Sunday, 17 November 2024

පාර්ලිමේන්තු මැතිවරණයට පෙර

 අද නොවැම්බර් 13. රෝහණ විජේවීරගේ මරණය. හෙට පාර්ලිමේන්තු මැතිවරණය. අලුත් ඉරක් පායන්න ඉතා ළඟයි. පරණ ඉරක් බැහැලා යන්න නියමිතයි. ඈතින් පේන මේ බොඳ වෙච්ච සිතිජය දිහා බලාගෙන හිතට ගලාගෙන ආපු සිතිවිලි කීපයක් මෙසේ දිගහරින්ට අවසර.  

දැනට වෙමින් පවතින සංක්‍රාන්තිය මගේ පුංචි ළමා ඇසින්. 

චූටි කාලේ අපි තෙමෙන්න ආස වුන ඒ වැස්ස තාමත් එහෙම්මම වහිනවා. අකුණු ගහනවා. ගෙම්බො කෑගහනවා. අපිට ඒත් එළියට යන්න හරි භයයි. ජෙනෙල්ලෙ ඇරලා වැස්ස දිහා බලන්නවත් හිතක් නෑ. දොර ළඟ ඉන්නවා මුරකාරයො. බුද්ධිමත් මුරකාරයො. දැනුමෙන් සන්නද්ධ නපුරු මිනිසුන්. අපිට ඒගොල්ලො රවනවා. හ්ම්ම්. එළියට බහින්න ගියාම ටොකු අනිනවා. රාක්සයො වගේ කෑගානවා. ඒගොල්ලොත් පව් ඉතිං මොනා කරන්නද. වැස්සට හරී භය වෙලා. එක්කො ඒගොල්ලන්ව භය කරලා. පුම්භගෙන සීරියස් වෙලා වැස්සෙන් අපිව ආරක්සා කරනවා. කොච්චර ආදරයක්ද. අනේ ඉතිං වැස්සත් ඔහේ වැහැලා වැහැලා වැහැලා මඩ වෙලා ගං වතුර දානකම්ම මේ සිකුරිටි උන්නැහැලා ටික එතුමන්ලාගෙ රාජකාරිය අකුරටම ඉස්ට කරමින් ඉන්නවා. මේ ගරාවැටිච්ච හිරගෙවල් අස්සෙ අපි තනි තනි වෙලා ෆෝන් ලැප්ටොප් තියාගෙන බර වැඩ. දවල් වරුවෙ වැඩ ඉවර වෙලා හවසට මහන්සිය නිවාගන්නත් එක්ක පාට් ටයිම් විප්ලවයක් දෙකක් කරගන්නවා. ගේමක් ගහගන්නත් එපැයි බං.  

ඉස්සර නොසන්ඩාලකමට වැස්සෙ නාපු හැටි මතක් වෙනවා. මුරකාරයන්ට මැද ඇඟිල්ල පෙන්නලා කෝචෝක් දාගෙන හූ කියාගෙන දුවපු හැටි මතක් වෙනවා. කොච්චර සුන්දරද. කොච්චර අහිංසකද. මඩ කාගෙන, පොලොව හාරගෙන, බෝක්කු වල බැහැගෙන. බලු බෙට්ටක් පෑගුනත් ලොකු අවුලක් නෑ ඉතිං, වැස්සනේ. දැන් මේ මාංචු එක්ක මුකුත් කරගන්න බැරි වෙලා. අපිත් එක්ක එහෙම නටපු මඩකරි දැන් හොඳ ළමයි වෙලා. දැන් ඒගොල්ලො පිළිවෙලයි. පිරිසිදුයි. නිරෝගියි. තවත් මුරකාරයෙක් වෙන්න සුදුස්සෙක් වෙලා. උපාධි හම්බෙලා. මාස්ටර්ස් පීඑච්ඩී මග. ලෝගුව දාන්න ඔන්න මෙන්න. ඒගොල්ලො දැන් හරි වසයි. අපිට වෙඩිතියන්නත් බැරි නෑ. හ්ම්ම්. භයායි.  

ඊයෙ මම හීනෙන් සීයාවයි ආච්චිවයි දැක්කනෙ. උන් දෙන්නාට මර කේන්ති ලු. මොනාද තොපෙ මහ උන්දලා මේ කොරලා තියෙන්නෙ කියලා මගෙන් අහනවා. දැන් අපේ කනත්තත් ෆුල් මාවලස් නෙ. ඒසී හයි කරලා හයිෆයි සිස්ටම් දාලා ෆුල් සිස්ටමැටික් වෙලා. සීයා ආච්චි මට කින්ඩි දානවා අපේ ඇටකටු තියෙන්නේ කොහෙවත් තොපි ඉටිපන්දම් පත්තු කරලා ඔරසම් කියන්නෙ වෙන කොහෙවත් කියලා. මොනා කියන්නද අප්පා. උන් දෙන්නා ඉන්නකං මේ මුරකාරයො ටිකට ඇඳුම් මැහුවා. තොප්පි දැම්මා. ලෝගු ඇන්ඳුවා. දැන් පොළොව අස්සට ගිහිල්ලා අපට කෑ ගහනවා. අපිත් කියලා මොනා කරන්නද. තනි තනියෙන් ඔරසම් කියලා ස්වයං වින්දනයේ යෙදෙනවා මිසක්.  

2019යෙ දවස් 40ක් කන්නලව් කරලා පාස්කු දා කුඩයක් අරන් පල්ලියට ගියා. හිතුවෙ වහියි කියලා. එකෙක්වත් කුඩ ගෙනල්ලා තිබ්බෙ නං නෑ. වැස්සක් ආවෙත් නෑ. ඒ වෙනුවට ආවෙ බෝම්බයක්. කෑලි කෑලි ගැලවිලා ගියා. තාම කෑලි අහුලනවා. අල්තාරෙ කුඩුපට්ටං වුනා. එදයින් පස්සෙ හැදුනා අලුත්ම පල්ලියක්. සුපිරි පල්ලියක් ආයෙ. පට්ට උස ගේට්ටු හයි කරලා. තාප්ප උඩින් වීදුරු කටු සෙට් කරලා. දැන් පූජාවට කාසි දාන්නෙත් නෑනෙ. ක්‍රෙඩිට් කාඩ් ගෙනියන්න ඕනා. බෝම්බෙන් මැරුණ උන්ව ෆ්‍රී ඔෆ් චාජ් යැව්වා ස්වර්ගෙට. ඇටකටු ටික දැම්මා කනත්තෙ පොලොව යටට. දාලා උඩින් ගැහුවා සුපිරි ස්ලැබ් එකක්. දැන් කනත්ත සෙකන්ඩ් හෑන්ඩ් විකුණනවනං බර ගාණකට සෙට් වෙනවා. පල්ලිය ප්‍රයිස් කරන්න ගියොත් එතන තියෙනවා හෙනම තරඟයක්. දැනට උඩින්ම ඉන්නෙ මිරැකල් ඩෝං. එව්වට ලං කරන්න බෑ මේව්වා. දෙයියො නං අන්න. අපිත් එක්ක හිටිය මඩකරි සෙට් එකක්ම ප්‍රොෆට් හෝදලා බෞතිස්ම කරලා දැම්මා. දැන් උන්ට හරි සරුයි. බෝක්කු ගානෙ වැස්සෙ නාන්න එන්න දැන් කොහෙද වෙලාවක්.  

කොහොමහරි සන්තෝසයි විලි ලැජ්ජයි.   

