Monday, 8 September 2025

"ඇයි මේ යුද්ධ කරන්නෙ… සාමය වෙනුවෙන් යුද්ධ කරන්නෙ"

මේ ලව් කරන වයසක්ද? වයසෙ හැටියටද වැඩ? මුලින්ම ඉගෙනගෙන ඉන්න. දැන් ඕවා අමතක කරල විභාගෙට පාඩං කරන්න. විභාගෙ ෆේල් වුනොත් ඔය කවුරුත් නෑ. 

විභාගෙ පාස් වුනොත් ඔය ඕන කෙනෙක් ලං වෙනවා. මේ කාලෙ ආදරය කරන්න තියාගන්න එපා. උඹ තාම පොඩි එකා. පොඩි එකා පොඩි එකා විදියට ඉන්න. 

ඔය වයසට මෝඩකමට ඕවා කරාට පස්සෙ තේරෙයි මොන තරං මෝඩකමක් ද කර ගත්තෙ කියලා. ඔය සම්බන්ධෙ සහමුලින් නවත්තලා දාන්න ඕනා. හිතෙන් අයින් කරලා දාන්න. ඔයාව දැලේ දාගෙන ඉන්නෙ. ඔයා රැවටිලා. 

ඔහොම ලස්සනට අඳින්න එපා. කැත වෙන්න. විනීතව අඳින්න. ගොඩක් හිනාවෙන්නත් එපා. සීරියස් ඉන්න. උගත් පාටට අඳින්න. ඔයා බුද්ධිමත් ළමෙක්. ඇයි ඔහොම මෝඩයෙක් වගේ ඉන්නෙ. 

ඔය බහුභූත ලියන එක නවත්තන්න. මොනාද මේ සිංදු ලියාගෙන චිත්‍ර පාට කරගෙන නිසදැස් මේසේ පුරා. ඕවා කරල කාටද බං හරි ගියේ. දැන් ඉන්ටවිව් එකකට ගිහින් කියන්න මම ආදරයෙන් මුසපත් වෙලා සිංදු ලිව්වා කියලා. හම්බෙයි ජොබ්. 

ජීවිතෙ ජයගන්න පුලුවන් කැප කිරීමෙන් විතරයි. ඔහොම බොළඳ වෙලා විනාසයකට යන්න එපා. බලන්න ජේසු අපේ පව් වෙනුවෙන් කුරුසෙ කර තියං ගියේ. ඒ වගේ ඔයත් ඔය ඔක්කොම අයින් කරලා අද ඉඳන් අධිශ්ඨාන කරගන්න විභාගෙ පාස් වෙලා කැම්පස් ගිහිල්ලා උපාධියක් අරගෙන හොද ජොබ් එකක් කරනවා කියලා. 

මුහුදෙ ඉන්නෙ එක මාලුවද. ඔයා කැම්පස් ගියාම බලන්නකො මාලුවො හම්බෙයි ඕන තරං. හොඳ පඩියක් හම්බෙද්දි මාලුවො දුසිං ගනන් එන්නෙ. අනික ඔයා එක්ක බැලුවම එයා කවුද. හැටි බලන්නකො. ඔයාගෙ ලඟින්වත් තියන්න පුලුවන්ද. හොද කාර් එකක් ගන්න පුලුවන් සමාජයේ පිළිගන්න ජොබ් එකක් හම්බුන ගමන් ඔයාට නිදහසේ ආදරය කරන්න පුලුවන්. 

මම හිතාගත්තා හරි මම විභාගෙ කරලා උපාධිය අරගෙන හොඳ සුපිරි ජොබ් එකක් කරලා ඊට පස්සෙ ඔය ඔක්කොටම පේන්න ආදරය කරලා පෙන්නනවා කියලා. මම සීරියස් වුනා. 

ඔව් ඇත්ත නේන්නං. ආදරය කියන්නේ මේ මොලේ රසායනික තත්වයක් නෙ. මේ කියලා තියෙන්නෙ පොතේ. ආ ඒකයි මට එහෙම ආදරණීය හැඟීම් ඇවිල්ලා තියෙන්නේ. කවුද දන්නෙ. ඒ කාලෙ මේවා දැනන් හිටියා ඈ. 

ජීව විද්‍යාවට අනුව රසායනික විද්‍යාවට අනුව සහ ගණිතය භෞතික විද්‍යාව ව්‍යාපාර කළමනාකරණය මේ හැමදෙයින්ම කියන්නේ මගෙ භෞතික තත්වයක් නිසා ආදරය වගේ හැඟීමක් පහල වුනා කියලා. ඒක නිකං මායාවක් විතරනෙ. ඒවාට රැවටෙන්නෙ නැතිව භෞතික ලෝකයත් එක්ක හැප්පෙන්නයි ඕනා. 

