ඉතිහාසය නැවත නැවතත් වෙමින් පවතිනු ඇත.
Sunday, 25 February 2024
මාගෙ මිතුරා! මාගෙ ගුරුවරයා!
Saturday, 24 February 2024
"අපි දෙයියන්වහන්සෙට තියපු පඬුරු කෑලි කෑලි කපා... අපෙ සුදු මහත්තයගේ නෝනා හාමු ළඟ භාර හාර වුනා"
නිරුවත් වන සතෙක් වූ ස්වභාවික අශ්ලීල පුරුශයා රූපයෙන් නාමයෙන් කාමයෙන් බලසම්පන්න බලකාමී ස්ත්රීය හමුවේ හීලෑ බලු කුක්කෙක් මෙන් නැට්ට වනමින් පසු කාලීනව එම ස්ත්රීයගෙම දඩ බල්ලෙක් බවට පත්වීම ඉතා පුදුමාකාරයි. ගැහැණු රූපය, ගැහැණු ස්පර්ශය, ගැහැණියගේ රසය, ගැහැණු ශබ්දය සහ ගැහැණියගේ සුවඳ ඇතුලත් මේ පංච ස්ත්රී වශීබන්දනයට මෙතරම් දෙයක් කල හැකිද?
Sunday, 3 December 2023
මළගිය භූත ආත්ම හොල්මන් කරන රහස් කියන කඳු!
ෆිල්ම් එක බලපු දවසෙ ඉඳන් තාමත් මගේ මොළේ රසායනික තත්වය වෙනස්. වෙනස් කියන්නෙ ආයෙමත් ස්වභාවික තත්වයට ආවා වගේ මට දැනෙන්නෙ. පහුගිය කාලේ අනපේක්ෂිතව ලැබුන ජනප්රිය රැල්ලත් එක්ක බෝට්ටුව එක එක පැත්තට වැනෙන්න පටන් ගත්තා. සැඩ සුලං ආවා. මුහුද සැර කරා. සුනාමියක් වගේ උස රැලි ගැහුවා. කොච්චර රුවල් තද කරත් ඒ රාක්ස රැලි එක්ක හැප්පෙන්න අමාරුයි. බටහිරට හරවන්නද නැගෙනහිරට හරවන්නද මට හරියටම තේරුන් නෑ. ඔහොම ඉද්දි මුහුදු හුලං වැදිලා මට මාරාන්තික උණක් සෙට් වුනා. බෝට්ටුව යටට රිංගලා කුණු මාලු අස්සෙ සති දෙකක් නින්දකට ගියා. නැගිටලා බලද්දි මුහුදෙ සැර අඩු වෙලා. ඉර පායන්න ළඟයි. එක පාර ජගා අයියා කථා කරලා කිව්වා ෆිල්ම් එකේ ප්රිමියර් එකට වරෙන් කියලා. ෆිල්ම් එක බැලුවා. උණ හොඳ වුනා. දැන් අහස පැහැදිලියි.