මෙතෙක් හැංගි හැංගි සටන් කරපු විප්ලවවාදීන්ට පුලුවන් වෙනවා හෙට රෝමෙට යන්න. රෝමෙ සමග අතිනත අරගෙන රෝමානු වෙන්න. මෙතෙක් කිලුටු ඇඳුම් අඳින්න වුන, පාරෙ නිදාගන්න සිද්ධ වුන, මහා දුක් වින්ඳ, ජීවිත අහිමි කරගත්ත කැරලිකාරයන්ට හෙට ඉඳන් පුලුවන් රෝමේ පූජකයො වෙන්න. රාජ්‍ය සුවඳ තියෙන සෙන්ට් තවරාගෙන රට රටවල් අල්ලාගෙන අද මියැදුන නායකයාගෙ දහම ලොව පුරා දෙසමින් රෝමානු කොඩිය උස්සන්න. කමක් නෑ. මැක් ඩොනල්ඩ්ස් වුනත් මේ ලංකා දීපයේ ඉඳන් අපි රස කර කර කන්නේ එහෙම නැව් නැග්ග පූජකයො ටිකක් හින්දනෙ.  

අවසානයේ අපේ සුදු මහත්තයාගෙ නෝනා හාමුට උම්මා එක්ක දෙන්න ඕනා. දෙයියන්ට ඔප්පු කරන්න තිබ්බ පඬුරු අල්තාරයක් නැති මේ සුපිරි පල්ලියෙ කොහෙන් කියලා තියන්නද. නේද. නෝනා හාමු නැත්තං අදටත් අපේ වසවර්තියා පල්ලියෙ තැඹිලි කඩනවා. ඔයා නිසා අද එයා සුද්ධ වූ පූජකයෙක් වෙලා. ඔයා වමට හැරෙන්න කිව්වම එයා වමට හැරෙනවා. එක පාර නෑ නෑ දකුණට කිව්වම දකුණට හැරෙනවා. කරත්තෙ දක්කගෙන ගොනා හපුතල් නගිනවා.  

මේ පොඩි මනසට ගොඩාක් දේවල් තේරෙන්නෙ නෑ. ඉවක් නං තියෙනවා. ඒ සතෙක් නිසා. සතාට පියාඹන්න පුලුවන් පියාපත් නිසා. ඉතිං පොළොවෙ නයි මුගටි එක්ක මේ හිටියට කොයි වෙලේ තුස්තිම්භූත වෙලා යයිද දන් නෑ. එහෙම එකපාර ලයිට් ගියොත් භය වෙන්න එපා. ආයි එනවා. වෙන විදියකින් එනවා. හොල්මන් කරනවා. ළිඳ ළඟ ගොම්මනේ බලාගෙන හිටපු භූතයා වගේ නිතර නිතර හීනෙන් පේන්න ගන්නවා.  

ස්ත්‍රීන් කෙහෙවලු පටලාගත් සීතල යුධ සමය කෙමෙන් කෙමෙන් අවසානයකට ළඟා වෙමින් පවතිනවා. පරම යථාර්ථය හිස හොසවමින් එම ස්ත්‍රීන්ගේ දාසයන් වූ පිරිමින් තම නාස් ළණු ලෙහා ගනිමින් ලේ බිඳක් නොසොල්වන සැබෑ යුද්ධයකට සැරසෙනවා. කාමුක ස්ත්‍රී-මායාව විසින් නිර්මාණය කරන ලද හිස්ටීරියාවෙන් මිදෙන්නට මා ප්‍රියාදර පිරිමි මිතුරන්ට ආරාධනා කරනවා. පුරුශ ශක්තිය යොදවා අසීරුවෙන් ගොඩනගාගත් ලොවක් විනාස කර දැමීමට නොව ඉතා ඉවසීමෙන් අලුත් ලොවක් ගොඩනගන්නට මාගෙ සුභ ප්‍රාර්ථනා මින් එක්කර සිටිනවා.  

යුධ බිමේදී හමුවෙමු! 

අර්ජුමාන්  

13.11.2024

ජයග්‍රාහිකයන්ගේ සහ පරාජිතයන්ගේ අවධානය පිණිස - පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු

 ජයග්‍රාහිකයන්ගේ සහ පරාජිතයන්ගේ අවධානය පිණිස. 

විවිධාකාර ක්‍රේශ්ත්‍රයන්හී විශ්ව විද්‍යාල මට්ටමෙන් අධ්‍යාපනයක් ලබා එම ක්‍රේශ්ත්‍රයන්හී දිගු කාලීනව සේවය කොට ඒ ඒ විශයෙහි පරිචයකට ළඟා වූ බොහෝ වෘත්තිකයන් - ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, රංගන ශිල්පීන්, බැංකුකරුවන්, නීතිඥයින් සහ ආචාර්ය මහාචාර්යවරුන් අපට මෙවර පාර්ලිමේන්තුවේදී දැක ගන්නට පුලුවන් වී ඇත. 

ඒ සියලුම දෙනා 'අරගලය' කාල පරිච්ඡේදය හරහා සිදු වූ රටේ එතෙක් පැවති දේශපාලනික පස ඉවත් කිරීමේ ව්‍යාපෘතියටද සක්‍රීයව හෝ වක්‍රාකාරයෙන් සහභාගී වී ඇති බවද පෙනේ. එම කාල පරිච්ඡේදය තුල පාස්කු ප්‍රහාරය, කෝවිඩ් වසංගතය වැනි සමාජ දේහය කම්පනයකට ලක් කෙරුනු සිදුවීම් වල ප්‍රතිඵලයක් විදියට රට තුල මානසික සමාජීය දේශපාලනික විපර්යාසයන් ඇති වන්නට විය. 

එම විපර්යාස වල දිගුවක් විදියට ඉහත කී යම් යම් විශය ධාරාවන් වල නියැලී සිටි වෘත්තිකයන් සංවිධානගත වී රාජ්‍ය දේශපාලනයට ද අවතීර්ණ විය. අද වන විට විවිධාකාර සමාජ ක්‍රියාකාරිකයින්, එකී වෘත්තිකයන්, ලාභය අරමුණු කරගත් හෝ නොකරගත් ව්‍යවසායකයින් ඇතුලු එකී මෙකී විවිධාකාර විශය ධාරාවන් වල, විවිධාකාර ක්‍රේශ්ත්‍රයන් වල නිරතව සිටි පුරවැසියන් පාර්ලිමේන්තු බලය අතට ගෙන ඇත. 

ඊට සමගාමීව එතෙක් පැවති රාජ්‍ය කේන්ද්‍රීය මාධ්‍ය ව්‍යුහය යම්කිසි පසුබෑමකට ලක් වී ලොව පුරා අන්තර්ජාලය තුල ක්‍රියාකාරිව පවතින සමාජ-මාධ්‍ය ව්‍යුහය ඉදිරියට පැමිණ ඇත. විවිධාකාර තොරතුරු සමූහයක් ඉතා අධික වේගයකින් සහ යම්විටෙක ව්‍යාකූල ආකාරයකින් විමධ්‍යගතව සැරිසරන මේ සමාජ-මාධ්‍ය රාමුව හරහා ලොව පුරා සිටින මිනිසුන්ව ජාති ජම්ම කුල භේද ආගම් වැනි සීමා මායිම් පරයා සම්බන්ධ කරමින් තොරතුරු හුවමාරු කරමින් විවිධාකාර මානසික යථාර්ථයන් නිර්මාණය කරමින් ඇති බවක් අපට පෙනේ. 