ඉතිං මම හොඳට ඉගෙන ගත්තා. හැම විශයෙම විභාගෙට එන කරුණු හොඳින් කට පාඩං කරගත්තා. ඇස් වහගෙන උත්තර ලියන්න පුලුවන් විදියට පොත් බලලා බලලා විභාගෙට ලෑස්ති වුනා. දැන් මම ගොඩක් කාර්යබහුලයි. 

ආදරය තියා විභාගෙට එන දේ හැර වෙන මුකුත්ම හිතන්න මට වෙලාවක් නෑ. මම වගේම විභාගෙට ඉගෙන ගන්න තව අය හම්බුනා. ඒගොල්ලො එක්ක කරට කර සටන් වැදුනා. ඒ ඔක්කොම පරද්දලා මම විභාගෙ උඩින්ම පාස් වුනා. 

දැන් හැමෝම කැමතියි. හැමෝම ආදරෙයි. තෑගි බෝග ගෙදර පිරිලා. මල්මාල දාන්න පෝලිමට ඇවිල්ලා. ගෙදර හැමවෙලේම සෙනග. මම තමා හැමෝගෙම මාතෘකාව. 

ඒ කවුරුත් විභාග පාස් වෙලා තිබ්බෙ නෑ. ඒ හැමෝම ඉගෙන ගන්න කාලෙ ලව් කරලා. ඒගොල්ලන්ට බැරි වුන දේ මම කරාට ඒගොල්ලො හරි සතුටුයි. 

එදා රෑ හැමෝම මට සුභ පතලා ඒ ඒ ආදරය කරපු අය එක්ක ඒගොල්ලො ගෙවල් වලට ගියා. මම පොත් මේසේ ආයෙ තනි වුනා. තාම ඉවර නෑ. දැන් උපාධියට ලෑස්ති වෙන්න ඕනා. උපාධිය ගත්තෙ නැත්තං මේ ආපු අමාරු ගමනෙන් වැඩක් නෑ. ඒක නිසා මහා පාලුවක් දැනුනත් ආයෙත් පාඩං කරන්න ගත්තා.

ඒ වෙද්දිත් මම ඉස්සර ලියපු නිසදැස් පුච්චලා. මගෙ ඩයරියේ එයාව කවදාහරි හම්බුනොත් කියලා පරිස්සමෙන් තියාගත්ත මලක් තිබ්බා. ඒක බලලා මටම මං ගැන ලැජ්ජාවක් ආවා. ඇත්තටම මොන බොළඳ වැඩද මේවා. දැන් තමා මට තේරෙන්නෙ. මම ඒ මල චප්ප කරලා කුණු ගොඩට විසි කරා. ඩයරියේ ඒ කාලෙ ලියපු දේවලුත් ඉරල පුච්චලා දැම්මා. ආදරය කරපු මෝඩ නූගත් ගොඩයෙක් වෙන්න ඕනෙද මම. එහෙම හිතලා මම උපාධියට පාඩං කරන්න ගත්තා. 

එහෙම පාඩං කරලා විභාග ගොඩ යද්දි ගොඩක් අය මට ලං වුනා. ඒ හැමෝගෙන්ම මට ඕන වුනේ ඊළග පඩියට පැනගන්න. මොකද ඔය එකෙක්වත් දන්නෑ මගේ පරමාර්ථ. ආදරෙයි කිව්වම ගොඩක් දේවල් කරගන්න ලේසියි. ඉතිං මම කීප දෙනෙක්ට ආදරෙයි කිව්වා. 

ඒත් ඒ එකෙක්වත් මගෙ මට්ටමට නෑ. මොකද මම යන්නේ ඉහලම තැනට. ඉහලම තැනට ගිහින් මට ඕනා නිදහසේ ආදරය කරන්න කියල උන් දන්නෙ නෑ. ඒ කාටවත් එතනට යන්න ඕන කමක් තිබ්බෙ නෑ. මට ඇති වුනාම ඒ හැමෝවම මම හලලා දැම්මා. 

මම යන්නෙ මගෙ ගමන. මේ ගමන නවත්තන්න සක්කරයටවත් බෑ. විභාගෙ හදපු එකාටත් වඩා හොදට මම විභාගෙ අධ්‍යනය කරන්න ගත්තා. එහෙම ගිහින් උපාධිය ඉහලින්ම පාස් වුනා. දැන් මට ගමෙන් විතරක් නෙමේ නගරෙනුත් පිළිගැනීම. 