අපි අතර
එදිනෙදා වැඩ සිටින ඉතා ගුණගරුක, නිතර පල්ලි යන, නිතර පන්සල් යන, යහපත ගැන නිතර
උදම් අනන, දුප්පත් අයට
දානමාන දෙන, දෙවියන්ට
කීකරු, ජොබ් එකට මහත්
සේ කැප වෙච්ච, සුචරිත
මිනිසුන්ගේ ලැට් එක පිටුපස ඇති අඳුරු මිලේච්ඡ යක්ස ස්වභාවය දැන් මට වෙනදටත් වඩා
ඉතා පැහැදිලිව පේන්න අරන්. හරකගෙ ඔලුවට පොරොවෙන් කොටලා, දනිස් කුඩු
කරලා බිම වට්ටලා, ආයෙත්
මැරෙනකම්ම වද දුන්න ලේ තවරාගත්ත මස් කඩේ කම්කරුවන්ට වඩා මම ගොඩාක්ම භය තෙල් නැති
කටු නැති සුපිරි මස් තේරීම තම විනෝදාංශය හෝ තම පොරත්වය පෙන්වීමේ නිර්ණායකයක් කරගත්
නාගරික මැද පන්තියේ ඉහල පෙලේ රැකියාවන් වල නිරත වන පිරිසිඳු ඇඳුම් අඳින පිරිමි
මහත්තුරුන්ටයි. රාජකාරිය දේවකාරිය කරගත් තම ස්වාමියාගෙ / ආණ්ඩුකාරයාගේ ජංගිය ඉතා කැපවීමෙන් සෝදා ගිනි
අව්වේ රෙදි වැලවල් වල වනන,
ලෞකික පෙරේත ගැහැණුන් ඉදිරියේ තම බාහු බලය ප්රදර්ශණය
කරන්නට මැන බලන්නට උත්සහා දරන මාගේ හිතාදර පිරිමි මිතුරනි, මට උඹලව රහස්
කියන කඳු අස්සෙ වදකාගාරයක හම්බුනා. උඹලාගෙ හිත් ඇතුලෙ වදදෙන අඳුරු කාම-සංකීර්ණයත්
මම ඒ වදකාගාරය ඇතුලෙදි දැක්කා. ඒකයි මම කිව්වෙ දැන් අහස ඉතා පැහැදිලියි.
88 / 89 භීෂණය
මට පංච ඉන්ද්රීයන් වලට සෙට් වෙලා නැතත් එය හදවතේ සහ මොළයේ සංවේදන වල නිතර නිතර
හොල්මන් කරන කිසිදා නොමියෙන අවතාරයක් බවට පත්වෙලා. පොඩි කාලේ ඉඳන් අම්මයි තාත්තයි
කෑ කෝ ගගහා ගෙදර රණ්ඩු කරද්දි ඒ භූත අවතාරය එළියට පනිනවා. පුංචියි බාප්පයි තිත්ත
කුණු හරපෙන් කෑ ගගහා මල්ලිලා නංගිලා ඉස්සරා මරා ගද්දි ඒ යක්සාත්මය එළි බහිනවා.
සාමාන්ය සමාජයේ හොරෙක් කිව්ව, ග්රීස් යකෙක් කිව්ව මනුස්සයෙක්ව අල්ලගත්තම ගස් වල
ගැටගහලා ඇඳුම් ගලෝලා දිමි ගොටු දාලා පොලු වලින් තඩිබානවා දකිද්දි ඒ අවතාරය කථා
කරනවා. ප්රභාකරන්ගේ මිනිය බල බල ඉතා උද්ධාමයෙන් කිරිබත් කද්දි ඒ අවතාරය හිත අස්සෙ
ඉඳන් හොල්මන් කරා. ඒ හැමෝම පහුවදා මුකුත්ම නොවූවා සේ පාරේ බැහැලා වැදගත් මහත්තුරු
විදියට වැඩට යද්දි / පල්ලි යද්දි / ඡන්දෙ දාන්න යද්දි කෑ ගහලා අඬන්න හිතිලා
තියෙනවා. ඒ වගේම රහස් කියන කඳු බලද්දිත් මට
ඉකි ගගහා අඬන්න හිතුනා. ඒත් එහෙම අත දරුවෙක් වගේ ඇඬුවම මානසික රෝහලේ කූරු ගණන්
කරන්න සිද්ධ වෙන නිසා මමත් අනිත් උන් වගේම හිනා වෙලා ජවනිකාවට සහයෝගයක් දුන්නා.
එතකොට මට කවුරුත් පිස්සෙක් කීවේ නෑ. හැමෝම කිව්වේ මම ආර්ටිස්ට් කෙනෙක් කියලා.