අද වන විට දේශපාලන විද්‍යාව, ජනමාධ්‍යකරණය, දර්ශනවාදය, සාමාජ විද්‍යාව, රාජ්‍ය පරිපාලනය, මාධ්‍ය වැනි විශයන්හී කිසිදා නිරත නොවුනු සහ එම විශයන් ගැන කිසිම ආකාරයක විධිමත් හැදැරීමක් නොමැති නමුත් වෙනයම් කුමන හෝ විශයක නිරත වූ අධ්‍යයන පරිචයක් ලැබූ ඉහත සඳහන් 'වෘත්තිකයන්'ට රාජ්‍ය දේශපාලනය, රාජ්‍ය මාධ්‍ය සහ රාජ්‍ය හමුදාව ඇතුලත් රාජ්‍ය තන්ත්‍රය හැසිරවීමට අවකාශයක් නිර්මාණය වී ඇත. 

ඕනෑම විශයකට අනුබද්ධ වූ එක්තරා විනය රාමුවක් පවතින අතර ඒ ඒ විශයෙහි ඕනෑම කෙනෙකු දිගු කාලීනව නිරත වීමේදී ඊට අනන්‍ය වූ විනය පද්ධතියක් විසින්ම එම නිරතවන්නාව යම්කිසි ශික්ශණයක් මත පිහිටුවනු ලබයි. එකී ශික්ශණය හරහා මනුස්සයෙකු තම සත්ව ස්වභාවයෙන් නික්මව ශිශ්ඨ සම්පන්න ශික්ශාවතකට අවතීර්ණ වනු ඇත. රාජ්‍ය පිහිටුවා ගැනීමේ ක්‍රියාවලියේ මූලික අඩිතාලමක් වන පුරවැසියෙකුගේ ස්වයං සහ සභා මූලික ශික්ශණය මෙලෙස විශයක් මත පදනම්ව ගොඩනගාගත හැක. 

උදාහරණයක් විදියට ඉහල මට්ටමේ විශ්ව විද්‍යාල වල අපට මුණ ගැසෙන දිගු කාලීනව එහි අධ්‍යයන සේවයෙහි සහ පර්යේෂණ ක්‍රියාවලීන් වල නිරත වන යම් යම් විශයන් තුල කිමිදී සිටින මහාචාර්යවරුන් ආචාර්යවරුන් ගුරුවරුන් සහ ගැඹුරු භාවනාන්හී නිරත වෙමින් සිටින බෞද්ධ භික්ශූන්, සිද්ධස්ථාන වල වැඩ සිටින පාදිලිවරුන්, මාශල් ආර්ට් සටන්කරුවන් වැනි කුමන හෝ ශික්ශාවතක පිහිටුවාගත් මිනිසුන් අතර යම්කිසි පොදු ලක්ශණ කීපයක් අපට දැකගත හැක. දැඩි ඉවසීම, ගැඹුරු ඇහුම්කන් දීම, අවධානය, කරුණාව, ආදරය වැනි උතුම් මිනිස් ගුණාංග මෙවැනි මිනිසුන් ප්‍රගුණ කරමින් සිටියි. ඒ සියල්ලෝ තම විශය තුල එක්තරා පේවීමකින් ශිශ්ඨ සම්පන්න දියුණු මිනිසුන් බවට පත් වීමේ මානසික ක්‍රියාවලියක නිරත වෙමින් සිටිනු ඇත. 

ගිහි ලෞකික ලෝකය තුල නොහොත් ආසාව සමග නිතර දෙවේලේ ගනුදෙනු කරමින් සිටින සාංඝික නොවන සාමාන්‍ය සමාජයක ජීවත් වන අයෙකුට මෙවැනි ශික්ශණයක් ළඟා කරගත හැක්කේ යම්කිසි විශයක අවංකව පිහිටුවාලීමෙන් බව මාගෙ අදහසයි. එම විශයට ඇති ඇල්ම සහ ස්වභාවිකවම පවතින චරිතාංග සහ ගුණාංග නිසාවෙන්ම ඒ ඒ විශයෙහි නිරත වන්නාට නිරායාසයෙන්ම ආධ්‍යාත්මිකව දියුණු වූ ශිශ්ඨ සම්පන්න මනුස්සයෙක් බවට පත් වීමට ඉඩ ප්‍රස්ථාවක් නිර්මාණය වනු ඇත. යමෙකු විශයෙන් පීලී පැනීමේදී විනය පද්ධතීන් සහ විශ්වාස පද්ධතීන් අතර අර්බුදයක් නිර්මාණය විය හැකි අතර එහිදී ඉහත කී සමාජ සංයමය, ඓයින්ද්‍රීය ශික්ශණය, ආධ්‍යාත්මික ශිශ්ඨත්වය නොහොත් පුරවැසියෙකුගේ හෝ රටක සංවර්ධනය ස්වභාවික ආකාරයකින් පවත්වාගෙන යෑමට අපොහොසත් විය හැක. 

මෙවැනි දෘශ්ඨියකින් නව පාර්ලිමේන්තුව දෙස බලමු. ජනතා විමුක්ති පෙරමුණේ දිගු කාලීනව ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවූවන් මදකට පසෙකින් තබා ඉහත කී ආකාරයෙන් මෑතකදී නිර්මාණය වූ නව සමාජ දේශපාලනයට අවතීර්ණ වූ උගත් වෘත්තිකයන් ගැන විශේෂ අවධානයක් යොමු කරමු. එම වෘත්තිකයන් සහ නිළධාරීන් රට ආර්ථිකව බංකොලොත් වන්නට පෙර සිටියේ කොහෙද?

ඔවුන් සිටියේ ඒ ඒ ක්‍රේශ්ත්‍රයන්හී ඒ ඒ රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන වල විශය සහ විශයට පරිභාහිර දේශපාලනික සංදර්භයක අඩු වැඩි වශයෙන් නියැලී තම සේවය ඉටු කරමින් ය. ඔවුන්ගේ චර්‍යාවන්, මමත්වය මූලික කරගත් පවුල් වාදී වීම්, අහංකාර උද්ධච්චකම්, හිතුවක්කාර තීන්දු තීරණ ගැනීම් වැනි මතුපිට කාරණා වලට ඔබ්බෙන් ඔවුන්ට හද පතුලෙන්ම රටට සේවය කිරීමට උවමනාවක් තිබුනද, ඔවුන් අවුරුදු ගාණක වෙහෙසකින් ලබාගත් අධ්‍යාපනය, දැනුම, පළපුරුද්ද මත පදනම්ව හරි හැටි සේවයක් ‍රටට ලබාදෙන්නට නොහැකි වූ ලෙඩ වූ දේශපාලනික තත්වයක් රට තුළ නිර්මාණය වෙමින් පැවතිනි. ඒ මජර දේශපාලනය, චණ්ඩි දේශපාලනය සහ හොර මගඩි ගැන ආයෙ අයෙත් අප තුවාල පාරගන්නට අවශ්‍ය නැත. ඒ සියල්ල ඉදිරියේදී සැකසෙන නීතී රාමුවට භාරකල යුතුව ඇත. මෙවැනි ගරාවැටිච්ච දේශපාලනික ව්‍යුහයක තම විශයෙහි නිරත වෙමින් රටට සේවය කිරීමට අපහසු වූ හෘදසාක්ශියට එකඟව වංකව ඉදිරියට යා නොහැකි වූ විවිධාකාර වෘත්තිකයන්ට දේශපාලනික තලයට පැමිණෙන්නට සිදු විය. අද ඔවුන් කෙසේ හෝ රටේ බලය හැසිරවීමට උර දී ඇත. නැවේ කපිතාන් ඇතුලු නැව ඊළඟ වරායට රැගෙන යන නැව් පදවන්නන්ගේ කණ්ඩායම කුලල් කා ගනිද්දී බැරිම තැන බලා සිටීමට අපහසුම තැන ඉංජිනේරුවන් සහ තාක්ශණික නිළධාරීන් ඔවුන්ගේ වැඩ නවත්වා නැව නිවැරදි දිශාවට යොමු කිරීමේ අභිලාශයෙන් කපිතාන්ගේ කාමරයට පැමිණ ඇත. 

