ෆිල්ම්ස්) සෙක්ස් ලෙස පිළිගැනීම, අන්තර්ජාලය යනු හුදෙක් සෙක්ස් හොයා ගැනීමේ මාර්ගයක් පමණක් කරගැනීම, ගණිකාවන් වැඩි වීම ( පිටකොටුවේ පේමන්ට් එකේ තුන්වෙනි පන්තියේ අය සහ කොල්ලුපිටිය බම්බලපිටිය හයි ක්ලාස් කොම්පැනි වල අය යන සෑම පාර්ශවයක්ම), ස්ත්‍රී දුෂණ වැඩි වීම, හිරකරුවන් වැඩි වීම, පවුල් බිඳ වැටීම් වැඩි වීම සහ සියදිව් හානි කරගැනීම් වැඩි වීම වගේ නිව්ස් හැමවෙලේම අහන්නට දකින්නට විය. ඒවා මීඩියා වලින්ද රස කර කර පෙන්නන්නේ සෙක්ස් අහිමි වූ අපට ඇති එරෝටික් ආතල් එකද වුන් දන්නා නිසාය.
එකී සෙක්ස් බෑන් වීම නිකන් හරියට අපේ ලිඟුව පටියකින් තදට බැඳ ඉදිරියට ගැහැනියක් ගෙන්වා ස්ට්‍රිප් ( ඇඳුම් ගැලවීම ) කරන්න කියා ලිඟුව අංශකයකින් හෝ කෙලින් වුවහොත් කනට ගසනවා වැනි නීතියක් දානවා වගේ හිතන්නත් පුළුවන්. ඒ උදාහරණය යම් තාක් දුරට හෝ ගැලපේ යයි මට හිතේ. සෙක්ස් යනු වැරද්දක් නැත්තන් කැත අවුල් දෙයක් වීමට ආගම දෝරේ ගැලීම බලපෑවානම් ආගම දෝරේ ගැලුවේ ඇයි යන ප්‍රශ්නයටද උත්තරයක් හොයන්න වෙනවා. මම මෙතැනදී සේක්ෂුවල් අවුලට එකම හේතුව ආගම කියා නොකියන අතර එය ප්‍රදානම හේතුවක් විය හැකි යැයි මට හිතේ. ඉතාමත් සරලවම හිතුවොත් ආගමක් වැඩි වීමට අප රටේ අවුරුදු 40කට ආසන්න කාලයක් තිස්සේ පැවති යුද්ද, ලේ වැගිරීම් වගේ නීච, දරුණු, මිනිහෙක්ට හීනෙකින්වත් දරා ගන්න බැරි තරම් වූ පට්ට ජරා අතීතය අනිවාර්යෙන්ම බල පාන්නට ඇත. රටක් ලෙස අනවබෝදයෙන් හෝ එකී වාතාවරණයක් තුල ( හෝ ඉන් පසුව ) ආගමකට දැඩි ලෙස නැඹුරු වීම අතිශය සාධාරණය. එවැනි අතීතයකින් පසුවත් අප රට ගැන හිතන්නේ, රට දකින්නේ අවුරුදු 40ට කලින් බලපු මානයෙන්මනං අප එතැනදී සහ මුලින්ම වැරදි වේ යයි මට හිතේ. මේකට හොඳ උදාහරණයක් තමා අපේ අම්මල තාත්තලාගේ තරුණ කාලෙයි අපේ තරුණ කාලෙයි සෙක්ස් කියන ටොපික් එක සමාජයේ හැසිරෙන විදිය සහමුලින් වෙනස් වීම. ඒ කාලේ අමරදේවල වික්ටර් රත්නයාකල වගේ මියුසීශියන්සලා ඒගොල්ලන්ගේ සිංදු වලින් සෙක්ස් ගැන කතා කරේ නැද්ද? බලන් ගියාම කතා කරලා තියෙන්නෙම සෙක්ස් ගැනමයි. හැබැයි එතන තියෙන භාවිතය අපිට වඩා හරි වෙනස්. ඒගොල්ලන්ගේ සෙක්ස් දැන් තියෙන සෙක්ස් වලට වඩා වෙනස් ස්වරුපයක් අරන් තියෙනවා. ඒගොල්ලෝ ඒක විඳලා තියෙනවා. ඒක ආර්ට් එකක් කරගෙන තියෙනවා. කොටින්ම මත් වීම ඒ කාලේ මෙච්චර චාටර් වුන දෙයක් කියා මට හිතෙන්නේ නෑ. ඒ කාලේ අමරදේවල, වික්ටර්ල, කපුගේල අඩියක් ගැහුවේ නැද්ද? ගංජා සුරුට්ටුවක් බිව්වේ නැද්ද? ඒගොල්ලෝ ඒ දේවල් හරිම සුන්දර දේවල් කරගත්ත, ඒ කාලේ ඒවා මෙච්චර බෑන් වුනේ නෑ. ඉතින් මා ඇදල ගත්ත යුද්දය නැමති සමාජීය හේතුව මේ වුන විපර්යාසයට ලොකුම හේතුවක් වෙන්න පුළුවන්. යුද්දයක් නිම වීම යනු එක පාර්ශවයක් සහමුලින්ම සුන්නද්දුලි කර මරා දැමීම නොව යුද්දය ඇති වුන හේතුව තහවුරු කර ඒ හේතුවට ප්‍රතිකාරයක් කිරීමයි. සිංහල අප මේ වන විට අත්විඳින්නේ යුද ජයග්‍රහණයක් එක්ක ගලාගෙන ආපු ආත්මාර්ථකාමී, අමුතුම ආතල් එකක් දෙන සමාජීය ත්‍රිල් එකක්ය. ඒකෙන් වෙන්නේ අප ප්‍රශ්න තව තවත් උග්‍ර වීමක් නොවේද? 