කලින් වගේම අර පොඩි කාලෙම ආදරය කරලා විභාග ඇනගත්ත මෝඩ නූගතුන් ආවා මට සුභ පතන්න. ඒගොල්ලො මාව වීරයෙක් වගේ උඩ දැම්මා. මම ඒගොල්ලන්ගෙ නායකයලු. මම ඒගොල්ලන්ට උපදෙස් දුන්නා. ජීවිතෙ ජයගන්න විදිය ගැන කියල දුන්නා. උන්ට දැන් ළමයි හම්බෙලා. උපදෙස් දෙද්දි අහන් ඉන්නවත් බෑ ළමයි දඟලනවා. මට නං ළමෙක් හදනවා තියා හිතන්නවත් බෑ. මොන තරං පව් වැඩක්ද මේ ළමයි හදනවා කියන්නෙ.

කොටින්ම ඕවා ඉතිං විභාග ෆේල් වුන ආදරයට මෝඩකමට ලොල් වුන ගොඩේ බයියන්ගේ වැඩනෙ. උන් ඉතිං මම කිව්ව සංකීර්ණ දේවල් අහන් ඉඳලා ඒ ඒ ආදරය කරපු අය එක්ක ළමයි එක්ක ඒ ඒ අයගෙ ගෙවල් වලට ගිහින් තුරුල් වෙලා නිදා ගනිද්දි මම ආයෙත් පොත් මේසේ තනි වුනා. ඒ වෙද්දි මම ලියපු ඔක්කොම කවි පුච්චලා ඉවරයි. ඉස්සර මම මෝඩයා කාලෙ කරපු ගොන්කං මතක් වෙන්න තියං හිටපු ෆොටෝ අරවා මේවා ඔක්කොම පුච්චලා දැම්මා. දැන් මම උගතෙක් කියල දැනෙන්න ගත්තා. 

මට හම්බුනා සුපිරි ජොබ් එකක්. ගමේ උන් පදිරි. දැන් පේනවා ඇති මුන්ට. මුන්ගෙ ඇස් වලට කටු අනිනවා වගේ මම කාර් එකෙන් ටයි දාලා වැඩට යද්දි. මම පේන්නම වගේ ගමේ අර මෝඩයො ඉස්සරා ඉංග්‍රීසියෙන් කතා කරන්න පටන් ගත්තා. ඉංග්‍රීසි කතා කරද්දි උන් කොර. උන් කතා කරන ඉංග්‍රීසි ඇහෙද්දි මට අප්පිරියයි. උන් දන්නෙ ඇත්තටම මෝඩ හරක් වගේ ආදරය කර කර ඉන්න. අතේ සතේ නෑ. අතේ සල්ලි නැතුව මොන ආදරද. මුලින්ම සල්ලි හොයන්න ඕනා. සුපිරි ගෙයක් ඕනා. කාර් එකක් ඕනා. ඊට පස්සෙ බැරියැ ආදරය කරන්න ඕන තරං. 

දැන් මට ඒ කිව්ව ඔක්කොම තියෙනවා. උපාධිය, පිළිගැනීම, හොඳ පඩිය, ඉංග්‍රීසි, සුපිරි සැලුන් වලින් හදාගත්ත ඇස් කඩාගෙන යන ලස්සන, ජිම් ගිහින් හැදුන සුද්දෙක් වගේ ශරීරය… දැන් පුලුවන් මට ආදරය කරන්න. 

ඉස්සර ගමේ රස්තියාදු ගහද්දි හම්බුන ඒ ආදරය මට මතක් වුනා. ඒත් මට දැන් එතනට යන්න තියා ඒ දිහා බලන්නත් ලැජ්ජයි. මම කොහෙද ඉන්නෙ. එයා කොහෙද ඉන්නෙ. ඒත් මම මේ ගමන ආවේ එයා වෙනුවෙන්. අපේ ආදරය වෙනුවෙන්. අද මේ ඔටුන්න දාගෙන ඇයි මේ පාලු මන්දිරයක තනි වෙලා. 

ඔව් මගෙ මෙන්ටර් කිව්වා හරි. මගෙ ඩොක්ටර් කිව්වා හරි. ඕවා හිතන්න නෙමේ ඕනා. මම මං ගැන හිතන්නයි ඕනා. මම යනවා තව ඉහලට. එතකොට මට හම්බෙයි මම හොයන සැබෑම නිදහස. 