මෙතනින් එහාට මෙවැනි භාහිර වෘත්තිකයන් දිගු කාලීනවම රාජ්‍ය දේශපාලනයේ නිරත වෙයිද? ඔවුන් දුටු පද්ධති වෙනසක් සකසා එයට උර දී පසු කාලීනව සියලුම ඔටුනු බිම තබා නැවත ඉහත කී විශය අනුබද්ධ ශික්ශාවතට පැමිණෙයිද? නැතහොත් මෙතෙක් කල් රහසින් හෝ ඔවුන් යෙදෙමින් සිටියේ මෙවැනි බලකාමී ප්‍රයත්නයකද? ඔවුන්ට ඔවුන්ගේ විශය පිළිබඳ ඇති කැක්කුමේ තරම කොපමණද? 

ඊයේ අප දුටු පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලය බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලබාගෙන ස්වෛරී රටක් බවට පත් වූවා වාගේම ඓතිහාසික සංසිද්ධියකි. අප සියල්ලෝ රටක් දේහයක් විදියට අලුත් සවිඥානික තලයකට ළඟා වී ඇති බව පෙනේ. අතීතයේ සිටම සාක්ශරතාවයෙන් ඉහළ මට්ටමක සිටි අප අන්තර්ජාලය හරහා විවිධාකාර තාක්ශණික භාණ්ඩ සහ සේවා (ස්මාට් ෆෝන්, පරිඝණක, සමාජ මාධ්‍ය, කෘතිම බුද්ධිය උපයෝගී කරගත් සේවා) පරිභෝජනය කරමින් මෙතෙක් පැවති සාම්ප්‍රදායික අධ්‍යාපනික තලයෙන් (ආධ්‍යාත්මික තලයෙන්) ඔබ්බට සවිඥානය ගමන් කර ඇත. අනෙක් අතින් බැලූ විට එලෙස උග්‍ර තාක්ශණික පරිභෝජනවාදයකට ගොදුරු වී ඇති අපට අපේම යැයි කිව හැකි නව දැනුම, ෆේස්බුක් යූටියුබ් වැනි නව සමාජ මාධ්‍ය වෙබ්අඩවි නිර්මාණය කරගැනීමට අවශ්‍යය නව න්‍යායන්, ලංකාවට ආවේනික වූ ලංකා භූමියෙන්ම නිර්මාණය වූ නව තාක්ශණික විධි ක්‍රම ඇතුලත් නිර්මාණශීලී බුද්ධිමය ප්‍රාග්ධනය ගොඩනගාගැනීමට තවමත් අප අපොහොසත්වද ඇත. 

මෙවැනි සංදර්භයක අප මේ යමින් සිටින්නේ පසුගාමී අවස්ථාවකටද ප්‍රගතශීලී අවස්ථාවකටද යන්න උභතෝකෝටිකයකි. ලොව පුරා පවතින මධ්‍යගත රාජ්‍ය ව්‍යුහය ටිකෙන් ටික අන්තර්ජාලය ඔස්සේ විමධ්‍යගත ක්‍රමයකට පරිවර්තනය වෙමින් පවතින බවත් මීට සමගාමීව අපට පෙනේ. ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පුටුවට පැමිණීම, එලෝන් මස්ක් වැනි නව තාක්ශණික-වැඩවසම් ලෝකයේ අධිපතිවරුන් දේශපාලනයට අවතීර්ණ වීම වැනි කාරණා හරහා අපට පෙනී යන්නේ පෘථිවියේ ආර්ථික-බල ව්‍යුහය එක්තරා සංක්‍රාන්ති අවස්ථාවක පවතින බවයි. ඩිජිටල් මුදල් / ක්‍රිප්ටො මුදල් ඉතා වේගයෙන් ලොව පුරා පැතිරෙමින් ඇති මෙවැනි අවධියක ලංකාව අවතීර්ණ වන්නේ කුමන ආර්ථික ප්‍රවාහයකයටද යන්න තවම හරියටම පැහැදිලි නැත. ඉදිරියේදී ආසියානු කලාපය මූණ දීමට ඇති වෙනස්කම් ගැනද අප උනන්දු විය යුතුව ඇත. දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා අප පිලිපදිමින් සිටින්නාවූ බටහිර ධනේශ්වර ප්‍රතිපත්තීන් තාවකාලි ප්‍රයෝගයක් ලෙස සැළකුවත් මෙතනින් එහාට අප ගමන් කරමින් සිටිනුයේ කුමන ආර්ථික-දාර්ශනික දිශානතියකටද යන්න සරලමිතික කාරණාවක් නොවනු ඇත. මාක්ස්වාදී-ලෙනින්වාදී දේශපාලනික හුරුවක් ඇති ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගය වැනි ඉහත කී දේශපාලනිකව ළදරු ගෝලීය නවතාවයක් සමග දාර්ශනික තලයේ සහ දේශපාලනික න්‍යායික තලයේ අතිනත ගන්නේ කෙසේද යන්න ජනප්‍රියවාදයෙන් එහා න්‍යායාත්මක තලයේ උනන්දුවකින් සිටින රට වැසියාගේ කුතුහලය වී ඇත. 

ඉහත කී නිරීක්ෂණයන් තනි තනි ලෝක මවාගෙන විපරිත වී ඇති අප අන්තර්ජාලයේ ග්‍රහනයෙන් මිදී සැබෑ ලෝකයෙ හමු වී සාකච්ඡාවට බඳුන් කල යුතුව ඇත. ෆෝන් ලැප්ටොප් මොහොතකට පසෙකින් තබා මිනිස් ශරීර ස්පර්ශ කරගනිමින් සතුන් සුරතල් කරමින් සෙල්ලම් කරමින් මහ පොළොවේ පස් කමින් එකිනෙකා ලෙව කමින් කුඩා ළමුන් සේ මෝඩයන් සේ ජීවත් වීම අප ප්‍රතික්ෂේප කලහොත් අප සහ පෘථිවිය ගමන් කරන අනාගතය බොඳ වූ ලෝකයක් වනු නොඅනුමානය. 

- අර්ජුමාන්

16.11.2024

Sunday, 25 February 2024

මාගෙ මිතුරා! මාගෙ ගුරුවරයා!



ඉතිහාසය නැවත නැවතත් වෙමින් පවතිනු ඇත.