ෆිල්ම් එක පුරාවටම මානසික රෝගයක් වැළඳුන ඒ අසරණ තරුණ තරුණියන්ව හඹාගෙන ගිය උගත්
දක්ෂ දොස්තර මහත්තුරුන් කොච්චර මහන්සියක් වෙන්න ඇත්ද මේ ලෙඩේ සුව කරන්න. නේද. එකී
මානසික රෝගය ඇත්තටම පැවතුනේ කවුරුන් ඇතුලේද මම මගෙන්ම ප්රශ්ණ කරන්න පටන් ගත්තා.
පැවැත්ම උදෙසා
තම පක්ෂ සහෝදරයාගේ මල මිනියෙ බන්ධනයෙන් ගැලවෙන්ට උත්සහා කල-පසුව මල
මිනියේ කුණු වෙන අතක් සමග මාංචුවක පැටලුන-වෛශ්යාවකගේ
මැහුම් දැමීමෙන් පුනුරුත්පත්තිය ලබා අවසානයේ කඳු අතරටම නික්ම ගිය ඒ විප්ලවවාදී
තරුණයාගේද? නැතිනම් ඊට
විරුද්ධව නැගී සිටි එක්තරා සමලිංගික සංකීර්ණතාවයකින් රහසේ සටන් වදින යුධ
හමුදා නිළධාරියාගේද? හෝ මිනි වලට
පැන් වඩන, බණ කියන, ගමට උපදෙස්
දෙන, නමුත් හිත
යටින් ගලෝපු සැටලිමට ආසා කරන අපේ පන්සලේ හාමුදුරුවන්ගේද? උන්දගේ ගුරා
වන ඒ වන විට මානසික රෝගකාරී තත්වයකින් පසුවේ යැයි කියන පන්සලේ ලොකු හාමුදුරුවන්ගේද? දරිද්රතාවයේ
ගිලී සිටින ඒ මවගේද? ඒ පියාගේද? නැතිනම්... මේ
සියලුම විකෘතිතා යනු එවකට බල ව්යුහයේ (power-grid) පැවති ජේආර්-විජේවීර
මානසික සංකීර්ණයේ ප්රතිභිම්බයන් ද යන්න මම තනියම කල්පනා කරන්න පටන් ගත්තා.
භීෂණ සමය ගැන ලියවුනා යැයි කිවූ ගින්නෙන් උපන් සීතල බලලා ගෙදර ආවේ එක්තරා කලකිරීමකින්. ඒ ෆිල්ම් එක යම්කිසි අධ්යයනයක් හෝ අධ්යයනයක ආරම්භයක් වුනත් සිනමාව යන කාරණාවේදි යටි හිතේ දුකක් පැනනැග්ගා. ඒ දුක සමනය වෙන්න රහස් කියන කඳු ඊට තියුණු මානයන් වලින් මේ භීෂණ කාල වකවානුව කියෝලා තියෙනවා කියලා පේනවා. ඒක සතුටක්. ඒක එක්තරා වේදනාත්මක සතුටක්. විශේෂම කාරණාව ඒ කියවීම නූතනයි. විද්යාත්මකයි. සාර්වත්රිකයි. එකී මිලේච්ඡ සමය පුරාවටම රටේ සියලුම ආගමික සංස්ථාපිතයන් වැඩ කරපු ආකාරය මේ ෆිල්ම් එකෙන් නිරීක්ෂණය කෙරෙනවා. ඒක පන්සලටත් පල්ලියටත් කෝවිලටත් අදාල වන න්යයාත්මක කාරණාවක්. ඒක තවත් දිගහැරගන්න පුලුවන්නං අද වන විට ගෝලීයව පවතින ආගමික-බල ව්යුහය මූණ දෙන ව්යාකූලතාවයන් පැහැදිලි කරගන්නත් පුලුවන් වෙයි. විශේෂයෙන්ම තේරවාදී බුද්දහගම 1977න් පස්සෙ ලංකාවේ නිර්මාණය වුන ඇමරිකන් ෆැන්ටසි ලෝකයත් එක්ක හයිබ්රිඩ් වුන විදිය, එකල සහ දැනුත් ලාංකික සමාජයේ පවතින ගැඹුරු ආධ්යාත්මික අර්බුදය සහ සම්පූර්ණ භීෂණ සමය පිටිපස්සෙ උතුරේ සහ දකුණේ වැඩ කරපු මනෝලිංගිකමය ව්යාධිය (human psychosexual pathology) කියෝගන්න රහස් කියන කඳු තල්ලුවක් වෙනවා කියලා මට හිතෙනවා.
