ලේ සහෝදරයා වෙත,
නොවැම්බරය ද නිම වෙමින් පවතී. පළවෙනිදා දුන් ඌරු මස් හොද්ද තවමත් ජීර්ණය වීද, බඩ යන්නේද, ලේ වමනෙ කරන්නේද මා නොදනී. එහෙත් අහම්බෙන් අප මගතොටදී හමුවූ විට, කිසිවක් කිසිවිටක කිසිදාක නොවූවාක් සේ අතිශය සාමාන්‍ය ලෙස නුඹ මා හා හිනාවීම, මාද නුඹ හා හිනාවීම හෝ හිනාවීමට උත්සහ දැරීම, සිපවැළඳ ගැනීම, හෝ සිපවැළඳ ගැනීමට උත්සහ දැරීම සහ ඕපදූප කියවීම ඔස්සේ මා නුඹවද, මාවද, එකවර තේරුං ගැනීමට උත්සහයක නිරත වීමි. ඒ නිරීක්ෂණ තුල, මා හට පෙනී ගියේ, නුඹ එකම ඌරු මස් හොද්ද නැවත නැවතත් වමනය කර ඒ වමනයම දිනපතා ආහාරයට ගන්නා බවකි. කම් නැත, මාද නුඹ මෙන්ම අතිශය දේශපාලනිකය.
කාලය ගලාගෙන යන්නට විය. බෝපිටිය බාර් එකේ අප හමුවී දෙඩූ සියල්ල හෝ නුඹ දෙඩූ මා අසා සිටි සියල්ල, හෝ මාහට ඇසීමට බල කල ඒ සියල්ල, කාලය හමුවේ මෝරන්නට විය. කාරයක හැංගීමට උත්සහ කල ආදර කථා / වල් කථා / වේස කථා, බොරු වදන්, බොරු පොරොන්දු, බොරු බත්, බොරු පපඩං, බොරු කඳුලු වසාගත් මේ නිවී ඇති අලු යට මෝරන මහා ගින්නෙහි පෙරනිමිති, නුඹ ද මම ද දිනපතා දකින්නට විය. එය සැබැවින්ම නොවැළැක්විය හැකි මහා ගින්නකි. නිතර ඇවිලෙන පරණ ටයර්, පිච්චෙන මළ සිරුරු, කම්බි කූරු ඇනගත් යෞවන අහිංසක ශරීර, කරන්ට් අල්ලපු මොළ, මිනී මස් කන වදකාගාර වල ඇති වූ මහා ගින්නක් වැනි මේ කිසිදා නොනිමෙන ගින්න ඉදිරියේදී විසබීජ නාශකයක් වනු නොඅනුමානය.
පුස් බැදිච්ච කැවුං කැවූ, මරලතෝනි නලා වැයූ, දිරච්ච සුදු කොඩි වලින් හංගා ගන්නට උත්සහ දැරූ, ලේ තැවරුනු පාංකඩ රතු වස්ත්‍ර ලෙලදුන් පහුගිය අගෝස්තු සාදයේදී, යුද්ධයකට රෝස පාට බොම්බයිමුටයි ගෙනැවිත් මෙන්, සියල්ල සැනසීමට / සිනහගැස්සීමට උත්සහ දරූ නුඹේ ආත්මානුකම්පිත සහ වෙහෙසකර ආත්මය, කොතරම් යටත් වීද, හෝ යටත් වීමට උත්සහ දරන්නේද යන්න, මා නුඹ දෙස බලා සිටියේ ඉමහත් ආදරෙයන්ය. එහෙත් රෝහණ නුඹට එසේ ආදරය කලේ නැත. මා මෙන් නුඹට කිසිවෙක් ආදරය කර නැත. කාලේ අරක්කු බෝතල්, ගෝල්ඩ්ලීෆ්, කඳුලු එක්ක ගැලරියේ සිට නුඹ බලා සිටි ගින්නෙන් උපන් සීතලෙහි සිටි වීරයා රෝහණ, නුඹම බව, රෝහණ නොවන බව, තවමත් තේරුං නොගත්තෙහිද?
අතීතය නැවත නැවතත් වෙමින් පවතිනු ඇත. කිසිවක් කිසිදා නිම වන්නේ නැත, නිමවීමම නැවතත් ආරම්භයකි. ආරම්භය නිමාවක් දකින තුරු පැවැත්ම ඉදිරියටම තල්ලු කරනු ඇත. අවසානය කෙසේ වෙතත්, එය ආරම්භයක් පමණි.
අගුලු කඩාදැමූ ලාච්චුව මා දිනපතා වන්දනා මාන කරනු ඇත. පිහිතල වලින් අත් වල කෙටූ තුවාල වල දිනපතා තෙල් තවරණු ඇත. එහි හැංගු හෝ හැංගීමට උත්සහ දැරූ අභිරහස් දිනපතා මා විසින් විශ්ලෙෂණය කරමින් පවතී. මළවුන් හොල්මන් කරනු ඇත. පිච්චුනු මිනිකඳවල් හඩාවැටෙනු ඇත. එවැනි දවසක, ඔවුන්ගේ කලු ආගමික පූජකයන් සැපසේ නිදන්නේ කෙසේද?
ඉහත කිවූ කිසිවක් හා වැඩිදුර සටන් කිරීමෙන් වළකින්න, බොරුව හැංගීමට වෙහෙසීමෙන් වළකින්න, සත්‍යය ජයගන්නේ හුදෙක් තාත්වික තර්කයෙන් පමණක් නොව අතාත්වික සහ සංකීර්ණ තර්කනයෙන්ද බව මතක තබා ගන්න. ඒ කෙසේ වෙතත්, මේ වචන සාතන්ගේ පුත්‍රයාගේ වචන හෙයින්, නුඹට හුරුවක්ද දැනෙන්නට වූ බව මා දනිමි. ඒ හුරුව නුඹේ අනන්‍ය හුරුවයි, නුඹේ දුවගේ හුරුවයි, නුඹේ පියාගේ හුරුවයි, නුඹේ සහෝදරයාගේ හුරුවයි (රතුසහෝදරයාගෙ නොව, ලේ සහෝදරයාගෙ), සහ එ් සහෝදරයාගෙ පුත්‍රයාගේ හුරුවයි. සෑමවිටම සත්‍යය හෙළිදරව් වන්නෙ සාතන්ගේ වෑයමෙන් බැව් නුඹට අමතකද?
දුවට ලං වන්න, දුවට ආදරය කරන්න, දුවව වැළඳගන්න
දුවට ලං වන්න, දුවට ඇහුම්කන් දෙන්න, දුවව වැළඳගන්න
දුවට ලං වන්න, රෝහණව වළලන්න, දුවව වැළඳගන්න
ආමෙන්!
No comments:
Post a Comment