කවියාව මරාදමා යුධ සෙබලා ජය කෙහෙලි නංවනු ඇත. බාහුබලයෙන් සන්නද්ධ පාදඩ ගුරු කුලවල් රටවල් පාලනය කරනු ඇත. යෞවනය ගිනි තියනු ඇත. කාමය රජයනු ඇත.
කොන්දේසි විරහිත ප්‍රේමය, සහෝදරත්වය, දයාව, කරුණාව අප අතරම සැඟවී රහසේ හොල්මන් කලද පියවි ලෝකයේ සියල්ල නරුම ඒකාධිපති රත්තරං දෙවියෙකුට යටත් වී හමාරයි.
සියලුම පව් බැංකු ගිණුමේ ශේෂය විසින් කමා කරනු ලබයි. ලේ තැවරුනු අත් රත්තරං අල්තාරයට මල් පහන් පුදනු ලබයි. ලෝගු තුල සිරවූ සුචරිත නිළධාරීන් මා දෙස බලා අනුකම්පා සිනහවකින් මා හට පූපයක් දික්කරනු ලබයි. ලේ තැවරුනු පූපයක්. ඒක ආශිර්වාදලත් විශේෂ පූපයක්.
ඔවුන් ඉදිරියේ දණින් වැටී වේවැල් පාර කන්නට අපහස විඳින්නට සිරගත වන්නට මා කල එකම වරද මාගේ සහෝදරයාට කිසිඳු කොන්දේසියකින් තොරව ආදරය කිරීම නොවේද?
ඉතිහාසය නැවත නැවතත් වෙමින් පවතිනු ඇත.
ලෞකීක ආසාවන් විසින් ගැහැණියගේ තුවාල පාරවනු ඇත. එම ගැහැණිය ලෝගු වටා සිවුරු වටා රොක් වී පල්ලි පන්සල් ගොඩ නගනු ඇත. පිරිමින්ට තොල් සිපගැනීමට තහනම් නමුත් මිනිමරාගැනීමට අවසර මුඩු බිම් නිර්මාණය කරනු ඇත. එහි පිළිම තුල සිරවූ සර්වබලධාරී දෙවියන් පල්ලියේ මංගල්ල පොලේ වෙන්දේසි වනු ඇත.
සියල්ල කුඩු පට්ටං කරමින් මුහුදට ගලාගෙන යන රැල්ල මාගෙ වේදනා, මාගෙ අහිමිවීම්, මාගෙ ආසාවන් සියල්ල ඇතුලත් 'මම'ව මහා ජලාශයකට තල්ලු කරනු ඇත. 'මම' නැවත ජලාශයෙන් වාශ්ප වී වර්ශාවන් හරහා පොලොවටම පතිත වනු ඇත. මෙම කිසිදා නොනැවතෙන නිතර වෙනස් වන ජීව චක්‍රය මාව ශික්ශණය කරවයි. යටත් කොට පාලනය කරවයි.
මම දැන් තුවක්කුවක් එල්ලාගත් සොල්දාදුවෙක්.
විටෙක දකුණට විටෙක වමට ගී ගයන සොල්දාදුවෙක්.
මම දන්නේ ආදරය පමණි.
ආදරය ලැබුවේ දෙවියන්ගෙන් පමණි.
දෙවියන් හමුවූයේ මිතුරාගෙන් පමණි.
මාගෙ මිතුරා!
මාගෙ ගුරුවරයා!
- අර්ජුමාන්

Saturday, 24 February 2024

"අපි දෙයියන්වහන්සෙට තියපු පඬුරු කෑලි කෑලි කපා... අපෙ සුදු මහත්තයගේ නෝනා හාමු ළඟ භාර හාර වුනා"

නිරුවත් වන සතෙක් වූ ස්වභාවික අශ්ලීල පුරුශයා රූපයෙන් නාමයෙන් කාමයෙන් බලසම්පන්න බලකාමී ස්ත්‍රීය හමුවේ හීලෑ බලු කුක්කෙක් මෙන් නැට්ට වනමින් පසු කාලීනව එම ස්ත්‍රීයගෙම දඩ බල්ලෙක් බවට පත්වීම ඉතා පුදුමාකාරයි. ගැහැණු රූපය, ගැහැණු ස්පර්ශය, ගැහැණියගේ රසය, ගැහැණු ශබ්දය සහ ගැහැණියගේ සුවඳ ඇතුලත් මේ පංච ස්ත්‍රී වශීබන්දනයට මෙතරම් දෙයක් කල හැකිද?

ඔව්. ලොව පුරා අධි තාක්ශණික ක්‍රමෝපායන් යොදාගනිමින් පුරුශයන් අතර පවත්නා බිහිසුනු යුධ ගැටුම් සළකා බලන්න. කාර්යාලයක මේසයක් මත සිදු වන සුහද සාකාච්ඡා, පබ් එකක බාර් එකක අරක්කු බොමින් සංගීතයට නැළවෙමින් සිදු වූ සුහද වාද විවාද පසුකාලීනව මහා ප්‍රාග්ධනයක් සහ ශ්‍රමයක් යොදවමින් ක්‍රියාත්මක වන කුඩා අත දරුවන් අමු අමුවේ පුලුස්සා දමන මිලේච්ච අපායන් බවට පත්වන්නේ මිනිසාගේ මනසේ පවතින කුමන අඳුරු සංකීර්ණතාවයකින්ද?
ඉහත කී බලකාමී පෙරේත ස්ත්‍රීය විසින් මෙහෙයවෙන වහල් පුරුශයා සෑමවිටම උත්සහා දරන්නෙ තමන්ගේ ස්වභාවික නපුංසකත්වය අභියෝගයට ලක් කරගැනීම නොවේද. පිරිමින් ඔවුනොවුන්ගේ පිරිමිකම පෙන්වීමට, ඔප්පු කිරීමට සහ සනාථ කරගැනීමට මොනතරම් වෙහෙසක් දරන්නේද. පිරිමියාගෙ මනසද ගැහැණියගෙ මනසද අයත් වන ස්වභාවික ලෝකයේ පවතින සංකීර්ණ හැසිරීම් රටා වලට අභියෝග කරගනිමින් එදා මෙදා තුර මිනිසා උත්සහා දරා ඇත්තේ මිනිසාගෙ දෘශ්ඨිය පෘථිවිය මත පිහිටුවාගැනීමයි.
එම ක්‍රියාවලියේදී මිනිසාගෙ වැඩි අවධානයක් යොමු වූයේ පිරිමි සහ ගැහැණු යන කාණ්ඩ දෙක වෙන් කරගැනීමේ සරල රේඛාව ඇඳ ගැනීමට නොවේද. කිසිඳු නපුංසක ලක්ශණයක් නොමැති පරිපූර්ණ පිරිමියාව නිර්වචනය කරන ස්ත්‍රී මානසික සංකීර්ණය නිරීක්ෂණය කර බලන්න.
එහි පවතින බිහිසුණු ප්‍රචණ්ඩත්වය අප යුධ බිමේ දුටුවේ නැද්ද?
යෞවන සහෝදර ප්‍රේමයන් අමු අමුවේ පුලුස්සමින් නිර්මාණය කරගත් මහා ගිනි ජාලා තුල එකී රෝගකාරී ස්ත්‍රී ලිංගික-මානසික අර්බුදය ඔබ දුටුවේ නැද්ද?
- අර්ජුමාන්
24.02.2024

Sunday, 3 December 2023

මළගිය භූත ආත්ම හොල්මන් කරන රහස් කියන කඳු!

