අම්ම තාත්තා
සහෝදර සහෝදරියො
යාලුවො නෑදෑයො
එහා ගෙදර උන්
මෙහා ගෙදර උන්
ගම!
කවදාවත් මගේ වටිනාකමක් දැක්කෙ නෑ
මම දකින මගේ අනන්යතාවය ඒගොල්ලො දැක්කෙ නෑ
මම කව්ද කියල උන් දන්නෑ
උන් අන්ධ වෙලා
උන් වහල් වෙලා
මොඩ හැත්ත
ගොබ්බයො
බයියො
ඒගොල්ලන්ට මං වෛර කරන්න පටන් ගත්ත
ගෙදරින් ඈත් වුනා
ගමෙන් ඈත් වුනා
පල්ලියෙන් ඈත් වුනා
ප්රජාව!
ඉගිල්ලුනා
ඈතකට
වෙන රටකට
වෙන ගමකට
වෙන නගරයකට
වෙනස් වෙනස් මිනිස්සු හම්බුනා
ඒගොල්ලොත් මං වගේමයි
ඒගොල්ලන්ගෙ වටිනාකමත් ගම දැකල නෑලු
ඒගොල්ලොත්
මං වගේම
ගමට
නෑදෑයන්ට
යාලුවන්ට
වෛර කරන්න පටන් අරං
අපි කතා කරා
බිව්වා
ඩ්රග්ස් ගත්ත
ෆිල්ම් බැලුව
සිංදු කිව්ව
ට්රැවල් කරා
ඒත්,
නිදියන ඇඳේ
කොමෝඩ් එකේ
මුහුදක් ළඟ
අහසක් යට
සිගරට් එකක් එක්ක
පාලමක් උඩ
බ්ලේඩ් තල
ස්ටෑම්ප්
ඉන්ජෙක්ෂන්
ටැබ්ලට් එක්ක
තනි වුනා.
අම්මව මතක් වුනා
තාත්තව මතක් වුනා
නංගි, මල්ලිලා, ගමේ යාලුවො
පල්ලියෙ මංගල්ලෙට සිංදු කිව්ව හැටි
පොඩි කාලෙ බන්ට් එකේ සෙල්ලං කරපු හැටි
වෙසක් කූඩු හදපු හැටි
ඒ වෙලාවට
පපුව පැලෙන්න එනව
උගුර රිදෙනව
කඳුලු පනිනව
ඒක දෝංකාර දෙන පාලුවක්
මම ඒගොල්ලන්ගෙන් දැක්කෙ මාවමද?
මොකද මම අවුල් වුනාම, උන් අවුල්
මං හොඳ වුනාම, උන් හොඳයි
මට අපහස කරපු යාලුවා මගෙම ඇතුලෙ ඉන්න මමමද?
මාව රිජෙක්ට් කරපු මගෙ පළවෙනි ගෑණු ළමයා මමමද?
ඒගොල්ලො එක එක වර්ගයේ කණ්නාඩිද?
එහෙමනං,
මගෙ වටිනාකම
මගෙ අනන්යතාවය
මගෙ විශේශත්වය
රිජෙක්ට් කර ගත්තෙ මමමද?
මම අත් දිගු කරා
මටම
මගෙ කැතම මම
මගෙ ලස්සනම මම
මගෙ සුපිරිම හැකියාව
මගෙ කැතම නොහැකියාව
මගෙ වටිනාකම්
නොවටිනාකම්
මම මාවම බදාගත්තා
ඉම්බා
නැලෙව්වා
බැන්නා
සැනසුවා
තුවාල පුච්චගන් නැතුව
දුක දරාගෙන
මැහුම් දාගන්න
ගෙදර ආවා!
මම එනකං ගමේ උන් බලාගෙන ඉඳල
අම්ම බීෆ් හදල
තාත්තා සිංදු දාලා
මෙහෙ අද පාටියක්
දැන් මම ඉන්නෙ ගමේ
උන් එහෙම්මමයි
ගොඩයො
බයියො
සී මේජර් ගැහුවත්
සී නයින්ත් ගැහුවත්
සී නයින්ත් මේජර් සෙවන්ත් ගැහුවත්
මොන හුකාරිස් කෝඩ් එකක් ගැහුවත්
උන්ට අනුව මම ගැහුවෙ ගිටාරෙක
උන් දන්නෙත් නෑ
ඕනෙත් නෑ
ඉතිං මොකෝ!
මම ගියොත් මමත් නෑ
උනුත් නෑ
ගිටාර් එකත් නෑ
සී මේජත් නෑ
සී මේජර් සෙවන්තුත් නෑ
කොටින්ම පැවැත්මකුත් නෑ
උනුත් මං වගේමයි
මමත් උන් වගේමයි
අනන්යයි
සමානයි
උන් නැති තැන
අහසනං
උන් ඇති තැන
පොලොවනං
සිතිජ රේඛාව උඩ
මම
අතරමැද සිට
~ අර්ජුමාන්
තිහේ කණුව පසු කරමින්
No comments:
Post a Comment