සෙක්ස් යනු කල්චර් එකත් සමග වෙනස් වන දෙයක් කියා කවුරු හරි කිව්වොත් මම එකට එකඟ වෙනවා. හරි, කල්චර් එකත් එක්ක සෙක්ස් වල භාවිතාව අනිවාර්යෙන්ම වෙනස් වෙන්න පුළුවන්. නමුත් මගේ තර්කය මොකක් හරි කල්චර් එකකට අනුව සෙක්ස් වාරණය වෙනවනං එතන ඒ කල්චර් එකේ ලොකු අවුලක් තියෙනවා. එහෙනං කල්චර් එක වෙනස් විය යුතුය. කල්චර් එකක් යනු නිතර වෙනස් වීමට භාජනය වන දෙයක් බව තෙරුන් ගැනීම සරලයි. අපේ ගෙදර තියෙන්නේ වෙනම කල්චර් එකක්, ඔයාගේ ගෙදර වෙනම එකක්. ඒ වගේ අපේ රටේ හැදිලා තියෙන්නේ වෙනමම කල්චර් එකක්. ඒක එහෙම හැදෙන්න ගොඩක් හේතු බලපෑවා. එහෙනං අපිට පුළුවන්නන් පෙර වැළලුනු අතීතයකට වයිර කරන කලකිරුණු මුසල කල්චර් එකක් වෙනුවට අලුත් ෆ්‍රෙෂ් කල්චර් එකක් හදන්න අපිට පුළුවන් වෙයි ගොඩක් ප්‍රශ්න විසඳගන්න, සෙක්ස් ද ඇතුළුව. 
එතකොට ඔය කියන ලස්සන, සුන්දර නැත්තන් භාවනාත්මක සෙක්ස් යනු කුමක්ද? ඒක කොහෙද තියෙන්නේ? ඒක කොහොමද හොයා ගන්නේ? 
ඒක තියෙන්නේ අපි ගාවමයි. ඒකත් නිකන් අපි පල්ලි පන්සල් වල දෙයියෝ හෙව්වට දෙයියෝ ඉන්නේ අපේ ඇතුලෙමයි වගේ තමා. අපිට පුළුවන්නන් ගැහැණියකගේ සුන්දරත්වය කිසිදු සීමාවක් නැතිව උඩ සිට පහලට අගය කරන්න, එතැනදී අප දියුණු මිනිසුන් බවට පත් වේ. ස්ත්‍රී ලාලිත්‍යයේ ඇති සුන්දරකම්, එහි හැංගුන තනු, සංගීතය, කලාව, නේචර් එක අපිට පුළුවන්නන් ගැඹුරු ලෙස අත්විඳින්න ඒ අත්විඳීම වලත්ත නොවී කලාත්මක එකක් වේ. එය උතුම් කලා කෘතියක් වේ. සහ එතනින් ඔබ්බට ගොස් ලිංගිකව එකතු වීම මහා ගැඹුරු ඉමෝෂනල් සම්බන්දයක් ඇති එක්තරා ආර්ට් එකක් කර ගැනීමට අපට පුලුවන්නම් එය වලත්ත නොවී කලාත්මක වේ. අපට ඉමොෂනල් සම්බන්දතාවයක් හැමෝත් එක්කම ඇති කරගැනීම ගොඩක් අපහසු දෙයකි. අපි හුදෙක් ඕගස්ම් ( සුරතාන්තය ) එකක් අරමුණු කරගත් දුර්වල පරිණත නොවූ ඉන්ටකෝස් එකක්නන් බලාපොරොත්තු වන්නේ අපිට හතර වටේ සෙක්ස් හොයාගෙන ඇවිදින්නට විය හැක. බුදුන් වහන්සේ කිවූ ලෙස සියල්ලම තමාගේ නුවනින් විමසා කටයුතු කිරීම ගොඩක් වටිනා තියරි එකකි. ඇත්තටම අපේ රටේ බෞද්ද ධර්මය බෞද්ද ආගම ලෙස කන්වර්ට් කරගැනීම ලොකු අවුලකි. බෞද්ද ධර්මය යනු ඉතාම ගැඹුරු පරිපුර්ණ විද්‍යාවක් වුවද ඒක හුදෙක් ආගමක් කරගෙන පිස්සු කෙලින අප ඇත්තටම මෙය වෙනස් කිරීමට හැකි විගස කටයුතු කල යුතුයැයි මට හිතේ. යම්කිසි අසාමාන්‍ය මානසික තත්වයන් හෝ විවිද වූ අමුතු කල්චරල් සිටුවේෂන්ස් හෝ විවිධාකාර වූ සමාජ ප්‍රශ්න හැරුණු කොට අපිට