 ෆිල්ම් එක බලපු දවසෙ ඉඳන් තාමත් මගේ මොළේ රසායනික තත්වය වෙනස්. වෙනස් කියන්නෙ ආයෙමත් ස්වභාවික තත්වයට ආවා වගේ මට දැනෙන්නෙ. පහුගිය කාලේ අනපේක්ෂිතව ලැබුන ජනප්‍රිය රැල්ලත් එක්ක බෝට්ටුව එක එක පැත්තට වැනෙන්න පටන් ගත්තා. සැඩ සුලං ආවා. මුහුද සැර කරා. සුනාමියක් වගේ උස රැලි ගැහුවා. කොච්චර රුවල් තද කරත් ඒ රාක්ස රැලි එක්ක හැප්පෙන්න අමාරුයි. බටහිරට හරවන්නද නැගෙනහිරට හරවන්නද මට හරියටම තේරුන් නෑ. ඔහොම ඉද්දි මුහුදු හුලං වැදිලා මට මාරාන්තික උණක් සෙට් වුනා. බෝට්ටුව යටට රිංගලා කුණු මාලු අස්සෙ සති දෙකක් නින්දකට ගියා. නැගිටලා බලද්දි මුහුදෙ සැර අඩු වෙලා. ඉර පායන්න ළඟයි. එක පාර ජගා අයියා කථා කරලා කිව්වා ෆිල්ම් එකේ ප්‍රිමියර් එකට වරෙන් කියලා. ෆිල්ම් එක බැලුවා. උණ හොඳ වුනා. දැන් අහස පැහැදිලියි.

අපි අතර එදිනෙදා වැඩ සිටින ඉතා ගුණගරුක, නිතර පල්ලි යන, නිතර පන්සල් යන, යහපත ගැන නිතර උදම් අනන, දුප්පත් අයට දානමාන දෙන, දෙවියන්ට කීකරු, ජොබ් එකට මහත් සේ කැප වෙච්ච, සුචරිත මිනිසුන්ගේ ලැට් එක පිටුපස ඇති අඳුරු මිලේච්ඡ යක්ස ස්වභාවය දැන් මට වෙනදටත් වඩා ඉතා පැහැදිලිව පේන්න අරන්. හරකගෙ ඔලුවට පොරොවෙන් කොටලා, දනිස් කුඩු කරලා බිම වට්ටලා, ආයෙත් මැරෙනකම්ම වද දුන්න ලේ තවරාගත්ත මස් කඩේ කම්කරුවන්ට වඩා මම ගොඩාක්ම භය තෙල් නැති කටු නැති සුපිරි මස් තේරීම තම විනෝදාංශය හෝ තම පොරත්වය පෙන්වීමේ නිර්ණායකයක් කරගත් නාගරික මැද පන්තියේ ඉහල පෙලේ රැකියාවන් වල නිරත වන පිරිසිඳු ඇඳුම් අඳින පිරිමි මහත්තුරුන්ටයි. රාජකාරිය දේවකාරිය කරගත් තම ස්වාමියාගෙ /  ආණ්ඩුකාරයාගේ ජංගිය ඉතා කැපවීමෙන් සෝදා ගිනි අව්වේ රෙදි වැලවල් වල වනන, ලෞකික පෙරේත ගැහැණුන් ඉදිරියේ තම බාහු බලය ප්‍රදර්ශණය කරන්නට මැන බලන්නට උත්සහා දරන මාගේ හිතාදර පිරිමි මිතුරනි, මට උඹලව රහස් කියන කඳු අස්සෙ වදකාගාරයක හම්බුනා. උඹලාගෙ හිත් ඇතුලෙ වදදෙන අඳුරු කාම-සංකීර්ණයත් මම ඒ වදකාගාරය ඇතුලෙදි දැක්කා. ඒකයි මම කිව්වෙ දැන් අහස ඉතා පැහැදිලියි.

88 / 89 භීෂණය මට පංච ඉන්ද්‍රීයන් වලට සෙට් වෙලා නැතත් එය හදවතේ සහ මොළයේ සංවේදන වල නිතර නිතර හොල්මන් කරන කිසිදා නොමියෙන අවතාරයක් බවට පත්වෙලා. පොඩි කාලේ ඉඳන් අම්මයි තාත්තයි කෑ කෝ ගගහා ගෙදර රණ්ඩු කරද්දි ඒ භූත අවතාරය එළියට පනිනවා. පුංචියි බාප්පයි තිත්ත කුණු හරපෙන් කෑ ගගහා මල්ලිලා නංගිලා ඉස්සරා මරා ගද්දි ඒ යක්සාත්මය එළි බහිනවා. සාමාන්‍ය සමාජයේ හොරෙක් කිව්ව, ග්‍රීස් යකෙක් කිව්ව මනුස්සයෙක්ව අල්ලගත්තම ගස් වල ගැටගහලා ඇඳුම් ගලෝලා දිමි ගොටු දාලා පොලු වලින් තඩිබානවා දකිද්දි ඒ අවතාරය කථා කරනවා. ප්‍රභාකරන්ගේ මිනිය බල බල ඉතා උද්ධාමයෙන් කිරිබත් කද්දි ඒ අවතාරය හිත අස්සෙ ඉඳන් හොල්මන් කරා. ඒ හැමෝම පහුවදා මුකුත්ම නොවූවා සේ පාරේ බැහැලා වැදගත් මහත්තුරු විදියට වැඩට යද්දි / පල්ලි යද්දි / ඡන්දෙ දාන්න යද්දි කෑ ගහලා අඬන්න හිතිලා තියෙනවා. ඒ වගේම රහස් කියන කඳු බලද්දිත් මට ඉකි ගගහා අඬන්න හිතුනා. ඒත් එහෙම අත දරුවෙක් වගේ ඇඬුවම මානසික රෝහලේ කූරු ගණන් කරන්න සිද්ධ වෙන නිසා මමත් අනිත් උන් වගේම හිනා වෙලා ජවනිකාවට සහයෝගයක් දුන්නා. එතකොට මට කවුරුත් පිස්සෙක් කීවේ නෑ. හැමෝම කිව්වේ මම ආර්ටිස්ට් කෙනෙක් කියලා. ෆිල්ම් එක පුරාවටම මානසික රෝගයක් වැළඳුන ඒ අසරණ තරුණ තරුණියන්ව හඹාගෙන ගිය උගත් දක්ෂ දොස්තර මහත්තුරුන් කොච්චර මහන්සියක් වෙන්න ඇත්ද මේ ලෙඩේ සුව කරන්න. නේද. එකී මානසික රෝගය ඇත්තටම පැවතුනේ කවුරුන් ඇතුලේද මම මගෙන්ම ප්‍රශ්ණ කරන්න පටන් ගත්තා.

පැවැත්ම උදෙසා තම පක්ෂ සහෝදරයාගේ මල මිනියෙ බන්ධනයෙන් ගැලවෙන්ට උත්සහා කල-පසුව මල මිනියේ කුණු වෙන අතක් සමග මාංචුවක පැටලුන-වෛශ්‍යාවකගේ මැහුම් දැමීමෙන් පුනුරුත්පත්තිය ලබා අවසානයේ කඳු අතරටම නික්ම ගිය ඒ විප්ලවවාදී තරුණයාගේද? නැතිනම් ඊට විරුද්ධව නැගී සිටි එක්තරා සමලිංගික සංකීර්ණතාවයකින් රහසේ සටන් වදින යුධ හමුදා නිළධාරියාගේද? හෝ මිනි වලට පැන් වඩන, බණ කියන, ගමට උපදෙස් දෙන, නමුත් හිත යටින් ගලෝපු සැටලිමට ආසා කරන අපේ පන්සලේ හාමුදුරුවන්ගේද? උන්දගේ ගුරා වන ඒ වන විට මානසික රෝගකාරී තත්වයකින් පසුවේ යැයි කියන පන්සලේ ලොකු හාමුදුරුවන්ගේද? දරිද්‍රතාවයේ ගිලී සිටින ඒ මවගේද? ඒ පියාගේද? නැතිනම්... මේ සියලුම විකෘතිතා යනු එවකට බල ව්‍යුහයේ (power-grid) පැවති ජේආර්-විජේවීර මානසික සංකීර්ණයේ ප්‍රතිභිම්බයන් ද යන්න මම තනියම කල්පනා කරන්න පටන් ගත්තා.