- - අර්ජුමාන්
Wednesday, 24 November 2021
ලේ සහෝදරයා වෙත
ලේ සහෝදරයා වෙත,
නොවැම්බරය ද නිම වෙමින් පවතී. පළවෙනිදා දුන් ඌරු මස් හොද්ද තවමත් ජීර්ණය වීද, බඩ යන්නේද, ලේ වමනෙ කරන්නේද මා නොදනී. එහෙත් අහම්බෙන් අප මගතොටදී හමුවූ විට, කිසිවක් කිසිවිටක කිසිදාක නොවූවාක් සේ අතිශය සාමාන්ය ලෙස නුඹ මා හා හිනාවීම, මාද නුඹ හා හිනාවීම හෝ හිනාවීමට උත්සහ දැරීම, සිපවැළඳ ගැනීම, හෝ සිපවැළඳ ගැනීමට උත්සහ දැරීම සහ ඕපදූප කියවීම ඔස්සේ මා නුඹවද, මාවද, එකවර තේරුං ගැනීමට උත්සහයක නිරත වීමි. ඒ නිරීක්ෂණ තුල, මා හට පෙනී ගියේ, නුඹ එකම ඌරු මස් හොද්ද නැවත නැවතත් වමනය කර ඒ වමනයම දිනපතා ආහාරයට ගන්නා බවකි. කම් නැත, මාද නුඹ මෙන්ම අතිශය දේශපාලනිකය.
කාලය ගලාගෙන යන්නට විය. බෝපිටිය බාර් එකේ අප හමුවී දෙඩූ සියල්ල හෝ නුඹ දෙඩූ මා අසා සිටි සියල්ල, හෝ මාහට ඇසීමට බල කල ඒ සියල්ල, කාලය හමුවේ මෝරන්නට විය. කාරයක හැංගීමට උත්සහ කල ආදර කථා / වල් කථා / වේස කථා, බොරු වදන්, බොරු පොරොන්දු, බොරු බත්, බොරු පපඩං, බොරු කඳුලු වසාගත් මේ නිවී ඇති අලු යට මෝරන මහා ගින්නෙහි පෙරනිමිති, නුඹ ද මම ද දිනපතා දකින්නට විය. එය සැබැවින්ම නොවැළැක්විය හැකි මහා ගින්නකි. නිතර ඇවිලෙන පරණ ටයර්, පිච්චෙන මළ සිරුරු, කම්බි කූරු ඇනගත් යෞවන අහිංසක ශරීර, කරන්ට් අල්ලපු මොළ, මිනී මස් කන වදකාගාර වල ඇති වූ මහා ගින්නක් වැනි මේ කිසිදා නොනිමෙන ගින්න ඉදිරියේදී විසබීජ නාශකයක් වනු නොඅනුමානය.