මම යනවා ලෝකෙ තියෙන සුපිරිම රටට. ගිහින් එහෙ පුරවැසියෙක් වෙනවා. මේ ගොඩේ මඩ පොකුණ මට හරි යන්නෑ. මට දැන් ආපසු හැරෙන්න බෑ. මේ ඇඟේ එල්ලලා තියෙන දැනුම කිව්ව තුවක්කු බෝම්බ අරගෙන මම යුද්ධෙට යන්නයි ඕනා. මම කවදාහරි යුද්ධ කරලා, නගර විනාස කරලා, ලේ වගුරලා හරි හදනවා ආදරයේ ලෝකයක්. නිදහසේ ආදරය කරන්න පුලුවන් මගෙම ලෝකයක් හදනවා. 

ජයගන්න නං දුවන්න ඕනා. මේක තරඟයක්. උත්සහා කරොත් දිනන්න පුලුවන්. දිනන්න දිනන්න මට හම්බෙනවා අලුත් අලුත් රසිකයෝ. දිනුම් කණුවෙන් දිනුම් කණුව අර ගමේ හිටපු මගේ මෝඩ බොළඳ ආදරයෙන් ඈත් වුනත් මට තව තව ඔටුනු හම්බෙනවා. 

දිනුම් කණුව ළඟට එන්න අර පොඩි කාලෙම ලව් කරපු බයියන්ට එන්න බැරි වුනත් මට හම්බෙනවා මම වගේම ගමෙන් නගරයට ආපු තරඟකාරයෝ. ඒගොල්ලො එක්ක ඉද්දි මට මං ගැන ආඩම්බරයක් එනවා. ඒකෙන් මම තව අහංකාර වෙනවා. අහංකාර වුනාම ලස්සන වෙනවා. තව තව මට ආකර්ශනය හිමි වෙනවා. මට තව මදි. ආදරය හම්බෙනකං මම මේ රේස් එකේ දුවනවා. 

දැනුම් සම්භාරයක් මැද පාලු මන්දිරයක තනි වුන මම පරණ සේප්පුවෙ තිබිල හම්බවුන අවසාන පෙම් හසුනත් පුච්චලා දැම්මා. දැන් මම කෙලින්ම දෙවියන්ට අහියෝග කරන්න ලෑස්තියි. ස්වභාවික ලෝකය කෙලෙසන්න ලෑස්තියි. 

පොඩි කාලෙ ඇති වුන වල් ආදරය සත්ව ආදරය ස්වභාවික දෙයක් නං ඒක කෙලෙසලා පාලනය කරලා මට ඕන විදියට හදාගන්න මම දැන් පුහුණු වෙලා ඉවරයි. බොරු හිතක් පපුවක් මම දැන් ගාණකට ගන් නෑ. මට පුලුවන් දැන් අවශ්‍ය නං රටවල් පිටින් අමු අමුවේ සුන්නද්දූලි කරලා දාන්න තාක්ෂණයක් හදන්න. ඒ මැශින් හදන්න මම පුහුණු වෙලා. 

මම දැන් ගොඩක් බුද්ධිමත්. ඉස්කෝල දහම් පාසල් වලට ගිහින් මම දැන් ළමයින්ට කියලා දෙනවා ශිෂ්ඨසම්පන්න වෙන හැටි. හික්මීම ගැන මහා දේශණ තියලා පොත් පත් සම්මාන ගොඩාක් පිරුණු මගේ පාලු මන්දිරයට ඇවිල්ලා ඉස්සර මගේ වල් ආදරය ගැන මතක් කරලා රහසින් ස්වයං වින්දනයේ යෙදෙනවා. ආයෙත් දවල්ට එහෙම වල් කෙල්ලන්ව කොල්ලන්ව විනයානුකූල කරන්න කටයුතු කරනවා.  

ලෝකෙ පුරා තියෙන අධිකව ලාභය උපයන කොම්පැනි වලට රටවල් වලට සංවිධාන වලට අවංකව වැඩ කරන්න මම ලෑස්තියි. මගෙ මුලු ආත්මයම එහෙම සංවිධාන වලට දෙන්න මට පුලුවන් වෙලා. මං වගේම පොඩි කාලෙ ආදරය කරන වල් සත්තුන්ව මරලා පුච්චලා දාන්න මට පුලුවන්. මාව මරාගත්ත එකේ මට වෙන උන්ව මරන මහා දෙයක්ද. මොකද මම දැන් උගත් නිසා. 

"ඇයි මේ යුද්ධ කරන්නෙ… සාමය වෙනුවෙන් යුද්ධ කරන්නෙ"

- අර්ජුමාන්

07.09.2025

No comments:

Post a Comment