අම්ම, නංගි, අක්කා සහ දියණිය යන පාර්ශ්ව සමග ලිංගිකව හැසිරීම ප්‍රකුර්තියක නොවෙන දෙයකි. මෙවැනි ටැබූ ඉන්සෙස්ට් කතන්දර ( තහනම් වූ ව්‍යාබිචාර ) ලොව ඇති නොවුණා නොව අදටත් හෙටත් ඉස්සරත් මේවා එලෙසම ඇති වීම ලොව පුරා විවිදකාර වූ සමාජ පද්ධති වල අපට දක්නට පුළුවන. මා මේක දකින්නේ මෙවැනි ලින්ගිකත්වයකට මුල පිරෙන්නේ එක්තරා නුලකින් බැන්දී ඇති සම්බන්දයක් කැඩී යාමෙන් කියලයි. මිනිස්සුන් අතර මේ බැඳීම තිබුනද සතුන්ගේ මෙවැනි නුලක් නොතිබීමෙන් එය එසේමයි කියා තහවුරු වේ. නමුත් එකී විශේෂිත තත්වයකදී එම නුල කෙනෙකු නොසලකා හරින්නේනම් එම ලිංගික තත්වයන් ද ඇති වන්නට ඉඩ ඇතැයි මට හිතේ. මම මෙතැනදී කියන්නේ ඉන්සෙස්ට් ලින්ගිකත්වයක් අප ඇති කරගෙන ඔහේ සත්තු වගේ සෙක්ස් කරමු කියා නොව, අපිට පුළුවන්නන් මේ ලොව සියලුම ගැහැනුන් දෙස (අම්ම, නංගි, අක්ක සහ දියණියත් ඇතුළුව) එකී ශ්‍රේෂ්ට සුන්දර සේක්ෂුවල් මානයකින් බැලීමට, එවිට අද අපිට ඇතිවෙලා තියෙන ප්‍රශ්න බොහොමයක් නිම වෙයි කියා මට හිතෙනවා. අම්ම, නංගි, අක්ක හා දියණිය දෙස බලන මානයෙන්ම ලොව සියලුම ගැහැනුන් දෙස බලන්න කියන සාම්ප්‍රධායික මෝඩ තර්කයට මා එකඟ නොවන අතර එය කිසිසේත්ම අපට ප්‍රයෝගිකව කල නොහැකි දෙයක් බව ඔබද මමද දන්නෙමු. අපට කල හැක්කේ සෙක්ස් කියන දේ ගැන පොදුවේ අපි බලන මානය ( පර්සේප්ෂන් එක ) වෙනස් කරගැනීමයි. ගැහැණිය යනු මටනම් කළාකෘතියකි. එයට ඇයගේ බාහිර පෙනුමද මානසිකතත්වයද ඉන්ක්ලුඩ් වේ. කලාවක් අගය කිරීමට අප සමාජය වෙනස් කළහොත් ගැහැනියවද ඉතාම ගැඹුරු ලෙස අධ්‍යනය කරන්නට අප පුරුදු වේයැයි මට හිතේ. එවිට ඒ අධ්‍යනයට කවුරුත් වලත්තයි නොකියා කලාත්මකයි කියනු බව නිසැකය. අධ්‍යනය කර එයින් නතර නොවී සෙක්ස් කිරීමට කවුරුහරි ට්‍රයි කරලා වැඩේ අල කරගන්නවනං මට කියන්න තියෙන්නේ ඒ පුද්ගලයා කිසිවක් තෙරුන් නොගත් හොර අධ්‍යනයක් කරපු කෙනෙක් කියායි. කිසිම වග විභායකින් තොරව ළමයින්ව හුදෙක් ඉංජිනේරුවෝ, දොස්තරවරු ඇතුළු රටක භෞතික සහ ආර්ථිකමය දියුණුවකට උර දෙන ලොකු පොරවල් කරනවා වෙනුවට අපිට පුළුවන්නන් ළමයින්ව සමාජයට වැඩ දායි ආදරණීය කලාත්මක පොරවල් කිරීමට අප රටේ ගොඩක් සමාජීය ප්‍රශ්න නැති කරගන්න පුළුවන් යැයි මට හිතේ. දියුණු වූ රටවල් වලට නැති දියුණු වන අපේ රටේ ඇති වටිනා ගුණාංග ආරක්ෂා කරගන්නත් ඒක පිටුවහලක් වනු ඇතයි මට හිතේ.
එවිට අපේ ළමයින්ට අපිම වලත්තයි නොකියා කලාත්මක කියනු නොඅනුමානය...
කළාත්මක,
- අර්ජුමාන්