පුස් බැදිච්ච කැවුං කැවූ, මරලතෝනි නලා වැයූ, දිරච්ච සුදු කොඩි වලින් හංගා ගන්නට උත්සහ දැරූ, ලේ තැවරුනු පාංකඩ රතු වස්ත්ර ලෙලදුන් පහුගිය අගෝස්තු සාදයේදී, යුද්ධයකට රෝස පාට බොම්බයිමුටයි ගෙනැවිත් මෙන්, සියල්ල සැනසීමට / සිනහගැස්සීමට උත්සහ දරූ නුඹේ ආත්මානුකම්පිත සහ වෙහෙසකර ආත්මය, කොතරම් යටත් වීද, හෝ යටත් වීමට උත්සහ දරන්නේද යන්න, මා නුඹ දෙස බලා සිටියේ ඉමහත් ආදරෙයන්ය. එහෙත් රෝහණ නුඹට එසේ ආදරය කලේ නැත. මා මෙන් නුඹට කිසිවෙක් ආදරය කර නැත. කාලේ අරක්කු බෝතල්, ගෝල්ඩ්ලීෆ්, කඳුලු එක්ක ගැලරියේ සිට නුඹ බලා සිටි ගින්නෙන් උපන් සීතලෙහි සිටි වීරයා රෝහණ, නුඹම බව, රෝහණ නොවන බව, තවමත් තේරුං නොගත්තෙහිද?
අතීතය නැවත නැවතත් වෙමින් පවතිනු ඇත. කිසිවක් කිසිදා නිම වන්නේ නැත, නිමවීමම නැවතත් ආරම්භයකි. ආරම්භය නිමාවක් දකින තුරු පැවැත්ම ඉදිරියටම තල්ලු කරනු ඇත. අවසානය කෙසේ වෙතත්, එය ආරම්භයක් පමණි.
අගුලු කඩාදැමූ ලාච්චුව මා දිනපතා වන්දනා මාන කරනු ඇත. පිහිතල වලින් අත් වල කෙටූ තුවාල වල දිනපතා තෙල් තවරණු ඇත. එහි හැංගු හෝ හැංගීමට උත්සහ දැරූ අභිරහස් දිනපතා මා විසින් විශ්ලෙෂණය කරමින් පවතී. මළවුන් හොල්මන් කරනු ඇත. පිච්චුනු මිනිකඳවල් හඩාවැටෙනු ඇත. එවැනි දවසක, ඔවුන්ගේ කලු ආගමික පූජකයන් සැපසේ නිදන්නේ කෙසේද?
ඉහත කිවූ කිසිවක් හා වැඩිදුර සටන් කිරීමෙන් වළකින්න, බොරුව හැංගීමට වෙහෙසීමෙන් වළකින්න, සත්යය ජයගන්නේ හුදෙක් තාත්වික තර්කයෙන් පමණක් නොව අතාත්වික සහ සංකීර්ණ තර්කනයෙන්ද බව මතක තබා ගන්න. ඒ කෙසේ වෙතත්, මේ වචන සාතන්ගේ පුත්රයාගේ වචන හෙයින්, නුඹට හුරුවක්ද දැනෙන්නට වූ බව මා දනිමි. ඒ හුරුව නුඹේ අනන්ය හුරුවයි, නුඹේ දුවගේ හුරුවයි, නුඹේ පියාගේ හුරුවයි, නුඹේ සහෝදරයාගේ හුරුවයි (රතුසහෝදරයාගෙ නොව, ලේ සහෝදරයාගෙ), සහ එ් සහෝදරයාගෙ පුත්රයාගේ හුරුවයි. සෑමවිටම සත්යය හෙළිදරව් වන්නෙ සාතන්ගේ වෑයමෙන් බැව් නුඹට අමතකද?
දුවට ලං වන්න, දුවට ආදරය කරන්න, දුවව වැළඳගන්න
දුවට ලං වන්න, දුවට ඇහුම්කන් දෙන්න, දුවව වැළඳගන්න
දුවට ලං වන්න, රෝහණව වළලන්න, දුවව වැළඳගන්න
ආමෙන්!
Tuesday, 23 November 2021
තිහේ කණුව පසු කරමින් (24.11.2021)
Friday, 30 July 2021
Monday, 10 May 2021
වැලි මාලිගා
අපේ ඉපදීම අහම්බයක්, මරණයත් ඒ වගේම අහම්බයක්. ඒ අතර හුස්ම වැටෙන මේ මුලු ජීවිත කතාවම අහම්බයන් ගොඩක එකතුවක්.