භීෂණ සමය ගැන ලියවුනා යැයි කිවූ ගින්නෙන් උපන් සීතල බලලා ගෙදර ආවේ එක්තරා කලකිරීමකින්. ඒ ෆිල්ම් එක යම්කිසි අධ්‍යයනයක් හෝ අධ්‍යයනයක ආරම්භයක් වුනත් සිනමාව යන කාරණාවේදි යටි හිතේ දුකක් පැනනැග්ගා. ඒ දුක සමනය වෙන්න රහස් කියන කඳු ඊට තියුණු මානයන් වලින් මේ භීෂණ කාල වකවානුව කියෝලා තියෙනවා කියලා පේනවා. ඒක සතුටක්. ඒක එක්තරා වේදනාත්මක සතුටක්. විශේෂම කාරණාව ඒ කියවීම නූතනයි. විද්‍යාත්මකයි. සාර්වත්‍රිකයි. එකී මිලේච්ඡ සමය පුරාවටම රටේ සියලුම ආගමික සංස්ථාපිතයන් වැඩ කරපු ආකාරය මේ ෆිල්ම් එකෙන් නිරීක්ෂණය කෙරෙනවා. ඒක පන්සලටත් පල්ලියටත් කෝවිලටත් අදාල වන න්‍යයාත්මක කාරණාවක්. ඒක තවත් දිගහැරගන්න පුලුවන්නං අද වන විට ගෝලීයව පවතින ආගමික-බල ව්‍යුහය මූණ දෙන ව්‍යාකූලතාවයන් පැහැදිලි කරගන්නත් පුලුවන් වෙයි. විශේෂයෙන්ම තේරවාදී බුද්දහගම 1977න් පස්සෙ ලංකාවේ නිර්මාණය වුන ඇමරිකන් ෆැන්ටසි ලෝකයත් එක්ක හයිබ්‍රිඩ් වුන විදිය, එකල සහ දැනුත් ලාංකික සමාජයේ පවතින ගැඹුරු ආධ්‍යාත්මික අර්බුදය සහ සම්පූර්ණ භීෂණ සමය පිටිපස්ස‍ෙ උතුරේ සහ දකුණේ වැඩ කරපු මනෝලිංගිකමය ව්‍යාධිය (human psychosexual pathology) කියෝගන්න රහස් කියන කඳු තල්ලුවක් වෙනවා කියලා මට හිතෙනවා.

-          - අර්ජුමාන්

Wednesday, 24 November 2021

ලේ සහෝදරයා වෙත

 ලේ සහෝදරයා වෙත,

නොවැම්බරය ද නිම වෙමින් පවතී. පළවෙනිදා දුන් ඌරු මස් හොද්ද තවමත් ජීර්ණය වීද, බඩ යන්නේද, ලේ වමනෙ කරන්නේද මා නොදනී. එහෙත් අහම්බෙන් අප මගතොටදී හමුවූ විට, කිසිවක් කිසිවිටක කිසිදාක නොවූවාක් සේ අතිශය සාමාන්‍ය ලෙස නුඹ මා හා හිනාවීම, මාද නුඹ හා හිනාවීම හෝ හිනාවීමට උත්සහ දැරීම, සිපවැළඳ ගැනීම, හෝ සිපවැළඳ ගැනීමට උත්සහ දැරීම සහ ඕපදූප කියවීම ඔස්සේ මා නුඹවද, මාවද, එකවර තේරුං ගැනීමට උත්සහයක නිරත වීමි. ඒ නිරීක්ෂණ තුල, මා හට පෙනී ගියේ, නුඹ එකම ඌරු මස් හොද්ද නැවත නැවතත් වමනය කර ඒ වමනයම දිනපතා ආහාරයට ගන්නා බවකි. කම් නැත, මාද නුඹ මෙන්ම අතිශය දේශපාලනිකය.  

කාලය ගලාගෙන යන්නට විය. බෝපිටිය බාර් එකේ අප හමුවී දෙඩූ සියල්ල හෝ නුඹ දෙඩූ මා අසා සිටි සියල්ල, හෝ මාහට ඇසීමට බල කල ඒ සියල්ල, කාලය හමුවේ මෝරන්නට විය. කාරයක හැංගීමට උත්සහ කල ආදර කථා / වල් කථා / වේස කථා, බොරු වදන්, ‍බොරු පොරොන්දු, බොරු බත්, බොරු පපඩං, බොරු කඳුලු වසාගත් මේ නිවී ඇති අලු යට මෝරන මහා ගින්නෙහි පෙරනිමිති, නුඹ ද මම ද දිනපතා දකින්නට විය.‍ එය සැබැවින්ම නොවැළැක්විය හැකි මහා ගින්නකි. නිතර ඇවිලෙන පරණ ටයර්, පිච්චෙන මළ සිරුරු, කම්බි කූරු ඇනගත් යෞවන අහිංසක ශරීර, කරන්ට් අල්ලපු මොළ, මිනී මස් කන වදකාගාර වල ඇති වූ මහා ගින්නක් වැනි මේ කිසිදා නොනිමෙන ගින්න ඉදිරියේදී විසබීජ නාශකයක් වනු නොඅනුමානය.  

පුස් බැදිච්ච කැවුං කැවූ, මරලතෝනි නලා වැයූ, දිරච්ච සුදු කොඩි වලින් හංගා ගන්නට උත්සහ දැරූ, ලේ තැවරුනු පාංකඩ රතු වස්ත්‍ර ලෙලදුන් පහුගිය අගෝස්තු සාදයේදී, යුද්ධයකට රෝස පාට බොම්බයිමුටයි ගෙනැවිත් මෙන්, සියල්ල සැනසීමට / සිනහගැස්සීමට උත්සහ දරූ නුඹේ ආත්මානුකම්පිත සහ වෙහෙසකර ආත්මය, කොතරම් යටත් වීද, හෝ යටත් වීමට උත්සහ දරන්නේද යන්න, මා නුඹ දෙස බලා සිටියේ ඉමහත් ආදරෙයන්ය. එහෙත් රෝහණ නුඹට එසේ ආදරය කලේ නැත. මා මෙන් නුඹට කිසිවෙක් ආදරය කර නැත‍. කාලේ අරක්කු බෝතල්, ගෝල්ඩ්ලීෆ්, කඳුලු එක්ක ගැලරියේ සිට නුඹ බලා සිටි ගින්නෙන් උපන් සීතලෙහි සිටි වීරයා රෝහණ, නුඹම බව, රෝහණ නොවන බව, තවමත් තේරුං නොගත්තෙහිද?

අතීතය නැවත නැවතත් වෙමින් පවතිනු ඇත. කිසිවක් කිසිදා නිම වන්නේ නැත, නිමවීමම නැවතත් ආරම්භයකි. ආරම්භය නිමාවක් දකින තුරු පැවැත්ම ඉදිරියටම තල්ලු කරනු ඇත. අවසානය කෙසේ වෙතත්, එය ආරම්භයක් පමණි.

අගුලු කඩාදැමූ ලාච්චුව මා දිනපතා වන්දනා මාන කරනු ඇත. පිහිතල වලින් අත් වල කෙටූ තුවාල වල දිනපතා තෙල් තවරණු ඇත. එහි හැංගු හෝ හැංගීමට උත්සහ දැරූ අභිරහස් දිනපතා මා විසින් විශ්ලෙෂණය කරමින් පවතී. මළවුන් හොල්මන් කරනු ඇත. පිච්චුනු මිනිකඳවල් හඩා‍වැටෙනු ඇත. එවැනි දවසක, ඔවුන්ගේ කලු ආගමික පූජකයන් සැපසේ නිදන්නේ කෙසේද?

ඉහත කිවූ කිසිවක් හා වැඩිදුර සටන් කිරීමෙන් වළකින්න, බොරුව හැංගීමට‍ වෙහෙසීමෙන් වළකින්න, සත්‍යය ජයගන්නේ හුදෙක් තාත්වික තර්කයෙන් පමණක් නොව අතාත්වික සහ සංකීර්ණ තර්කනයෙන්ද බව මතක තබා ගන්න. ‍ඒ කෙසේ වෙතත්, මේ වචන සාතන්ගේ පුත්‍රයා‍ගේ වචන හෙයින්, නුඹට හුරුවක්ද දැනෙන්නට වූ බව මා දනිමි. ඒ හුරුව නුඹේ අනන්‍ය හුරුවයි, නුඹේ දුවගේ හුරුවයි, නුඹේ පියාගේ හුරුවයි, නුඹේ සහෝදරයාගේ හුරුවයි (රතුසහෝදරයාග‍ෙ නොව, ලේ සහෝදරය‍ාගෙ), සහ එ් සහෝදරයාගෙ පුත්‍රයාගේ හුරුවයි. සෑමවිටම සත්‍යය හෙළිදරව් වන්නෙ සාතන්ගේ වෑයමෙන් බැව් නුඹට අමතකද?

දුවට ලං වන්න, දුවට ආදරය කරන්න, දුවව වැළඳගන්න

දුවට ලං වන්න, දුවට ඇහුම්කන් දෙන්න, දුවව වැළඳගන්න

දුවට ලං වන්න, රෝහණව වළලන්න, දුවව වැළඳගන්න

ආමෙන්!

Tuesday, 23 November 2021

තිහේ කණුව පසු කරමින් (24.11.2021)

අම්ම තාත්තා
සහෝදර සහෝදරියො
යාලුවො නෑදෑයො
එහා ගෙදර උන්
මෙහා ගෙදර උන්
ගම!
කවදාවත් මගේ වටිනාකමක් දැක්කෙ නෑ
මම දකින මගේ අනන්‍යතාවය ඒගොල්ලො දැක්කෙ නෑ
මම කව්ද කියල උන් දන්නෑ
උන් අන්ධ වෙලා
උන් වහල් වෙලා
මොඩ හැත්ත
ගොබ්බයො
බයියො
ඒගොල්ලන්ට මං වෛර කරන්න පටන් ගත්ත
ගෙදරින් ඈත් වුනා
ගමෙන් ඈත් වුනා
පල්ලියෙන් ඈත් වුනා
ප්‍රජාව!
ඉගිල්ලුනා
ඈතකට
වෙන රටකට
වෙන ගමකට
වෙන නගරයකට
වෙනස් වෙනස් මිනිස්සු හම්බුනා
ඒගොල්ලොත් මං වගේමයි
ඒගොල්ලන්ගෙ වටිනාකමත් ගම දැකල නෑලු
ඒගොල්ලොත්
මං වගේම
ගමට
නෑදෑයන්ට
යාලුවන්ට
වෛර කරන්න පටන් අරං
අපි කතා කරා
බිව්වා
ඩ්‍රග්ස් ගත්ත
ෆිල්ම් බැලුව
සිංදු කිව්ව
ට්‍රැවල් කරා
ඒත්,
නිදියන ඇඳේ
කොමෝඩ් එකේ
මුහුදක් ළඟ
අහසක් යට
සිගරට් එකක් එක්ක
පාලමක් උඩ
බ්ලේඩ් තල
ස්ටෑම්ප්
ඉන්ජෙක්ෂන්
ටැබ්ලට් එක්ක
තනි වුනා.
අම්මව මතක් වුනා
තාත්තව මතක් වුනා
නංගි, මල්ලිලා, ගමේ යාලුවො
පල්ලියෙ මංගල්ලෙට සිංදු කිව්ව හැටි
පොඩි කාලෙ බන්ට් එකේ සෙල්ලං කරපු හැටි
වෙසක් කූඩු හදපු හැටි
ඒ වෙලාවට
පපුව පැලෙන්න එනව
උගුර රිදෙනව
කඳුලු පනිනව
ඒක දෝංකාර දෙන පාලුවක්
මම ඒගොල්ලන්ගෙන් දැක්කෙ මාවමද?
මොකද මම අවුල් වුනාම, උන් අවුල්
මං හොඳ වුනාම, උන් හොඳයි
මට අපහස කරපු යාලුවා මගෙම ඇතුලෙ ඉන්න මමමද?
මාව රිජෙක්ට් කරපු මගෙ පළවෙනි ගෑණු ළමයා මමමද?
ඒගොල්ලො එක එක වර්ගයේ කණ්නාඩිද?
එහෙමනං,
මගෙ වටිනාකම
මගෙ අනන්‍යතාවය
මගෙ විශේශත්වය
රිජෙක්ට් කර ගත්තෙ මමමද?
මම අත් දිගු කරා
මටම
මගෙ කැතම මම
මගෙ ලස්සනම මම
මගෙ සුපිරිම හැකියාව
මගෙ කැතම නොහැකියාව
මගෙ වටිනාකම්
නොවටිනාකම්
මම මාවම බදාගත්තා
ඉම්බා
නැලෙව්වා
බැන්නා
සැනසුවා
තුවාල පුච්චගන් නැතුව
දුක දරාගෙන
මැහුම් දාගන්න
ගෙදර ආවා!
මම එනකං ගමේ උන් බලාගෙන ඉඳල
අම්ම බීෆ් හදල
තාත්තා සිංදු දාලා
මෙහෙ අද පාටියක්
දැන් මම ඉන්නෙ ගමේ
උන් එහෙම්මමයි
ගොඩයො
බයියො
සී මේජර් ගැහුවත්
සී නයින්ත් ගැහුවත්
සී නයින්ත් මේජර් සෙවන්ත් ගැහුවත්
මොන හුකාරිස් කෝඩ් එකක් ගැහුවත්
උන්ට අනුව මම ගැහුවෙ ගිටාරෙක
උන් දන්නෙත් නෑ
ඕනෙත් නෑ
ඉතිං මොකෝ!
මම ගියොත් මමත් නෑ
උනුත් නෑ
ගිටාර් එකත් නෑ
සී මේජත් නෑ
සී මේජර් සෙවන්තුත් නෑ
කොටින්ම පැවැත්මකුත් නෑ
උනුත් මං වගේමයි
මමත් උන් වගේමයි
අනන්‍යයි
සමානයි
උන් නැති තැන
අහසනං
උන් ඇති තැන
පොලොවනං
සිතිජ රේඛාව උඩ
මම
අතරමැද සිට
~ අර්ජුමාන්
තිහේ කණුව පසු කරමින්